2025 පළමු මාස 9දී සෘජු විදේශ ආයෝජන ඇ.ඩො මිලියන 827ක් දක්වා ඉහළට…..

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතීන් හරහා සෘජු විදේශ ආයෝජන ගලා ඒම 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ, ආයොජනයන් සඳහා ලබා ගන්නා ලද විදේශ වාණිජ ණය ඇතුලුව ඇ.ඩො.මිලියන 827 දක්වා ලඟා වූ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOl)නිවේදනය කළේය.

එය 2024 අනුරූප කාලපරිච්ඡේදය හා සසඳන විට කැපී පෙනෙන  138% ක වැඩිවීමක් සනිටුහන් කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම ආයෝජන ගලා ඒම පහත පරිදි මූලාශ්‍ර හතරකින් සිදු වේ.

*කොටස් ප්‍රාග්ධනය – ඇ.ඩො.මිලියන 133යි
*නැවත ආයෝජනය කරන ලද රඳවාගත් ඉපැයීම් – ඇ.ඩො.මිලියන 132යි
*ආයෝජන සඳහා අන්තර් සමාගම් විදේශීය ණය ගැනීම් – ඇ.ඩො.මිලියන 231යි
*ආයෝජන සඳහා දිගුකාලීන විදේශ වාණිජ ණය – ඇ.ඩො.මිලියන 331යි

මෙම සෘජු විදේශ ආයෝජන ලැබීම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ 2025 දී අත්සන් කරන ලද ව්‍යපෘති ගිවිසුම් හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 124ක් ලෙස ළඟාකර ගන්නා ලද අතර, ඉතිරිය පවතින ව්‍යපෘති විසින් නැවත ආයෝජනය කිරීම සහ පුළුල් කිරීම තුළින් උත්පාදනය කරන ලදී.

මෙම ප්‍රගතිය නව ආයෝජකයින්ගේ වර්ධනය වන විශ්වාසය සහ ශක්තිමත් ව්‍යාපාරික පරිසරයක් යටතේ තම මෙහෙයුම් පුළුල් කිරීමට පවතින ආයෝජකයින්ගේ අඛණ්ඩ කැපවීම යන දෙකම පිළිබිඹු කරන බව සඳහන් වේ.

මීට අමතරව, 2025 පළමු මාස නවය තුළ ආයෝජන මණ්ඩල ව්‍යාපෘති 163 කින් ඩොලර් මිලියන 326 ක දේශීය ආයෝජනයක් ද සිදු කරන ඇති බව එම නිවේදනයේ දැක්වේ.

බිඳවැටුණූ Online සේවාවන් යථාතත්ත්වයට…..

බිඳවැටීමට ලක්ව තිබූ ‘ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්’ සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන් ම විසඳා ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අක්‍රීය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන් අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට භාවිතා කළ හැකි බවය.

‘ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්’ සේවාවේ ඇති වු අක්‍රියතාවක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට තාවකාලිකව බාධා එල්ල වී තිබුණි.

රාජ්‍ය ආයතන 34ක පමණ සේවාවන්වලට සතියකට අධික කාලයක් මෙමඟින් බලපෑම් එල්ල වී තිබු බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කළේය.

පැවති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කරමින් පද්ධතියේ ස්ථාවරත්වය මේ වන විට තහවුරු කර ඇති අතර බිඳ වැටුනු සේවාවන් අධියර වශයෙන් සක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සහ කාර්යයන් වෙනස් වෙයි…..

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ පසුගියදා සිදුවූ සංශෝධනයත් සමග මෙම විෂය පථයන් සංශෝධනය කර ඇති බව සඳහන්ය.

එම සංශෝධනවලට අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ පැවති පුනරුත්ථාපන කාර්යංශය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු  කටයුතු අමාත්‍යංශයට පවරා තිබේ.

ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පැවති සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සංස්ථාව, වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයට ද, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පැවති සීමාසහිත සැලසිනේ මීඩියා සොලියුෂන්ස් පුද්ගලික ආයතනය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ද පත්කර ඇති බව වාර්තා වේ.

