ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි….

ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොව ශිෂ්ටාචාර අතර පාලමක් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (18) දින ඉන්දියාවේ නවදිල්ලි නුවරදී WION ගෝලීය සමුළුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“අප හමුවන්නේ ගෝලීය පද්ධතිය ප්‍රබල පරිවර්තනයකට භාජනය වෙමින් පවතින මොහොතක. වෙළෙඳ මාර්ග අවහිර වෙමින් පවතිනවා. තාක්ෂණික තරඟකාරිත්වය ජාතීන් අතර බලතුලනය නැවත හැඩගස්වමින් පවතිනවා. ලොව විවිධ කලාපවල යුද්ධ දිගින් දිගටම ඇවිලෙමින් පවතිනවා. නිරවි යුද්ධයෙන් පසු බිහිවූ ලෝකය දැන් වෙනස් වෙමින් පවතිනවා.”

“කලක් දුරස්ථ හෝ ද්විතීයික ලෙස සැලකූ උපායමාර්ගික කලාප දැන් ගෝලීය දේශපාලනයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබේ. ඉන් එක් කලාපයක් වන්නේ ඉන්දියන් සාගරයයි.”

“වසර දහස් ගණනක් පුරා ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොව ශිෂ්ටාචාර අතර පාලමක් වුණා. ඉන්දියානු සාගරය සමාජයන් බෙදා වෙන් කරනවා වෙනුවට ඒවා එකිනෙක සම්බන්ධ කළා.”

“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව එම සම්බන්ධතාවයේ පැරණිතම උදාහරණයක්.”

“ගෝලීය තෙල් නැව්ගත කිරීම්වලින් තුනෙන් දෙකක් පමණ මෙම මුහුදු තීරය හරහා ගමන් කරන අතර, ලොව බහාලුම් ගමනාගමනයෙන් අඩක් පමණ එහි මුහුදු මාර්ග ඔස්සේ සිදුවෙනවා.”

“මෙම මාර්ගවලට තර්ජන එල්ලවූ විට, එහි ප්‍රතිවිපාක මුළු ලොවටම දැනේ. මෑතකාලීන ගෝලීය සිදුවීම් මෙම ස්ථාවරත්වය කෙතරම් බිඳෙනසුලු විය හැකිද යන්න අපට මතක් කර දෙනවා.”

“මැදපෙරදිග නොසන්සුන්තාවන් බලශක්ති වෙළෙඳපොළ සහ ගෝලීය ආරක්ෂාව කෙරෙහි දිගින් දිගටම බලපාන අතර ප්‍රධාන බලවතුන් අතර උපායමාර්ගික එදිරිවාදිකම් සමුද්‍රීය කලාප තුළ වඩ වඩාත් දෘශ්‍යමාන වෙයි. මේ නිසාම, ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය යළිත් වරක් තීරණාත්මක වී තිබෙනවා.”

“උපායමාර්ගිකව සංවේදී කලාපවල පිහිටි රටවල් සඳහා, විදේශ ප්‍රතිපත්තිය සමතුලිතතාවය, දුරදක්නා නුවණ සහ විනය මගින් මෙහෙයවිය යුතුයි. අපගේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගත යුතු අතර අපගේ සමුද්‍රීය කලාපය සුරක්ෂිත කළ යුතුයි.”

“ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ යටිතල පහසුකම් ඉන්දියාවේ ආර්ථික පරිමාණයට අනුපූරක වන අතර අපගේ රටවල් දෙකට එක්ව කලාපීය ස්ථාවරත්වය සහ සමෘද්ධිය ශක්තිමත් කළ හැකියි.”

“කෘතිම බුද්ධිය, සයිබර් ආරක්ෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ අභ්‍යවකාශ තාක්ෂණය තවදුරටත් හුදු ආර්ථික අංශ පමණක් නොවේ. ඒවා ඉදිරි දශක කිහිපය තුළ ගෝලීය බලය හැඩගස්වන උපායමාර්ගික ක්ෂේත්‍ර වෙයි.”

