කොටහේනේ ඝාතනයට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට……

කොටහේන ප්‍රදේශයේ දී පසුගියදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු හා සැකකාරියක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ඊයේ (13) ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන මෙම අපරාධය සිදුකිරීම සඳහා වෙඩික්කරු පැමිණි කාර් රථයේ රියදුරු ලෙස සිටි සැකකරු හා අපරාධය සිදුකිරීමට සැකකරුවන්ට නවාතැන් පහසුකම් සපයන ලද සැකකාරියක් බව පොලීසිය පවසයි.

ඔවුන්ගෙන් සැකකරු වයස අවුරුදු 27ක් වන කොළඹ 13  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරිය වයස අවුරුදු 32ක් වන මහරගම ප්‍රදේශයේ පදිංචිකාරියක්ය.

මේ වනවිට රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගනිමින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය ඔවුන්ගෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙම මස ඉකුත් 7 වනදා කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේදී මෙම මනුෂ්‍ය ඝාතනය සිදුවිය.

එහිදී ඝාතනයට ලක් වූයේ අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් ‘පූකුඩු කන්නා’ නැමැත්තාගේ ගෝලයෙකු බව විමර්ශනවලදී අනාවරණ විය.

“මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙමු ක්‍රීඩාව තුළින් ජය පරාජය ට හුරුවෙමු” ශෝධනයට ලක්වූ තරුණ ප්‍රජාවට ක්‍රීඩා වැඩසටහනක්…..

මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙමු ක්‍රීඩාව තුළින් ජය පරාජය ට හුරුවෙමු යන පරමාර්ථය පෙරදැරි කරගෙන විශෝධනයට ලක්වූ තරුණ ප්‍රජාවට ක්‍රීඩා වැඩසටහනක් මාතර කොටවිල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි .

විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අධිකරණය වෙත යොමු කරන ලද තරුණ තරුණියන් එමඟින් මුදවා ගෙන නැවත සමාජගත කිරීමේ අභිලාෂයෙන් මාතර අධිකරණ බල ප්‍රදේශයේ විශෝධන නියෝගලාභීන් සහභාගිත්වයෙන් පවත්වන ලද ක්‍රීඩා වැඩසටහන මාතර කොටවිල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි .
විනෝදය සඳහා මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරුව සිටින මෙම පුද්ගල කණ්ඩායම සඳහා විවේකය ඵලදායීව ගතකිරීමට සහ ජීවිතයට සතුට ළඟා කර ගැනීමට ක්‍රීඩාව තුළින් හැකියාව ලැබෙන බව අවබෝධ කර දීමට මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබිණි.

මෙම වැඩසටහන මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරී ජේ.එස්. අනුර රෝහණ මහතා සහ එම කාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් සංවිධානය කර තිබූ අතර වැලිගම ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී කේ.එච් තුෂාර ප්‍රියංජිත් මහතාගේ සම්පත් දායකත්වය ලබා දී තිබිණි.
මෙම අවස්ථාවට මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ වැඩ පරීක්ෂක එරංග ලංගප්පුලි මහතා සහ එච්.ජී.යූ.සම්පත් මහතා ,වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී ඊ.ඒ. චතුරි නිසංසලා මහත්මිය සහ සී.විජේසිංහ මහත්මිය,වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී පී. ජී. එන්.සී. කරුණානායක මහතා සහ ගයාන් ලසන්ත මහතා ඇතුළු නිලධාරීන්  සහභාගි විය.

News Iamges.00_00_48_04.Still963 News Iamges.00_00_48_04.Still964

වැලිගම – තරංග ගුණරත්න

රන් මිල රු 10,000කින් ඉහළට….

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ.

අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,212 පසුකර ‍ගොස් ඇත.

මෙරට රත්‍රං මිල ඊයේ දිනට සාපේක්ෂව රුපියල් 10,000කින් අද (13) දිනය වනවිට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 310,800ක් ලෙස දැක්වුණි.

ඊයේ දිනයේ එම මිල ගණන් දැක්වුණේ රු. 301,500ක් ලෙසය.

මේ අතර ඊයේ දිනයේ දී රු. 326,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 336,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලොකු පැටීගේ ගෝලයෝ දෙදෙනෙක් බඩුත් එක්ක මාට්ටු….

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටීගේ’ ගෝලයන් දෙදෙනෙකු ජාවාරම් මුදල් ලක්ෂ 26ක්, හෙරොයින් මත්කුඩු තොගයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 2ක්  සමඟ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මන්හන්දිය සහ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 24 සහ 27 හැවිරිදි තරුණයින් දෙදෙනකු බව පොලීසිය පවසයි.

“ඉවත්වනු” මෙහෙයුම යටතේ ජංගම සංචාරයේ නියැලී පොලිස් කණ්ඩායම අලුත්ගම ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ඊසිකෑෂ් ක්‍රමයට මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

බැංකු වාර්තා, දුරකථන වාර්තා ලබාගෙන වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බවද පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

අලුත්ගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින්ව රඳවාගෙන ප්‍රශ්න කරන්න එරට රජයෙන් තීරණයක්…..

