බලශක්ති සැපයුම ගැන ජනපතිගෙන් සහතිකයක්…..

කුමන බාහිර බලපෑම් එල්ලවුවද බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද පස්වරුවේ කොළඹ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“මම හිතන්නේ කිසිදු ජගතෙකුට පුරෝකථනය කරන්න පුළුවන් තත්ත්වයක් ලෝකයේ නැහැ. යුද්ධයට මැදිහත් වෙලා ඉන්න පාර්ශවකරුවන්ටත් පුරෝකථනය කරන්න බැහැ. මාස දෙකකට වඩා වැඩිය යුද්ධය යනවා. ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙන්නම් මේ මාස දෙකේ බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදෙන්න අපි වගවෙනවා. මිල උච්චාවචනය විය හැකියි. මම තෙල් ළිං අයිතිකාරයෙක්, මට ලාභ ගන්න වැඩිකරනවා නෙමෙයි මේ. එහෙම නැත්නම් තෙල් සමාගමක ඒජන්තයෙක් මට ලාභ ලාබාගනීම සඳහා තෙල් වැඩිකරනවා නෙමෙයි. මම තෙල් සමාගම නෙමෙයි කවර සමාගමකවත් ඒජන්තයෙක් නෙමෙයි. හැබැයි අපිට වගකීමක් තියෙනවා ආණ්ඩුවක් විදිහට මේ බලශක්ති සැපයුම අඛණ්ඩව සිදුකරන්න. ඒ සැපයුම සඳහා අවශ්‍ය මූල්‍ය උපායන් සියල්ල අපි සකස් කරනවා. අභ්‍යන්තරව ඇතිවන කම්මපනයට අපිට මුහුණ දෙන්න පුළුවන්කම ලැබුණා. හැබැයි බාහිර කම්පනයට මුහුණ දෙන්න තව ටිකක් කල් යයි මේ ගොඩනැගෙමින් තිබෙන වෙලාවක් අපිට කම්පනයක් ඇතිකරලා තියෙනවා.”    

ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවට පළවන ප්‍රචාර අසත්‍යයි….

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ආශ්‍රිතව ගල් අඟුරු සැපයීම ඇතුලු විවිධ ගැටලු මතු වී ඇති බවත් මේ හේතුවෙන් ඉදිරියේදී සහ අප්‍රේල් මාසයේදී විදුලිබල කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි පළවන ප්‍රචාර සාවද්‍ය බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කරනුයේ නොරොච්චෝල බලාගාරයට ඉදිරි කාලය සඳහා ඇනවුම් කළ ගල් අඟුරු නැව් 36න් 22ක් මේ වන විට ගොඩ බා ඇති බවත් බලාගාරයේ කටයුතු ද සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවත්ය.

එමෙන්ම ඉතිරි සැපයුම් බාදාවකින් තොරව සැපයිය හැකි බවට සැපයුම්කරු අවධාරණය කර ඇති බවත් සඳහන් කර ඇති අමාත්‍යාංශය පැවසුවේ අවශ්‍ය වේ නම් හදිසි ගල් අඟුරු සැපයීමක් සඳහා කළ යුතු මූලික පියවරයන් ගෙන ඇති තත්ත්වයක් තුළ හා අප්‍රේල් මාසය අවසානය තෙක් විදුලි ජනනය සඳහා අවශ්‍ය දැවි තෙල් තොග පවතින තත්ත්වයක් තුළ ඉහත පරිදි විදුලි කප්පාදුවක් ඇති නොවන බවය.

මේ හේතුවෙන් පළවන එවැනි සාවාද්‍ය සහ නොමග යවන සුළු ප්‍රචාර හමුවේ නොරැවටෙන ලෙසද සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මිල ඉහළයාම අපිටත් දරන්න වෙනවා – අමාත්‍ය වසන්ත සමරසිංහ…..

