පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට…..

හදිසි ජලගැලීම් හේතුවෙන් සීමා කරනු ලැබූ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ.

ඒ අනුව අද (14) පස්වරුවේ සිට පුත්තලම් මාර්ගයේ දුම්රියයන් නියමිත කාලසටහනට අනුකූලව ධාවනය කරනු ලැබේ.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගය, තිල්අඩිය ප්‍රදේශයේදී ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීම හේතුවෙන් ඊයේ (13) පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දක්වා සීමා කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

ගංවතුර බැස යාමත් සමඟ අද (14) පස්වරු 03.00 සිට පුත්තලම මාර්ගයේ ධාවනය නැවතත් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

මැයි 19 – 22වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි……

පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා දින හතරක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා පවසයි.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 08 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අදාළ දිනවලට නියමිත කටයුතු තීරණය කර තිබේ.

ඒ අනුව, පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් වෙන් කර ඇත.

මැයි 19 අඟහරුවාදා, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර, අනතුරුව විපක්ෂය විසින් ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

මැයි 20 බදාදා, පෙරවරු 11.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාව අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වර්ෂය සඳහා නිකුත් කළ ආර්ථික සමාලෝචනය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය විී ඇත.

මැයි 21 බ්‍රහස්පතින්දා, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් සහ විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් කිහිපයක් විවාදයට ගැනීමට නියමිතය.

මැයි 22 සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා කාලය අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කර ඇත. ඒ අනුව  (මහාචාර්ය) තිස්ස විතාරණ, එස්.සී මුතුකුමාරණ, චන්ද්‍රදාස ගලප්පත්ති, නන්දන ගුණතිලක, ජනක් මහේන්ද්‍ර අධිකාරි සහ  කනගසබෙයි තම්මන්පිල්ලෙයි   යන අභාවප්‍රාප්ත හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති බවද පාර්ලිමේන්තුව සඳහන් කරයි.

කාලගුණයෙන් රතු නිවේදනයක් – ප්‍රදේශ රැසකට මි.මී 150 ඉක්මවූ වැසි…..

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (14) පස්වරු 5.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (15) පෙරවරු 8.30 දක්වා වලංගු වන බව සඳහන්ය.

අද උදෑසන ලබාගත් කාලගුණ දත්ත විශ්ලේෂණයට අනුව, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පවතින අතර, ඉදිරි පැය 48 තුළ එය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර උතුරු පළාතේ ඇතැම් ස්ථානවලටද මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් කර තිබේ.

ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇති විය හැකි තද සු සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී…….

ශ්‍රී ලංකා රුපියල මත තිබෙන පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් අද දිනයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329 යි ශත 92ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම අගය 2023 ‍දෙසැම්බර් 27 වැනිදායින් පසු ඩොලරයක් වෙනුවෙන් මෙරට වාර්තා වූ ඉහළම මිලයි.

2022 මාර්තු 07 දක්වා රුපියල් 202.99ක ස්ථාවර අගයක පැවති පැවති අමෙරිකානු ඩොලරයේ රුපියල් වටිනාකම, 2022 මාර්තු 08 දින සිට රුපියල පා කිරීමට ගත් තීරණයත් සමගින් ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.

එහි ප්‍රතිඵලයක් ලෙස 2022 මැයි 12 වන විට රුපියල් 377.49ක් දක්වා ඩොලරයේ විකුණුම් මිල ඉහළ ගියේය.

කෙසේවෙතත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හමුවේ ක්‍රමයෙන් රුපියල අවප්‍රමාණය පාලනය වූ අතර 2023 වසර අවසානය වන විට රුපියල් 328.77ක් දක්වාත් පහළ ගියේය.

ඉන් පසු මේ දක්වා වාර්තා වූ ඩොලරයක අඩුම විකුණුම් මිල 2024 දෙසැම්බර් 13 වෙනිදා වාර්තා වුණි.

ඒ රු. 294.49ක් ලෙසින්ය.

මෙවන් පසුබිමක 2023 ‍දෙසැම්බර් 27 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම විකුණුම් මිල අද දිනයේදි වාර්තා වී තිබේ.

ඒ රුපියල් 329.92ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව 2026 වසරේ ජනවාරි 01 සිට මැයි 08 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.6කින් අවප්‍රමාණය වී තිබේ.

