යුදමය තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු විය හැකි බලපෑම සහ එය කළමනාකරණයට ගත යුතු කඩිනම් පියවර සොයා බැලීමේ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්…..

මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු විය හැකි බලපෑම සහ එය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

 ඉදිරියේදී ඇති විය හැකි තත්ත්ව උපකල්පනය කළ නොහැකි වුවත්, සෑම ක්ෂේත්‍රයකම මතු වන නව වර්ධනයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් සාමුහිකව මෙම අභියෝගය ජය ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 ඉන්ධන සහ ගෑස් සම්බන්ධව ඉදිරියේදී මතු විය හැකි අභියෝග සහ අවශ්‍ය තොග කළමනාකරණය කර ගැනීම පිළිබඳව මෙන්ම, සංචාරක, අපනයන, ආයෝජන ආදී අංශවලද ආහාර සුරක්ෂිතතාව සම්බන්ධව මතු විය හැකි තත්ත්ව සහ එමඟින් මෙරට උද්ධමනයට ඇති විය හැකි බලපෑමත් එය කළමනාකරණය කර ගැනීමට ගත යුතු පියවර පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාව මේ වන විට අත්පත් කර ගෙන තිබෙන ආර්ථික ස්ථාවරත්වයට සහ සාමාන්‍ය ජන ජිවිතයට ඇති වන බලපෑම අවම කර ගනිමින් උද්ධමනය පාලනය කිරීමේ ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 දැනට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වුවද, ඉදිරියේදී මතු විය හැකි අවදානම හමුවේ අවශ්‍ය තොග පවත්වා ගැනීම සහ එය කළමනාකරණයත්, ලෝක වෙළෙඳපොළේ සිදුවීමට නියමිත ඉන්ධන මිල උච්ඡාවචනයත් පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, මෙම තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සොයා බැලීය.

 ගෑස් සංචිත පවත්වාගෙන යාමේදී ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා මතුව ඇති ගැටලු සහ ඊට විසඳුම් සෙවීම පිළිබඳව මෙන්ම, ඒ වෙනුවෙන් කෙටිකාලීනව අනුගමනය කළ හැකි උපායමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

 සූවස් ඇළ සහ  හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි ස්ථාන වසා දැමීමෙන් නාවුක ගමනාගමනයට සිදු විය හැකි බාධා හේතුවෙන් කොළඹ වරායට ඇතිවිය හැකි බලපෑම අවමව තබා ගැනීම වෙනුවෙන් දීර්ඝකාලයක්     ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන නාවුක සමාගම්වල ඉල්ලීම පරිදි ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි…

සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්….

එළැඹෙන සිකුරාදා (06) වැනි දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබේ.

ඒ අනුව එදිනට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා වෙනත් දිනකදී විවාදයට ගැනීමටත් ඒ වෙනුවට 2026.02.28 දිනැති අංක 2477/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශනය ඇතුළු යෝජනා සම්මතය පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය විය.

අනතුරුව ප.ව 5.00ට අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමටත් ඉන්පසු ප.ව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමටත් නියමිතව ඇත.

මේ අතර පෙර තීරණය කර තිබූ පරිදි එදින පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. එසේම පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

එසේම  බදාදා (04)  සහ බ්‍රහස්පතින්දා (05) දිනවල පාර්ලිමේන්තු කටයුතු පෙර තීරණය කර තිබූ පරිදිම සිදු කෙරෙනු ඇත.

ශුද්ධෝත්තම පාප් වහන්සේට මෙරට සංචාරයකට එක්වන ලෙස ජනපතිගෙන් ආරාධනයක්….

ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබේ.

ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊයේ (02) වතිකානයේදී රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් මිහයිටා බ්ලාජ් පියතුමා (Msgr. Mihăiță Blaj) හමු වී මෙම නිල ආරාධනා පත්‍රය භාර දී ඇත.

මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන් සහ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්….

මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ, මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන කටයුතු සොයාබැලීමට සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව මෙන්ම සුභසාධනය වෙනුවෙන් ද රජය විශේෂ මෙහෙයුම් මාලාවක් දියත් කර තිබේ.

අද දින(01) සවස ජනාධිපති කාර්යාලයේදී සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ ජනාධිපති ලේකම් ආචර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණ ගනු ලැබීය.

