අත්හැරීම ගැන කාදිනල් හිමියන් දුන් පණිවුඩය….

මිනිසුන් තුළ අධ්‍යාත්මික සංවර්ධනයක් සිදුවිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ආගම දහමට අනුකූලව ජීවත් වීමට සියලු දෙනාම අදිටන් කර ගත යුතු බවය.

දොඩංගොඩ සපුගහවත්ත ප්‍රදේශයේ දේවස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කළේය.

එමෙන්ම උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ සෑම පුද්ගලයෙකුටම වැදගත් වන්නේ සමාජයේ ජීවත්වන ආකාරය මිස එක්රැස් කරගන්නා දේවල් නොවන බවය.

එහිදි අදහස් දැක්වු අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

”ආදරණීය සහෝදර, සහෝදරියනි, අපි මේ ජුබිලි උත්සවය පවත්වලා, මේ පල්ලි හදලා වැඩක් නැහැ. මේවා ගොඩනැගිලි විතරයි. අපි හැදෙන්නට ඕනේ ඔක්කොටම ඉස්සෙල්ලා. එහෙම නැත්නම් ජීවිතයෙන් වැඩක් නැහැ. ඕක තිබිලා නැතුව යනවා. මේ ලෝකයේ අපි එකතු කරන කිසි දෙයක් අරන් යන්න බැහැනේ. මට මතකයි මම පල්ලියක ඉන්නකොට දවසක ගියා එක ගෙදරක මනුස්සයෙක් මැරිලා. ඉතින් එයාගේ නෝනා පපුවට ගහගන්නවා, විලාප තියෙනවා. මම අද උඹත් එක්ක වලට පැනලා මැරෙනවා සයිමන් අයියේ කිය කිය පපුවට ගහගන්නවා මෙයා. ඉතින් මම කිව්වා මේ පොඩ්ඩක් ඉන්න. නිශ්ශබ්ද වෙන්න කියලා. දැන් ඉතින් කොහොමහරි ආශිර්වාද කරලා මිනී පෙට්ටිය වහන්න යනකොට ඒ අර පනිනවායි කියපු ගෑණු කෙනාම නැමිලා අර මනුස්සයාගේ ඇඟිල්ලේ තියෙන රත්තරන් මුද්ද ගලවගත්තේ නැද්ද ඒක ගෙනියන්න දුන්නෙත් නැහැ. වලට පනිනවායි කියපු එක්කෙනා තමයි මුද්ද ගලව ගත්තේ. ඉතින් එකක්වත් අරන් යන්න හම්බවෙන්නේ නැහැ. සේරම තියලා යන්න ඕනේ. 

එහෙම නම් අද සමාජයේ තියෙන්නේ පරිභෝජනවාදය සමහර ඈයෝ ගිහිල්ලා අර කරත්තයක් උස්සගෙන යනවා ඇතුළට. ඕන කරන දේත් ඕන කරන්නේ නැති දේත් දාගෙන ඇවිල්ලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා ඒවා විසිකරලා දානවා. නැත්නම් මේ ගෑණු උදවිය යනවා ෆැෂන්. ඔක්කොම යනවා අර රෙදි කඩවලට. රෙදි කඩවලට නත්තල් කාලේ එනකොට සිංහල අවුරුදු කාලේ එනකොට පෝලිම. අරන් ඇවිල්ලා අල්මාරියේ දාලා තියෙනවා. කවදාවත් පාවිච්චි කරන්නෙත් නෑ. මේකට තමයි කියන්නේ පරිභෝජනවාදය කියලා. අද සමාජයේ අපිට තියෙන්නේ අන්න ඒක තමයි. පුළුවන් තරම් එකතු කරන්න, එකතු කරන්න, එකතු කරන්න. කිසි දෙයක් අරන් යන්න බැහැ. හදිස්සියේ එන්න පුළුවන් කැඳවීම. ක්‍රිස්තු වර්ෂ 2150 වෙනකොට, මෙතන ඉන්න එක්කෙනෙක්වත් ජීවතුන් අතර නැහැ. ඒක මතක තියාගන්න.”

කුලී පදනම මත නිවසක් ලබා ගනිමින් කුෂ් වගා කළ විදෙස් ජාතිකයෙකු අල්ලයි…..