“මගේ පරම්පරාවට උරුම වී ඇත්තේ ගෝලීය වෙනස්කම්වලට හුදෙක් ප්‍රතිචාර දැක්වීම පමණක් නොව, එය මෙහෙයවීමට සහ හැඩගැස්වීමට ඇති වගකීමයි.”

“එදිරිවාදිකම්වලට වඩා සහයෝගීතාවය ඉහළින් පවතින සහ ජාත්‍යන්තර නීතිය මගින් ස්ථාවරත්වය මෙහෙයවන ලෝකයක් ගොඩනැගීමේ වගකීමයි.”

“ඉන්දියන් සාගරය සැමවිටම පැවති ආකාරයටම – ශිෂ්ටාචාරයන් අතර පාලමක් ලෙස පැවතිය යුතුයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ ඉන්දියන් සාගර කලාපයේ රටවල් මෙම මුහුදු තීරය විවෘත, සුරක්ෂිත සහ සහයෝගීතාවයෙන් යුක්තව පවත්වා ගැනීමට එක්ව කටයුතු කළ යුතුයි.”

“මන්ද, ඉන්දියන් සාගරය ස්ථාවර නම් ගෝලීය ආර්ථිකයද ස්ථාවර වනු ඇත.” 

“එය සාමයේ, සහයෝගීතාවයේ සහ පොදු සමෘද්ධියේ සාගරයක් ලෙස පවතින බව සහතික කිරීම අපේ පරම්පරාවේ වගකීමයි.”

බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක් අත්සන් තබයි…

බාල ගල්අඟුරු සිද්ධිය මුල් කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංගය යෝජනාවක් ගෙනඒමට විපක්ෂය පියවර ගෙන ඇත.

ඒ සඳහා මේ වනවිට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අත්සන් කර තිබේ.

එම විශ්වාසභංගය යෝජනාව හෙට (19) දිනයේදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවද වාර්තා වෙයි.

QR ක්‍රමවේදය සති අන්තයේ හඳුන්වා දුන් හේතුව හෙළි වෙයි….

ඉන්ධන හිඟයක් පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කරගනිමින් පෝලීම් නිර්මාණය නොකරන ලෙස ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ, මෙම විධිමත් කළමනාකරණ ක්‍රියාවලියට උපරිම සහයෝගය ලබා දෙන ලෙසය.

පවතින ගෝලීය දේශපාලනික අර්බුද හමුවේ මෙරට ඉන්ධන සංචිත සුරක්ෂිත කරගැනීම සහ ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම සඳහා QR කේත ක්‍රමවේදය හඳුන්වාදීමට කටයුතු කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල් අසල අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා QR කේතය හරහා ඉන්ධන ලබාදීමේ වැඩසටහන සති අන්තයක සිට ක්‍රියාත්මක කිරීමට තීරණ කළ බව ද ඔහු පැවසීය.

මීට පෙර පද්ධතියේ පැවති ගැටලු වන වාහන අයිතිය වෙනස්වීම සහ ජංගම දුරකථන අංක පිළිබඳ ගැටලුවලට පිළියම් මේ වනවිට යොදා ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, පද්ධතියෙන් වාහන ඉවත් කිරීමේ පහසුකම ද මේ වනවිට විධිමත් කර ඇති බවය.

හෙට උදෑසන වනවිට සියලු තාක්ෂණික බාධාවන් මඟහැරී ජනතාවට පහසුවෙන් සේවාව ලබාගත හැකි වනු ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශ කිහිපයකට බදාදා දිනයේ නිවසේ සිට රාජකාරි කිරීමට අවසර….