ලෝකයේ මිල ඉහළයෑම් අපට පාලනය කළ නොහැකි බවත් තෙල් සැපයුම හා ගෑස් සැපයුම අඩු කළහොත් මිල ඉහළ ‍යාම සිදුවන බවත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

දැනටමත් මිල ඉහළ යාමක් වාර්තා වී ඇති අතර එම ඉහළ යාම අනිවාර්යෙන්ම අපටත් දැරීමට සිදුවන බවද එය නතර කළ නොහැකි තත්ත්වයක් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මැදපෙරදිග ඇති වී තිබෙන මෙම තත්ත්වය මුළු ලෝකයටම බලපාන තත්ත්වයක් වන අතර විශේෂයෙන් නැව් මාර්ග භාවිත කර ආනයන, අපනයන කරන සෑම රටකටම මෙය විශාල ගැටලුවක් වන බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,
”මැදපෙරදිග ඇතිවෙලා තියෙන තත්ත්වය මුළු ලෝකයටම බලපාන තත්ත්වයක්.. විශේෂයෙන් නැව් මාර්ග භාවිත කර ආනයන, අපනයන කරන සෑම රටකටම මෙය ප්‍රශ්නයක්..ලෝකේ මිල ඉහළයාම අපට පාලනය කරන්න බෑ.. මොකද තෙල් සැපයුමත් ගෑස් සැපයුමත් අඩු කළොත් මිල ඉහළ යනවා.. දැනටමත් මිල ඉහළ යාමක් වාර්තා වෙනවා ඒ මිල ඉහළ යාම අනිවාර්යෙන්ම අපිටත් දරන්න වෙනවා.. ඒක අපිට නවත්වන්න බෑ”

ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන්ට දැනුම්දීමක්…

ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ කටුනායක ගුවන්තොටුපොළේ කටයුතු සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වන නමුත් මැදපෙරදිග කලාපයේ ගුවන් මාර්ග වසා දමා තිබීම හේතුවෙන් ලෝක ගුවන් ගමන් තවමත් දැඩි ලෙස බාධා වී ඇති බවය.

එහෙත් මැදපෙරදිග හරහා නොයන වාණිජ ගුවන් ගමන් කිහිපයක් භාවිතා කළ හැකි බවත්, ගුවන් ගමන් ප්‍රමාදය හෝ අවලංගු වීම පිළිබඳව තම ගුවන් සමාගම සමඟ සෘජුව සම්බන්ධ විය යුතු බවත් දැනුම්දී ඇත.

මේ අතර ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයන්ට විකල්ප පිටත්වීම් සැලසුම් කර ගැනීමට අවස්ථාව ලබාදෙමින් දින 14ක නොමිලේ වීසා දිගුවක් ලබාදීමටද පියවර ගෙන තිබේ.

හදිසි සහාය අවශ්‍ය නම්  එක්සත් ජනපද තානාපති කාර්යාලයෙ හි අමෙරිකානු පුරවැසි සේවා අංශය (+94 11 202 8500) හරහා සම්බන්ධ විය හැකි අතර, සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පස්වරු 1.00 – 2.00 අතර වැඩකරන දිනයන් හිදී  සේවාවද ලබාදෙන බව සඳහන් වේ.

එමෙන්ම ගුවන් ගමන්වලට අමතර කරුණු සඳහා ශ්‍රී ලංකා සංචාරක  1912 අංකයට සම්බන්ධ විය හැකි බවද දැනුම්දී ඇත.

අවසන් ආරක්ෂක යාවත්කාලීන තොරතුරු සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙබ් අඩවිය සහ නිල සමාජ මාධ්‍ය නාලිකා අනුගමනය කරන ලෙසද පුරවැසියන්ට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකාව අධි අවදානම් ගමනාන්තයක් ලෙස නම් කළ බවට පළ වන වාර්තා ඔස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි….

ඕස්ට්‍රේලියානුවන් සඳහා ශ්‍රී ලංකාව අධි අවදානම් සංචාරක ගමනාන්තයක් ලෙස වර්ගීකරණය කර ඇති බවට පළ වන වාර්තා කොළඹ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.

මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, ශ්‍රී ලංකාව සඳහා ඕස්ට්‍රේලියාවේ නිල සංචාරක උපදෙස් මට්ටම වෙනස්වී නොමැති බවය.

නිවැරදි සහ යාවත්කාලීන සංචාරක උපදෙස් සඳහා නිල ස්මාර්ට්‍රේවෙලර් වෙබ් අඩවිය මත විශ්වාසය තබන ලෙස මෙහෙයුම ඕස්ට්‍රේලියානුවන්ගෙන් එම කාර්යාලය ඉල්ලා සිටියි.

සමාජ මාධ්‍යවල සංසරණය වන ඇතැම් පණිවුඩ ශ්‍රී ලංකාව සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරක උපදේශනයට වැරදි ලෙස වෙනස්කම් යෝජනා කර ඇති බව මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

නවතම සංචාරක මාර්ගෝපදේශ සඳහා සංචාරකයින් සැමවිටම ස්මාර්ට්‍රේවෙලර් වෙත යොමු විය යුතු බව මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරයි.

නොරොච්චෝලයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වී ඇති බවට විපක්ෂයෙන් චෝදනා….

නොරොච්චෝලය බලාගාරයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ එහි එක් කොටසක් මේ වන විට අඩු ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බවය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, “නොරොච්චෝලය විදුලි බලාගාරයේ බරපතළ තත්ත්වයක් තියෙනවා එකේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් නතර වෙලා තියෙනවා. ඒ නිසා එක ප්ලාන්ට් එකක් දුවන්නේ අඩු ධාරීතාවයෙන්. ඒ වගේම ධුමාරය වැඩිපුර නිකුත්වෙනවා.” යනුවෙනි.

මේ අතර බාල ගල්අඟුරු දහනය කිරීම හේතුවෙන් නොරොච්චෝලය විදුලි බලාගාරයෙහි එක් කොටසක වැඩකටයුතු නතර කිරීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මේ වන විට බලාගාරයේ එක් පද්ධතියක චිමිනියෙන් දැඩි ලෙස කළු දුමක් නිකුත් වෙමින් පවතින බවයි.

එමෙන්ම එහි ස්ථාපිත කර තිබූ ෆිල්ටර් පද්ධතිය ඉවත් කර ඇති බවට ද තොරතුරු ලැබී ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

“මේ වේලාව වෙනකොට නොරොච්චොලය බලාගාරයේ එක ප්ලාන්ට් එකක චිමිනියෙන් කළු දුමක් යනවා. ඉතාමත්ම ප්‍රභල ලෙස එම දුම ඒ ප්‍රදේශය වහගෙන තියෙනවා. ඒකට හේතුව තමයි බාල ගල්අඟුරු දහනය කිරීම හේතුවෙන් ඊයේ දිනයේදී මේ බලාගාරයේ වැඩකටයුතු නතර කරන්න සිදුවුණා එක ප්ලාන්ට් එකක. දැන් මේ චිමිනියේ තියෙන ෆිල්ටර් සිස්ටම් එක අයින් කරලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. මේ දේ නිසා ඒ ප්‍රදේශයේම බරපතළ ලෙස පරිසර හානියක් සිදුවෙලා තියෙනවා.”

සුරේෂ් සලේ පාස්කු නඩුවක තුන්වැනි සැකකරු ලෙස නම් කෙරේ….

රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන නඩුවක තුන්වන සැකකරු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) පියවර ගත්තේය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වැනිදා පෑලියගොඩදී අත්අඩංගුවට ගැනුණේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබලදීමේ චෝදනා යටතේය.

අනතුරුව සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විදිවිධාන පනත ප්‍රකාරව දින 90ක කාලයක් රැඳවුම් භාරයේ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යවරයාගෙන් අවසර ලබාගත්තේය.

එවැනි පසුබිමක සලේ මහතාගේ නීතිඥයින් ඊයේ (04) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් ඉල්ලා සිටියේ  සිය සේවාදායකයා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ තබාගැනීමේ නියෝගය ඉහළ අධිකරණයක අභියෝගයට ලක්කිරීමට සදහා මේ සම්බන්ධ නඩුවල සහතික කළ පිටපත් ලබාදෙන ලෙසටය.