මාලදිවයින් ආරක්ෂක අංශ විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 5දෙනා දින 30ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එරට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන් මෙරටට රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පසුගිය නොවැම්බර් 7 වන දින අවිශ්ක පුතා නමැති බහුධින ධීවර යාත්‍රාව මාලදිවයින් මුහුදු සීමාවේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමග එරට ආරක්ෂක අංශ භාරයට ගනු ලැබීය.

එහි අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 355කට අධික ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇති අතර එම යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනා ද අත්අඩංගුවට ගෙන තිබුණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ මාලදිවයින් ආරක්ෂක බළකාය සහ එරට පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ විමර්ශනයකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එම ධීවරයින් පිරිස මෙරටට රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් ද පසුගියදා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණි.

එහෙත් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බැවින් ඔවුන් මෙරටට රැගෙන ඒමට නොහැකි වී ඇති බව වාර්තා වන්නේ.

ඒ අනුව මෙරට ආරක්ෂක අංශ නිලධාරින් ඉදිරි දින දෙක තුළ දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන් ය.

කිරින්දේ දී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට දින 7ක රැඳවුම් නියෝග…..

කිරින්ද ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 07ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.

සැකකරුවන් ඊයේ (12) පස්වරුවේ තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය ලබාදුන් බව පොලීසිය පැවසුවේය.

ඒ අනුව එම සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් විමර්ශන සිදුකිරීමට නියමිතව තිබේ.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත කිරින්ද ප්‍රදේශයේදී මුහුදු මාර්ගයෙන් දිවයිනට රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 329ක තොගයක් සමග සැකකරුවන් හත් දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ මත්ද්‍රව්‍ය ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දික්වැල්ලේ ‘රන් මල්ලි’ නැමැත්තාට අයත් බවට ද පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

උතුරේ ඉඩම් නිදහස් කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්…..

ආරක්ෂක අංශ යටතේ පවතින යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ආරක්ෂක බලධාරින් අතර පවත්වා තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අදාළ සාකච්ඡාවේදී ඉඩම් සම්බන්ධයෙන් වන සීමා නැවත සකස් කිරීම, අවසන් කිරීම, නිදහස් කිරීමට ප්‍රමුඛතාවය දිය යුතු ඉඩම් කොටස් තීරණය කිරීම සහ ඒ සම්බන්ධ පරිපාලනමය බාධාවලට පිළියම් සෙවීම පිළිබඳව අවධානය යොමුවු බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු  සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක් එක්ව සිට තිබේ.

එහිදි අත්‍යවශ්‍ය ආරක්‍ෂක යටිතල පහසුකම්වලට හානි නොවන පරිදි, නීත්‍යානුකූල අයිතිවාසිකම් සහිත ඉඩම් ඒවායේ හිමිකරුවන් වෙත නැවත ලැබීම සහතික කෙරෙන විනිවිඳභාවයෙන් යුතු හා සාධාරණ ක්‍රියාවලියක් ඇති කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකෙරුණු බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

ජාතික ආරක්‍ෂාව කෙරෙහි බලපාන කරුණු පිළිබඳව ද මෙහිදි විශේෂ අවධානයක් යොමුකරමින් රජය විසින් ක්‍රියාත්මක සංහිඳියාවේ වැඩපිළිවෙල වේගවත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකර තිබේ.

ආයෝජන ආරක්ෂණයට නව පනතක්…..

ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ව්‍යවසායයන් සහ දේපොළ ඇතුළු පුද්ගලික දේපොළ අත්තනෝමතික ලෙස ජනසතු කිරීම වැළැක්වීම, ඵලදායී විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් ලෙස ආයෝජන ආරක්ෂණ මණ්ඩලයක් ස්ථාපිත කිරීම සහ ආයෝජකයින් සඳහා ප්‍රතිපත්ති ස්ථාවරත්වය සහ පුරෝකථනය කිරීමේ හැකියාව සහතික කිරීම යන අරමුණු ළඟා කරගැනීම පිණිස නව පනතක් හඳුන්වා දීම 2025 අයවැය මඟින් යෝජනා කරන ලදී.

ඒ අනුව, පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් පිළියෙල කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කරනු ලැබ ඇති බව රජය පවසයි.

එම කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත්කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්……

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ලබාදීමට අපේක්ෂා කරන වාහන කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලුදෙනාට හිමි නොවන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (11) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මේ වනවිට දැනට රජයෙන් වාහන ලබාදී සිටින පිරිසට මෙම අලුත් වාහනවල අවශ්‍යතාවයක් නොමැති බවය.

