පවුල් සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක්…..

පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැන නැගී ඇති ගැටළු විසඳීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කිරීමටත් එම කමිටුව කරුණු අධ්‍යනය කර ලබා දෙන නිර්දේශ සහ නිර්ණායක මත එම ගැටළු කඩිනමින් විසඳීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි.

පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැන නැගී ඇති ගැටළු විසඳීමේ අරමුණින් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ නියෝජිතයින් සමග ඊයේ (10) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

පවුල් සෞඛ්‍ය සේවා පුහුණුව වසර 03ක් දක්වා දීර්ඝ කිරීම, පවුල් සෞඛ්‍ය සේවාව ස්වාධීන සේවාවක් බවට පත් කර ගැනීම, පවුල් සෞඛ්‍ය සේවා පුහුණු පාසල් ස්ථාපිත කිරීම, අතිකාල සේවා දීමනා මෙන්ම පරිවර්තන ගමන් වියදම් දීමනා ආදී කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මෙම සාකච්ඡාව සිදුව ඇත.

තවද එම සංගමයේ නියෝජිතයින් ඔවුන්ට බලපාන අනෙකුත් අනෙකුත් වෘත්ති ගැටලු මෙන්ම සිය සේවා කටයුතු සිදු කිරීමේදී අභියෝගයක්ව පවතින මානව හා භෞතික සම්පත් ආශ්‍රිත කරුණු රැසක් පිළිබඳවද, පවුල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ට ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා මෙන්ම එම සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ යෝජනාවන්ද වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සමග දීර්ඝව සාකච්ඡා කෙරුණි.

විසදුම් ලබා දිය හැකි ගැටලුවලට එම මොහොතේම නිලධාරීන් සමග සාකච්ඡා කර විසඳුම් ලබා දීමට නියෝජ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇති අතර තවත් කරුණු ගණනාවක් සම්බන්ධව කඩිනමින් විසඳුම් ලබා දීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී විමසා බැලුණි.

කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ……

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් මස 09 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (11) නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු  මොහොමඞ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වශයෙන් නම්කර සිටින රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය මුදල් කළමනාකරුවකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 09 වනදා දක්වා කල් තැබුණි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි සමයේ ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථනයේ බිල වන රුපියල්  240,000ක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් රජය සමයේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ මෙම සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව  මෙම නඩුව ගොනුකර තිබුණි.

හුරුළුවැව දේවාලය ආසන්නයේ තිබී උණ්ඩ සොයාගැනේ…..

ගලෙන්බිඳුණුවැව, හුරුළුවැව දේවාලය ආසන්නයේ ඇති නාන තොටුපොළක් අසළ තිබී උණ්ඩ තොගයක් පොලීසිය විසින් සෙයාගෙන තිබේ.

එලෙස සොයාගෙන ඇත්තේ, T-56 උණ්ඩ 21, MPMG අවිවලට භාවිතාකරන උණ්ඩ 33කි.

මීට අමතරව 9MM පිස්තෝල වර්ගයේ ගිනිඅවි සඳහා භාවිතාකරන උණ්ඩවල හිස්කොපු 118ක් සහ දුම්බෝම්බයක්ද සොයා ගෙන ඇති බව සඳහන්ය.

අද (11) සවස 4.30ට පමණ හුරුළුවැවට දිය නෑම සඳහා පැමිණි තරුණයින් දෙදෙනකු විසින් මෙම උණ්ඩ තොගය දැක ඇති බව වාර්තා වෙයි.

එහිදී මෙම තරුණයින් දෙදෙනා 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුම්වත් කර තිබුණි.

පසුව එම ස්ථානයට පැමිණි ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කර මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ප්‍රාදේශීය සභා උණුසුම් කළ මංගල අයවැය……

කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ පාලන බලය හිමි ජාතික ජන බලවේගය අද (11) එහි මංගල අයවැය වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය.

2026 වසර සඳහා පළාත් පාලන ආයතනවල අයවැය ඉදිරිපත් කිරීම් මේ දිනවල සිදුවෙයි.

ජාතික ජන බලවේගයට බලය හිමි  කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ අයවැය අද සභාවට ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.

එහිදී ජාතික ජන බලවේගයේ සභිකයින් හය දෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙද්දී විපක්ෂය නියෝජනය කරන සියලු සභිකයින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩි ඡන්ද හතරකින් අයවැය පරාජයට පත්වුණි.

මේ අතර පාලක ජාතික ජන බලවේගයට සභික ධුර 10ක් සහ විපක්ෂයට සභික ධුර 12ක් හිමි පුත්තලම – ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ද  අද පැවැත්වුණි.

එහිදී විපක්ෂයේ සභිකයින් 11 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරද්දී ජාතික ජන බලවේගය හා එක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන්  ඡන්ද ප්‍රමාණය සම තත්ත්වයට පත්වුණි.

ඒ අනුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සිය තීරක ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිවූ අතර එහිදී අයවැය සම්මත කරගැනුණි.

