ඉරාන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ස්තූතිය පළ කරයි….

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි අතර දුරකථන සංවාදයක් ඊයේ (13) සිදුකර තිබේ.
ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශය සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.

එම සංවාදයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය සිය රටට එරෙහිව සිදු කරනු ලබන හමුදා මෙහෙයුම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විජිත හේරත් මහතාට දැනුම්දුන් බව ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත.

IRIS Dena නෞකාවේ සිටි නාවිකයන් මුදා ගැනීම සහා මිය ගිය අයගේ මළ සිරුරු නැවතත් සිය රටට ලබාදීම සම්බන්ධයෙන් ද සෙයිද් අබ්බාස් අරග්චි ශ්‍රී ලංකාවට සිය කෘතවේදය පළ කළ බව අදාළ සටහනේ දැක්වෙයි.

උණුසුම් කාලගුණය හමුවේ දරුවන් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන්න…..

උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ මේ වන විට පාසල්වල පැවැත්වෙන ක්‍රීඩා ඉසව්හිදී වැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසයි.

උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ සෞඛ්‍ය අවදානම් අඩුකර ගන්නේ කෙසේද සහ ක්‍රීඩා ඉසව් සංවිධානය කිරීමේ දී අවධානයට ලක්විය යුතු කරුණු පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අද (13) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ පාසල් ක්‍රීඩා කටයුතුවලදී මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ක්‍රීඩා තරග අවම කිරීම, සිසුන්ට නිරන්තර විවේකය ලබා දීම, සහ දරුවන් සිසිල් ස්ථානයට යොමු කිරීම මෙන්ම ජලය හෝ ලවන අඩංගු පානයන් ලබා දීම ඉතා වැදගත් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා,

“මේ දිනවල පවතින මෙම තත්ත්වය අවම කර ගැනීමට, මෙවැනි තත්ත්වයක් හඳුනා ගැනීමට සහ අවශ්‍ය ප්‍රතිකාර ගැනීමට යොමු වීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම ක්‍රීඩා කටයුතුවලදී පාසල්වල ක්‍රීඩා කටයුතු උදේ සහ දවල් කාලයේ තියෙන්නේ හැකි දුරට එම තත්වයන් ඉතා තද රශ්මිය පවතින අවස්ථාවකදි විශේෂයෙන්ම 10-1 අතර කාලයේදී පාසල් පවතින කාලයේදී අවම කර ගැනීම, දරුවන්ට නිතර නිතර විවේක ලබා දීම වැදගත්. දරුවනුත් කැමතියි එක දිගට ක්‍රීඩා කරන්න. නමුත් එම කටයුතු කිසි සේත්ම නොකළ යුතුයි විවේකය වැදගත්. කඩින් කඩ ක්‍රීඩා කරන අතරතුර ඔවුන්ට විවේකය ලබා දිය යුතුයි. ඔවුන් සිසිල් ස්ථානයකට යොමු කිරීම සහ වැඩිපුර ජලය සහ ලවන අඩංගු පානයන් ලබා දීම, ඔවුන් සිසිල් සෙවන ස්ථානයක රැඳවීම, වැදගත් වෙනවා. මෙන්න මේ තත්ත්වය සිදු නොකිරීමෙන් ශරීරයේ උෂ්ණත්වය වැඩි වීම මගින් විවිධ සංකූලතා එන්න පුළුවන්, ඔවුන්ට ක්ලාන්ත ගතිය, මහන්සි ගතිය, වගේම ශරීර උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මස්පිඩු පෙරලීම වැනි ක්‍රියාවන් සිදුවෙන්න පුළුවන් වගේම එම තත්ත්වය තවදුරටත් හඳුනා නොගෙන දරුවන්ගේ ශරීර උෂ්ණත්වය සහ තාපය වැඩිවුණොතින් ඉතා සංකීර්ණ සංකූලතා වගේම තාප කම්පන තත්ත්වය දක්වා ගමන් ගන්න පුළුවන් එය සමහරවිට මාරාන්තික තත්ත්වයක් දක්වා ගමන් කරන්න පුළුවන්. යම් කිසි දරුවෙක් තමන්ගේ ක්ලාන්ත ගතිය, මහන්සිගතිය, හිස කැරකැවිල්ල, කල්පනාගතිය පෙන්වනවානම් ඔවුන් ඉක්මනින් තාපය පවතින ස්ථානයකින් අයින් කරලා යම් කිසි සිසිල් ස්ථානයකට අරගෙන ගිහිල්ලා ජලය පානය කිරීමට හැකිනම් එය ලබා දෙන්න. ඒ වගේම මෙම තත්ත්වය තවදුරටත් පවතින්නේ නම් හැකි ඉක්මනින් ළඟම තිබෙන රජයේ රෝහලකට යොමු කිරීම වැදගත්”

කපිලට අල්ලස් කොමිසම බලපෑම් කළා ද..? – මහ රෑ ඇසුණු නඩුවේ විස්තරය….

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට අල්ලස් කොමිසමේදී බලපෑමක් සිදුව ඇතැයි ඔහුගේ නීතිඥවරයා පවසයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (13) පෙරවරුවේ මොසමක් ගොනු කළේය.

කෙසේ වෙතත් එම කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නඩුව කැඳවීමට නියමිත එළඹෙන 19 වනදා අදාළ ඉල්ලීම අධිකරණය හමුවේ සිදුකරන ලෙස ජනාධිපති නීතිඥවරයාට දැනුම් දුන්නේය.

2013 වසරේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේ ගිවිසුම් සැදීමට සම්බන්ධ වූ එකල ශ්‍රී ලංකා පාලන තන්ත්‍රයේ ප්‍රධාන පුද්ගලයින් කිහිප දෙනෙකු පිළිබඳ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවේ අනාවරණය කළ බව විමර්ශන නිලධාරින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළේය.

කෙසේවෙතත් කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥවරයා සඳහන් කළේ අල්ලස් කොමිසමේ ප්‍රකාශ ලබාදීමේදී සිය සේවාදායකයා බලපෑම්වලට නතුවී ඇති බවය.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල විය.

අනතුරුව ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කර 2020 වසරේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබේ.

