ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව නවීකරණයට රුසියානු සහාය……

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව නවීකරණය කිරීම සඳහා රුසියාවේ තාක්ෂණික සහ ආයෝජන සහයෝගීතාව ලබාගැනීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදුව ඇත්තේ රුසියාවේ කසාන් නගරයේ පැවති XVII ජාත්‍යන්තර ආර්ථික සංසදයට සමගාමීවය.

එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහභාගී වී සිටියේය.

දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා තාක්ෂණික දායකත්වය සහ ආයෝජන සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින්, රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.

මෙම අවස්ථාවට රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් සහ නියෝජ්‍ය අමාත්‍ය ඩිමිත්‍රි ස්වෙරෙව් ද එක්ව සිටියේය.

අර්තාපල් ගොවීන්ට රජයෙන් සහනයක්…..

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් දේශීය ගොවීන්ගෙන් අර්තාපල් කිලෝග්‍රෑම් 1,000 බැගින් සෘජුව මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, එම තොග සීමාසහිත ලංකා සතොස සමාගම වෙත ලබාදී එහි සිල්ලර අලෙවි ජාලය හරහා පාරිභෝගිකයින් වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

දේශීය අර්තාපල් ගොවීන් ආරක්ෂා කිරීම සඳහා රජය විසින් මේ වනවිට ආනයනික අර්තාපල් මත කිලෝග්‍රෑමයකට රුපියල් 80ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් ද පනවා තිබේ.

නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල අස්වනු නෙළීම ආරම්භ වීමත් සමඟ අතරමැදියන් සහ තොග වෙළෙන්දන් විසින් අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 200ත් 220ත් අතර ගොවිපළ මිලක් නියම කර ඇති බව සඳහන්ය.

ඉදිරි දිනවල අස්වනු ප්‍රමාණය ඉහළ යාමත් සමඟ මිල ගණන් උච්ඡාවචනය විය හැකි බැවින්, දේශීය සැපයුම ආරක්ෂා කිරීම සහ ගොවීන්ට ස්ථාවර වෙළෙඳපොළක් ලබාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

මෙම ඒකාබද්ධ යෝජනාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගැනීමට අනුමැතිය….

2026 යල කන්නය සඳහා අවශ්‍ය වන යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා කාරක සභා මඟින් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2026 යල කන්නයේදී කුඹුරු ඉඩම් හෙක්ටයාර 550,000ක් වගා කිරීමට මුලින් ඇස්තමේන්තු කර තිබුණ ද, වත්මන් තත්ත්වය අනුව එය හෙක්ටයාර 450,000ත් 500,000ත් අතර ප්‍රමාණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ සඳහා යූරියා පොහොර මෙට්‍රික්ටොන් 75,000ක් පමණ අවශ්‍ය වන බව ගණනය කර ඇති අතර, රට තුළ පැවති පොහොර සංචිතවලින් මේ වනවිට මෙට්‍රික්ටොන් 48,297.87ක් ගොවිජන සේවා කාරක සභා මඟින් මිලදී ගෙන බෙදාහැරීම සිදුකරමින් පවතින බව සඳහන්ය.

2026 අප්‍රේල් 06 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී, කිලෝග්‍රෑම් 50ක යූරියා පොහොර මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට ගොවීන් වෙත ලබාදීමට ද අනුමැතිය ලබාදී තිබිණි.

ඒ අනුව, යල කන්නය සඳහා තවදුරටත් අවශ්‍ය වන යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගෙන ගොවීන් වෙත සැපයීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

රාජ්‍ය බැංකුවක ඩොලරයේ විකුණුම් මිල රු. 340 ඉක්මවයි…..

අද (19) දිනයේ රාජ්‍ය බැංකුවක අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 341.68ක් ලෙස සටහන් ව තිබේ.

එහි ගැණුම් මිල ලෙස දැක්වුණේ 332.14ක් ලෙසය.

මේ අතර,  ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද (19) දිනයේදී රුපියල් 338 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතික වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව, මහ බැංකුවේ අද දින විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.2351ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 338.0729ක් ලෙසත් සටහන් වී තිබේ.

ඊයේ (18) දිනයේදී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.74ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 334.26ක් ලෙසත් වාර්තා වී තිබුණි.

පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබානොදීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්…..

රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබා නොදීම පිළිබදව ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභික ආචාර්ය සුපුන් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් අද (19) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුව අසල පිහිටා ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සඳහා ඊයේ (18) ජාතක නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ තිබුණි.