ජාත්‍යන්තර අර්බුදකාරි තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග වලට අනුගත වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශ කිහිපයක නිලධාරීන්ට සෑම බදාදා දිනකම නිවසේ සිට රාජකාරි කිරීමට අවසර ලබා දී තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයෙහි සඳහන් වන්නේ, මෙම සතියේ සිට නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම,

කාසල් වීදියේ පිහිටි නව අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ සියලුම අංශ
නාරාහෙන්පිට මැලේරියා ගොඩනැගිල්ලේ සියලුම අංශ
ජාතික පිළිකා මර්ධන වැඩසටහන
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය,

යන ගොඩනැගිලි හා අංශවල නිලධාරීන් නිවසේ සිට වැඩ කළ යුතු බවය.

එමෙන්ම ප්‍රවාහන අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරි සුවසිරිපාය ගොඩනැගිල්ලේ සිට සිදු කරන ලෙසත්, පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ අංශයේ ආහාර පාලන ඒකකයේ බලපත්‍ර නිකුත් කිරීමට අදාල නිලධාරීන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ – වැ.බ.) උපදෙස් පරිදි සුවසිරිපාය පරිශ්‍රයේදී බදාදා දින රාජකාරි ඉටු කල යුතු බවත් දැනුම් දී තිබේ.

මීට අමතරව, ඉහත සෞඛ්‍ය ආයතන වල සිදුකළ යුතු අත්‍යවශ්‍ය කාර්යයන් සුදුසු ක්‍රමෝපායන් අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව දැනුම් දී ඇත.

තවද, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පවතින අනෙකුත් අංශ /ඒකක අවම අවශ්‍යතාවයට සරිලන පරිදි කාර්ය මණ්ඩලය බදාදා දින සීමා කිරීමට අවධානය යොමුකළ යුතු අතර සෞඛ්‍ය සේවාව අඛණ්ඩව හා ඵලදායී ලෙස පවත්වා ගනිමින් මෙම අවස්ථාව කළමනාකරණය කර ගැනීම සඳහා කටයුතු කරන ලෙස ද අදාල නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

QRවලින් ඉන්ධන ලැබෙන විදිහ ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්…

ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් QR කේතය ක්‍රියාත්මක කළ ද රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් මතු වී නැති බව ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, රට තුළ හදිසි තෙල් අවශ්‍යතාවයක් මතු වුවහොත් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව, චීනය ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා පවත්වා ඇති බවත් එය ඉතා සාර්ථක බවත් ය.

අද (15) උදෑසන 6.00 සිට QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර මුලින්ම අවස්ථාව ලබා දී ඇත්තේ මීට පෙර QR කේතය ලබා ගත් ඊට අදළ වාහනය සහ දුරකථන අංකය තමා ළඟ ඇති පිරිසට වන බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මෙහිදී ඔහු සඳහන් කර සිටියේ, මීට පෙරදී භාවිත කළ QR කේතය ඇත්නම් එය භාවිත කළ හැකි බවය.

මේ අතර QR කේතය නොමැති නම්  https://fuelpass.gov.lk/ වෙබ් අඩෙවිය හරහා ඔබට හිමි QR කේතය බාගත කර ගත හැකි බව ද ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා දැනුම් දී සිටියේය.

එමෙන්ම තමාගේ වාහනයේ අයිතිය වෙනස් වී ඇත්නම්, දුරකථන අංකය වෙනස් කර ඇත්තම් හෝ මීට පෙර QR කේතය ලබා නොගත් වාහනයක් නම් අදාළ වෙබ් අඩවියේ vehicle registration අංශය වෙත පිවිසීම හරහා QR කේතය ලබා ගත හැකි වන බවද ඒ මහතා සඳහන් කර සිටී.