පරිසර අමාත්‍යංශය යටතේ පැවති භූ විද්‍යා, සමීක්ෂණ හා පතල්  කාර්යංශය කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතටත්, කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය යටතේ පැවති කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතටත් පත්කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර බලශක්ති අමාත්‍යංශය යටතේ පවතින ලංකා විදුලිබල සමාගම සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම ලෙස සංශෝධනය කිරීමට කටයුතු කර ඇති අතර විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ හඳුන්වාදුන් නව ආයතන 4 ද මෙම නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්ය.

පසුගියදා සිදුවූ කැබිනට් සංශෝධනයෙ දී හඳුන්වාදුන් අමාත්‍යංශවල විෂය පථයන් ද මෙම නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

රුහුණේ කෘෂිකර්ම පීඨයේ සිසු ගැටුමක්….

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ සිසුන් සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා එම වසරවල් දෙකේ සිසුන් තාවකාලිකව අදාළ පරිශ්‍රයෙන් ඉවත් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

ඊයේ (19) පැවැති ක්‍රිකට් තරගයක ලකුණු සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමක් හේතුවෙන් ගැටුම හටගෙන ඇති අතර පසුව එය සමථයකට පත්වී ඇත.

කෙසේවෙතත් අද (20) දිනයේදී ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවීම හේතුවෙන් සිසුන් 6 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

මේ වනවිට අදාළ ගැටුමට සම්බන්ධ සිසුන් කඹුරුපිටිය පොලීසියට ගෙන්වා විමර්ශන සිදුකරමින් සිටින බවද වාර්තා වෙයි.

සුරාබදු ලොක්කාගේ ප්‍රකාශයෙන් නිලධාරීන් කැලඹෙයි – දැඩි විරෝධය පා නිවේදනයකුත්…

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා ඉකුත් 17 වනදා වෘත්තීය සමිති රැස්වීමකදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව දැඩි විරෝධය පළ කර තිබේ.

එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තුළ සේවය කරන 20% – 30% අතර ප්‍රමාණයක් දූෂිත නම් දෙපාර්තමේන්තු ආදායම් ඉලක්කය අබිබවා එය 107% ක් දක්වා ඉහළ බව ප්‍රකාශ කරේ කෙසේද ? යන්නය.

එකී කරුණු අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් කරන ලද ප්‍රකාශ පදනම් විරහිත හිතළුවක් බවට සහ සුරාබදු නිලධාරීන් අපහසුතාවයට පත් කිරීම සඳහා රාජ්‍ය පාලනය හා බදුකරනය සම්බන්ධ නොදැනුවත්කම මත කරන ලද ප්‍රකාශයක් බවට සිය වෘත්තීය සමිති එකමුතුවේ විධායක සභාව තීරණය කර ඇති බවද පෙන්වා දෙයි.

එහෙයින් මෙම ප්‍රකාශ කිරීම් සම්බන්ධයෙන් හෙට (21) දිනයේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා හමුවී දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර අදාළ ප්‍රකාශය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටීමටත් විධායක සභාව තීරණය කළ බව දැනුම්දෙයි.

එසේ නොවන්නේ නම් ඊට එරෙහිව ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවද සඳහන් කරයි.

මහ බැංකු අධිපතිට ගෝලීය ඇගයුමක්….

2025 World’s Best Bank සම්මාන උළෙලේ දී, ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් “A ශ්‍රේණියේ” සම්මානය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත පිරිනා තිබුණි.

විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්ත්ව හමුවේ මහ බැංකුවට ලබාදුන් නායකත්වය ඇගැයීමක් වශයෙන් මෙම සම්මානය ඔහුට හිමිව ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්, පසුගිය ඔක්තෝබර් මස 13 සිට 18වන දින දක්වා වොෂින්ටන් ඩී.සී.හි පැවති ලෝක බැංකු සමූහයේ/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2025 වාර්ෂික රැස්වීම් සඳහා එක් විය.