රුපියල දිගින්දිගටම යළි අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා මෙලෙස කරුණු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මූල්‍ය ප්‍රතිපත්ති රාමුව අනුව විනිමය අනුපාත සකස්වීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්ත්වයක්. නමුත් මේ වසරේ අපට දක්නට ලැබෙන්නේ බාහිර තත්ත්වයන් වෙනස්වීම, හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල විතරක් නෙවෙයි, අනෙක් ඊට සමාන විනිමයත් අව ප්‍රමාණය වීම සහ අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමයි. ගෝලීය අවිනිශ්චිතභාවයයි ඊට හේතු වී තිබෙන්නේ. උදාහරණයක් විදියට ඇතැම් මාධ්‍ය අද වාර්තා කරල තිබුණා. ඉන්දීය රුපියල ඉතිහාසයේ දුර්වලම මට්ටමට දැන් පත්වී ඇතිබව. ඒක සිදුවෙලා තිබෙන්නේ ඉන්දීය සංචිත බැංකුව සතුව ඩොලර් බිලියන 700ක විදේශ සංචිත තිබියදීයි. පිලිපීන මහ බැංකුව, තායිලන්ත මහබැංකුව ගත්තොත් එම රටවල විනිමයත් අවප්‍රමාණවීමත් එක්ක ඔවුනුත් යම් මට්ටමකට මැදිහත්වෙමින් විනිමය අනුපාත නිශ්චිත මට්ටමක පවත්වාගන්න කටයුතු කරනවා. අපේ විනිමයට අද සිදුවෙලා තිබෙන්නේ ඇත්තටම බාහිර කම්පනයට මුහුණ දීමට සිදුවීමයි”

රුපියල දිගින්දිගටම අවප්‍රමාණය පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කරන ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය ඩොලර් ඉල්ලුම මත වැඩි බලපෑමක් සිදු කිරීම මේ තත්ත්වයට බලපා ඇති බවයි.

එමෙන්ම බොරතෙල් වෙළඳපොළේ අස්ථාවරත්වය හා නැව් ගාස්තු ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වි තිබේ.

ඇඩ්වොකාටා ආයතනය තවදුරටත් පෙන්වා දෙන්නේ සෘජු ලෙස ආනයනවල මිල ක්‍රමයෙන් ඉහළ යෑමටත් අපනයන ආදායම වැඩිවීමටත් මෙම තත්ත්වය බලපාන අතර , ණය ගෙවීමේදි මෙලෙස රුපියල අවප්‍රමාණය වීම යම් අවාසිසහගත බලපෑමක් ඇති කරන බවය.

අත්තනගලු ඔයේ පහත්බිම්වලට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක්……

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබී ඇති සැලකිය යුතු වර්ෂාපතනය සහ එම ද්‍රෝණිය තුළ ස්ථාපිත ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණයට අනුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

ඒ අනුව දිවයිනේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට මෙම අවදානම පවතින බව සඳහන්ය.

එමෙන්ම එම පහත්බිම් ප්‍රදේශ හරහා වැටී ඇති ඇතැම් මාර්ග ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමේ අවදානමක්ද පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන් සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන වාහන රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇති අතර, අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙතද දැනුම් දී තිබේ.

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි – ජනතාවටත් දැනුම්දීමක්……

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද (14) පස්වරු 7.30 වනවිට ධාරා ප්‍රදේශවලට රදේශයට ලැබෙන වර්ෂාව හේතුවෙන්  දැදුරුඔය ජලාශයේ  වාන් දොරටු 2ක් යළි විවෘත කර ඇති බව වාරියපොළ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව එම වාන් දොරටු දෙක අඩිය බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 1,400ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරෙමින් පවතින බව සඳහන්ය.

මේ අතර ඉඟිනිමිටිය ජලාශයේද අද පස්වරු 7.00 වනවිට වාන් දොරටු කිහිපයක් විවෘත කර ඇති බව වාරිමාර්ග ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා පවසයි.

ඒ අනුව වාන් දොරටු 2ක් අඩි 3 බැගින් සහ තවත් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 5,000ක ජල ප්‍රමාණයක් මී ඔයට මුදාහැරෙමින් පවතී.

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක්ද විවෘත කර ඇති අතර, ඉන් දොරටු 4ක් අඩි 3 බැගින් සහ තවත් දොරටු 4ක් අඩි 2 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 4,400ක ජල ප්‍රමාණයක් මී ඔයට නිකුත් කෙරෙන බවද සඳහන්ය.

මේ හේතුවෙන් ඉඟිනිමිටිය සහ තබ්බෝව ජලාශවල පහළ ප්‍රදේශවල, විශේෂයෙන් මී ඔය ආශ්‍රිතව ජීවත්වන ජනතාව ජල මට්ටමේ වෙනස්වීම් පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

මේ අතර  නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට අද පපස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ශාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන් ගෙන ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසීය.

විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දැමිමත් සමග කෙසෙල්ගමුඔයේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවන් තව දුරටත් පැවසීය.

හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්……

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට හෙට (15) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් පරිදි, හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස එම කලාපයේ සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම්දී තිබේ.

එමෙන්ම අනෙකුත් අවශ්‍යතා සඳහා ගුරුවරුන් සහ සිසුන් හෙට දින පාසලට කැඳවීමෙන් වළකින ලෙස දැනුම්දී ඇත.

ශ්‍රී ලංකාවට ලබාදෙන IMF සහාය අඛණ්ඩව……

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිමත් වීමේ උත්සාහයන් සඳහා තවදුරටත් පූර්ණ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යළිත් අවධාරණය කර තිබේ.