නමුත්, එම අවස්තාවේදී ආරක්ෂක අංශ නිලධාරීන් විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට රණවිරු ස්මාරකය අසලට ගොස් පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබා නොදීමත් සමඟ නොසන්සුන්තාවයක් ඇති විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අද පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන උත්සවයේ අනෙකුත් සංවිධාන කටයුතු පැවැත්වෙමින් පෙරහුරුව කාර්යයන් සිදුකරමින් තිබෙන අවස්ථාවේ විමල් වීරවංශ මහතා ඇතුළු 35 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පෙරහුරු කටයුතු වලට හා නිලධාරින්ගේ රාජකාරියට බාධා වන අයුරින් අනවසරයෙන් රණවිරු ස්මාරක භූමිය වෙත ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවය.

එබැවින් එම අවස්ථාවේදී පොලිස් නිලධාරින් විසින් එම උත්සාහය ව්‍යථ කර එහි රැඳී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව පොලීසිය පවසා තිබුණි.

ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමට එරෙහිව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්‌ග ගැනීමට නියමිත බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

ඇමති නලින්ද 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි….

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79වන ලෝක සෞඛ්‍ය සමුළුව ඊයේ (18) ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ දී ආරම්භ විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙවර සමුළුව නියෝජනය කරනු ලබයි.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (19)79වන ලෝක සෞඛ්‍ය සමුළුව අමතනු ලැබීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr.Tedros Adhanom Ghebreyesus මහතා ලෝක සෞඛ්‍ය සමුළුව නිල වශයෙන් විවෘත කළ අතර සමාජික රටවල් 194ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටී.

මෙවර සමුළුවේ තේමාව “One world for Health” යන්නයි.

මෙම තේමාව යටතේ ගෝලීය සෞඛ්‍ය අභියෝග, වසංගත සඳහා සුදානම සහ විශ්ව සෞඛ්‍ය ආවරණය පිළිබඳව සාකච්ඡා, වැඩමුළු, සැසි, දේශන ගණනාවක්ම පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ AI හා ඩිජිටල් පරිවර්තනයට Gates පදනමේ සහාය……

සිංගප්පූරුවේ පැවැත්වෙන ‘Asia Tech 2026’ සමුළුවට සමගාමීව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය වේගවත් කිරීම අරමුණු කරගනිමින් Gates Foundation සමඟ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි (AI) උපායමාර්ගය සහ “AI for Public Good” වැඩපිළිවෙළ සඳහා තාක්ෂණික සහ උපදේශන සහයෝගීතාව ලබාගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ කෙටුම්පත් කර ඇති AI ප්‍රතිපත්ති මාලාව Gates Foundation විසින් සමාලෝචනය කිරීමටත්, ඩිජිටල් රාජ්‍ය යටිතල පහසුකම් සහ දත්ත මත පදනම් වූ උපායමාර්ග ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වය අතර තාක්ෂණික සංවාද ආරම්භ කිරීමටත් එකඟතාව පළ වී ඇත.

තවද, “Inclusive Digital Agriculture Transformation” (IDAT 2) ව්‍යාපෘතියේ මීළඟ අදියර ගොවි-කේන්ද්‍රීය ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී තීරණය කර තිබේ.

ගොවීන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීම, වෙළෙඳපොළ ප්‍රවේශය වර්ධනය කිරීම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ AI තාක්ෂණය ඔස්සේ ඩිජිටල් උපදේශන සේවා ලබාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී ඇත.

තවද, සිංගප්පූරුවේ “AI Singapore” ආයතනය සහ ඉන්දියාවේ “EkStep” වැනි Digital Public Goods පද්ධති සමඟ සහයෝගීතා වර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

මීට අමතරව, ගෝලීය ඩිජිටල් හැඳුනුම්පත් (Digital ID) ක්‍රියාවලීන්ගෙන් ප්‍රායෝගික පාඩම් ඉගෙනීම සඳහා ගොව්ටෙක් (GovTech) ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරීවරයාට බැංගලෝරයේ විශේෂ දැනුම හුවමාරු කරගැනීමේ චාරිකාවකට ද මෙහිදී ආරාධනා ලැබිණි.

මෙම හමුව සඳහා Hari Menon ඇතුළු Gates Foundation නියෝජිතයන් ද එක්ව සිටියහ.