ඒ අතරවාරයේ පැවති 2025 වර්ල්ඩ් බෙස්ට් බෑන්ක් සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෙලෙස සම්මානයෙන් පිදුම් ලබා තිබුණි.

ගුවන්තොටේ දී නිකුත් කරන රියදුරු බලපත්‍රයේ ගාස්තුව රු 15000ක් දක්වා ඉහළට…..

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් නිකුත් කරන රියදුරු බලපත්‍රය සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 2,000 සිට 15,000 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ප්‍රවාහන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරු ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවය.

නමුත් එම නිවේදනයේ ඩොලර් වලින් ගෙවිය යුතු මුදල සඳහන් ව ඇති බැවින් එය නැවත රුපියල් යනුවෙන් වෙනස් කර, එළැඹෙන සතියේ යළි ගැසට් නිවේදය නිකුත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරරටත් පැවසීය.

මෙම පහසුකම ඉදිරියේදී විදේශිකයන්ට පමණක් නොවන බවත් වසර ගණනාවකට පසු නැවතත් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ද අදළ ගාස්තු ගෙවා ලබාගත හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“ප්‍රවාහන අමාත්‍යංශය තීන්දුවක් ගත්තේ අපේ රටට පැමිණෙන විදේශිකයන්ට පමණක් නෙමෙයි ලංකාවෙන් බැහැරව ඉන්නවා ලක්ෂ 35කට ආසන්න ශ්‍රී ලාංකිකයෝ.  එතනත් බහුතරයක් ඉන්නවා ඒ රටවල වසර 10ක් 15කට වඩා වැඩිය ඒ රටවල ජීවත්වන අය. ඒගොල්ලෝ ලංකාවට ආවම එයාලටත් මේ අවශතාවය පැන නගිනවා. සංචාරකයින්ට පමණක්ම නෙමෙයි. රාජතාන්ත්‍රිකව කටයුතු කරන අපේ තනාපති කාර්යිල වල ඉන්න අයටත් ඒ අවශ්‍යතාවය තියෙනවා.”

“ආයෝජකයෝ ගෙන්න ගත්තම, අලුත් ව්‍යාපාර පටන් ගත්තාම ඒ ආයතනවල සේවා සපයන අයටත් ඒ අවශ්‍යතාවය තියෙනවා.”

“ඒ රියදුරු බලපත්‍රය ලබාදෙන්න ගන්න මුදල මදී. රුපියල් 2000ක් වගේ පුංචි ගානක්. අපි ඒක ප්‍රවාහන අමාත්‍යංශයත් එක්ක කතා කළා. එකඟතාවයකට ආවා ඒ මුදල වැඩි කරන්න.

“අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කළා ඒ ගැසට් එකේ තියෙන්නේ ඩොලර්ස් වලින්. ප්‍රවාහන අමාත්‍යංශයට නීතිමය හැකියාවක් නෑ ඩොලර්ස් වලින් සල්ලි ගන්න. ඒ නිසා නැවත ගැසට් එක රුපියල්වලට වෙනස් කරන්න ඕනේ. ඒක ලබන සතියේ අඟහරුවාදා වෙනස් කරලා නීතිපතිට ආපහු යවනවා. ඒ කටයුත්ත අවසන් වුණාම ලංකාවට පැමිණෙන ඒ අයට දැනට බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙන්  රියදුරු බලපත්‍රයක් ලබා දීමේදී මාසයක කාලයකට පමණක් ලබා ගන්න රියදුරු බලපත්‍රයක් සඳහා රුපියල් 15,000ක් අයකරනවා. ඒ කියන්නේ ඩොලර් 50ක් අයකරනවා. මාස 2ක් වෙනකොට ඒක තවත් වැඩි කරනවා. මාස 3ක් වෙනකොට තවත් වැඩි වෙනවා. ඒ නිසා රුපියල් 2,000ට ඒ ලබා දීපු ඒක අපි වෙනස් කරලා. ප්‍රවාහන අමාත්‍යංශය එකඟ වෙලා තියෙනවා. විශේෂයෙන්ම රියදුරු සේවයේ ඉන්න අයට තමන්ගේ රැකියාව නැති වෙනවා කියලා බියක් සැකයක් ඇති කරගන්න ඕනේ නෑ. ”

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 500කට වැඩි පිරිසක් පීඩාවට…..