සංචාරකයන් සඳහා වීසා සහන සහ පහසුකම්

දැනට දිවයින තුළ රැඳී සිටින සංචාරකයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සලකා බැලූ රජය, ඔවුන්ගේ වීසා වලංගු කාලය සති දෙකකින් (දින 14) ගාස්තුවකින් තොරව දීර්ඝ කිරීමට තීරණය කර ඇත. තවද අවශ්‍යය වේ නම් තවදුරටත් දීර්ඝ කිරීමට සලකාබලනු ඇත. මෙරට රැඳී සිටින සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුභ සාධන කටයුතු සොයා බැලීමටත් විදේශ අමාත්‍යාංශය හරහා අදාළ තානාපති කාර්යාල සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධ කඩිනම් වැඩපිලිවෙලක් සැකසීමටත් මෙහිදී තීරණය විය.

මීට අමතරව මැදපෙරදිග රටවල් කිහියක ගුවන් අවකාශ වසාදැමීම නිසා ඇතිවී තිබෙන අවහිරතා සැලකිල්ලට ගනිමින්, විදේශ අමාත්‍යාංශය සහ ගුවන් සමාගම් ඒකාබද්ධව, විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ සංචාරකයන්ට සිය රටවල් බලා යාමට ඇති හැකියාව සලකා බැලීමටද තීරණය විය.

එසේම මෙරටට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන්ට බාධාවකින් තොරව පැමිණීමට විකල්ප ගමනාන්ත පිළිබදව අදාල පාර්ශව සමග සාකච්ඡා කිරීමටද සහ ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට ද තීරණය විය.

සක්‍රීය මෙහෙයුම් මැදිරි සංචාරකයන්ගේ සහ ශ්‍රමිකයන්ගේ සහාය සඳහා රජ්‍යය ආයතන කිහිපයක් හරහා පැය 24 පුරා ක්‍රියාත්මක සේවාවන් ස්ථාපිත කර ඇත.

සංචාරක සංවර්ධන අධිකාරිය – මෙරට රැඳී සිටින සංචාරකයන් සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර, 1912 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඕනෑම ගැටලුවක් දැනුම් දිය හැකිය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය – විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ තොරතුරු සහ සහාය ලබා දීමට 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක වේ.

මීට අමතරව විදේශ අමාත්‍යාංශය මැදිහත් වී මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ පිහිටි සියලුම ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කර ඇත.

හදිසි අවස්ථාවකදී කඩිනම් ප්‍රතිචාර දැක්වීමටත්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් සියලුම තානාපති කාර්යාල සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානම්ව  සිටියි.

තවද සංචාරකයන්ගේ අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු බාධාවකින් තොරව සිදුකීරීමටත්, පවතින තත්ත්වය මත පදනම්ව කඩිනම් තීරණ ගැනීමටත් රජය සියලු කටයුතු සූදානම් කර ඇති බව මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

ලෝක තෙල් මිල 10% කින් ඉහළට – බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යාමේ අවදානමක්….

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා යුදමය තත්ත්වයක් නිර්මාණය වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබේ.

විදේශ මාධ්‍ය වාර්තා කරන පරිදි, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල 10% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, මේ වන විට එහි බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80 සීමාවට පැමිණ ඇත.

පවතින ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත්, බොරතෙල් බැරලයක මිල නොබෝ දිනකින්ම අමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යා හැකි බව පැවසේ.

විශේෂයෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට බාධා එල්ල වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති බව සඳහන් වේ.

පාස්කු ප්‍රහාරය සිදු වූ දා දෙමටගොඩ නිවසින් අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ සම්බන්ධයෙන් දුන් නියෝගය….

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සිදු වූ අවස්ථාවේ බෝම්බ ප්‍රහාරයක් සිදු වූ දෙමටගොඩ මහවිල ගාඩ්න්ස්හි නිවසේ පදිංචිව සිටි දෙවන සැකකාර ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ නිවසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ මැණික් ඇතුළු දේපළ ඔහුගේ සහෝදරයා වන ඉෆ්ලාල් අහමඩ් යන අයට සතියක් ඇතුළත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය සිදුකර ඇත්තේ විරෝධතා ගොනු කිරීමට සාධාරණ කාලයක් ලබාදීමෙන් අනතුරුව බව කී මහෙස්ත්‍රාත්වරයා එසේ නොකරන්නේ නම් අධිකරණයට අගෞරව කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නෛතික පියවර ගන්නා බවද කීවේය.

පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් සිදුකරමින් මියගිය ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්, දෙමටගොඩ නිවසේ පිපිරී ගිය බෝම්බයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ් දෙදෙනගේ සොහොයුරු සහ දෙමටගොඩ නිවසේ පිපුරුණු බෝම්බයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ වන ජිෆ්රි ෆාතිමා යන අයගේ මස්සිනා වන ඉෆ්ලාල් අහමඩ් යන අය එම භාණ්ඩ තමන්ට අයත් බවත් එම භාණ්ඩ මුදා හරින ලෙසත් නීතිඥවරයෙකු මාර්ගයෙන් සිදු කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් නියෝගය සිදු කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.

පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයෙක් සිදුකළ නියෝගයක් සම්බන්ධයෙන් තවත් විනිසුරුවරියක් වාර්තාවක් කැඳවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් සිදු කර ඇතත් එම නියෝගයත් නොසලකා හැර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව  කී මහෙස්ත්‍රාත්වරයා සතියක් තුළ එකී භාණ්ඩ මුදා හරින ලෙසට නියෝග කර සිටියේය.

“මෙම නියෝගය සිදු කිරිමට පෙර පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විරෝධතා දැක්වීමට සාධාරණ කාලයක් ලබා දී තිබෙනවා. එහිදී කිසිදු කරුණක් දක්වා නැහැ. පූර්වාගාමී මහෙස්ත්‍රාත්වරයා සිදුකර ඇති නියෝගය සම්බන්ධයෙන් ඉන් පසුව මෙම අධිකරණයේ කටයුතු කළ පූර්වාගාමී මහෙස්ත්‍රාත්වරයා හමුවේ එම භාණ්ඩවලට අයිතිවාසිකම් කියමින් එමත්, එම පාර්ශවය සිදුකළ ඉල්ලීමක් සලකා බලා වාර්තාවක් කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කර තිබියදී එම නියෝග නොසලකා හැර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව අදින් සතියක් තුළ මෙම භාණ්ඩ ඉල්ලීම්කාර පාර්ශවයට මුදා හැරීමට කටයුතු කළ යුතුයි. අධීකරණ නියෝග පැහැර හැරීම, මග හැරීම මත අධිකරණයට අපහාසයක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව පියවර ගන්නවා” යැයි සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.

එම භාණ්ඩ මේ වනවිට මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වමින් ඒ සඳහා සාධාරණ කාලයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදි මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම භාණ්ඩ සතියක් තුළ මුදා හැරිය යුතු බවය. මෙය බරපතළ අනතුරුදායක් තත්තවයක්. අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම අපරාධ නීතිය යටතේ බරපතළ වරදක්, යැයි කී මහෙස්ත්‍රාත්වරයා අධිකරණ නියෝග ප්‍රකාරව කටයුතු නොකළහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට සිදු වන බවද අවධාරණය කර තිබේ.

එසේම අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකර නිතිපතිවරයාගේ උපදෙස් පැතීම වැරදි ක්‍රිායවක් යැයිද අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරයා නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන ජුනි මස 17 කැඳවන ලෙස නියෝග කළේය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් කොළඹ ෂැංග්‍රිලා හෝටලයට සිදු කරමින් මියගිය තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නොහොත් මොහොමඩ් අබු උබෙයිදා නොහොත්  මොහොමඩ් සහරාන්  ඔහුගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර මෙහි ඇතැම් සැකකරුවන්ට අධි චෝදනා ගොනු කර ඇති අතර ඇතැම් සැකකරුවන් නිදහස් කර ඇත.

ඒ. එච්. එම්. රිෆාස් සහ මොහොමඩ් නිලාම් යන අය ඇප මත මුදා හැර ඇති අතර නඩුව විවෘතව කැඳවූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

ඉන්දියාවේදී ඇල්ලූ පොඩි ලැසී හෙට දිවයිනට?

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම, ඝාතන සිද්ධි රැසකට පොලීසියට අවශ්‍යව සිටින ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” හෙට (27) අලුයම මෙරටට රැගෙන ඒමට නියමිතයි.

අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසුව අතුරුදන්ව සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී 2024 වසරේදී ඇප ලබාගෙන ඉන්දියාවට පලාගොස් තිබුණි.

ඇප හිමිවීමෙන් අනතුරුව ඔහු අධිකරණ භූමියෙන් පිටව ගියේ නීතීඥවරයෙකුගේම මෝටර් රථයකින්ය.

අනතුරුව ඔහු ඉන්දියාවේ, මුම්බායිහීදී 2025 වසරේ ජනාවාරි මාසයේදී අත්අඩංගුවට ගැනුණි.

ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ඉන්දියාවට ගොස් ඇති අතර ඔහු හෙට (27) අලුයම දිවයිනට රැගෙන ඒමට නියමිත බව වෙයි.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට මහජන අදහස් විමසීම 25වනදා සිට….

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි මස 25වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි.

පෙබරවාරි මස 25වනදා සිට මාර්තු මස 18වනදා දක්වා වාචිකව මෙන්ම ලිඛිතව ද මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු සිදු කරන බව එම කොමිසන් සභාව සඳහන් කර සිටී.