මේ අතර ජාතික ජන බලවේගයට බලය හිමි මීගහකිවුල  ප්‍රාදේශීය සභාවේ අයවැය ද සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් සම්මත කරගැනුණි.

ජාතික ජන බලවේගයට සභික ධුර නවයක්  සහ විපක්ෂයට සභික ධුර දහයක් හිමිව තිබුණද එක්සත් ජාතික පක්ෂයේ සභිකයා සභා රැස්වීමට සහභාගී වී සිටියේ නැත.

ඒ අනුව පක්ෂව සහ විපක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය සමාන වීම හේතුවෙන් සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අයවැය සම්මත කරගැනුණි.

මේ අතර පාලක ජාතික ජන බලවේගයට සභික ධුර 9ක් සහ විපක්ෂයට සභික ධුර 11ක් හිමි හලාවත නගර සභාවේ අයවැය වැඩි ඡන්දයකින් සම්මත වුණේ ස්වාධීන කණ්ඩායමක සභිකයෙකු අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන්ය.

ජාතික ජන බලවේගයේ සභිකයින් 9 දෙනාට අමතරව ස්වාධීන කණ්ඩායම් සභිකවරියක්ද අයවැයට පක්ෂය ඡන්දය ලබාදීමත් සමඟ එක් වැඩි ඡන්දයකින් අයවැය සම්මත කරගැනීමට ජාතික ජන බලවේගයට හැකිවුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයා මෙහිදී  ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය.

මේ අතර නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද වැඩි ඡන්ද 14කින් සම්මත කරගැනීමට එහි බලය හිමි ජාතික ජන බලවේගයට හැකිවුණි.

ඒ අයවැයට පක්ෂව පොදුජන එක්සත් පෙරමුණේ සභිකයින් තිදෙනෙකු,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයෙකු සහ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරන සභිකයෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන්ය.

මේ අතර මතුගම ප්‍රාදේශිය සභාවේ ලේකම්වරියගේ ක්‍රියා කලාපයට සහ වැලිගම ප්‍රාෙද්ශීය සභාවේ සභාපති ඝාතන සිද්ධියට විරෝධය පළකරමින් එහි බලය හිමි සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක සභිකයින් අද විරෝධතාවක නිරත වුණි.

ඔවුන් චෝදනා කළේ ප්‍රදේශිය සභාවේ රාජකාරි කටයුතු සිදු කරගෙන යාම සඳහා එහි ලේකම්වරිය සභාපතිවරයාට නිසි සහයෝගයක් ලබා නොදෙන බවටය.

කෙසේවෙතත් මෙම සභිකයින් ප්‍රාදේශීය සභාව තුළට පිවිසීමට පෙර පොලීසියේ පරීක්ෂාවට ලක්කිරීමේදී විරෝධතා පුවරු අතර තිබී ප්ලාස්ටික් පිස්තෝලයක් හමුවුණි.

මේ අතර, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පුත්තලම – නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රිවරුන් කළු පැහැති ඇඳුම්වලින් සැරසී අද එහි මාසික සභා රැස්වීමට පැමිණ සිටියේය.

වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි…..

වෛද්‍යවරුන්ගේ ගැටලුවලට අයවැයෙන් විසඳුම් ලබා නොදීම හේතුවෙන් නොවැම්බර් 17 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) නිවේදනය කළේය.

ඒ අද රැස්වූ එහි මධ්‍යම කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුවය.

ඒ අනුව සෞඛ්‍ය සායනවලදී රෝහල්වලට පිටතිත් ඖෂධ ගැනීම සඳහා ඖෂධ වට්ටෝරු නිකුත් නොකිරීමටද තීරණය කර තිබේ.

මේ අතර මෙවර අයවැයෙන් බලාපොරොත්තු වූ පරිදි සිය ගැටලුවලට ස්ථිර විසඳුම් නොලැබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා සියලුම විශේෂඥ වෛද්‍යවරුන් කොළඹට කැඳවා ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ලූනු රු. 200ට – අල රු. 300ට කන්න වෙයි – කෘෂි ඇමති….

රජය මීළඟ කන්නයේ සිට ගොවීන්ගෙන් අල කිලෝවක් රුපියල් 220 ට හා ලොකු ලූනු කිලෝවක් රුපියල් 150ට මිලදී ගැනීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අද (11) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එවිට වෙළෙඳපොළේ ලූනු කිලෝවක මිල රුපියල් 200 දක්වා සහ අල කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යනු ඇති බවය.

අල – ලූනු ගොවි ගැටලු සඳහා විසඳුම් යෝජනා කරමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

සිරදඬුවම් නියමව සිටින මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්…..

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු දෙදෙනා විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම අභියාචනා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (28) කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙසටය.

මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී සිරගතව සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ගැන ඛේදනීය අනාවරණයක්….

කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් පාසල් ළමුන් 230,000කට අධික පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසලේදී පැවැත්වු මත් උවදුර වැළැක්වීම සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

“බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පාසල් ළමුන් 230,982ක් මත්ලෝලීන්. දකුණු පළාත ගැන කිව්වොත් මීට වඩා දැවැන්ත තැනකට තල්ලු කරනවා කියලා මට විශ්වාසයි. දකුණ තමයි පාතාල ක්‍රියාකාරකම් වලින් අංක 1ට යන්නේ. ලංකාවේ බන්ධනාගාරගතව වැඩි හරියක් ඉන්නේ තාරුණ්‍යය. ඒ වගේම වැඩියෙන්ම ඉන්නේ සාක්ෂරතාව අඩු මට්ටමක ඉන්න අය. “

“අවුරුදු 5ට අඩු ළමුන් 42ක් ඉන්වා ඔවුන්ගේ අම්මා කළ වැරදි නිසා. අපි හිතමු නඩු අහලා අවුරුදු 10ක් අච්චු කළ කියලා. අවුරුදු 5ක් එයාටයි ළමයටයි අපි එකට ඉන්න දෙනවා. අවුරුදු 05ක් පිරෙන දවසට ළමයයි අම්මයි අපි වෙන්කරනවා. ඒක තමයි මගේ ජීවිතේ දැක්ක ඛේදනීයම අවස්ථාවල්. ළමයා අම්මා ඉල්ලලා කෑ ගහනවා. අම්මා ළමයා ඉල්ලලා කෑ ගහනවා. ඒ දෙන්නට ඒ දෙන්නා විතරයි අවුරුදු 5ක් පුරා හිටියේ. නීතිය හරස් වෙනවා. ඒ නිසා කවදාවත් කාන්තාවක් විදියට වැරදි කරන්න එපා.  මේ රජයට මහ දැවැන්ත විදියට උවමනාවක් තියෙවා මත්ද්‍රව්‍ය වලින් තොර රටක් නිර්මාණය කරන්න.” 

මේ අතර, ඊයේ කළුතර පැවති උත්සවයකට එක්වෙමින් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී වීරසූරිය මහත්මිය පෙන්වා දුන්නේ, පාසල් ආශ්‍රිතව සිදුවන මත් ජාවාරම් මැඩලීමට පියවර ගෙන ඇති බවය.

“අපි මේ වනවිට සිවිල් ඇඳුමින් නිලධාරීන් බොහෝමයක් පිරිස යොදවලා තියෙනවා. ඔයාලා ඉස්කෝලේ ඇරිලා එනකොට කොහොමද යන්නේ ඔබ ඇසුරු කරන්නේ කවුද ඔබ රංචු ගැහිලා ඉන්නේ කොහෙද කියන එක බලන්න. ඔබට කිසියම් තොරතුරක් තියෙනවා නම් ඉස්කෝලේ ඇරිලා යනකොට බස් ස්ටෑන්ඩවල, කඩවල්වල, එහෙම දේවල් තියෙනවා නම් ඔබ අපට කියන්න. මගේ ටෙලිෆෝන් නම්බර් ඒක 071 859 2683.”

නව ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් නියංගොඩ රාජකාරි අරඹයි…..

නව ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් පත් කරන ලද මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ අද (28) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේදී නව ධුරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය.

මේජර් ජෙනරල් නියංගොඩ මහතා ඊයේ (27) ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නාහ සන්නද්ධ බළකායේ කීර්තිමත් නිලධාරියෙකු වශයෙන් වසර 35කට අධික සුවිශේෂී සේවාවක් සිදු කළ මේජර් ජෙනරල් නියංගොඩ, පරිපුර්ණ හා සුදුසුකම්ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ඔහුගේ විශිෂ්ඨ හමුදා සේවය තුළදී, සිය කැපී පෙනෙන නායකත්වය සහ රාජකාරියට ඇති කැපවීම මනාව පිළිබිබු කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් අභියෝගාත්මක හා මූලික තනතුරු රාශියක රාජකාරි සිදු කොට ඇත.

අයහපත් කාලගුණයෙන් බෝග වගාවන්ට සිදුවූ හානි ගණන කිරීම ඇරඹේ…..

පැවති අධික වර්ෂාව හේතුවෙන් වී වගාව ඇතුළු අනෙකුත් බෝග වගාවන්ට සිදු වූ හානිය පිළිබඳ ගණනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

වී වගා කටයුතු මේ වන විට ආරම්භක අවධියේ පැවතීම හේතුවෙන් පැවති වර්ෂාපතන තත්ත්වයෙන් වී වගා හානි වාර්තා වී නොමැති බව එම මණ්ඩලය පැවසීය.

එමෙන්ම නොමිලේ රක්ෂණ ආවරණය ලබන අනිකුත් බෝග සඳහා සිදුවු හානිය පිළිබඳව මේ වන විටත් නිශ්චිතව වාර්තා වී නොමැති බව සඳහන්ය.

කෙසේවෙතත් මණ්ඩලයේ නිලධාරීන් තවදුරටත් ගොවි ජනතාව හා සම්බන්ධ වෙමින් වගාවන්ට සිදුවූ හානි පිළිබඳ තොරතුරු ලබාගෙන සහන සැලසීමට අදාළ වැඩසටහන් සකස් කරමින් සිටින බව කෘෂිකාර්මික හා ගොවිජනරක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.