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 03ක පුද්ගලයින් 500කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණයෙන් සිදු වූ අනතුරුවලින් නිවාස 101කට අර්ධ හානි සිදුව ඇති අතර මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

එමෙන්ම ගතවු පැය 12ක කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයට බලපෑ ක්ෂණික ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 73 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේය.

මේ අතර ගත වූ දින කිහිපයේ ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා ඇති ගංගා රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස් සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ කැළණි, කළු සහ අත්තනගලු ඔය යන ගංගාවල ද ජල මට්ටම් ඉහළ යමින් පවතින බවය.

මේ අතර අද උදෑසන 6.00න් අවසන් වු පැය 12ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කඩුගන්නාව ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මිලිමීටර් 169ක වර්ෂාපතනයක් මෙලෙස වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

මීට අමතරව යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මිලිමීටර් 158කත්, රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මිලිමීටර් 145ක වර්ෂාපතනයක්  ද පැවති බව සඳහන් වේ.

අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදිනි කරුණාපාල මහත්මිය පැවසුවාය.

Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීම අද සිට දකුණු පළාතටත්…..

දකුණු පළාත තුළ අද (20) සිට Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ අවස්ථාව සලසා දී තිබේ.

මේ අනුව රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම මේ වන විට බස්නාහිර පළාත සහ දකුණු පළාත ආවරණය කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා අද පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

දකුණු පළාත ආවරණය කිරීමේදී එම පළාත තුළ පිහිටි පොලිස් ස්ථාන වෙත ජංගම දුරකථන 400කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති බවත් ඔහු පැවසීය

එමෙන්ම ඉදිරියේදී මෙම ක්‍රමය උතුරු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවත් මේ වසර අවසානයට පෙර ලංකාව පුරා පිහිටි සියලුම පළාත් තුළ අන්තර්ජාලය හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම ආවරණය කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.

ඉන් අනතුරුව මෙහි දෙවැනි අදියර ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව අකුසලතා ක්‍රමවේද හඳුන්වාදීමට පියවර ගන්නා බවත් පැවසූ ඒ මහතා මෙම ක්‍රියාවලිය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සහ රථවාහන දෙපාර්තමේන්තුවද මෙම ක්‍රමවේදය හරහා සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

එමෙන්ම මෙම රථවාහන දඩමුදල් Gov Pay හරහා ගෙවීමේ ක්‍රියාවලියේදී වැඩිම දඩ මුදල් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් අය වී ඇති බවත් මේ වන විට රථවාහන වැරදි 20,000කට ආසන්න ප්‍රමාණයකින් රථවාහන දඩ මුදල් ලෙස රුපියල් මිලියන 30කට ආසන්න ප්‍රමාණයක් එකතු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම මෙම ක්‍රියාවලිය ආරම්භ වූ පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ආයතන 170ක් සම්බන්ධ වී ඇති බවත් රුපියල් මිලියන 400කට අධික ගෙවීම් මෙම Gov Pay පද්ධතිය හරහා නොයෙකුත් රාජ්‍ය ආයතනයන් වෙත ගෙවීම් සිදුකර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

යළිත් හිස ඔසවන ඩෙංගු – මරණ 22ක් දක්වා ඉහළට……

දිවයිනේ දිස්ත්‍රික්ක 11ක යළිත් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සදහන් කළේ වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන් බෝ වීම ඉහළ ගොස් ඇති බවය.

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,392 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 22ක් සිදු ව තිබේ.

පවතින තත්ත්වය හමුවේ ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය වැඩිදුරටත් සදහන් කළේය.