බරවා පරීක්ෂාවන්ට රාත්‍රියේ නිවෙස්වලට එන නිලධාරීන්ට සහායවන්න – සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්….

බරවා පරීක්ෂාවන් සඳහා රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන්ට සහාය ලබාදෙන ලෙසට බරවා මර්දන ව්‍යාපාරයේ අධක්ෂ ප්‍රසන්ග සේරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බරවා මර්දන ව්‍යාපාරයේ අධක්ෂ ප්‍රසන්ග සේරසිංහ මහතා,

“බරවාවලදී අපි ගාවට රෝගීයෙක් රෝග ලක්ෂණ එක්ක පැමිණෙන්නේ අදාළ පුද්ගලයා අවුරුදු 10ක් 15ක් 20ක් ගිහිල්ලා. පාර තොටේ දකින කකුල් ඉදිමුණ, විශේෂ අවයවවල ඉදිමුම් සහිත බොහෝ අපසුතාවලින් සිටින රෝගීයෙක් හඳුනාගන්නේ ගොඩක් කල් ගිහිල්ලා. මේ රෝගීන් ඇත්තටම අපි හඳුනාගැනීමක් කරන්නේ රාත්‍රී කාලයේදී අදාළ ප්‍රජාව තුළ සිදුකරන විශේෂ රුධිර පඨල පරික්ෂාවන් මගින්. මේ අවුරුද්දේ රෝගීන් 27ක් හඳුනාගන්නවා අපේ පරිසරය ඇතුළේ සැකසහිත දිස්ත්‍රික්කවල ඉන්න නිරෝගී හැටියට පෙනීසිටින පුද්ගලයින්ගේ රුධිර පඨල හරහා. අපි මේ හරියටම ඉලක්ක කරලා යන්නේ ලංකාවෙ ඇතුළේ මේ රෝගය කලින් ඉදන් පැතිරුණ සහ අපේ පරණ විස්තරත් එක්ක වැඩි අවදානමක් තියෙන ස්ථානවල. නමුත් මේ වනවිට අපට ගැටලුවක් තියෙනවා කිසියම් ආකාරයක වැරදි විදිහට නිර්මාණය කළ හඬපටයක් තැන් තැන්වල ප්‍රචාරය වෙනවා “රාත්‍රී කාලයේ ලේ ගන්න කණ්ඩායම් එනවා ඒ අයට ලේ දෙන්න එපා අල්ලලා ගහලා බැදලා පොලීසියට භාරදෙන්න” කියලා මේ වගේ වැරදි ප්‍රචාරයක් යන එකත් එක්ක අපි රාත්‍රීකාලයේදී කරන රුධිර පඨල පරික්ෂාවන් එක්ක ලොකු බාදාවක් තියෙනවා. එතකොට මේකෙදි ඇත්තටම අපි හරි විදිහේ දැනුම්වත් කිරීම් සහිතව අදාළ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය සහිතව ඒ සඳහා අනුමත නිලධාරීන් එයාලගේ නිල ඇඳුමෙන් සැරසිලා, රාජකාරි හැදුනුම්පත සහිතව හරි විදියේ දැනුම්වත් කිරීමක් සහිතව යන ගමනක්.  මේ අවස්ථාවේදී ඔයාලගේ උදව් ඕනේ.”

මේ අතර සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මැලේරියා රෝගය සම්බන්ධයෙන්ද දැනුවත් කෙරුණි.

එහිදී මැලේරියා රෝගය සම්බන්ධයෙන්ද අදහස් දැන්වූ මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න,

