වාහන ආනයන ගැන මුදල් පිළිබඳ කාරක සභාවේදී හෙළිවූ දේ….

වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ ආදායම් ඉලක්ක වසර අවසානය වනවිට ඉක්මවා යනු ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

ඒ, එම කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රැස්වූ අවස්ථාවේදීය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – වාහනවල අපේක්ෂිත ආදායම මොකක්ද මේ අවුරුද්දට?

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්  දිලිප් සිල්වා – “මේ වසරට බිලියන 460ක්.” 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – ඒක වෙනස් වුණේ නැද්ද?

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න – “දැන් තියෙන තත්ත්වය අනුව ඊට වැඩිවෙනවා.  මෙච්චර වාහන එයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ. අපිට පේනවා බිලියන 700ක් වගේ එන විදියක් පේනවා.” 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – ණයවර ලිපි කීයක් ඇරලා තියෙනවාද?

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න – “ඩොලර් මිලියන 1570ක්.  සැප්.16 වෙනකම්.”

මේ අතර, මෙම වසරේ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් පමණ වනු ඇතැයි එහිදී අනාවරණ වුණි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – මේ වසරේ සංචාරකයෝ කීයක් එයිද?

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රසාද් ජයසූරිය – “මේ වසරේ මිලියන 2.4ත්, 2.5ත් අතර ගණනක් එයි. අපේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වෙන්නේ ඩො.බි.3.5ක් වගේ.” 

මේ අතර විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී රජයට සිදුව ඇති පාඩුව නිරීක්ෂණය කිරීම සඳහා වෝහාරික විගණනය කඩිනමින් සිදුකරන්නැයි මෙහිදී මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජික රාවුෆ් හකීම් මහතා ඉල්ලා සිටියේය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජික රාවුෆ් හකීම් – “ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා වීසා ගැටලුව ගැන වැරදිකරු වුණා හිටපු ආගමන විගමන පාලක ජනරාල්වරයා ඔහුට තවත් අවුරුදු දෙකක්. දැන් වෝහාරික විගණනය විගණකාධිපතිගේ ඒකට දැන් අවුරුද්දකට වැඩියි. වෝහාරික විගණනය අපි ඉල්ලපු එක, මේ වීසා ගැටලුව ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියපු ඒක තවමත් වෙලා නැහැ. විගණකාධිපතිගෙන් අහන්න පුළුවන්ද ඒක ගැන මේකෙන් රජයට වුණු පාඩුව බිලියන 04කට වැඩියි” 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – “අපි එයාට ලියමු මේකේ කඩිනම් අවශ්‍යතාවය ගැන” 

ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්….

හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගනු ලැබුවොත් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්…..

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර තිබේ.

ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට බරපතළ අපහාසයක් සිදුකර තිබෙන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

එම අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මහජන ආරක්ෂක ඇමතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්…..

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (22) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරු මත ඒ බව අනාවරණය වෙමින් පවතින බවය.

පසුගිය දේශපාලන සංස්කෘතිය හේතුවෙන් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය වර්ධනය වී ඇති බවත් වත්මන් ආණ්ඩුව මේ වනවිට ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා, තංගල්ලේ දී විශාල මත්ද්‍රව්‍ය වැටලීම් තුනක් අද දිනයේ දී සිදුකර ඇති බව ද පැවසීය.

“අපි රටේ ජනතාවට විශේෂයෙන් කාරණයක් කියන්න ඕනේ. විශේෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් දේශපාලන සබඳතා තිබෙන බවට මේ වනවිට යම් යම් තොරතුරු අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන් දකුණේ දේශපාලනඥයින් මෙයට සම්බන්ධ බවට. විශේෂයෙන් මහජනතාව මේ වනවිට තොරතුරු ලබාදෙමින් තිබෙනවා. පොලීසිය සක්‍රීයව රාජකාරිය ඉටුකරමින් ඉන්නවා. බුද්ධි අංශ තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබෙමින් තිබෙනවා. මහජනතාවට අයාචනා කරනවා ඔබ දන්නා තොරතුරු පොලීසියට ලබාදෙන්න. ඒ තොරතුරු සහ පුද්ගලයාගේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා.”

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සහ අනෙක් පාතාල අපරාධකරුවන්ගෙන් මේ වනවිට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබානොදුන් පිරිස 42ක්….

2025 වසරේ මාර්තු 25 වනදා වනවිට 2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබානොදුන් රාජ්‍ය නිලධාරීන්ගේ ලැයිස්තුවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය වෙබ් අඩවියේ පළ කර තිබේ.

ඒ, අතරට හිටපු අමාත්‍යවරයෙක්, හිටපු පළාත් ආණ්ඩුකාරවරුන් සිව්දෙනෙක්, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 6 දෙනෙකු, හිටපු තානාපතිවරුන් 29 දෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඇතුළත් වේ.

එලෙස වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබානොදුන් හිටපු අමාත්‍යවරයා වන්නේ හිටපු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාය.

හිටපු ආණ්ඩුකාරවරුන් වන මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, සෙන්තිල් තොන්ඩමන්, නවීන් දිසානායක, විලියම් ගමගේ යන පිරිස වත්කම් හා බැරකම් ප්‍රකාශ අදාළ දිනය වනවිට ඉදිරිපත් කර තිබුණේ නැත.

එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, තාරක බාලසූරිය, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ සුරේන් රාඝවන් යන පිරිස ද එලෙස වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොතිබූ ලැයිස්තුවට අයත් වේ.

ඉන්දීය නෞකාවක් කොළඹ වරායට….