අක්මීමන ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක කුෂ් වගාකළ බෙලරූස් ජාතිකයෙකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ නිවසේ කාමර දෙකක් තුළ ඔහු සූක්ෂ්ම ලෙස මෙම කුෂ් වගාව සිදු කර ඇති බවය.

මෙරටට පැමිණෙන විදේශිකයින්ට අලෙවි කිරීම සඳහා ඔහු ඒවා වගා කර ඇති බව පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අදාළ නිවස කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට අයත් නිවසක් වන අතර සැකකරු විසින් අදාළ නිවස කුලී පදනම මත ලබා ගෙන ඇති අතර ඒ සඳහා මසකට රුපියල් ලක්ෂ එකහමාරක කුලී මුදලක්ද ගෙවා ඇති බවත් සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතා විසින් සිදුකරනු ලබයි.

ජාතික දීපාවලී උත්සවය හැටන් මාණික්කපිල්ලෙයාර් කෝවිලේදී…..

හෙටට යෙදී ඇති දීපාවලී උත්සවය සිහිපත් කරමින් ජාතීක දීපාවලී උත්සවය අද පෙරවරුවේ හැටන් ශ්‍රී මාණික්කපිල්ලෙයාර් හින්දු කෝවිලේදී පැවැත්විය.

ඒ බුද්ධශාසන, ආගමික හා සංස්තකෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙනි.

කෝවිලට පැමිණි පිරිස පිළිගනු ලැබුවේ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නියෝජනය කරන හින්දු භක්තික නිලධාරීන් විසිනි.

මෙහිදී මාණික්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේ ප්‍රධාන පූජක ශිව ශ්‍රී සත්ගුණ සංමධුර කුරුක්කල්තුමා විසින් ජාතික දීපාවලී උත්සවයට පැමිණි ආරාධිතයන් වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක් පවත්වනු ලැබීය.

එය සංවිධානය කර තිබුණේ මාණික්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේ භාරකාර මණ්ඩලය විසිනි.

කෝවිලේ පැවති ආශිර්වාද පූජාවෙන් අනතුරුව අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා ඇතුලු පිරිස හින්දු චාරිත්‍රාංගවලින් සමන්විත විශේෂ පෙරහැරකින් හැටන් උත්සව ශාලාවක් වෙත කැදවාගෙන යනු ලැබීය.

එහිදී පැවති උත්සවයේදී පාසල් ළමුන් විසින් හින්දු සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කරනු ලැබූ අතර ජාතික දීපාවලි උත්සවය නිමිත්තෙන් සමරු තැපැල් මුද්දරයක්ද නිකුත් කෙරිණි.

මේ අතර හෙටට යෙදී ඇති දීපාවලි උත්සවය නිමිත්තෙන් පොලිස් මුලස්ථානය මඟින් හින්දු ආගමික පොලිස් නිලධාරින් වෙනුවෙන් සංවිධාන කළ දීපාවලි උත්සවය බම්බලපිටිය කදිරේෂන් කෝවිල් උත්සව ශාලාවේදී ඊයේ පැවැත්විය.

මෙම අවස්ථාවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර හා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්….

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් මතුගම ප්‍රදේශයේ කාන්තාව එළැඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

සැකකාර ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් මතුගම වැලිපැන්න නිවසේ හිමිකාරිය වූ 52 හැවිරිදි වූ මෙම කාන්තාව පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ගම්පහ බබා දුන් තොරතුරකට අනුව T56 ජීව උණ්ඩ 50ක් සොයාගනී….

නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ගම්පහ බබා’ නැමති සැකකරුගෙන් අනාවරණ කර ගත් තොරතුරකට අනුව T – 56 උණ්ඩ 50ක් සොයා ගෙන තිබේ.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන ගම්පහ බබා නැමැත්තා ඊයේ (18) පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත රැගෙනවිත් තිබුණි.

එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු අනුව මෙම ජීව උණ්ඩ 50ක පමණ ප්‍රමාණයක් කඳාන කෙරවලපිටිය අධිවේගි පිවිසුමේ කණුවක් අසල තිබි සොයා ගෙන ඇත.

අදාළ පතොරම් තොගය වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුට ඒවා ලබාදී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ විසින් බව අනාවරණ කර තිබුණි.