අදාළ වෙබ් අඩවියේ vehicle registration අංශය තව පැයකින් පමණ යාවත්කාලීන වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ ඒ අනුව අද දිනයේ සිට QR කේතය නොමැතිව ඉන්ධන ලබා ගත නොහැකි බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා,

”පහුගිය දවස් තුන හතර ඇතුළත අපි දැක්කා බොහෝ දෙනා ඉන්ධන එකතු කරනවා ඒ වගේම මාධ්‍ය සාකච්ඡා තියලා තෙල් පෝලිම් ඇති කරනවා.. ඒකෙන් භයානක තත්ත්වයක් උද්ගත වෙන්න පුලුවන් වෙයි කියලා හිතුන නිසයි QR කේතය භාවිතයට යොමු වුණේ.. ඒ ඇරෙන්න තෙල්වල ප්‍රශ්නයක් නෑ.. මේකේ බලාපොරොත්තුව කිසිම කෙනෙක්ට තෙල් පෝලිම්වල නොඉද තෙල් ලබා දෙන එක..”

මාලිමා මන්ත්‍රී අසෝක රන්වලට වරෙන්තු….

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල මහතාට වරෙන්තු නිකුත් කිරීමට මහර මහේස්තාත් අධිකරණය පියවර ගෙන තිබේ.

ඒ ඒ මහතා විසින් සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුකළ රිය අනතුරට අදාළව මහර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.

ඒ අනුව මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාට වරෙන්තු නිකුත් කිරීමට නියෝග කර තිබේ.

මින් ඉදිරියට QR එකට තෙල් දෙන්න පොලීසියේ සහායත්

මින් ඉදිරියට පොලීසියේද මැදිහත්වීමෙන් ඉන්ධන පිරවුම්හල් මගින් QR ක්‍රමය යටතේ පමණක් ඉන්ධන ලබාදීම සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙයි.

එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (15) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ අදහස් පළ කළේය.

“අපේ ඇනවුම් ඒ විදියටම ලැබෙමින් පවතිනවා. ඒ නිසා ලබන මාසේ අවසන් වෙනකම් ඒ පිළිබඳ ගැටළුවක් නෑ.” QR කේත ක්‍රමය අද සිට ක්‍රියාත්මක වෙනවා ගැටලුවක් තියෙන්න ඇති ජනතාවට. ඒ නිසා පෝලින්වල ඉදලා ඉන්ධන ලබා ගත්තා. නමුත් දැන් ඉදලා පෝලින්වල ඉදලා තෙල් ගහගන්න ඕනේ වෙන්නේ නෑ. මොකද සාමාන්‍ය ලෙස තෙල් පරිභෝජනය කරන අයගේ මේ වන විට තෙල් ප්‍රමාණය නිෂ්චිත කරලා ෂෙඩ්වල ඉතුරු කරලා තියෙනවා. මොකද සතියකට අවශ්‍ය තෙල් කෝටාව තීන්දු කරලා තියෙනවා ඒ තෙල් ප්‍රමාණය ඕනෑම මොහොතක ගහගන්න පුළුවන්. ආපහු පොලින්වල ඉදලා ගහගන්න ඕනේ නෑ…”

“අද උදේ  ෂෙඩ්වල සහ වෙබ් අඩවිවල යම් තාක්ෂණික ගැටලු ටිකක් මතු වෙලා තිබුණා. මේ වන විට ඒ සියල්ල සකසලා තියෙන්නේ.  රටේ තියෙන සියලුම පිරවුම්හල්වලට QR කේත ක්‍රමය යටතේ ස්කෑන් කරලා තෙල් දෙන්න පුළුවන්. ඒ නිසා රටේ කිසිදු කෙනෙකුට QR ක්‍රමයෙන් පිට තෙල් ගසා ගැනීමට අවශ්‍යතාවක් නෑ. පෝලින්වල ඉන්න ඕනේ නෑ. ඒ සඳහා පොලීසිය මැදිහත් වෙවී. අනවශ්‍ය ලෙස පොලින්වල ඉදලා තෙල් ලබාගන්න අයට මින් ඉදිරියට ඒක ලැබෙන්නේ නෑ….” 