කෙසේ වෙතත් එම විමර්ශනයේදී අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත යටතට ගැනෙන වරද අනාවරණය වී තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඊයේ (12) අල්ලස් කොමිසමට කැඳවා තිබූ කපිල චන්ද්‍රසේන මහතා පැය 7කට වැඩි කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවටගත් සැකකරු කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කෙරුණේ ඊයේ (12) රාත්‍රී 8ට පමණය.

එහිදී අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන ඒකකය වෙනුවෙන් කරුණු දැක්වූ පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්ත මහතා කියා සිටියේ, 2013 වසරේ සිදුවී ඇති ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී, එයාර්බස් සමාගම විසින් කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාදී ඇති බවය.

“ස්වාමිනි, නියෝමාලි විජේනායක නැමැත්තිය තනි අධ්‍යක්ෂ ධුරයක් දැරූ බෘෘනායි රාජ්‍යයේ බිස් සොලූෂන්ස් නම් සමාගමකට අයත් සිංගප්පූරුවේ ගිණුමකට 2013.12.27 වන දින එයාර් බස් සමාගමේ මව් සමාගම විසින් මෙකී අමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් මුදල බැර කර තිබෙනවා. ප්‍රශ්නගත ගනුදෙනුව සඳහාම ගනුදෙනුවට ආසන්න කාලයේ මෙම ගිණුම විවෘත කර ඇති අතර මෙම ගනුදෙනුව හැර වෙනත් කිසිදු ගනුදෙනුවක් අදාළ ගිණුම හරහා සිදුවී නැහැ. පසුව එම මුදල් කපිල චන්ද්‍රසේනට අයත් ඕස්ටේලියාවේ කොමන්වෙල්ත් බැංකුවේ ගිණුමකට සහ සිංගප්පුරුවේ සහ ශ්‍රී ලංකාවේ වෙනත් ගිණුම් දෙකකට කොටස් වශයෙන් බැරවී තිබෙනවා. ඒ අනුව මෙහිදි අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත යටතේ වරදක් අනාවරණය වන බැවින් සැකකරුට සහ බිරිඳට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශ ලබාදෙන ලෙස දැනුම් දුන්නා. නමුත් බිරිඳ කොමිසම හමුවට පැමිණියේ නැහැ. කොමිසම හමුවට පැමිණි මෙම සැකකරුගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගත්තා. “

මෙහිදී කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදෙමින් මෙතෙක් මෙම විමර්ශනයට අදාළව අනාවරණය නොවූ සුවිශේෂි කරුණු රැසක් කපිල චන්ද්‍රසේන අනාවරණය කළ බව විමර්ශන නිලධාරියා කරුණු දක්වමින් කියා සිටියේය.

“ස්වාමිනි, මේ ප්‍රශ්නගත ගනුදෙනුවේදී ගිවිසුම් සැදීමට සම්බන්ධ වූ එකල ශ්‍රී ලංකා පාලන තන්ත්‍රයේ ප්‍රධාන පුද්ගලයෝ කිහිපදෙනෙක් ගැන මේ සැකකරු කොමිසම හමුවේ අද සිදුකළ ප්‍රකාශයෙන් අනාවරණය කර තිබෙනවා. නමුත් මේ සැකකරුගේ ජීවිතයට තර්ජනයක් වියහැකි නිසා මෙම අවස්ථාවේදී අපි ඒවා අනාවරණය කරන්නේ නැහැ. “

එම කරුණු දැක්වීමත් සමඟ කොටුව මහේස්ත්‍රාත්වරයා සහ විත්තියේ නීතිඥවරයා අදාළ අනාවරණය පැහැදිලිව නම් සහිතව සිදුකළ අනාවරණයක්ද, එම නම් මොනවාදැයි ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දුන් විමර්ශන නිලධාරියා කියා සිටියේ සැකකරුගේ ජීවිතයට තර්ජනයක් ඇතිවිය හැකි බැවින් මෙම අවස්ථාවේ වැඩිදුර වාර්තාවෙන් ඒ පිළිබඳ සඳහන් නොකළ අතර ඉදිරියේදී ඒ පිළිබඳ විස්තරාත්මකව කරුණු දැක්වීමට බලාපොරොත්තුවන බවයි.

අනතුරුව සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයේ කරුණු ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, මෙම සිදුවීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවත්වාගෙන යනු ලබන විමර්ශනට අදාළව මාගේ සේවාදායකයාට ඇප ලැබී වසර 6කට වැඩි කාලයක් ගතව තිබෙනවා. අල්ලස් කොමිසමේ දැන් ඉන්න අධ්‍යක්ෂ ජනරාල්වරයාමයි එවකට කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස ඇපලබා දී තිබෙන්නේ. ඉතිං ඇප ලැබීමෙන් පසු ගතවූ කාලය තුළ ඔහු අධිකරණය මගහැරීමක් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමක් සිදුකර නැහැ. එබැවින් මෙම අවස්ථාවේදීද ඔහු ඇපමත මුදාහරින්න කියා මා ඉල්ලා සිටිනවා.”

මෙහිදී අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයාගෙන් ප්‍රකාශ ලබාගැනීමේදී ඔහුට තර්ජනාත්මකව බලපෑම්කර ඇති බවටද ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වා සිටියේය.

“ස්වාමිනි, මගේ සේවාදායකයා අල්ලස් කොමිසමේ ප්‍රකාශ දෙමින් සිටියදී අතරමඟ ඔහුව අධ්‍යක්ෂ ජනරාල් හම්බවෙන්න එක්කන් ගිහින් තියෙනවා. එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් යම් යම් නම් සඳහන් කරමින් තර්ජනාත්මකව එම නම් මොහුගේ කටින් ගැනීමට උත්සාහ දරා තිබෙනවා. ළගදි එක්කෙනෙක් බොරු කියන්න ගිහින් බෙල්ලේ වැල දාගත්තා ඔබටත් ඒ දේමයි වෙන්නේ කියලා කියා තිබෙනවා. ඉතිං මේ සිදුවීම ගැන මගේ සේවාදායකයාට ඔබ හෝ මේ නඩුව තියෙන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කඩිනමින් ප්‍රකාශයක් කරන්න ඕනේ. ඒ සඳහා හෙටම ඔහුට අවස්ථාව සලසන්න කියා මා ඉල්ලා සිටිනවා.”

කෙසේ වෙතත් මෙහිදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් කියා සිටියේ සැකකරුගෙන් ප්‍රකාශ ලබාගැනීමේදී විත්තිය පවසන ආකාරයේ බලපෑම් කිරීමක් සිදු නොවූ බවය.

දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කළේය.

“සැකකරුට එරෙහිව ඇති වරදේ ස්වභාවය, ඉහළ මූල්‍ය වටිනාකම සහ විමර්ශනයේ සංකීර්ණභාවය හේතුකොටගෙන සැකකරුට මෙම අවස්ථාවේ ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරනවා. ඔය කියන විශේෂ කරුණු අනාවරණය සහ බලපෑම් කළා කියන සිදුවීම ගැන ඉදිරි දිනයේ ප්‍රධාන කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවේම කරුණු ඉදිරිපත් කරන්න.”

ඒ අනුව සැකකාර කපිල චන්ද්‍රසේන මාර්තු 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

ඉරාන නාවික මළ සිරුරු රැගත් ගුවන් යානය මත්තලෙන් පිටත් වෙයි…..

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ‘IRIS DENA’ නෞකාවේ සිට ජීවිතක්ෂයට පත්වූ ඉරාන නාවිකයින් 84 දෙනාගේ මළ සිරුරු රැගත් ගුවන් යානය ඉරානය බලා පිටත්ව ගොස් තිබේ.

අද (13) රාත්‍රී 09.29ට මෙම ගුවන් යානය පිටත්ව ගිය බව සඳහන් වේ.

මෙරට ඉරාන තානාපති කාර්යාලය සම්බන්ධීකරණය යටතේ මිය ගිය නාවිකයින්ගේ සිරුරු පිටත්කර යැවීම සිදුකෙරේ.

පසුගිය මාර්තු මස 04වනදා ගාල්ල වරායට සැතපුම් 40ක දුරින් ඉරාන නෞකාවක් අනතුරට ලක්වූ අතර, එහි 180ක පමණ පිරිසක් සිට ඇතැයි අනාවරණය වුණි.

පසුව ඉන් මුදාගත් 35 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.

අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව පසුව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පැවසීය.

ජනපති සහ ලංවිම ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක්…..

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට හිමිව තිබූ සියලු අයිතිවාසිකම් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී නව සමාගම් තුළ ද තහවුරු කිරීම රජයේ ස්ථාවරය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට, කාර්යක්ෂම සහ අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීම සහ නව සමාගම්වල අයිතිය රජය යටතේ පවත්වා ගනිමින් රටක් ලෙස බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම එම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙහි අරමුණ වන බව එහි සඳහන්.

විදුලිබල මණ්ඩලය ලෙස පවතින අවස්ථාවේදීම විසඳා ගත යුතුව තිබූ, එහෙත් මෙතෙක් නොවිසඳී ඇති ගැටලු පිළිබඳව ද වෘත්තීය සමිති නියෝජිතයන් අනුර කුමාර දිසානායක මහතා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

මෙය කිසිසේත් සුමට ක්‍රියාවලියක් නොවන බවත්, දීර්ඝකාලීන සහ සැලසුම්සහගත ක්‍රියාවලියක් බවත් එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම පරිවර්තනීය කාලය තුළ සේවකයන් සහ නව සමාගම් අතර මනා අවබෝධයකින් යුතු සංවාදයක් පවත්වා ගැනීමේ වැදගත්කමත්, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවත් අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන් බව අදාළ නිවේදනයේ සඳහන්ය.

එමෙන්ම, සේවකයන්ගේ මානසික නිදහස තහවුරු කරමින්, ඔවුන්ගේ අනාගත අපේක්ෂා හඳුනාගනිමින් ඔවුන්ට සිය සේවය තෘප්තිමත්ව සැපයිය හැකි නිදහස් පරිසරයක් සකසාදීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණ කළේය.

සියලුදෙනා එක්ව අවබෝධයෙන් සහ රට ගැන හැඟීමෙන් යුතුව කටයුතු කිරීමෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කරගත හැකිය.

මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගනිමින්, මෙරට විදුලි පාරිභෝගිකයන්ට වඩා හොඳ සේවාවක් සහතික කිරීමටත්, මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමටත් එක්ව වැඩ කරමු’යි සියලු වෘත්තීය සමිතිය නියෝජිතයන්ට ජනාධිපතිවරයා ආරාධනා කළේය.

මෙම නව පරිවර්තනයේ අවශ්‍යතාව තමන් ද පිළිගන්නා අතර, එහිදී රජය සමඟ අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට දායකත්වය ලබා දෙන බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී සඳහන් කළහ.

ගෙන්වන ඉන්ධන තොග අප්‍රේල් අග තෙක් ප්‍රමාණවත් – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි…..

මෙම මස තුළ මෙරටට ළඟාවන බවට තහවුරු කර ඇති ඉන්ධන නෞකාවල ඉන්ධන තොගවලින් එළඹෙන අප්‍රේල් අග දක්වා ප්‍රමාණවත් ඉන්ධන රටට ලැබෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.

“අද දිනය වනවිට කොළඹ වරායේ බොර තෙල් නෞකාවක් බාමින් තිබෙනවා. දින 18 පමණ සරිලන ප්‍රමාණයේ ඉන්ධ නිෂ්පාදනය කළ හැකි බොර තෙල් නෞකාවක්. ඊට අමතරව තවත් නෞකා 4ක් මේ මාසයේ පැමිණීමට ස්ථිරකර තිබෙනවා. 14, 15 කියන දිනයන් හි  ඒ නැව් එනවා. එකේ ඩීසල් මෙට්‍රික්ටොන් 19,000ක් සම පෙට්‍රල් මෙට්‍රික්ටොන් 21,000ක් තියෙනවා. ඒ වගේම  17 සහ 18 කියන දවස් දෙකේ තවත් නෞකාවක් එනවා. එකේ ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 20,000 බැගින් තිබෙනවා. ඒ දෙකෙම එන්නේ සිංගප්පූරුවෙන්. ඊට පස්සේ 21 සහ 22 දිනයනවල ඩීසල් සහ පෙට්‍රල් නැවක් එන්න තියෙනවා ඒක එන්නේ ඉන්දියාවෙන්. ඊට පස්සේ 27, 28 කියන දෙදින තුළ ඉන්දියාවෙන් පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000කුත් ඒ වගේම 29 සහ 30 කියන දවස්වල ඩීසල් මෙට්‍රික්ටොන් 37,000ක් සිංගප්පූරුයෙන් ලංකාවට ඒමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ගත්විට මේ මාසයේ අපි ඇනවුම්කරන ලද සියලුම නෞකා මේ වෙද්දි ස්ථිර කරලා තියෙනවා එන බවට. ඒ වගේම ඉන් කිහිපයක් ලංකාවට පිටත් වෙලා තියෙනවා. මේ එන නෞකාවල ගත්තාම අපේ තෙල් තියෙනවා ඊළඟ මාසේ අවසාන සතිය වෙනතුරු තියෙනවා.”

ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේන රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) පස්වරුවේ නියෝග කළේය.

කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේදී අල්ලස් ගත් බවට වූ චෝදනා යටතේය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.

ඒ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර්බස් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට වූ චෝදනාවකට අදාළවය.

පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඉදිරිපත් කෙරුණේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතය.

ලාෆ්ස් ගෑස් මිලත් රුපියල් 300කින් ඉහළට….

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව රු. 4,330ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දමා තිබේ.

මිල සංශෝධනයට අනුව නව මිල රු. 4,630ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 120කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව රු. 1742ක්ව පැවති එහි නව මිල රු. 1,862කි.

සුරේෂ් සලේට ප්‍රධාන චෝදනා 3ක්…..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරුවෙකු ලෙස රැඳවුම් භාරයට ගෙන ඇත්තේ ප්‍රධාන චෝදනා 03ක් සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතන සිදුවීම සහ මඩකලපුව සයින්දමරුදු පිපිරීම පිළිබඳ වූ විමර්ශන නොමඟ යැවීමසම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නීති කෘත්‍යය අද කැඳවූ අවස්ථාවේදීය.

2018 වසරේ නොවැම්බර් 29 වනදා වව්නතිව්හි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනයවීම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසු 2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදුහි නිවසක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.

එහිදී විමර්ශනයට අදාළව පිටු 25කින් යුත් වැඩිදුර වාර්තාවක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, නඩුවේ පළමු සැකකරුවන් දෙදෙනා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය.

එහි තෙවන සැකකරුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගෙන් මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින බවත්ය.

තෙවන සැකකාර සුරේෂ් සලේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව සම්බන්ධ බවට කරුණු විමර්ශනයේදී අනාවරණය වී ඇත්දැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියා කියා සිටියේ, ප්‍රධාන පැතිකඩ 03ක් ඔස්සේ සුරේෂ් සලේගේ සැකකාරභාවය පිළිබඳ කරුණු අනාවරණය වී ඇති බවය.

“ස්වාමිනි, ත්‍රස්ත ප්‍රහාරයට පෙර සමයේ යුධ හමුදා බුද්ධි අංශය විසින් මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු දිගුකාලීනව තොරතුරු කරුවෙක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා. 

මේ තුන්වන සැකකරු එම ඔත්තුකරු යොදාගනිමින් කටුවපිටිය දේවස්ථානය මුස්ලිම් අන්තවාදින්ට පෙන්වා තිබෙනවා. ඒ වගේම යුධ හමුදා බුද්ධි අංශය පානදුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තවත් තොරතුරුකරුවෙකු මෙවැනි ප්‍රහාරයක් සිදුවේවියැයි පෙර දැනුම්දීමක් කරලා තියෙනවා. 

නමුත් ඊට සුදුසු පියවරක් බුද්ධි අංශය අරගෙන නැහැ. ප්‍රහාරයෙන් පස්සේ එම ඔත්තුකරු බුද්ධි අංශයට පවසා තිබෙනවා “යුධ හමුදාවේ වසර 20ක්වත් පළපුරුද්ද තිබෙන ඉහළ නිලධාරියෙක් මේ පිටිපස්සේ ඉන්න ඕනේ කියලා.

පස්සේ යුධ හමුදා බුද්ධි අංශයම එම ඔත්තුකරුව අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරදීමක් සිදුකර තිබෙනවා. පසුව නීතිපති උපදෙස් මත ඒ ඔත්තුකරු නිදහස්වෙලා තියෙනවා.

නිදහස් වෙලා ආවාට පස්සේ මේ තුන්වන සැකකාර සුරේෂ් සලේ ඔත්තුකරුව හෝටලයකට ගෙන්වා ස්තූතියි කරලා තියෙනවා. මේ කරුණු සම්බන්ධයෙන් එම පුද්ගලයෝ මහේස්ත්‍රාත් ඉදිරියේ ප්‍රකාශ දී තිබෙනවා” යැයි පැවසීය.

මෙහිදී සාරා ජෙස්මින් නැමැත්තිය මියගිය බවක් DNA පරීක්ෂණ දෙකකදී අනාවරණය වී නොතිබූ පසුබිමක තුන්වන වරටත් DNA පරීක්ෂණයක් කිරීමට සුරේෂ් සලේ විමර්ශන නිලධාරින්ට බලපෑම් කර ඇති බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීය.

“ස්වාමිනි පාස්කු ප්‍රහාරයෙන් පසු දිනක සෙයින්දමරුදු නිවසේ පිපිරීම සිදුවීම වන අවස්ථාවේ එම ස්ථානයේ සිටී සාරා ජෙස්මින්ගේ මෘත ශරීරයක් මේවන තුරු සොයාගෙන නැහැ. පළමු DNA පරීක්ෂණ දෙකේදීම ඇයගේ මෘත ශරීරයක් හඳුනාගැනුණේ නැහැ. එහෙම තියෙද්දි තෙවන DNA පරීක්ෂණයක් සිදුකරන ලෙස මේ සැකකාර සුරේෂ් සලේ දිගින් දිගටම විමර්ශන නිලධාරින්ට බලපෑම් කරලා තියෙනවා. 

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ විමර්ශන නිලධාරි නිශාන්ත සොයිසා ප්‍රකාශ දී ඇති අන්දමට ආරක්ෂක කවුන්සලය තුලත් මේ බලපෑම සිදුකරලා තියෙනවා” යැයි පැවසීය

අනතුරුව සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට කරුණු දැක්වීය.

“මොනවාද ස්වාමිනි මේ විමර්ශන නිලධාරීන් කියන කතා? රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස සිටි මගේ සේවාදායකයා කොහොමද ආරක්ෂක කවුන්සලය කැඳවලා පොලිස්පතිවරයා ඇතුළු විමර්ශන නිලධාරින්ට බලපෑම් කරන්නේ ?. 