“සැප්තැම්බර් වන විදේශ ගතවෙලා ලංකාවට ආපු රෝගීන් 35ක් වාර්තා වෙනවා  එයින් එක් අයෙකු මරණයට ලක් වුණා මෙයින් 83%ක්ම පිරිමි පුද්ගලයින් සහ 80%ක්ම ශ්‍රී ලාංකියන් තමයි මේ මැරේලියාව හදාගෙන ලංකාවට ඇවිත් තියෙන්නේ. මේ රෝගීන් අතුරින් 77%ක්  Plasmodium falciparum කියන මැලේරියා පරපෝෂිතයා ආසාදනය වුණ අය. මොලේ මැලේරියාව සහ සියලුම අවයවල සංකූලතා ඇතිකරන මාරාන්තික රෝගයක් ඇති කරන්නේ Plasmodium falciparum මැලේරියාවෙන්. ඒ වගේම මෙයින් 86%ක්ම කිසිම සංකූලතා නොමැතිව සම්පූර්ණයෙන්ම සුවය ලැබුවා. මේ අතර අවදාම් කණ්ඩ විදිහට තියෙන්නේ වන්දනාවේ යන පුද්ගලයින්. විශේෂයෙන් දඹදිව, මියන්මාරය, තායිලන්තය වැනි රටවලට වන්දනාවේ යන පුද්ගලයින්, ඒ වගේම අප්‍රිකානු රටවලට ලංකාවේ මිනිස්සු විවිධ රැකියා සඳහා පිටත්ව යනවා පුහුණු වැඩසටහන් සඳහා එතකොට මේ වගේ රටවලට ජනතාවට දෙන්න තියෙන පණිවුඩය තමයි මේ මැලේරියාව වළක්වාගැනීමේ ඖෂධ, මැලේරියා මර්ද ව්‍යාපාරය සහ ප්‍රාදේශ මැලේරියා මර්දන ඒකකවලදී ඔබට නොමිලේ ලබාගන්න පුළුවන්.”

ව්‍යාජ පිස්තෝලයක් රැගෙන අධිකරණයට ඇතුළුවීමට උත්සාහකළ කතක් රිමාන්ඩ්….

ව්‍යාජ පිස්තෝලයක් සමග අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඇතුළුවීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධ ජයසේකර මහතා විසින් මෙම නියෝග කළ බව  වාර්තාකරු පැවසීය.

අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණ භූමියට ඊයේ (27) පැමිණි කාන්තාවක් පරීක්ෂා කිරීමේදී ඇයගේ අත්බෑගයේ තිබී පිස්තෝලයක් වැනි දෙයක් සොයාගෙන තිබුණි.

පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලීසියට හෙළිවී ඇත්තේ ඇය නැගෙනහිර, නොටෙල්පිටිය තංගල්ල ප්‍රදේශයේ පදිංචි දීපිකා මුදලි හේරත් නොහොත් ලක්ෂ්මි නැමති අයෙකු බවය.

ඇයගේ හැඳුනුම්පතේ ලිපිනය තංගල්ල ලෙස සඳහන්ව තිබුණද, ඇය පොලීසියට පවසා ඇත්තේ තමන් මීගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවය.

එමෙන්ම ඇය අධිකරණයට පැමිණියේ රථවාහන නඩුවක් සඳහා බවටද පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත්, පොලිස් නිලධාරීන් විසින් ඇයගේ හැඳුනුම්පත භාවිත කර නඩු පොත පරීක්ෂා කිරීමේදී එවැනි නඩුවක් නොතිබීම හේතුවෙන් ඇය අසත්‍යක් පවසන බවට සැක මතුව ඇති බව සඳහන්ය.

පසුව මෙම සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා අවිස්සාවේල්ල පොලීසියට භාර දීමෙන් පසු, ඇය ළඟ තිබී සොයාගත් පිස්තෝලය ව්‍යාජ පිස්තෝලයක් බවට හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

නඩුවක් නොමැතිව නඩුවක් ඇති බව පවසා අධිකරණ භූමියට ඇතුළු වීම හේතුවෙන් ඇති වූ සැකය මත, එම කාන්තාව අද (28) දින අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

පොලීසිය විසින් ඉදිරිපත් කරනු ලැබු කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධ ජයසේකර මහතා සැකකාර කාන්තාව නොවැම්බර් 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

රනිල්ට එරෙහි නඩුව නැවත කැඳවීම හෙට…..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නීති කෘත්‍ය, හෙට (29) නැවත කැඳවීමට නියමිතය.

පොදු දේපොළ පනත යටතේ චෝදනා ලද හිටපු ජනාධිපතිවරයා, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියගේ නියෝගය පරිදි පසුගිය අගෝස්තු 22 දින රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඊට අදාළ නීති කෘත්‍ය අගෝස්තු 26 වනදා නැවත කැඳවනු ලැබීය.

එහිදී පැමිණිලි සහ විත්ති පාර්ශ්ව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණි.