අද (14) පැවති මාධ්‍ය හමුවකදී IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සඳහන් කළේ, මෑත කාලයේ ශ්‍රී ලංකාව විශාල ආර්ථික පීඩනයක් ඇති කළ ප්‍රබල කම්පන දෙකකට මුහුණ දී ඇති බවයි.

ඇය පෙන්වා දුන්නේ ඉන් පළමුවැන්න “දිට්වා” සුළි කුණාටුව වන අතර, එය ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි බලපෑමක් එල්ල කළ ස්වභාවික විපතක් බවය.

දෙවැනි කම්පනය ලෙස මැද පෙරදිග යුද්ධයේ අඛණ්ඩ බලපෑම ඇය සඳහන් කළාය.

එවැනි අභියෝග හමුවේද ශ්‍රී ලංකාවේ ජනතාව සහ ආර්ථිකය “සුවිශේෂී ඔරොත්තු දීමේ හැකියාවක්” පෙන්නුම් කර ඇති බව කොසැක්  පැවසුවාය.

IMF සහාය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ මේ වනවිට ප්‍රතිඵල ලබාදීමට ආරම්භ කර ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

බලධාරීන්ගේ ශක්තිමත් කැපවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය දියුණු වෙමින් පවතින බවද ඇය සඳහන් කළාය.

තවද, ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් ඉදිරියේදී ලබාදිය හැකි සහාය පිළිබඳව තීරණය කරන බවත්, ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා IMF තවදුරටත් දැඩි කැපවීමකින් පසුවන බවත්  ජූලි කොසැක් මහත්මිය අවධාරණය කළාය.

ඉන්ධන, පොහොර සහ කෘෂි යෙදවුම්වල මිල ඉහළ යාම හමුවේ ගොවීන්ට විශේෂ වැඩසටහනක් හෙට සිට…..

‍ඉන්ධන, පොහොර සහ කෘෂි යෙදවුම්වල මිල ඉහළ යාම හමුවේ ඒ සඳහා යොදා ගත හැකි විකල්ප මොනවාද යන්න සම්බන්ධයෙන් ගොවීන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් හෙට (14) ආරම්භ කිරීමට නියමිතව තිබේ.

යළ කන්නය ඉලක්ක කර ගනිමින් ‘ඉසුරු ගෙනෙන යලක්’ ජාතික කෘෂිකර්ම වැඩසටහන යටතේ ගොවීන් මෙලෙස දැනුම්වත් කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසා තිබේ.

එහි පුහුණු හා ව්‍යාපෘති අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා පවසා ඇත්තේ මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

“යල කන්නය ඉලක්ක කර ගෙන ජාතික කෘෂිකර්ම වැඩසටහන යටතේ ඉන්ධන, පොහොර සහ කෘෂි යෙදවුම්වල මිල ඉහළ යාම හේතුකොටගෙන ඒ සඳහා යොදා ගත හැකි විකල්ප මොනවාද යන්න ඒ වැඩසටහන් මාලාව ගොවීන් දැනුවත් කරනවා. ඒත් එක්කම පස් පරීක්ෂණ කරලා පොහොර යොදන විදිහ, ඒ වගේම රසායනික පොහොර භාවිතය අවම කරගෙන කොහොමද වගා කරන්නේ, අඩු පොහොර ප්‍රමාණයක්ගෙන් වැඩි අස්වැන්නක් ලබන්නේ කොහොමද, නවතම තාක්ෂණයක් කොහොමද මේ අර්බුදය හමුවේ ලබාගෙන ශ්‍රම වියදම ලබාගන්නේ, මේ සියල්ල පිළිබඳ ගොවි මහත්වරු දැනුවත් කරන ප්‍රායෝගික වැඩසටහන් මාලාවක් තමයි ‘ඉසුරු ගෙනෙන යලක්’ කියලා හදුන්වා දෙන්නේ. කවුපි, මුං, මිරිස්, ළුණු වැනි බෝග ප්‍රවර්ධනය කරලා ආර්ථිකය සවිබල ගන්වන්නත් ආනයනය සීමා කරන්නත් බලාපොරොත්තු වෙනවා මේ වැඩ සටහන තුළින්”

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දක්වා සීමා කෙරේ…..

ජල ගැලීම් තත්ත්වයක් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමාකළ බව දුම්රිය සේවය පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින් එම සේවය අද (13) පස්වරුවේ පැවසුවේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගය, තිල්අඩි ප්‍රදේශයෙන් ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇත.

ජල මට්ටම තවදුරටත් වැඩි වෙමින් පවතින බවත්, ඒ හේතුවෙන් අද සවස සහ (14) හෙට දින පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හලාවන දුම්රිය ස්ථානය දක්වා සීමාකළ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අනුව අද දින පුත්තලම කාර්යාල දුම්රිය සහ අනෙකුත් සියලු දුම්රියන් කොළඹ කොටුව සිට හලාවත දක්වා පමණක් ධාවනය කරන අතර, හෙට දින උදෑසන එම දුම්රියන් හලාවත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරේ.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හලාවත සහ පුත්තලම අතර දුම්රිය ධාවනය පිළිබඳව ඉදිරියේදී දැනුවත් කිරීමට කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වේ.