වහාම ක්‍රියාත්මක වන පරිදි හරීන්ට එජාපයේ ප්‍රධාන තනතුරක්…..

වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ඇත.

මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කරගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දුන් තනතුරේ වගකීම බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් 1,000 භාරය ක්‍රියා කරන්නේද හරීන් ප්‍රනාන්දු මහතා බව වාර්තා වේ.

හෙට මන්ත්‍රීවරියන් රෝස පැහැති ඇඳුමෙන් පාර්ලිමේන්තුවට….

ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස  කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

ඒ අනුව හෙට (22) දින පාර්ලිමේන්තුවට පැමිණීමේ දී අදාළ නිවේදනය අනුව ක්‍රියාකරන ලෙස අද පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා පැවසීය.

එසේම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසදය විසින්, හෙට දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් හට පැළඳීම සඳහා ලාංඡනයක් බෙදාහැරීමට කටයුතු සුදානම් කර ඇති බව බවත්, පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරයන්ට එම ලාංඡනය මන්ත්‍රී පිවිසුමේ දී ලබාදීමට කටයුතු කරනු ලබන බවත්, කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක්…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (20) පෙරවරුවේ සිදුව තිබේ.

පසුගිය සමයේ විවිධ හේතු නිසා විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා ප්‍රමාද වීම සහ නිසි කාලය තුළ සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ආචාර්යවරුන්ට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයෝ ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

එම උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගනිමින් ඒවා හැකි ඉක්මනින් අවසන් කිරීමටත්, එකතු වී ඇති කාර්ය කාර්යක්ෂමව ඉටු කිරීමටත්, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමටත් අදාළව සැලැස්මක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට දැනුම් දුන් අතර, එම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රජය මගින් සලසා දීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

එමෙන්ම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ ඔවුන් විශ්වවිද්‍යාල තුළ රඳවා ගැනීමත්, උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමත් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය විවෘත වෙයි….

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය අද (20) පෙරවරුවේ කොළඹ පිහිටි පොලිස් මූලස්ථානයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලේදී විවෘත විය.

ඒ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම නව විමර්ෂන කොට්ඨාසය ස්ථාපිත කෙරෙනුයේ 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විදි විධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සඳහාය.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ යම් කිසි අයෙකු නීති විරෝධීව යම් ආකාරයකින් මුදල් උපයා බොහෝ දේ අත්පත් කර ගැනීමට උත්සාහ දරන්නේ නම් මෙම පනත මගින් එය මැඩ පැවැත්වීමේ හැකියාව ලැබෙන බවය.

එමෙන්ම මෙම පනත හරහා සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමද යම් ආකාරයකට මැඩ පැවැත්වීමේ හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

“මේක සුවිශේෂී පනතක් හැටියට හඳුනා ගන්න පුළුවන්. මේ හරහා නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඉඩ ලැබෙනවා. ඊට අවශ්‍ය සියලුම බලතල ලබා දීලා තියෙනවා. දැන් මේ රටට පුළුවන් අලුත් පනත් නැතත් මේ පනත හරහා සංවිධානාත්මක අපරාධත්, මත්ද්‍රව්‍යත් යම් ප්‍රමාණයකින් මැඩ පවත්වන්න. අයෙක් නීති විරෝධී ආකාරයකින් මුදල් උපයලා ඔහු බොහෝ දේ අත්පත් කරගන්න උත්සාහ කරනවානම් ඒ උත්සාහයන් සියල්ල මේ පනත හරහා ව්‍යාර්ථ කරන්න හැකියාව ලැබෙනවා.”

එමෙන්ම මෙම අවස්ථාවට එක්වෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ මෙපමණ බලයක් ලැබුණු පනතක් මින් පෙර නීති පද්ධතිවල නොතිබූ බවත් මේ වන විට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලදාරීන්ට උපරිම බලය ලැබී ඇති බවත්ය.

ඒ අනුව සියලුම පොලිස් නිලධාරීන් මෙම බලය අවභාවිත නොකර මහජනතාවගේ යහපත මෙන්ම රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා ලැබී ඇති මෙම බලය ක්‍රියාත්මක කරන ලෙසත් පොලිස්පතිවරයා සියලු පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද සිදුකළේය.