අයවැය කතාව පවත්වමින් පසුගිය දා ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවය සඳහා කැබ් රථ 1775ක් ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බවත් එම කැබ් රථ ලබාදීමට අපේක්ෂා කරන්නේ කා හටද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

රජය අපේක්ෂා කරන සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධාවක් වී ඇති බවත්, මෙම තත්ත්වය සලකා බලා, රාජ්‍ය ආයතන වෙත අත්‍යවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය අවසානයේ නැවත ආපසු බාරදීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා මූලිකව අවශ්‍ය වන රුපියල්  මිලියන 12,500ක් වෙන් කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී සඳහන් කළේය.

මේ අතර දැනට පැවති රාජ්‍ය සේවක පුරප්පාඩු 75,000න් පුරප්පාඩු 50,000 – 60,000ත් අතර ප්‍රමාණයක් බඳවා ගෙන අවසන් බව ද සඳහන් කර සිටි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, පාර්ලිමේන්තු පර්මිට් සංස්කෘතියට විරුද්ධව අතීතයේ කතා කළ පිරිස අද වනවිට එය හොඳයි කියන තත්ත්වයට පත්ව ඇතැයි ද පැවසීය.

“නිකන් ගොඩ ගැහුවේ නෑ. එකින් එක සොයා බලමින් මේ වනවිට 75,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන තියෙනවා. මගේ දැනුම හැටියට දැන් 50,000 – 60,000ක් බඳවා ගෙන තියෙනවා. මේ ඉන්න රාජ්‍ය සේවකයින්ට තෘප්තිමත්ව වැඩ කරන්න හොඳ මුලික වැටුපක් ලබාදුන්නා. ඒ අනුව 2027 ලැබෙන මුලික වැටුප මත පදනම්ව අපි දීමනා සැලසුම් කරලා තියෙනවා. හොඳ වැටුපක් අපි රාජ්‍ය සේවකයාට ලබා දීලා තියෙනවා.

එහෙම තත්ත්වයක් තුළ අපේ හැකියාව අනුව රාජ්‍ය සේවයට වාහන 1,775ක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. රාජ්‍ය සේවයට වාහන සහ යන්ත්‍රෝපකරණ ලබාගැනීමේ අරමුණින් තමා මේ මුදල වෙන් කරලා තියෙන්නේ. ඊළඟට මන්ත්‍රීවරු 225ටම දෙන්නේ නැත. දැනට රජයෙන් වාහනයක් ලබාදීලා තියෙන අයට වාහනයක් උවමනා නෑ. උදාහරණයක් විදියට කැබිනට්, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට. විපක්ෂ නායකතුමාට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ආදි දැනට රජයෙන් වාහනයක් ලබාදීලා තියෙන අයට වාහනයක් දෙන්නේ නෑ.

මේ පර්මිට් ලබාදීමෙන් රජයට අහිමි වෙන බදු ආදායම අති විශාලයි. මේ පර්මිට් ගත්ත බහුතරයක් පර්මිට් වික්කා. සමහර පක්ෂවල මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ඉන්නේ අවුරුද්දයි ඒ වුණාට වෙන කෙනෙක් එනවා හැබැයි පර්මිට් එක දෙනවා. එහෙම තමා මේ පර්මිට් සංස්කෘතිය පාර්ලිමේන්තුවේ තිබුණේ. මේ ඇවිල්ලා පර්මිට් එක විකුණගන්න මතයක් හදන කට්ටිය දාන ගුණ්ඩුවක්. අපි වාහනයක් දෙනවා මන්ත්‍රී ධුරය අවසන් වෙද්දි වාහනය භාරදීලා යන්න.”

පාස්කු ප්‍රහාරයට යුද හමුදා කර්නල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම දීර්ඝ කෙරේ….

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමකින් තොරව යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කේ. එස්. මද්දුමගේ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ජනවාරි මස 29 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කළේය.

අදාළ කර්නල්වරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද යළි සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත්කළ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවක වශයෙන් නම්කර සිටින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයකු පෙනී සිටින බව දැනුම් දුනි.

එමෙන්ම මෙම විමර්ශනයට අදාළ මුල් පැමිණිල්ල ඉදිරිපත් කළ රෝහාන්  සිල්වා පියතුමා ද එම නඩුකරයට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා සිය නීතිඥවරයා මාර්ගයෙන් අවසර ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා ජ්‍යෙෂ්ඨ යුද හමුදා බුද්ධි නිලධාරියෙකු වන අතර ඔහු මේ වන විට දියතලාව යුද හමුදා පුහුණු පාසලේ සේවය කරන බවත් කියා සිටියේය.

තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අරමුණින් පමණක් මෙම පෙත්සම ගොනු කර තිබෙන බවත් විමර්ශන අඩාල කිරීමේ කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළ සම්පූර්ණ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව සඳහන් කළාය.

මෙම සිද්ධීන්වලට අදාළ විමර්ශන අඛණ්ඩව සිදුවන බවත් ඇය සඳහන් කර සිටියාය.

ඒ අනුව මෙම නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 11 වනදාට පෙර ගොනු කිරීමට පියවර කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 14 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පාර්ෂවකරුවන්ට නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 29 වනදා කැඳවීමටද අධිකරණය විසින් නියම කරනු ලැබීය.