රටම එකට ජාතික මෙහෙයුම් සභාව රැස්වෙයි…..

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව විනාශ කිරීමට අවශ්‍ය වන නීති සංශෝධනය කිරීම පිළිබඳ මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූ අතර, එම නීති සංශෝධනවල අවසාන අදියර කඩිනමින් සම්පූර්ණ කිරීමටත් අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි

මෙහිදී අදාළ නීති සංශෝධනයට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ යෝජිත නීති සංශෝධන සහ එහි නෛතික රාමුව ජාතික සභාවේ අවධානයට ලක් කරන ලදී.

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව විනාශ කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණු අතර, ඒ පිළිබඳව ජාතික සභාවේ අදහස් සහ යෝජනාද ඉදිරිපත් කෙරිණි.

අදාළ නව සංශෝධන ඉදිරියේදී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

නිශාන්ත ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්, සිවා ශ්‍රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහු සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ ආයතන ප්‍රධානීහුද, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආරක්ෂක නියෝජ්‍ය ඇමති මිහිඳු සෙත් මැදුරේ රණවිරු සුවදුක් විමසයි….

ජාතික රණවිරු අනුස්මරණ දිනය නිමිති කරගෙන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා අද (19) අත්තිඩියේ පිහිටි මිහිඳු සෙත් මැදුර රණවිරු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

යුද්ධ හා නාවික හමුදාපතිවරුන් සමග එහි පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් දශක කිහිපයක් පුරා පැවැති සන්නද්ධ ගැටුම්වලදී තම ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැද බරපතළ තුවාල ලබා දැනට එහි නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝධාර රණක්ෂිතයට පත් රණවිරුවන් පෞද්ගලිකවම හමුවෙමින් ඔවුන්ගේ සුවදුක් සහ අවශ්‍යතා පිළිබඳව සොයා බැලීය.

මෙම සංචාරයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිස රණවිරුවන් සමග ඉතා සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ වත්මන් අවශ්‍යතාවයන් පිළිබඳව අවධානය යොමු කළ අතර ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වෛද්‍ය පුනරුත්ථාපන සහ සෙසු සුබසාධන සේවාවන්හී වත්මන් ප්‍රගතියද නිරීක්ෂණය කළේය.

යුද සමයේදී මෙම රණවිරුවන්ගේ කැපවීම අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් රජයේ නොමද සහයෝගය සහ උපරිම දායකත්වය අඛණ්ඩව ලබා දෙන බවටද මෙහිදී සහතික විය.

එමෙන්ම රණක්ෂිතයට පත් රණවිරුවන් රැකබලා ගැනීම සහ පුනරුත්ථාපනය කිරීමේ උදාර කාර්යභාරය වෙනුවෙන් මිහිඳු සෙත් මැදුරේ ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා සහාය වූ සමස්ත කාර්ය මණ්ඩලය වෙත නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.

එමෙන්ම මෙම රණවිරුවන් වෙනුවෙන් ආදරණීය සැලකිල්ල නොඅඩුව ලබා දෙමින් ඔවුන් ඉටුකරන සත්කාර සේවයද මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයිමටද ලක්විය.

සීනි බදු වංචාව යළි කරළියට – නඩුව සලකා බලන්නත් දිනදෙයි……

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවා තිබූ බදු අඩු කිරීමේදී රජයට සිදුවූ රුපියල් කෝටි 1,590 ක් පාඩුව අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූනි මස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම අද (18) ශිරාන් ගුණරත්න සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා ජූනි මස 27 වනදා කැඳවන ලෙසය.

අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා, පිරමීඩ් විල්මා පෞද්ගලික සමාගම, එහි අධ්‍යක්ෂ සජාත් මවූසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා,  සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ දේශීය සීනි නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා 2020 වසරේ දී ආනයනික සීනි සඳහා රුපියල් 50/- ක බද්දක් පැනවූ අතර පසුව එම බද්ද ශත 25 ක් දක්වා අඩු කෙරුණු බවය.

මෙසේ බද්ධ අඩු කිරීමෙන් ලැබෙන සහනය පාරිභෝගිකයින්ට නොලැබුණු බවත් එය වග උත්තරකාර සමාගම් විසින් අත්පත් කර ගැනීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

මෙසේ බදු අඩු කිරීම නිසා රජයට අහිමි වූ රුපියල් කෝටි 1,590 කට අධික මුදල යලි අය කරගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.