එමෙන්ම සිය සේවාදායකයා හමුවීමට තමන්ට අමතර දිනයක් ලබාදෙන ලෙසත්, ඔහුට නිවසින් ආහාර රැගෙන යාමට අවසර ලබාදෙන ලෙසත් නීතිඥයින් ඉල්ලීමක් කළේය.

මෙහිදී අදාළ නීති කෘත්‍යයන්හි සහතික පිටපත් නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළද අනෙකුත් ඉල්ලීම් සඳහා නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් අධිකරණයට කරුණු වාර්තාකර නොමැති බව පවසමින්ය.

මෙවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට සුරේෂ් සලේ මහතා රැඳවුම් භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කළේය.

එමගින් ඔවුන් සඳහන් කර තිබුණේ වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශන නොමග යැවීම සහ සයින්දමර්දු නිවසේ සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 35882/24 නඩුවේ තුන්වැනි සැකකරු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා නම් කරන බවය.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින සැකකරු, මහෙස්ත්‍රාත්වරයාට සුදුසුයැයි හැඟෙන දිනයක එම දෙපාර්තමේන්තුවට පැමිණ නිරීක්ෂණය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු දැක්වීම් අධිකරණය හමුවේ ලිඛිතව සටහන්කර තැබීමට නියෝගකළ මහෙස්ත්‍රාත්වරයා නුදුරු දිනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සැකකරු නිරීක්ෂණය කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දුනි.

දෙවන ඉරාන නෞකාව සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශය

ඉරානයට අයත් ‘IRIS Bushehr’ නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ එහි 208ක් වූ නෞකාවේ කාර්ය මණ්ඩලය මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවය.

මෙහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු කලාපයන් සහ ගුවන් කලාපය කිසිදු රාජ්‍යයකට ගැටුම්වලදී පක්ෂපාති ආකාරයෙන් භාවිත කිරීමට හෝ වෙනත් රටකට පීඩාවක් ඇතිවන ආකාරයෙන් භාවිත කිරීමට ඉඩ නොදෙන බවය.

“විශේෂයෙන්ම මෙම මැදපෙරදිග ගැටුමේදී සහ ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරය සහ මධ්‍යස්ථභාවය වන්නේ අපේ භූමිය, මුහුදු කලාපය, ගුවන් කලාපය කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාති ආකාරයෙන් හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කිරීමට ඉඩ නොතැබීමයි. 

ඒ නිසා ගැටුම ආරම්භ වූ මොහොතේ සිටම අපි විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග, කරනු ලැබු ප්‍රකාශ මේ සියල්ල මේ ස්ථාවරය මත පදනම්ව තිබෙනවා. ඒ අනුව තමයි ඉරානයේ නෞකා දෙකක් පිළිබඳ මේ ප්‍රශ්නය මතු වී තිබෙන්නේ. එහිදීත් අපි අනුගමනය කරමින් තිබෙන්නේ මධ්‍යස්ථභාවයයි. ඒ වගේම අපි ජාතියක් ලෙස, රාජ්‍යයක් ලෙස මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන ගමන් මනුෂ්‍යත්වය අංක එකට තබනවා. අපි මනුෂ්‍යත්වය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා නම් ඒ ක්‍රියාමාර්ග ගැනීමට අපි කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. මම හිතනවා එය තමයි රාජ්‍යයක් පවත්වා ගත යුතු හොඳම ප්‍රතිපත්තිය. අපි ඒ ප්‍රතිපත්තිය තුළ කටයුතු කරනවා. 