“එමෙන්ම පිරුවුම්හල්වල අයටත්, QR එකෙන් කොච්චර ගිහින්ද, අපි ලබා දුන්න තොගය කෙච්චරක්ද ඒ දෙක අතර යම් වෙනසක් තියෙනවා නම් ඒකට දැඩි ක්‍රියා මාර්ග ගන්නවා. ඉස්සර වගේ නෙමෙයි බලපත්‍රය අහෝසි වෙන්න පුළුවන්…” 

“මගී ප්‍රවාහන බස් රට වලටත් CTBඑක හරහා දෙන්වා කලින් දුන්නා වගේ. කෙටි කාලයක් අතුළත ඒ අයට ගමන් මාර්ගය අනුව කොච්චර තෙල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ද දවසකට කොච්චර දුවනවාද කියලා. ඒ අනුව ආය QR කේතය වෙනස් කරලා ලබා දෙනවා. ධීවර සහ ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය ඉන්ධනද නිසි ආකාරව ලබාදීමට කටයුතු කරනවා…”

මැදපෙරදිග යුද තත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති හා අමාත්‍යංශ ලේකම්වරු අතර සාකච්ඡාවක්….

මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යා‍මේදී මතු වී ඇති ගැටලු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද (15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

 

මෙහිදී විශේෂයෙන් සෞඛ්‍ය, අධ්‍යාපන, කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ධීවර ආදී ක්ෂේත්‍රයන් පිළිබඳව අවධානය යොමු වූ අතර එක් එක් ක්ෂේත්‍රය තුළ යාවත්කාලීන ඉන්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මෙහිදී එක් එක් අමාත්‍යංශ ලේකම්වරුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කිරීම මෙහිදී සිදු විය.

 

මතු වූ කරුණු පිළිබඳව සලකා බැලූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සෞඛ්‍යය වැනි ක්ෂේත්‍රයන් වෙනුවන් අත්‍යවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රදේශීය පවත්වාගෙන යාමේ හැකියාව තවදුරටත් සොයා බලන ලෙසයි. එසේම නිවසේ සිට රාජකාරී සිදු කිරීමේ හැකියාව පිළිබඳ තවදුරටත් සොයා බලා කරුණු වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා ලේකම්වරුන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය. ඉදිරියේදී මතු විය හැකි තත්ත්වයන් පිළිබඳ පූර්ව උපකල්පන ඉදිරිපත් කළ නොහැකි බැවින් ඉදිරියේදී මතු විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා ‍පෙර සූදානමක අවශ්‍යතාවයත්, ඒ වෙනුවෙන් තවදුරටත් දැනට හදුන්වා දී ඇති ඩිජිටල් කේත ක්‍රමය විධිමත් කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 

මෙහිදී දැනට හදුන්වා දි ඇති ඩිජිටල් කේත ක්‍රමයේ පවතින අඩුපාඩු හැකි ඉක්මනින් නිවැරදිව සකස් කර යාවත්කාලීන කරන ලෙසද ජනාධිපතිවරයා උප‍දෙස් ලබා දුන්නේය. එසේම මතු වන නව තත්ත්වයන් පිළිබඳ නිරන්තර අධීක්ෂණයෙන් සහ අවධානයෙන් සිටිය යුතු බවත්, එක් එක් අංශයන් වෙනු‍‍වෙන් වෙන් වෙන්ව තීන්දු තීරණ ගැනීම වෙනුවට සමස්තයක් ලෙස සලකා බලා පවතින අභියෝගයට අදාළ විකල්ප ක්‍රමවේදයන් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අන්‍ය‍ෝන්‍ය අවබෝධයෙන් යුතුව යුහුසුළුව මැදිහත් වන ලෙසද උපදෙස් ලබා දුන්නේය.

 

මේ අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, ජනාධිපති ඩිජිටල් ආර්ථික උපදේශක හාන්ස් විජේසූරිය, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනිල් ජාසිංහ, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් වරුණ ධනපාල, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශ ලේකම් කෝලිත කමල් යන මහත්ම මහත්මීන් සහ ආයතන ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියහ.

