අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නෑ – නාමල්…..

වත්මන් ආණ්ඩුව මැතිවරණ සමයේ ජනතාවට ලබාදුන් කිසිදු පොරොන්දුවක් මේ වන තෙක් ඉටුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් ආණ්ඩුවට එරෙහි සියලු පාර්ශවයන්ට එළැඹෙන 21 වන දිනට නුගේගොඩට පැමිණ ආණ්ඩුවට තම විරෝධය පල කරන ලෙස ඉල්ලා සිටින බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ පැවති මාධ්‍ය හමුක් අමතමිනි.

“අද ගොවි ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකරලා නැහැ. අල ගොවියට, වට්ටක්කා ගොවියට, බී ලූණූ ගොවියට ආණ්ඩුව කරල තියන අසාධාරණයට ඒ ජනතාව අද එළිපිටම ආණ්ඩුවට දෝෂාරෝපණය කරගෙන යනවා.

දැන් ඒ ජනතාව පාරටත් බැහැල. ආණ්ඩුව උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් කරල තිබෙනවා. මේ රටේ ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන්න බැරිවී තිබෙනවා. අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නැහැ. ආණ්ඩුවේ බොරු පොරොන්දු වලට රැවටුණු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ එළඹෙන 21 වන දින අපිත් සමග නුගේගොඩදී එක්වී ආණ්ඩුවට විරෝධය පල කරන ලෙසයි.”

කුඩා ගිනිඅවියක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට…..

අඟල් 6ක් පමණ දිගැති විදෙස් රටක නිෂ්පාදිත කුඩා ගිනි අවියක් සමග ව්‍යාපාරිකයෙකු මීගමුව කුරන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ගිනිඅවිය බෙල්ජියම රටේ නිෂ්පාදිතය බ්‍රව්නින් වර්ගයේ පිස්තෝලයක් බව පොලීසිය පැවසීය.

මෝටර් රථ අමතර කොටස් අළෙවි කරන මීගමුව කුරන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සන්තකයේ ගිනි අවියක් තිබෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී සැකකරුගේ නිවස වටලා කාමරයේ සූක්ෂම ලෙස සඟවා තිබිය දී මෙම ගිනිඅවිය සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයාගෙන් මෙම ගිනිඅවිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ එම ගිනිඅවිය මියගිය සිය පියාගෙන් තමාට ලැබුණ බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙකි.

විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති විද්‍යාකීර්ති ශ්‍රී පූජ්‍ය ඇලපන්නම්කුලමේ වංසානන්ද හිමිපාණෝ අපවත් වෙයි….

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික සියඹලාගස්වැව අබිනවාරාමාධිපති තඹුත්තේගම සාසන බල මණ්ඩලයේ සභාපති විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති විද්‍යාකීර්ති ශ්‍රී පූජ්‍ය ඇලපන්නම්කුලමේ වංසානන්ද හිමිපාණෝ අපවත් වී ඇත.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

තඹුත්තේගම – බී.ඩබ්ලිව්.ඩී.ධර්මකීර්ති

රුහුණු සරසවියේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් – 6ක් රෝහලට….

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.

බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා පැමිණි සිසුන් පිරිසක් අද (14) ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව තිබුණි.

බඹර ප්‍රහාරය එල්ල වූ අදාළ සිසුන් පිරිසෙන් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා බගවන්තලව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව සඳහන්ය.

එම ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් රැසක් මෙම දිනවල නේවාසිකව නතර වී අදාළ වැඩමුළුවට සහභාගි වන බව අප වාර්තාකරු පැවසීය.

බගවන්තලව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

නව මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් වැඩ භාරගනී…..

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන රසික පීරිස් මහතා නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස අද (14) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

1998 මාර්තු 2වනදා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පත්වීම් ලැබූ ඒ මහතා, එම වසරේම සැප්තැම්බර් 15වනදා මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස සේවයට එක්ව තිබේ.

එතැන් සිට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු හා අතිරේක මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස එම දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අඛණ්ඩව අවුරුදු 27ක් සේවය කළ ජ්‍යෙෂ්ඨතම මාණ්ඩලික නිලධාරියෙක්ය.

හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාට වයස අවුරුදු හැට සම්පූර්ණවීම මත පසුගිය 13වනදා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම ධුරය මේ දක්වා පුරප්පාඩුව තිබුණි.

යතුරුපැදිකරුවෙකු හප්පා පලාගිය රියදුරා සොයයි…..

වරකාපොල පොලිස් වසමේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ 36 කන්ද කෝවිල අසලදී අද (14) අලුයම යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර වාහනයක් පලාගොස් තිබේ.

තුවාල ලැබූ යතුරුපැදිකරුවෙකු මාර්ගයේ වැටී සිටින බවට වරකාපොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලීසිය එම තුවාලකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 31ක් වූ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මෙය රිය අනතුරක් හේතුවෙන් සිදුවූ මරණයක් බවට පොලිසිය විසින් සැකකරන අතර, අනතුර සිදු කරන ලද රථය නොනවත්වා පලා ගොස් ඇත.