පසුගිය 26 වන දා ඉරානය විසින් නාවික යාත්‍රා 03ක් මාර්තු 09 සිට 13 දක්වා දින 04 තුළදී අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අපේ වරායට ප්‍රවිශ්ට වීම සඳහා අවසර ඉල්ලා සිටියා. එය හැඳින්වූයේ සහයෝගීතාව වර්ධනය කරන සංචාරයක් කියලා. අපි සොයා බලන විට ඔවුන් අපේ ජාතික ජල තීරයේ ආසන්නයේ, ඉන් ඔබ්බෙන් තමයි රැඳි සිටියේ. ඔබ කවුරුත් දන්නවා සහයෝගීතා සංචාරයක් ඒ අන්දමින් සිදු වන්නේ නැහැ. ඒකට අවශ්‍ය විශාල ක්‍රියාපරිපාටි තිබෙනවා. ඒ නිසා අපි එම  ක්‍රියාපරිපාටි අධ්‍යයනය කරමින් සිටියා, ඒ අතරතුර 27 වන දා අපිට වාර්තා කළා අද දින අපේ භාරයට අරන් තිබෙන නෞකාවේ එක් නාවිකයෙකු යම් ආපදාවකට ලක් වී තිබෙන බව. ඒ නිසා අපෙන් ඉල්ලා සිටියා එම නාවිකයා සහ නිලධාරියෙක් මානුෂික අවශ්‍යතා සඳහා ගොඩබිමට රැගෙන එන ලෙස. ඒ අනුව, අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව මැදිහත් වී ආබාධයට ලක් වූ කෙනා සහ ඔහුට රැකවරණය දෙන නිලධාරියා යන දෙදෙනාම ගොඩබිමට ගෙනැවිත් අවශ්‍ය වෛද්‍ය කටයුතු සඳහා යොමු කළා. 

මේ අතරතුර, මාර්තු 04 වන දා අලුයම 5 පසු වී විනාඩි 08 සහ විනාඩි 30 අතර කාලය තුළ අපේ ජල තීරයෙන් ඔබ්බෙන්, ආසන්න වශයෙන් ගත් විට ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 19ක දුරින් යම් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව සහ එම ප්‍රදේශයෙන් ආපදා අනතුරු සංඥාවන් නිකුත් කරන බව වාර්තා වුණා. ඒ අනුව ආපේ නාවික හමුදාව සහ විශේෂයෙන් ගුවන් හමුදාව විශාල මෙහෙයුමක නිරත වුණා. එම මෙහෙයුමේදී අපි මධ්‍යස්ථයි වගේම මානවවාදි බව කිව යුතුයි. ඒ අනුව, අපේ හමුදාව ක්ෂණිකව මැදිහත් වීමෙන් පුද්ගලයන් 32ක් මුදවා ගැනීමේ හැකියාව ලැබුණා. මළ සිරුරු 84ක්ද හමු වුණා.  අපි මළ සිරුරු 84ත්, තුවාල ලැබූ පුද්ගලයන් තිස් දෙදෙනාත් ගොඩබිමට රැගෙන ආවා. දැන් එම තුවාලකරුවන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. 

දෙවනුව, මෙම සාකච්ඡාවට බඳුන් වන IRIS Bushehr නෞකාව මාර්තු 04 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයට වාර්තා කළා මාර්තු 04 සහ 05 කියන දෙදින තුළ අපේ වරායට සේන්දු වීමට අවස්ථාව ලබා දෙන්න කියලා. 

අපි සාකච්ඡා කරමින් සිටියා කළ යුතු වන්නේ කුමක්ද කියලා, අපේ විදෙස් ඇමතිතුමා, ඉරාන විදෙස් ඇමතිතුමා සමඟ සාකච්ඡා කළා. ඒ වගේම, තානාපති කාර්යාලය අපේ විදෙස් කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටියා. 