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.

සැපයුම් හා ‍සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම නෞකාව ඊයේ (20) මෙරටට පැමිණි බව නාවික හමුදාව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකරනු ලැබීය.

දිවයිනට  පැමිණි Frigate වර්ගයට අයත් ‘INS SATPURA’ නෞකාව, දිගින් මීටර් 142.5ක් සහ නැවේ කර්යමණ්ඩලය 403 දෙනෙකුගෙන් සමත්විතයි.

‘INS SATPURA’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිත බව නාවික හමුදාව සඳහන් කළේය.

ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවන බව සෞඛ්‍ය ඇමති කියයි….

මේ වන විට පවතින ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි

අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ප්‍රසම්පාදනයේ පවතින ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවය.

එමෙන්ම මේ වන විට ඖෂධ ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ආරම්භ වී ඇති බවත් ඒ අනුව එළැඹෙන නොවැම්බර් මාසයෙන් පසුව අදාළ ඖෂධ ගෙන ඒමටද නියමිත බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා

“සමහර ඖෂධ ප්‍රයිවට් මාර්කට් එකෙත් නෑ, එළියෙත් නෑ, වෙළෙඳපොළෙත් නෑ, ෆාමසිවලත් නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි ඖෂධ ලියාපදිංචියේදී අසීමිත ලෙස මිල ගණන් ඉදිරිපත් කරලා ලියාපදිංචි කරන්න දෙන්නේ නැහැ දැන්.  දකුණු ආසියානු රටවල මේ මොහොතේ වෙළෙඳපොළ තත්ත්වය මොකක්ද කියන එකත් සලකලා බලලා යම් මිල පරාසයක් නියම කරලා තියෙනවා. ඒකට කැමති නැති කට්ටිය ඖෂධ සපයන්නේ නෑ. SPC එකට අපි ඇණවුම් ටික භාර දීලා තියෙන්නේ ටෙන්ඩර් කරන්න කියලා. දැන් ඒ කටයුතු සිදුවෙනවා 80%-85%ක් විතර දැන් ඒ කටයුතු අවසානයි. අපි ප්‍රසම්පාදනය කරපු ඖෂධ මේ නොවැම්බර්වලින් පසුව එන්න නියමිතයි. අනෙක් කාරණය විවිධ හේතුමත ව්‍යාපෘති නතර කිරීමේ ප්‍රතිඵලය තමයි දැන් දෙගුණයක් මුදල් වියදම් කරන්න වෙලා තියෙනවා භාණ්ඩාගාරයෙන් මේ වෙනුවට. ව්‍යාපෘති 17ක් තියනවා ලංකාවේ නතරවුණ තැනින් ආරම්භ කරනවා. ඒ ව්‍යාපෘති 17ට වර්තමානයේ වියදම් කරන්න වෙලා තියෙනවා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 59ක්. නියමිත පරිදි 2018දී 2020දී හෝ 2022දී අවසන් කළා නම් අපිට යන්නේ බිලියන 29යි.”

විදුලිබල සාකච්ඡාව මැද්දේ විරෝධය පා වෘත්තිය සමිති නියෝජිතයින් ඉවත්වෙයි….

විදුලි වෘත්තීය සමිති හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අතර අද (20) පැවති සාකච්ඡාව අතරතුරදී විදුලි වෘත්තීය සමිති සමාජිකයින් විරෝධය පලකරමින් ඉන් පිටව ගිය බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව අද (20) විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී පැවැත්වුණි.

සාකච්ඡාව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අධ්‍යක්ෂවරයාද සභාගිවී සිටි බවත් ඔහුට විරෝධය පළකරමින් විදුලි වෘත්තීය සමිති සමාජිකයින් මෙලෙස ඉවත් වී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරු 25 දෙනෙකු සහ වෘත්තීය සමති නියෝජිතයින් තිදෙනෙකු සහභාගීවී සිටි බව සඳහන්ය.

විදුලි සේවකයින් විසින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය එළැඹෙන 21 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම විදුලි වෘත්තීය සමිති සඳහන් කරන්නේ, ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් 24 වනදා තීරණයක් ගැනීමට නියමිත බවය.

එජාප 79වන සංවත්සරය අද….

එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර උත්සවය එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වේ.

ඒ මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසු ප්‍රසිද්ධ උත්සවයකට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.

“ඔබේ මතය ඔබ දරන්න – ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න එකට සිටගමු” මැයෙන් මෙම සංවත්සරය ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී පැවැත්වේ.

මෙම සැමරුම් උත්සවයට විපක්ෂයේ පක්ෂ රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් එක්ව සිටීම විශේෂත්වයක්.

ඒ අනුව මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර,  ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහලේකම් සාගර කාරියවසම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් එක්ව සිටියි.

අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ ඩී.එස්.සේනානායක මහතා ඇතුළුව මෙරට දිවංගත කෘතහස්ත දේශපාලන නායකයින්ට පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී සිදු කෙරුණි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්….

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එළැඹෙන සඳුදා (22) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.

එම නඩුව විභාගකරන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද නිවාඩු ලබාසිටීම හේතුවෙන් මෙලෙස එම නඩුව ලබන සඳුදා දක්වා කල් තැබීමට නියම වී ඇත.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අයත් බව කියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ, 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පවත්ව ඇත.

එකී දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර වන්දි ගෙවීමට බලපෑම්කර ඇති බව ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එහිදී රු. 8,850,000ක් (ලක්ෂ 88) වන්දි ලබාගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපොළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.