 

අද සිට ඉන්ධන පිරවුම්හල්වලදී QR කේතය…..

අද (15) දින සිට දිවයින පුරා පවතින සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේත ක්‍රමය අවශ්‍ය බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, අද උදෑසන 06.00 සිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වනු ඇති.

මෙම නව ක්‍රමවේදය යටතේ QR කේතය ලබාගත හැකි ආකාරය පහත පරිදි වේ:

පෙර ලියාපදිංචි වී සිටි සහ විස්තර වෙනස් නොවූ පාරිභෝගිකයින්: 2026 මාර්තු 14 මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවිය ඔස්සේ තමන්ට හිමි කේතය භාගත කරගත හැකිය.

විස්තර වෙනස් වූ හෝ අලුතින් ලියාපදිංචි විය යුතු පාරිභෝගිකයින්: වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති පාරිභෝගිකයින් සහ මින් පෙර ලියාපදිංචි නොවූ පාරිභෝගිකයින් 2026 මාර්තු 15 උදෑසන 6.00 සිට එම වෙබ් අඩවියේ නැවත ලියාපදිංචි විය යුතුය.

අමාත්‍යාංශය විසින් එක් එක් වාහන කාණ්ඩ සඳහා සතියකට හිමිවන ඉන්ධන ලීටර ප්‍රමාණයන් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෝටර් සයිකල් සඳහා ලීටර් 5ක්, මෝටර් රථ සඳහා ලීටර් 15ක් සහ ත්‍රිරෝද රථ සඳහා ලීටර් 15ක් ලෙස සීමා පනවා තිබෙනවා.

එසේම, රටේ අත්‍යවශ්‍ය සේවා සහ නිෂ්පාදන කාර්යයන් සඳහා වෙනම විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ඒ අනුව, පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන ලබාදීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

එම සවිස්තරාත්මක නිවේදනය පහතින්,
26

සංචාරක ප්‍රවර්ධනය සඳහා ජපාන දූත කණ්ඩායමක් මෙරටට….

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංචාරක සමාගමක් වන Connaissance De Ceylan ආයතනයේ සම්බන්ධීකරණයෙන් සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙරටට පැමිණි 11 දෙනෙකුගෙන් යුත් ජපාන නියෝජිත පිරිසක් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා පැමිණියහ.

ශ්‍රී ලංකාවේ ජන ඉතිහාසය, බුදුදහමේ ආගමනය සහ විකාශනය, පාරම්පරික සංස්කෘතිය, ආයුර්වේදය, සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර, ආහාර රටාව, ආර්ථික බෝග ආදිය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙම දූත පිරිසේ අරමුණ වී තිබේ.

එමගින් දෙරට අතර සංචාරක කර්මාන්තය වැඩිදියුණු කර ගැනීම සඳහා සිදු කළ හැකි මැදිහත්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ ඔවුහු, තමන් ලබා ගත් දැනුම ජපානයේ ජනතාව සමඟ බෙදාහදා ගැනීමට කටයුතු කරන බවද පැවසූහ.

එසේම, ජපානය තුළ ශ්‍රී ලංකාව ප්‍රමුඛපෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, කොළඹ, අනුරාධපුරය, සීගිරිය, මහියංගණය සහ මහනුවර යන ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ජාත්‍යන්තරයට ගෙන යාම ආදී කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

මෙම දූත කණ්ඩායම ජනාධිපති කාර්යාලයට අමතරව, සපුගස්කන්ද පුරාණ විහාරය, මිහින්තලය, අනුරාධපුරය, සීගිරිය, දඹාන, මල්වතු මහා විහාරය, වරාය නගරය ඇතුළු තවත් සුවිශේෂී ස්ථාන රැසක්ද නැරඹීමට එක් වූහ.