මෘත ශරීරය වරකාපොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වරකාපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් නොමිලයේ සෞඛ්‍ය කඳවුරක්…..

2025 දී ලෝක දියවැඩියා දිනය (නොවැ. 14) වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සමාජ සත්කාරක වැඩසටහනක් හෙට (15) ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව හෙට පෙ.ව 6.30ට දියවැඩියා පිළිබඳ දැනුම්වත්කිරීමේ පාගමනක්  කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ සිට ක්‍රියාත්මක කෙරේ.

ඉන් අනතුරුව පෙ.ව. 7.30ට සිට කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේ දී සෞඛ්‍ය කඳවුරක් ඇතුළුව දැනුම්වත්කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සියලු කටයුතු නොමිලයේ සිදුකරන බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය පවසයි.

කොටහේනේ ඝාතනයට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට……

කොටහේන ප්‍රදේශයේ දී පසුගියදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු හා සැකකාරියක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ඊයේ (13) ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන මෙම අපරාධය සිදුකිරීම සඳහා වෙඩික්කරු පැමිණි කාර් රථයේ රියදුරු ලෙස සිටි සැකකරු හා අපරාධය සිදුකිරීමට සැකකරුවන්ට නවාතැන් පහසුකම් සපයන ලද සැකකාරියක් බව පොලීසිය පවසයි.

ඔවුන්ගෙන් සැකකරු වයස අවුරුදු 27ක් වන කොළඹ 13  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරිය වයස අවුරුදු 32ක් වන මහරගම ප්‍රදේශයේ පදිංචිකාරියක්ය.

මේ වනවිට රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගනිමින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය ඔවුන්ගෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙම මස ඉකුත් 7 වනදා කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේදී මෙම මනුෂ්‍ය ඝාතනය සිදුවිය.

එහිදී ඝාතනයට ලක් වූයේ අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් ‘පූකුඩු කන්නා’ නැමැත්තාගේ ගෝලයෙකු බව විමර්ශනවලදී අනාවරණ විය.

“මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙමු ක්‍රීඩාව තුළින් ජය පරාජය ට හුරුවෙමු” ශෝධනයට ලක්වූ තරුණ ප්‍රජාවට ක්‍රීඩා වැඩසටහනක්…..

මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙමු ක්‍රීඩාව තුළින් ජය පරාජය ට හුරුවෙමු යන පරමාර්ථය පෙරදැරි කරගෙන විශෝධනයට ලක්වූ තරුණ ප්‍රජාවට ක්‍රීඩා වැඩසටහනක් මාතර කොටවිල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි .

විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අධිකරණය වෙත යොමු කරන ලද තරුණ තරුණියන් එමඟින් මුදවා ගෙන නැවත සමාජගත කිරීමේ අභිලාෂයෙන් මාතර අධිකරණ බල ප්‍රදේශයේ විශෝධන නියෝගලාභීන් සහභාගිත්වයෙන් පවත්වන ලද ක්‍රීඩා වැඩසටහන මාතර කොටවිල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි .
විනෝදය සඳහා මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරුව සිටින මෙම පුද්ගල කණ්ඩායම සඳහා විවේකය ඵලදායීව ගතකිරීමට සහ ජීවිතයට සතුට ළඟා කර ගැනීමට ක්‍රීඩාව තුළින් හැකියාව ලැබෙන බව අවබෝධ කර දීමට මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබිණි.

මෙම වැඩසටහන මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරී ජේ.එස්. අනුර රෝහණ මහතා සහ එම කාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් සංවිධානය කර තිබූ අතර වැලිගම ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී කේ.එච් තුෂාර ප්‍රියංජිත් මහතාගේ සම්පත් දායකත්වය ලබා දී තිබිණි.
මෙම අවස්ථාවට මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ වැඩ පරීක්ෂක එරංග ලංගප්පුලි මහතා සහ එච්.ජී.යූ.සම්පත් මහතා ,වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී ඊ.ඒ. චතුරි නිසංසලා මහත්මිය සහ සී.විජේසිංහ මහත්මිය,වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී පී. ජී. එන්.සී. කරුණානායක මහතා සහ ගයාන් ලසන්ත මහතා ඇතුළු නිලධාරීන්  සහභාගි විය.

News Iamges.00_00_48_04.Still963 News Iamges.00_00_48_04.Still964

වැලිගම – තරංග ගුණරත්න

රන් මිල රු 10,000කින් ඉහළට….

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ.

අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,212 පසුකර ‍ගොස් ඇත.

මෙරට රත්‍රං මිල ඊයේ දිනට සාපේක්ෂව රුපියල් 10,000කින් අද (13) දිනය වනවිට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 310,800ක් ලෙස දැක්වුණි.

ඊයේ දිනයේ එම මිල ගණන් දැක්වුණේ රු. 301,500ක් ලෙසය.

මේ අතර ඊයේ දිනයේ දී රු. 326,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 336,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.