ලොකු ලූනු මිලදී ගැනීමේ රජයේ කොන්දේසි….

රජය ලොකු ලූනු මිලදී ගැනීමේදී කොන්දේසි 17ක් ද පනවා තිබේ.

ඒ් අනුව රජය මිලදී ගන්නා ලොකු ලූනු ගෙඩියක විෂ්කම්භය විය යුත්තේ මිලිමීටර් 35 – 65කි.

විෂ්කම්භය මිලිමීටර් 65ට වැඩි සහ මිලිමීටර් 35ට අඩු ලොකු ලූනු තොග මිලදි ගැනීමේදී ද කොන්දේසි පනවා තිබේ.

ඒ් අනුව එම ලූනු මුළු තොගයේ බරින් සියයට දහය ඉක්ම නොවිය යුතු වෙයි.

එමෙන්ම  මිලදී ගැනීමේ ප්‍රමිතියට අනුව ලොකු ලූනු කිලෝවක් සඳහා ගෙඩි අටක් පමණ අන්තර්ගත යුතු බවද රජය ලූනු ගොවීන්ට කොන්දේසි පනවා තිබේ.

කෙසේ වෙතත්,  රජයේ ලොකු ලූනු මිලදී ගැනීමේදී පනවා ඇති කොන්දේසි තමන්ට පීඩනයක් එල්ල කරන බව ගොවීන් පවසයි.

සතොස සභාපති සමිත පෙරේරා මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි සඳහන් කළේ, සතොසට මිලදී ගනු ලබන්නේ යළි අලෙවි කළ හැකි මට්ටමේ නිෂ්පාදන බවය.

මාතලේ අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්කවල ගොවීන් පසුගිය මාස කිහිපයක සිට ලොකු ලූනු අස්වැන්න නෙලීම ආරම්භ කළේය.

කෙසේ වෙතත් නිසි මිලට තම අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීමෙන් ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසරණභාවයකටය.

ඇතැම් ගොවීන්ගේ අස්වැන්න නිවෙස් තුළම විනාශ වී ගොස් ඇත.

මෙවැනි පසුබිමක රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ සතොස මගින් දේශීය ගොවීන්ගේ ලොකු ලූනු අස්වැන්න මිලට ගැනීම ආරම්භ කර තිබේ.

ඒ් අනුව ලොකු ලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 140 ගණනේ එක් ගොවියෙකුගෙන් රජය මිලදී ගන්නා ලූනු ප්‍රමාණය කිලෝග්‍රෑම් 2000කි.

අද පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ රජයේ ලූනු මිලදී ගැනීමේ ගබඩාව ආසන්නයට පැමිණි ගොවීන් පැවසුවේ, මෙම ලූනු මිලදී ගැනීමේ කොන්දේසිවලින් තමන් පීඩාවට පත්වන බවය.

අද පස්වරුව වන විටත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ ස්ථාපනය කර ඇති ලූනු මිලදී ගැනීමේ මධ්‍යස්ථානයට කිසිදු ගොවියෙකු ලූනු අළෙවි කර තිබුණේ නැත.

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය විශ්‍රාම යයි……

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගොස් තිබේ.

ඒ මහතා අද (27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ජාතික බුද්ධි ප්‍රධානී ධූරයෙන් විශ්‍රාම ගන්නා ලදි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් වනිගසූරිය සිය වෘත්තීය ජීවිතය පුරාවට විශිෂ්ඨ අන්දමින් සේවයකළ නිලධාරියෙකි.

ඔහු ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කරමින්, රටේ බුද්ධි ජාලය ශක්තිමත් කිරීමට සහ ජාතික ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් වන නියෝජිතායතන අතර සම්බන්ධීකරණ කටයුතු වැඩිදියුණු කිරීම සඳහාත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මේජර් ජෙනරල් වනිගසූරිය ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් මෙම වසරේ ජනවාරි මාසයේදී එම ධූරයේ වැඩ භාර ගෙන තිබුණි.

වැල්ලම්පිටිය නිවසක් ඉදිරිපිට අත්බෝම්බයක්……

වැල්ලම්පිටිය, ඩොනල් පෙරේරා මාවතේ, ඇල්බා නිවාස සංකීර්ණයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ අත්බෝම්බයක් තිබී හමුව තිබේ.