අනතුරුව, ඔවුන් දන්වා සිටියා ඔවුන්ගේ එක් එංජිමකට ආපදාවක් සිදු වී තිබෙන බව. එහිදී අපි කටයුතු කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටියා. අපේ ජාතික ජල තීරය තුළ අපි අනුගමනය කළ යුතු සම්මුතීන් තිබෙනවා. එක පැත්තකින් එය නාවික යාත්‍රාවක්. යුද්ධයක එක් පාර්ශ්වයකට හිමි යාත්‍රාවක්. ඒ වගේම අපි මධ්‍යස්ථ රාජ්‍යයක්.  මධ්‍යස්ථ රාජ්‍යයක් එවැනි නෞකාවක් පිළිබඳව කටයුතු කරන්නේ කවරාකාරයෙන්ද? ඒ සදහා එක්සත් ජාතීන්ගේ සාගර සම්මුතිය, 1907 හේග් සම්මුතිය. මේ ආදී සම්මුතිවලින් අපට පැවරී තිබෙන බලතල සහ අපේ ක්‍රියාමාර්ග පිළිබඳව අපි දිගින් දිගටම සාකච්ඡා කරමින් තිබුණා. මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවන බව හොඳින් තේරුම් ගත යුතුයි. මධ්‍යස්ථ රාජ්‍යයක්, එක් පාර්ශ්වයක නෞකාවක්, අපේ වරායන් සඳහා ඒමට කරන ඉල්ලීමක්. එය අප සැලකිල්ලට භාජනය කළ යුතු වන්නේ ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සහ ජාත්‍යන්තර බැඳීම් අනුවයි. 

එ’නිසා කලබලයට කළ හැකි දෙයක් නෙවෙයි, ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සහ ජාත්‍යන්තර බැඳීම් අනුව අප දෙපාර්ශ්වය අතර අවබෝධයකට පැමිණිය යුතුයි. අප දෙපාර්ශ්වය අතර එකගතාවකට ආ යුතුයි. එ’නිසා එම නෞකාවේ කපිතාන් සහ අපේ නාවික හමුදාවේ නිලධාරීන් සාකච්ඡාවල නිරත වුණා. තානාපති කාර්යාල සමඟ සාකච්ඡාවල නිරත වුණා. විශේෂයෙන්ම ඉරාන තානාපති කාර්යාලය දැනුවත් කරමින් මේ ක්‍රියාවලියට ප්‍රවිශ්ට වුණා. එම නිසා ඒ සාකච්ඡාවලින් අනතුරුව අපේ යෝජනාව වූයේ මෙම පිරිසත්, මෙම නෞකාවත් අපේ භාරයට ගැනීමට ලෑස්ති බවයි. ඒ සඳහා සාකච්ඡා කර ගත යුතු වන්නේ අප අතර ඇති එකඟතා සහ සම්මුතීන් පිළිබඳවයි. ඒ අනුව, නෞකාවේ සිටින පිරිස මුදා ගැනීම සඳහාත්, ඒ වගේම නෞකාව ස්ථානගත කරන්නේ කොතනද යන්න පිළිබදවත් පොදු එකඟතාවකට ආවා. කොළඹ වරාය ආසන්නයේ මෙම නෞකාව තිබුණත්, කොළඹ වරාය අපේ ප්‍රධානතම වාණිජ වරායයි. එවැනි නෞකාවක් ප්‍රධාන වාණිජ වරාය තුළ රඳවා තබා ගැනීම අපේ නාවික කර්මාන්තයට බලපෑමක් ඇති වීමේ අනතුරක් තිබෙනවා. 