රාජ්‍ය බුද්ධි සේවය තියෙන්නෙත් පොලිස්පති යටතේයි. ඔය කියන පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින් ඒ කාලේ නිල ඇඳුම් ඇඳලාද රස්සාව කරලා තියෙන්නේ ? ලැජ්ජයි. 

මට කියන්න තියෙන්නේ ස්වාමිනි පාස්කු ප්‍රහාරය සිද්ධවෙන අවස්ථාවේ මේ තුන්වන සැකකරු ලංකාවේ හිටියෙත් නැහැ. ඔහු හිටියේ මැලේසියාවේ. 2018 ජනවාරි මාසයේයි ඔහු ලංකාවෙන් පිටත්වෙලා තියෙන්නේ. 

අනික ස්වාමිනි මේ වෙද්දි පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන 25කට වඩා වෙලා තියෙනවා. මුලින්ම කිව්වා ඉන්දියාවෙන් පෙර දැනුම්දීමේ තොරතුරක් ආවා, ඒකට අදාළව අවශ්‍ය පියවර නොගත්තා කියලා හිටපු පොලිස්පතිවයි, ආරක්ෂක ලේකම්ටයි එරෙහිව නඩුත් දැම්මා. දැන් කියනවා බුද්ධි අංශයේ කව්ද ප්‍රහාරය ගැන පෙර දැනුම්දීමක් කළා කියලා. 

ස්වාමිනි, ඔය කවුරුන් තොරතුරු දුන්නත් තොරතුරු ලැබිලාත් ප්‍රහාරය වළක්වා ගන්න බැරිවුණ එදා CID එකේ ඉඳපු අයමයි අද මේ විමර්ශන මෙහෙයවන්නේ. ඔය මොන විමර්ශනත් අවශ්‍ය නැහැනේ ඒ අය එදා ප්‍රහාරයට පෙර සහරාන්ව අල්ලගත්තා නම්.

මේක කියවන්න ස්වාමිනි, මේ ජයකි ද අල්විස් වාර්තාව. ඕක කියවපුවාම තේරෙයි වගකිවයුතු අය පිළිබඳව. මේ අය විමර්ශනය මෙහෙයවද්දි කොහොමද ස්වාමිනි මේක අපක්ෂපාති විමර්ශනයක් වෙන්නේ “.

මෙහිදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාව මේවනවිට රැඳවුම්භාරයේ තබාගෙන සිටින ආකාරය සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥවරයා කරුණු දැක්වුවා.

“ස්වාමිනි මට උපදෙස් ලැබෙන විදිහට මේ වෙද්දි මගේ සේවාදායකයාව රඳවා තබාගෙන ඉන්නේ ඉතාම පහත් හා කෘෘර විදිහට. පුතා තාත්තාව බලන්න ගියාමත් පොලිස් සහතික අරන් එන්න කියනවා. නීති කෘත්‍යයට අදාළව අපිට ඔහුව හමුවෙලා උපදෙස් ගන්නත් බැහැ. 

නීතිඥවරුන්ට පවා දැනුම්දී තිබෙන්නේ ඔහුව හමුවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉදිරියේ කරන්න කියලා. අන්තීම දවසේ නීතිඥවරුන් ඔහු හම්බෙන්න ගියාම නිලධාරින් දෙපැත්තේ ඉඳලා කතා කරන දේවල් Record කරලා. 

ඉතිං කොහොමද ස්වාමිනි අපි උපදෙස් ගන්නේ. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිඛිතව සඳහන් මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කිරීමක්.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා දෙපාර්ශවයේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

“මා විසින් මෙම නඩුකරයට අදාළව පෙර නඩුවාරයේ ලබාදුන්නු නියෝග විමර්ශන නිලධාරින් විසින් සැලකියයුතු මට්ටමකට ක්‍රියාත්මක කර ඇති බව පෙනීයනවා. තුන්වන සැකකරුට අදාළව ඉදිරිපත්වෙලා තියෙන කරුණු පාස්කු ප්‍රහාරයට සෘජුව අදාළ කරුණු. එම සාක්ෂි ප්‍රමාණවත්ද යන්න ඉදිරි විමර්ශන මත තීරණය කළ යුතුයි. 

තුන්වන සැකකරු සම්බන්ධයෙන් කිරීමට ඇති සියලුම ඉල්ලීම් ලිඛිතව කරන්න. පසුව ඒ පිළිබඳ සලකා බලා නියෝගයක් නිකුත් කරන්නම්”.

ඒ අනුව නඩුව වැඩිදුර විමර්ශන වාර්තා සඳහා මාර්තු 25 කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

ජනතාවට සුවපහසු, ආරක්ෂිත, කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව – ජනපති අනුර….

ජනතාවට සුවපහසු, ආරක්ෂිත, කාර්යක්ෂම සහ අඛණ්ඩතාවෙන් යුතු ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් රජය මේ වන විට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි බඳවාගත් නවක රියදුරු මහතුන් 199ක් සහ කොන්දොස්තර මහතුන් 342ක් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එක් වෙමිනි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා නව පත්වීම් ලිපි 541ක් ප්‍රදානය කිරිම මෙහිදී සිදුවිය.

මේ අතර, නිසි ප්‍රමිතියෙන් යුතු බස් රථ අලුතින් ධාවනයට එක් කිරීමට සහ පැරණි බස් රථ ක්‍රමානුකූලව ප්‍රවාහන පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා වූ සැලසුම් රජය මේ වන විට සකස් කරමින් තිබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා, එය එකවර සිදු කළ නොහැකි කාර්යයක් වුවත් වසර කිහිපයක් සැලසුම් සහගතව කටයුතු කිරීමෙන් රජයේ ප්‍රධාන ඉලක්කයක් වන ගුණාත්මක බස් රථ සංචිතයක් මෙරට ජනතාවට හිමි කර දීමට හැකියාව ලැබෙන ඇතැයි සඳහන් කළේය.

පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් කිහිප දෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්වීමද මෙහිදී සිදුකර ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ අතීතයේදී මෙරට ජනතාව තුළ තිබූ  බැඳීම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා, පසුකාලීනව දේශපාලන පත්වීම් සහ විවිධ අයථා ගනුදෙනු හේතු කර ගෙන බිඳ වැටීමට ලක් වූ ලංගමය ශක්තිමත් පොදු ප්‍රවාහන සේවාවක් ලෙස යළි ගොඩනැඟීමට අද දින පත්වීම් ලැබූ සියලු දෙනා තම වගකීම් ඉටු කරනු ඇතැයි  විශ්වාසය පළ කරමින් නවක පත්වීම්ලාභී සියලු දෙනා වෙත සුබපැතුම් එක් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
“ශ්‍රී ලංගමය සමඟ අපේ රටේ ජනතාවට ගමන් බිමන් යාමෙන් ඔබ්බට ගිය සංස්කෘතිකමය බැඳීමක් තිබෙනවා. අද රියදුරු සහ කොන්දොස්තර මහතුන් ලෙස ඔබ ඇතුළත් වන්නේ එවැනි ඉතිහාසයක් සහ මිනිසුන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවක් පවත්වාගෙන ගිය සේවාවකට. ඒ වගේම මම විශ්වාස කරනවා ශ්‍රී ලංගමය මේ තිබෙන තත්ත්වයෙන් ඉහළට ඔසවා තැබිය යුතුයි. එය තාක්ෂණයෙන් පමණක් නොවෙයි එම බස් රථවල වැඩ කරන රියදුරු සහ කොන්දොස්තර මහතුන් ජනතාව සමග ඉතා සමීපව, ලෙංගතුව සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සිතමින් කටයුතු කරන අලුත් තැනකට ඔසවා තැබිය යුතුයි.  ඒ නිසා මම හිතනව ඊට ඇතුළත් වන ඔබට ශ්‍රී ලංගමය තුළට නව සංස්කෘතියක් ගෙන යාමට හැකි වෙයි කියලා. 

යහපත් ඉතිහාසයක් තිබුණු ශ්‍රී ලංගමය පසුකාලීනව දේශපාලන පත්වීම් සහ විවිධ අයථා ගනුදෙනු හේතු කර ගෙන අභාවයට පත් වෙමින් පැවතුණා. යම් දේශපාලන අධිකාරින්හි බලය ත්‍රාඩ ලෙස පැතිර වීම සඳහා මෙම ආයතන උපයෝගී කරගත්තා. ඒ නිසා ලංගමය පිළිබඳ ජනතාව තුළ තිබූ අධ්‍යාත්මික බැඳීම පලුදු කිරීමට මේ  කැත පන්නයේ දේශපාලන සංස්කෘතිය හේතු වුණා කියා මම විශ්වාස කරනවා. ඒ වගේම නූතන ලෝකයේ ඇති වූ තාක්ෂණික වෙනස්කම්ලට අනුරූප වන පරිදි තාක්ෂණික වෙනස්කම් කර ගැනීමට නොහැකි වීමත් සැලකිය යුතු ප්‍රමාණයකින් ජනතාව සහ ලංගමය අතර සබඳතා බැඳ වැටීමට හේතු වුණා. 

රටට ශක්තිමත් පොදු ප්‍රවාහන සේවාවක් අවශ්‍ය බවට අද අපි රජයක් ලෙස දැඩි ප්‍රතිපත්තියක සිටිනවා. ඊට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. අදත් අපේ රටේ පවුලක ප්‍රවාහන සේවය සඳහා දරන වියදම වැඩියි. ඒ වගේම පොදු ප්‍රවාහන සේවයෙන් ජනතාවට කාර්යක්ෂම සහ අඛණ්ඩ සේවාවක් ලබා ගැනීමට හැකි වේ දැයි යන්න පිළිබඳ සැකයක් තිබෙනවා. ඒ සැකය නිසා තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා තමන් විසින්ම සපුරා ගැනීමට ජනතාව පෞද්ගලිකව යතුරු පැදියක්, කුඩා මෝටර් රථයක් මිලදී ගැනීමට උත්සාහ කරනවා. ඒ හේතුවෙන් තමන්ට ලැබෙන ආදායමෙන් වැඩි පංගුවක් මේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා වැය කිරීමට සිදුව තිබෙනවා. අවසානයේ බලන කළ ඔවුන් වැඩ කර තිබෙන්නේ වැඩට යාමට වියදම සොයා ගැනීමටයි. ඒ අනුව ජනතාව ප්‍රවාහන අවශ්‍යතා සඳහා සිය ආදායමෙන් දරන වැය බර වැඩියි. අපි එය අඩු කළ යුතුයි. ඒ නිසා ජනතාවට බරක් නොවන ප්‍රවාහන සේවාවක් අපි ඇති කළ යුතුයි. 

ඒ වගේම,අපි මෝටර් රථ විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා. ඒ වෙනුවෙන් ආනයන වියදමෙන් විශාල පිරිවැයක් දරනවා. මම විශ්වාස කරනවා පොදු ප්‍රවාහනය ශක්තිමත්ව දියුණු කළහොත් සැලකිය යුතු ප්‍රමාණයකින් අපේ වාහන ආනයන සඳහා යන වියදම් අඩුකරගත හැකියි කියලා. එය ආර්ථික වශයෙන් ඉතා වැදගත් වෙනවා.
ඒ වගේම පරිසරයට විශාල වශයෙන් සිදු වන වායු දූෂණයට මේ වාහනවලින් නිකුත් කරන විෂ සහිත දුම් හේතුවී තිබෙනවා. පරිසරයට මුදා හරින විෂ දුම් ප්‍රමාණ අඩු කර ගැනීම පිළිබඳ අද මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. අපේ අනාගත උපනූපන් දරු පරපුර වෙනුවෙන් මේ පරිසරය ආරක්ෂා කර දිය යුතුයි. ඒ නිසා විෂ දුමෙන් පරිසරයට සිදුවන හානිය අඩු කිරීමට එය ඉතා වැදගත් වෙනවා. ඒ නිසා පරිසරය පැත්තෙන් බැලුවත් මෙය වැදගත් සාධකයක්. 

අද නාගරික තදබදය ප්‍රධාන ගැටලුවක් වී තිබෙනවා. කොපමණ මිනිස් පැය ප්‍රමාණයක් පාරට වැය වෙනවද? එය ආර්ථික වශයෙන් ගණනය කළහොත් ආර්ථිකයට විශාල හානියක් සිදු වෙන බව පෙනෙනවා. ඒ නිසා මාර්ග තදබදය අඩු කිරීමේදීත් පොදු  ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම ඉතා වැදගත්. මේ අන්දමට ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් දියුණු කිරීම අපේ අපේක්ෂාවයි. 

පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරන බවට සංකල්ප හැදුවට වැඩක් නැහැ ජනතාවට නිසි පරිදි එම සේවාව ලැබිය යුතුයි. ඒ වගේම සුවපහසු ප්‍රවාහන සේවාවක් අවශ්‍යයි. ඒ නිසා දැනටමත් අපි බස් රථ සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් තිබෙනවා. ජනතාවට සුවපහසු ප්‍රවාහන සේවාවක් අවශ්‍යයි. ඒ නිසා ඕන ඕන විදියට බස් දාගෙන,  හිරකරගෙන ගියොත් අපි පොදු ප්‍රවාහන සේවාවක් පිළිබඳ කෙතරම් උත්සාහ දැරුවත් වැඩක් නැහැ ජනතාව එයින් ඈත් වෙනවා. ඒ නිසා අපි ජාතික ප්‍රතිපත්තියක් හදනවා කවර වර්ගයේ බස් රථද පාරේ ධාවනය කරන්න පුළුවන් කියලා. එය එකවිට කරන්න බැහැ. සමස්ත බස් සංචිතයම ඉවත් කර අලුත් බස් රථ සංචිතයක් එකවිට ඇතුළත් කළ හැකි වත්කමක් අපිට නැහැ. එසේනම් අලුතින් එක් කරන බස් රථ ප්‍රමිතියෙන් යුත් බස් රථ විය යුතු අතරම ක්‍රමානුකූලව පැරණි බස් රථ ප්‍රවාහන පද්ධතියෙන් ඉවතට යා යුතුයි. වසර කිහිපයක් මෙය සැලසුම් සහගතව කළහොත් සමස්ත බස් රථ සංචිතයම නව ගුණාත්මක බස් රථ සංචිතයක් බවට පරිවර්තනය කළ හැකියි. එය අපේ ප්‍රධාන ඉලක්කයක්. 

ඒ වගේම බස් රථ මොනතරම් සුවපහසු වුණත් වැඩක් නැහැ ඒ බස් රථය ධාවනය කරන රියදුරු මහතා සහ කොන්දොස්තර මහතාගේ හැසිරීම යහපත් නැත්නම්. මොකද බස් රථයේ ගමන් කරන සියලු ජනතාවගේ ජීවිත ඔහුගේ දෑත මතයි පවතින්නේ. ඒ නිසා ඕන කෙනෙකුට, ඕන විදියට බස් රථයක් ධාවනය කිරීමට රජයක් ලෙස අපි ඉඩ දිය යුතු නැහැ. ඇතැම් බස් රථ සමාගම්වල අයිතිකරුවන් යැයි කියා ගන්නා අය ඊට එරෙහිව යම් ප්‍රකාශ කර තිබුණා. එහෙත් අපි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. 

සෑම පුරවැසියෙක්ම බස් රථයට නගින්නේ තමන්ගේ ජීවිතය පිළිබඳව විශ්වාසයකින්. එසේ නම් ජීවිත පිළිබඳ අනාරක්ෂිත තත්ත්වයක් මතුවන්නේ නම් කිසිවෙකු තමන්ගේ දරුවා පොදු ප්‍රවාහනයට භාර දෙන්නේ නැහැ. පොදු ප්‍රවාහන පද්ධතිය පිළිබඳ විශ්වාසය ඇති කරන්න නම් දැනට ඇති වී තිබෙන තත්ත්වය වෙනස් කළ යුතුයි. විෂ මත්ද්‍රව්‍ය භාවිත කර කිසිසේත් බස් රථයක් ධාවනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ පිළිබඳ අවශ්‍ය නීති, පරීක්ෂා කිරීම් ආදී සියල්ල සිදු කරනවා. ඒ නිසා රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ හැසිරීම ගුණාත්මක තත්ත්වයට ගෙන ආ යුතුයි. 

එසේම කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතුයි. සියලු දෙනා අපේක්ෂා කරන්නේ තමන්ගේ ගමනාන්තයට ඉතා ඉක්මනින් යාමට. ඒ නිසා කාර්යක්ෂමතාව ඇති කළ යුතුයි. නියමිත වේලාවට ගමනාන්තය අවසන් විය යුතුයි.  ඒ වගේම අඛණ්ඩතාව ඉතා වැදගත් වෙනවා. එසේ නොමැති වුවහොත් දෛනික ජීවිතය බිඳ වැටෙනවා. ඒ නිසා සුවපහසු, කාර්යක්ෂම සහ අඛණ්ඩතාවෙන් යුත් පොදු ප්‍රවාහන සේවාවක් ලබා දීම අපේ අපේක්ෂාවයි. ඒ සඳහා සුවපහසු බස් රථ බලඇණියක් ස්ථාපිත කර එය මේ මාසයේදී ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ මාසයේ ජපාන රජයෙන් අලුත් බස් රථ 08ක් ලැබෙනවා. ඊට අමතරව අපි ඇණවුම් කළ බස් රථ අගෝස්තු, සැප්තැම්බර් වන විට අපිට ලැබීමට නියමිතව තිබෙනවා. 

ඒ අනුව, සුවපහසු මගී ප්‍රවාහනය සඳහාම සුදුසු බස් රථ බලඇණියක් නව සමාගමක් හරහා අපි හදනවා. අපි ක්‍රමානුකූලව පැරණි බස් රථ සංචිතය නගරවලින් ටික ටික ඈත් කරන්න පටන් ගන්නවා. ප්‍රධාන නගරවල කෙටි ධාවනය සඳහා බස් රථ බලඇණිය හදලා ක්‍රමානුකූලව පැරණි බස් රථ ධාවනයෙන් ඉවත් කරනවා. මෙය එකවර කරන්න බැහැ. 

ඒ වගේම, පුරවැසියාට ලැබෙන සේවාව ඉතා වැදගත්. ඒ නිසා රජයක් ලෙස අපි බැඳී සිටිනවා හොඳ සේවාවක් ලබා දීමට. හැබැයි, මේ සේවාව මුළුමනින්ම පෞද්ගලික අංශයට විතරක් තල්ලු වුවහොත් ඔවුන් අතර ඒකාධිකාරියක් නිර්මාණය වෙනවා. ඒ නිසා මුළුමනින්ම මෙය අත්හළ යුතු නැහැ. හැබැයි අපි විධිමත් කළමනාකරණ ක්‍රමයක් හදන්න අවශ්‍යයි. 