රාජ්‍ය ආයතන කිහිපයක ඇනහිටි මාර්ගගත සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම තවදුරටත්…

ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud – LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට ඇති වූ තාවකාලික බාධා වීම් තවදුරටත් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

එම ආයතනය සඳහන් කරනුයේ මෙම බාධාවන්ට මූලික හේතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා සිය ආයතනයේ ඉංජිනේරුවන් සහ සේවා සැපයුම්කරුවන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් දිවා රෑ නොබලා කටයුතු කරන බවය.

කෙසේ වෙතත් මෙම සිදුවීම හරහා කිසිදු දත්ත හානියක් හෝ ආරක්ෂක ක්‍රමවේදයන්ට බලපෑමක් සිදුව නොමැති බවත් එම ආයතනය පවසයි.

එමෙන්ම දත්තවල අඛණ්ඩතාවය සම්පූර්ණයෙන්ම සුරක්ෂිතබව පවතින අතර තීරණාත්මක පද්ධති පූර්ණ සුරක්ෂිතතාවයෙන් යුතුව ක්‍රියාත්මක වන බවත් එම ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

එම ආයතනය පැවසුවේ මේ හේතුවෙන් මහජනතාවට ඇතිවන අපහසුතා අවම කිරීම සඳහා සහතික පිටපත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගැනීම් වැනි බලපෑමට ලක්වූ සේවාවන් සඳහා වූ විකල්ප ක්‍රමවේද තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

පසුගියදා එම සේවාවේ ඇති වූ අක්‍රීයතාවයක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් මගින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් රැසකට බාධා එල්ල විය.

මෙම සේවාවන් අතරට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ (BMD) සහතික නිකුත් කිරීමේ පද්ධතිය, පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (බස්නාහිර පළාත හැර) මාර්ගගත ආදායම් බලපත්‍ර පද්ධතිය (eRL 2.0), පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිෂ්කාශන සහතික පද්ධතිය, වාණිජ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත රට සහතික නිකුත් කිරීමේ මාර්ගගත පද්ධතිය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් පද්ධතිය, ඊ – පළාත් පාලන පද්ධතිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක වෙබ් අඩවි ඇතුළත් වේ.

පුංචි පුතෙකුට දිවි අහිමි කළ මාරක අනතුර….

වාලච්චේන කාවත්තමුන ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් ට්‍රැක්ටරයක ගැටී සිදු වූ අනතුරකින් 9 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

ඊයේ දහවල් කාලයේදි අතුරු මාර්ගයක ධාවනය වූ අදාල ත්‍රීරෝද රථය මාර්ගය අයිනේ නතර කර තිබූ අත් ට්‍රැක්ටරයක ගැටී අනතුර සිදුව ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ ගමන්ගත් පිරිමි දරුවෙකු වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මෙලෙස මියගොස් ඇත්තේ වාලච්චේන කාවත්තමුන ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර සිද්ධියට සම්බන්ධ ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

වාලච්චේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර, මිහින්තලය සීප්පුකුලම ගලෙන්බිඳුනුවැව පාළුවැව ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ගලෙන්බිඳුනුවැව පාළුවැව ප්‍රදේශයේදී ගලෙන්බිඳුනුවැව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ කැබ් රථයක ගැටී අදාළ අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු තම්මැන්නාව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සදහන් වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි සීප්පුකුලම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධියට සම්බන්ධ කැබ් රථයේ රියදුරු පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් මැලේරියා රෝගීන් 35ක්…..

වසරේ ගෙවුණු කාලය තුළ පමණක් මැලේරියා රෝගීන් 35 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.

ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව ඔවුන් සඳහන් කළේය.

2016 වසරේ ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස නම් කෙරුණු අතර විදෙස් ගතව සිට පැමිණෙන පුද්ගලයින්ගෙන් මෙම රෝගය වාර්තා වන බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න මහත්මිය සඳහන් කළේ 071 284 1767 යන දුරකතන අංකය ඔස්සේ මැලේරියා රෝගය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතින බවය.

කාලගුණයෙන් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්….

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වඩා තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්ව තිබේ.

තද වැසි සමග ඇති විය හැකි සුළං සහ ප්‍රබල අකුනු මගින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ….

2025 අගෝස්තු මස 10 වන දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.

එමෙන්ම ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 1911, 0112784208, 0112784537, 0112785922 0112784422 යන දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකි බවද සඳහන් වේ.