එ’නිසා අපි තීරණය කළා එම නෞකාව කොළඹ වරායට රැගෙන එන්නේ නැතිව ත්‍රිකුණාමලය වරායට රැගෙන එනවා කියලා. හැබැයි, ත්‍රිකුණාමලය වරායට රැගෙන යන්න කලින්, එහි සිටින පිරිස අපි කොළඹ වරායට ළඟා කර ගන්න කැමතියි, ඒ අනුව අපේ නාවික යාත්‍රාව එම යාත්‍රාව සමීපයට ගොස් මේ වන විට ඔවුන් මුදවා ගැනීමේ කාර්යයේ නිරතව සිටිනවා. දැනට වාර්තා වී තිබෙන ආකාරයට 208 දෙනෙක් ගොඩබිමට රැගෙන ඒමට සූදානම් කර තිබෙනවා. ඒ අතර නිලධාරීන් 53  දෙනෙක් සිටිනවා. කැඩෙට් නිලධාරීන් 84ක් සිටිනවා. ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් ඉන්නවා. නාවිකයන් 23ක් සිටිනවා. මේ පිරිස අපේ නෞකාවෙන් අපේ යාත්‍රා වෙත රැගෙන කොළඹ වරායට රැගෙන ඒමට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ඉන් අනතුරුව, එම නෞකාවට අවශ්‍ය කාර්ය මණ්ඩලයත්, අපේ නාවිකයන් සමඟ ඒකාබද්ධව එම නෞකාවත් ත්‍රිකාණාමලය වරායට රැගෙන යෑමට අපි සැලසුම් කර තිබෙනවා. එම නෞකාව ත්‍රිකුණාමලයට රැගෙන යෑමට අපි උත්සාහ කරන්නේ මෙම කණ්ඩායම ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමෙන් පසුවයි. එනිසා අපි ඉතා පැහැදිලි ස්ථාවරයක් අනුගමනය කර තිබෙනවා. අපි කිසිදු රාජ්‍යයකට පක්ෂපාතීව හෝ කිසිදු රාජ්‍යයකට යටත් වීමට කටයුතු කරන්නේ නැහැ.
අපි ස්වෛරී රාජ්‍යයක්, ස්වාධීන රාජ්‍යයක්. ඒ වගේම අපිට රජයක් හැටියට අපේ මුහුද පිළිබදව වගකීමක් තිබෙනවා. අපේ රාජ්‍යය පිළිබඳව වගකීමක් තිබෙනවා. අපේ ජනතාව පිළිබඳව වගකීමක් අපිට තිබෙනවා. එයත් අපිට ප්‍රමුඛයි.  අපේ ජනතාව, අපේ මුහුදු තීරය මුළුමනින්ම අවදානමකට ලක් කර තීන්දු තීරණ ගත යුතු නැහැ. ඒ නිසා අපි තීන්දු තීරණ ගන්නේ අපේ ජනතාව සහ මාතෘ භූමිය ප්‍රමුඛතාවයේ තබාගෙනයි. එ’නිසා මොන අඬහැරයන් එළියේ තිබුණත්, මොන බලපෑම් තිබුණත් ඒ කිසිවකට අපි කලබල වන්නේ නැහැ. 

අපේ ස්ථාවරය බවට පත් වුණේ අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගෙන, අපේ මානවවාදය ඉස්මතු කරන්නේ කොහොමද? කිසිදු පුරවැසියෙක් මෙවැනි අනවරත යුද්ධයකින් මිය යා යුතුයි කියා අපි විශ්වාස කරන්නේ නැහැ. රාජ්‍යයක් විදිහට අපේ ප්‍රවේශය බවට පත් වන්නේ සෑම පුරවැසියෙකුගේම ජීවිතය  තමන්ගේ ජීවිතය හා සමාන කරමින් සැලකීමයි. අපි මේ තීන්දු තිරණ ගත්තේ ඒ අනුවයි. මේ යුද්ධයේදී අපි සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමට කැමතියි ලෝකයේ සාමය වෙනුවෙන් හැම කෙනාගේම කැපවීම මේ අවස්ථාවේ අවශ්‍යයි. සාමය වෙනුවෙන් කැපවීමක් අවශ්‍යයි.  මිනිසුන් මිය යනවා, විශාල ආර්ථික කුණාටුවකට හඹා යෑමේ අනතුරක් තිබෙනවා. යුද්ධය නිසා මුළු සමාජ දේහයේ යම් ගැටලුකාරි තත්ත්වයක් මතු වීමේ තත්ත්වයක් ඇති වී තිබෙනවා. එ’නිසා අද ලෝකයට ක්ෂණිකව අවශ්‍ය වී තිබෙන්නේ සාමය. එ’නිසා අපි සියලු පාර්ශ්වයන්ගෙන් සාමය වෙනුවෙන් කැපවීම පෙන්නුම් කරන ලෙසට ඉල්ලා සිටිනවා. එහිදී ගන්නා සෑම පියවරකටම රාජ්‍යයක් ලෙස අපේ සහාය ලබා දෙන්න ලෑස්තියි. අප මේ ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ඒ අනුවයි. මා දැක්කා,  අද දවස පුරාම ඉතාම අසත්‍ය, අතාර්කික කරුණු, ඇතැම් ඒවා චෝදනා මුඛයෙන්, ඇතැම් ඒවා විවේචනාත්මකව සහ බිය වැද්ද වීම වැනි විශාල සාකච්ඡාවක් තිබුණා. ඒ සියල්ල මධ්‍යයේ රජයක් වශයෙන් අපේ රටේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කරමින් මිනිස් ජීවිත ආරක්ෂා කරමින් ජාත්‍යන්තර සම්මුතින්වලට අපේ කැපවීම පෙන්නුම් කරන අන්දමින් අපේ මැදිහත් වීම කරනු ලැබුවා. ඒ මැදිහත් වීම අපි දැන් සිදු කරමින් සිටිනවා. රාජ්‍යයක් විදිහට අපි ගත යුතු ඉතාමත් නිර්භීත මෙන්ම මානවවාදී ක්‍රියාමාර්ගය එය බව අපි විශ්වාස කරනවා.”