පළාත් 09ම ආවරණය වන පරිදි එම කටයුතු සිදු කිරීමට නියමිත අතර ඉන් පසුව සෙසු කරුණු ද සලකා බලා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව කොමිසන් සභාව විසින් තීරණය කිරීමට නියමිතය.

2026 වසරේ දෙවන කාර්තුව සඳහා එනම් අප්‍රේල් මස පළමුවන දින සිට ජුනි මස 31 වන දින දක්වා වන කාලසීමාව සඳහා සියයට 13.56ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් අපේක්ෂා කරමින් පසුගිය 13 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසන් සභාව වෙත සිය යෝජනාවලිය ඉදිරිපත් කර තිබුණි.

2026 වසරේ පළමු කාර්තුවට අදාළව ලංකා විදුලි මණ්ඩලය විසින් සියයට 11.57ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කළ ද ඊට උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව නොමැත.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ගැන හෙළිකරගත් කරුණු….

අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් කරුණු රැසක් හෙළිකර ගැනීමට පොලිසියට හැකිව තිබේ.

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ වෙඩික්කරු අම්බලන්ගොඩ දෙල්දූවේදී ඊයේ (21) ප.ව. 6.20ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය.

නීතීඥවරයාට ටී-56 ගිනිඅවියෙන් වෙඩිතැබීම සිදුකර ඇත්තේ මොහු බවට සැකකරන අතර, 46 හැවිරිදි ඔහු සුනිල් රංජිත් නම් 2009 වසරේදී ලබාදුන් පොදු සමා කාලයේදී යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ අයෙක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඔහු අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේ තම මිතුරෙකුගේ නිවසක නැවතී හිඳිමින් යාබද කුරුඳු ඉඩමක වැඩකටයුතු කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය.

බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස්මත, හෝමාගම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාගේ අධීක්ෂණයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති අමිල් ගෝවින මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර් චතුරංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ රාත්‍රියේම විමර්ශන සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබීය.

සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී ඔහු අදාළ ඝාතනය සිදුකළේ යැයි පිළිගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

අදාළ ඝාතනයෙන් පසුව තමන් කොට්ටාවට ආසන්න ස්ථානයකදී මෝටර් රථයෙන් බැස බස් රථයක නැග අම්බලන්ගොඩට පැමිණි බව සැකකරු පවසා තිබේ.

දැඩි මත්ලෝලියෙකු වන සැකකරු ‘කරන්දෙණියේ සුද්දා’ සමග සෘජු සබදතා ඇති අයෙක් බව පොලීසිය පැවසීය.

මෙම ඝාතනය ද කරන්දෙණියේ සුද්දා දුරකථනයෙන් තමන් අමතා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ එකක් බව සැකකරු පවසා ඇත.

ඝාතනයෙන් අනතුරුව සුද්දා තමන්ට රුපියල් ලක්ෂයක මුදලක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදුන් බවද පොලිසියට පවසා තිබේ.

එමෙන්ම ඔහුට මින් පෙරත් අවශ්‍ය සෑම අවස්ථාවකදීම කරන්දෙණියේ සුද්දා මුදල් ලබා ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

ඒ අනුව පොලිසිය සැකපළ කරන්නේ මොහු කරන්දෙණියේ සුද්දාගේ කුලී ඝාතකයෙකු ලෙස කටයුතු කර ඇති බවය.

කෙසේ වෙතත් ඔහු සිදුකළ වෙනත් ඝාතන සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නොමැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති බලතල අනුව සැකකාර වෙඩික්කරුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය මේ වනවිට අවසර ලබාගෙන තිබේ.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 12කින් විමර්ශන ක්‍රියාත්මක අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 9දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

අකුරේගොඩ ඝාතනයේ සැකකරුවෙකු සොයන්න පොලීසිය මහජන සහාය පතයි…..

අකුරේගොඩදී නීතිඥයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ මුහුණේ තිබිය හැකි විවිධ ස්වරූප ඇතුළත් ඡායාරූපයක් අද (20) පොලිසිය මාධ්‍යවෙත නිකුත් කර තිබේ.

අදාළ පුද්ගලයා උස අඩි 5යි අගල් 5ක් පමණ වන වයස අවුරුදු 44ක් පමණ වන අයෙක් වන අතර ඔහුගේ දකුණු පස කම්මුලට පහළින් මුහුණේ කැපුම් තුවාල කැළලක් ඇති බව පොලිසිය පවසයි.

ඔහු ගැන තොරතුරු වෙතොත් තිරයේ පහත සඳහන් අංක වෙත දැනුම්දෙන මෙන් පොලිසිය මහජනයාගෙන් ඉල්ලා සිටී.