රජයේ පංගුවක් තිබෙන සහ පෞද්ගලික අංශයේ දායකත්වය තිබෙන වගේම, අපි අපේක්ෂා කරන කාර්යයන්ට අවශ්‍ය නියාමනයක් තිබෙන ආරක්ෂිත, සුවපහසු, අඛණ්ඩතාවෙන් යුත් කාර්යක්ෂම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ක්‍රියාවලියක් බවට මෙය පත් කළ යුතුයි. 

පුද්ගලික බස් රථ 21,000ක් තිබූ යුගයේ අයිතිකරුවන් 19,000ක් සිටියා. බස් රථ සේවාව කර්මාන්තයකට වඩා ස්වයං  රැකියාවක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශාල තරගකාරිත්වයක් ඇති වෙනවා. අද ජනතාව විශාල පිරිසක් නැති වේලාවලට එම සේවාව ලබා දෙන්නේ නැහැ.  එය අපේ රටේ සංස්කෘතික ජීවිතයටත් බලපෑමක් ඇති කර තිබෙනවා. අද 9.30ට චිත්‍රපටියක් බලලා ගමට යන්න බස් එකක් නැහැ. ඒ අනුව, එය සේවාවක සිට ලාභ ලබන තැනට පරිවර්තනය වී තිබෙනවා. තනි තනි අයිතිකරුවන්, විවිධත්වයන් සහිත කාර්යමණ්ඩල, විවිධ වෙනස්කම් සහිත බස් රථ මීට හේතු වී තිබෙනවා. 

ඒ නිසා ආණ්ඩුවක වගකීම වන්නේ ප්‍රශස්ත, ගුණාත්මක පොදු ප්‍රවාහනයක් ඇති කිරීමයි. ඒ සඳහා අපි පළාත් ක්‍රමයකට යා යුතුයි කියා අපි විශ්වාස කරනවා. හිමිකරුවන්ට තම බස් රථය, කලාප වශයෙන් ස්ථාපිත කෙරෙන බස් සමාගම්වලට එක් කළ හැකියි. එම සමාගම අඛණ්ඩ සේවාවක් ලබා දිය යුතුයි. ඒ කලාපය පාඩු ලබනවා නම් රජයට ඒ සඳහා සහනාධාරයක් ලබා දිය හැකියි. ප්‍රශස්ත ප්‍රවාහන සේවාවක් ලබා දීම වෙනුවෙන් මෙවැනි වැඩපිළිවෙළකට යා යුතුයි. අපි කිසිසේත්ම ප්‍රවාහන සේවාව ලාභ-අලාභ ගිණුමක දමා මැනීමට සූදානම් නැහැ. අපි මෙය මනින්නේ සේවාවක් ලෙසයි. මේ අන්දමින් පාඩු ලබන ග්‍රාමීය මාර්ගවලට ප්‍රවාහන සේවා ලබා දීමට අපි මෙවර අයවැයෙන් මිලියන 2000ක් පමණ වෙන් කර තිබෙනවා. 

කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක ප්‍රතිලාභ ලැබෙන්නේ එළියේ ආර්ථිකය තුළයි. අපේ වැඩ කරන කාර්ය මණ්ඩලය කාර්යක්ෂම රැකියා ස්ථානයට ගෙන ගියාද? එම සේවා සහ නිෂ්පාදනවලින් තමයි ආර්ථිකයට ලාභ-අලාභ ලැබෙන්නේ. එසේ නොමැතිව බස් රථයෙන් රථයට, පාරෙන් පාරට පාඩුද ලාභද කියා මැනීම වැරදියි. ප්‍රශස්ත සේවාව මත තමයි අපේ ආර්ථිකය සහ ජන ජීවිතය උසස් තත්ත්වයකට පත් වෙන්නේ. ඒ නිසා රජයක් ලෙස අපේ අපේක්ෂාව වන්නේ ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන සේවාවක් නිර්මාණය කිරීමයි.

ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීමට අපිට හොඳ කාර්යක්ෂම දේශපාලන අධිකාරියක් අවශ්‍යයි. අපේ ඇමතිතුමත්, නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනාත් මේ ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ඉතා හොඳින් වැඩ කරනවා. මම හිතනවා ඈත ගම්වල ධාවනය වන බස් රථ ගැන පවා ඔබෙන් විමසන අවස්ථා ඇති. එතරම් මේ ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා උනන්දු වන හොඳ දේශපාලන අධිකාරියක් තිබෙනවා. මෙම පරිවර්තනය අත්කර ගැනීමේදී එය ඉතා වැදගත් වෙනවා. 

ඒ වගේම අපේ ඉතා හොඳ නිලධාරී කණ්ඩායමක් සිටිනවා. විවිධ කාලවලදී විවිධ ගැටලු තිබෙන්න ඇති. අපි ඒ එකකින්වත් වර්තමානය මනින්නේ නැහැ. අපි ඔවුන් ගැන තීරණ ගන්නේ වර්තමානයේ හොඳද නරකද යන්න මත පමණයි. අපිට අතීතය තේරුම්ගත හැකියි. අපට ඇසී ඇති දෙයින් අපි කිසි කෙනෙකු මනින්නේ නැහැ. ඒ නිසා අපේ නිලධාරී කණ්ඩායම වර්තමානයේ මේ වෙනුවෙන් පෙළගැසී වැඩ කරයි කියා අපි විශ්වාස කරනවා.

විශේෂයෙන්, අද දිනයේ ශ්‍රී ලංගමයට ඇතුළත් වන ඔබටත් විශාල වගකීමක් තිබෙනවා. කොතැනකින් හෝ මේ ශ්‍රී ලංගමය පිළිබඳ ගොඩැනැගී තිබෙන ඉතා නරක යැයි හැඟෙන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ඒ සංස්කෘතිය වෙනස් කළ හැක්කේ කතාවලින්, ප්‍රකාශවලින්, ලියවිලිවලින් පමණක් නොවෙයි භාවිතයෙන් සහ වැඩ කරන ආකාරයෙන්. මෙහි සිටින ඔබ සියලු දෙනා ශ්‍රී ලංගමයට නව ප්‍රවේශයක් ගෙන එනු ඇතැ’යි විශ්වාස කරමින් ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට සුබ පතනවා.”