එහිදී අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා,

“මෙච්චර බලයක් හම්බුණ පනතක් දැනට  නීති පද්ධතිවල නෑ. පොලිස් නිලධාරීන්ට උපරිම බලය තියෙනවා හැබැයි බලය අවභාවිත කරන්න එපා. මේ බලය මහජනතාවගේ යහපත වෙනුවෙන්, රටේ තියෙන නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා මේ බලය ක්‍රියාත්මක කරන්න.”

අගමැති හරිනි දිවයිනට පැමිනෙයි….

ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක නිරත වී සිටි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ.

අග්‍රාමාත්‍යවරිය ඊයේ (18) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය 16 වනදා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණි.

සිය සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා සිදුකළාය.

එමෙන්ම ඉන්දියාවේ NDTVආයතනය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක දේශනය ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සිදුකරනු ලැබුවාය.

ප්‍රකාශයක් දෙන්න නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස පොලීසියට….

නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සහ ඔහුගේ පුත්‍රයා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (18) ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත පැමිණ තිබේ.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේ පසුගියදා සිදුවු සිදුවීමට මුහුණදුන් නීතීඥවරයාගේ පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීම වෙනුවෙන් වන්නිනායක මහතා සහ ඔහුගේ පුත්‍රයා පොලීසිය වෙත පැමිණ ඇති බව සඳහන්ය.

පසුගිය 10 වැනිදා ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට චෝදනා කරමින් නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අදාළ පොලිස් කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැනවැදුන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය විය.

අදාළ පොලිස් කොස්තාපල්වරයා විසින් අධිකරණ පරිශ්‍රයේ තිබූ මෝටර් රථයක් ඉන් පිටතට ගන්නා ලෙස පවසා ඇති අතර එහිදි ඇති වු බහින් බස්වීමක් හේතුවෙන් මෝටර් රථයේ සිටි නීතීඥවරයෙකුට ඔහු විසින් පහරදුන් බවට වාර්තා වුණි.

එම අවස්ථාවේදී නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සහ ඔහුගේ පුත්‍රයා ද අදාළ මෝටර් රථයේ සිට ඇති බව වාර්තා වෙයි.

සිද්ධියට මුහුණදුන් නීතීඥවරයා ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඊට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ගුණරත්න වන්නිනායක මහතා සහ ඔහුගේ පුත්‍රයා අද දින ගල්කිස්ස පොලීසිය වෙත කැඳවා තිබුණි.

මේ අතර සිද්ධියට මුහුණදුන් පොලිස් කොස්තාපල්වරයාට ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබා දී තිබු නමුත් ඔහු මේ දක්වාත් රාජකාරියට වාර්තා කර නොමැති බව සඳහන්ය.

අසනීප නිවාඩු වාර්තා කරමින් ඔහු මෙලෙස නිවාඩු ලබා ඇති අතර නීතීඥවරයාගේ පැමිණිල්ලට අදාළව ඔහුගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත කැඳවීමක් සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සජබය සමඟ සාකච්ඡාවට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්….

සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ඒජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතිඥ රොලන්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීන් මෙම කමිටුවට පත්කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

නීතිඥ ගුණරත්න වන්නිනායක ඇප මත මුදා හැරේ….

අද (15) පස්වරුවේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය  වෙත භාර වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

ඒ, ඔහු අද පස්වරුවේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත්වීමෙන් අනතුරුවය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සමග පැමිණ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට ඉදිරිපත් වී තිබුණි.

පසුගිය සිකුරාදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධාවක් සිදුකළේ යැයි කියන සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට ඔහු අද අධිකරණයට භාර විය.

හිටපු ඇමති මනූෂ අධිකරණයට රැගෙන එයි…..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යනු ලැබීය.

අද (15) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

ඉකුත් රජය සමයේ ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අල්ලස් කොමිසම වෙත පැමිණියේය.

නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණයට….

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟ ඔහු මෙලෙස පෙනි සිට ඇත.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ ගුණරත්න වන්නිනායක මහතා අද (15) අධිකරණයට ඉදිරිපත් වන බවය.