ඊයේ (26) රාත්‍රියේ එම නිවසේ හිමිකාරිය විසින් නිවස ඉදිරිපිට පිරිසිදු කිරීම් කරමින් සිටියදී සැකකටයුතු යමක් දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.

ඒ අනුව, වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට ලද 119 දුරකථන පණිවිඩය මත සිදුකළ සෝදිසි කිරීමකදී මෙම අත්බෝම්බය සොයාගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ මෙම අත්බෝම්බය ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති අතර පරණ අත්බෝම්බයක් බවට නිරීක්ෂණය වූ බවය.

කෙසේවෙතත් මෙම අත්බෝම්බය මෙම ස්ථානයට පැමිනි ආකාරය සම්බන්ධව කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.

බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරින් පැමින මෙම අත්බෝම්බය පරික්ෂා කර නිෂ්ක්‍රීය කර අධිකරණ කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ජගත් විතාන සම්බන්ධව පොලිස්පතිවරයා සිදුකළ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක්….

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ පොලීසිය ලබා දුන් ආරක්ෂාව පිළිබඳව මාධ්‍යයට පොලිස්පතිවරයා කළ ප්‍රකාශය සමගි ජන බලවේගයේ අවධානයට යොමුව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ දේශපාලනික නොවන කරුණු කාරණා මත මන්ත්‍රීවරයාට තර්ජන එල්ල වී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් කරනු ලබන ප්‍රකාශය තුළ මන්ත්‍රීවරයා වෙනත් අනීතික ක්‍රියාවකට හෝ පෞද්ගලිකව ඉස්මතු වූ ක්‍රියාවකට හෝ තර්ජනයක් එල්ල වී ඇති බව හැඟේන බවය.

එය කුමක්දැයි නිවැරදිව ප්‍රකාශ කිරීම පොලිස්පතිවරයාගේ වගකීමක් වන බවත් එසේ නොමැතිව වක්‍රෝත්තියෙන් ප්‍රකාශ සිදු කිරීම තුළ මහජන සේවාවේ නිරත මන්ත්‍රීවරයෙකුට සිදු කරනු ලබන අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස එය සිය පක්ෂය විසින් තරයේ හෙලා දකින බවත් එහි සඳහන් කර තිබේ.

මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයා දියේ ගිලී මරුට…..

රස්නායකපුර පොලිස් වසමේ මුඩත්තව වැවෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68ක් වූ මොන්නෑකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා ටියුබයක් ආධාරයෙන් මාළු ඇල්ලීම සිදු කරන අයෙකු වන අතර ඔහු නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් නිවැසියන් විසින් සොයා බැලීමේදී වැවෙහි මැදට වන්නට තිබී ඔහුගේ මෘත ශරීරය හමු වී ඇති බව පොලීසිය පැවසුවේය.

මෘත ශරීරය නිකවැරටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර රස්නායකපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පොලිස් සැරයන්වරයාට මරු කැඳවූ අනතුර…..

වැල්ලවාය පොලිස් වසමේ වැල්ලවාය තණමල්විල මාර්ගයේ ආදාවෙලයාය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ගමන් කළ යුද හමුදාවට අයත් බස් රථයක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වූ රජමාවත, වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකි.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට….

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයින් දියබෙදුම සහ කපුගොල්ලෑව ප්‍රදේශයන් හිදී අත්අඩංගුවට ගත් බවය.

ඒ අනුව ඊයේ (26) අලුයම් කාලයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දියබෙදුම පොලිස් වසමේ නුවරගේයාය ප්‍රදේශයේදී පොළොන්නරුව අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 20-43 වයස්වල පසුවන පුත්තලම හා අත්තනකඩවල ප්‍රදේශයන් හී පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන දියබෙදුම පොලීසිය විසින් සිදුකරති.

මේ අතර ඊයේ දහවල් කාලයේදී හොරොව්පොතාන, කපුගොල්ලෑව පොලිස් වසමේ දුටුවැව ප්‍රදේශයේදී කපුගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී ද පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි සැකකරුවෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 65ක් වූ දුටුවැව, කපුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන කපුගොල්ලෑව පොලීසිය විසින් සිදුකරනු ලබයි.