මතභේදයට තුඩුදුන් ගල්අඟුරු නැව් පිළිබඳ PUCSL වාර්තාව ආංශික අධීක්ෂණ කමිටුවට භාරදෙයි….

මතභේදාත්මක ගල්අඟුරු නැව් නවයක් පිළිබඳ මහජන උපයෝගීතා කොමිසමේ වාර්තාව යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට භාරදී තිබේ.

එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව මඟින් අඩු ගුණාත්මක ගල්අඟුරු භාවිතයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීම හේතුවෙන් සිදු වූ සැබෑ මූල්‍ය අලාභය ගණනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම වෙත උපදෙස් ලබා දී තිබුණි.

නිශ්චිත ගුණාත්මක ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වූ ගල්අඟුරු ආනයනය කිරීම තුළින් මහජනතාව මත රුපියල් බිලියන 1.8 ඉක්මවන මූල්‍ය බරක් පැටවූ බව සභාපතිවරයා පසුගිය දා පැවසීය.

ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අගුරු නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා භාවිතා කිරීම තුළින් එහි ජනන යන්ත්‍රවලට හානි සිදුවිය හැකි බව බලශක්ති විශේෂඥයින් පසුගියදා අනතුරු ඇඟවීය.

සලේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ නවතම තත්ත්වය…..

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුව යම් යම් පාර්ශ්ව සැනසවීමට ගත් දේශපාලන ක්‍රියාදාමයක් බව පෙනීයන්නේ යැයි හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අද (4) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් අද මෝසමක් ගොනුකළ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, සලේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්නකරන හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් නීතීඥවරුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කළේය.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබේදැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා විමසා තිබේ.

එවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ නිලධාරියා කියා සිටියේ, මෙතෙක් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර නොමැති බවය.

එම අවස්ථාවේ සලේ මහතාගේ නීතීඥවරයා, ඒ මහතා ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් ඉටු කරන ලද සේවාව නිසා ඔහුට ජීවිත තර්ජන ඇති හෙයින් නිවසින් ආහාර ලබාගැනීමට ඉඩ ලබා දෙන ලෙසත්, ඔහුගේ පුත්‍රයාට ඔහු වෙත ප්‍රවේශය ලබාදීමට ඉඩ සලසන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එසේම ඔහුගේ නීතිඥයින්ට අවශ්‍ය නීති උපදෙස් ලබාදීම සහ ලබාගැනීම සඳහා පහසුකම් ලබා දෙන ලෙසත්,  නිවසින් ආහාර ලබාදීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

කෙසේ නමුත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ, සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බැවින් එම ඉල්ලිම්වලට ඉඩ ලබා දිය නොහැකි බවය.