ලොකු ලූනු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට COPF අනුමැතිය…

2025 යල කන්නය සඳහා දේශීය ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීම සඳහා ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) වැඩි කිරීමට අදාළව 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝගයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගිය 21වනදා පාර්ලිමේන්තුවේදී  රැස්වූ අවස්ථාවේදීය.

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අහෝසි කිරීමට නියමිතව තිබුණද, දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා රජය එය දිගටම භාවිතා කරන බව  මෙහිදී අනාවරණය වී තිබේ.

ඒ අනුව, 2025 අගෝස්තු 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 කින් (රු. 40 සිට රු. 50 දක්වා) සහ ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 20 කින් (රු. 60 සිට රු. 80 දක්වා) වැඩි කිරීමට පියවර ගෙන ඇත.

මෙහිදී අදහස් දැක්වූ නිලධාරීන් ශ්‍රී ලංකාවේ තීරුබදු ව්‍යුහය තිරසාර, සරල, විනිවිද භාවයෙන් යුත් සහ වෙළෙඳුන්ට නිවැරදී පුරෝකථනයක් කළ හැකි විය යුතු බව ප්‍රකාශ කළ ඇත.

ඒ අනුව මෙයට අනුකූලව,  පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය විසින් පවතින නීති ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සමඟ ඒකාබද්ධ කරන ලෙස කාරක සභාව  නිර්දේශ  කරන ලදී.

මෙහිදී කාරක සභාව විසින් යෝජිත තීරුබදු ක්‍රමවල වෙනස්කම්වල බලපෑම පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් සිදු කරන ලෙසත්  එයට තීරු හතරේ බදු ක්‍රමයකට (Four- band import duty) මාරුවීම , සහ 2027 සිට 2030 දක්වා පැරා තීරුබදු (SCL සහ CESS) ක්‍රමානුකූලව ඉවත් කිරීම පිලිබඳ තොරතුරු ඇතුළත්  කරමින්  2026 මාර්තු මස අවසන් වන විට යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශවලට නියෝග කරන ලදී.

කන්න අනුව පනවන  තීරුබදු මත රඳා පැවතීම අඩු කිරීමට ලොකු ළූණු වගාව සඳහා ඉහළ අස්වැන්නක් ලබා දෙන  නව තාක්ෂණික භාවිතයන් පුළුල් කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ට ව්‍යාපෘතියක්  සකස්  කරන ලෙසත්,  එම ව්‍යාපෘතිය වසර පහක් තුල ලංකාවේ මුළු වගාබිම් ප්‍රමාණය  සඳහාම භාවිතාකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.

මෙය පසු අස්වනු පාඩු අවම කිරීම සහ ගොවීන් සඳහා මිල ස්ථාවර කිරීම සඳහා “ප්‍රභාෂ්වර” වැනි ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය පාලනය කරන ලද ගබඩා, ආපසු මිලදී ගැනීමේ ගිවිසුම් (buy-back agreements)  සහ  අනාගත කොන්ත්‍රාත්තු (futures contracts)ඇතුළත් පුළුල් උපාය මාර්ගික කොටසක් විය යුතු බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය.

තවද, මත්පැන් නිෂ්පාදනය සඳහා තීරුබදු ගෙවීමට අදාළ සුරාබදු ආඥාපනත (52 වන පරිච්ඡේදය) යටතේ ඇති රීති ද, කාරක සභාවේදී සළකා බලා අනුමත කර තිබේ.

ඒ අනුව නව නීති මගින් දින 30 ඇතුළත අදාල බදු නොගෙවන්නන්ගේ නිෂ්පාදනය නතර කරනු ලබන අතර,  දින 90 ඇතුළත සියලුම බෙදාහැරීම් සහ විකුණුම් නතර කරනු ලබන බව නිලධාරීත් පවසා ඇත.

සුරාබදු පනතෙහි ශක්තිමත් බදු අයකර ගැනීමේ යාන්ත්‍රණයක් නොමැතිවීම හේතුවෙන් නොගෙවූ ගාස්තු සඳහා දැනට පවතින 3% පොලී දඩ මුදල  ප්‍රමාණවත් නොවන බැවින්, මෙය බලාත්මක  කිරීමේ වැදගත්කම කාරක සභාව  අවධාරනය කර තිබේ.

වැලිගම සභාපති ඝාතනය පිටුපස පාතාල ක්‍රියාකාරකම් ?

වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයත් සමඟ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යළි කතා බහක් මතුව තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අද (22) උදෑසන 10.20ට පමණ වැලිගම ප්‍රාදේශීය සභාවේ ඔහුගේ කාමරය තුළදී ඝාතනයට ලක් විය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ලිපියක් අත්සන් කරගැනීමට යන මුවාවෙන් කාමරය තුළට ගොස් වෙඩි තබා පලාගොස් තිබුණි.

එහිදී බරපතළ තුවාල තැබු සභාපතිවරයා මාතර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකය තුළදී ජීවිතක්ෂයට පත්විය.

මෙම ඝාතනයත් සමග සමාජය තුළ යළිත් වරක් පාතාල කල්ලි අතර ඝාතනයන් සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබේ.

ඊට හේතු වී ඇත්තේ මොහු ‘ශන්ෂයින් සුද්දා’ නැමැති අපරාධ කල්ලි සමාජිකයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට පත්ව තිබීමය.

මොහුට විරුද්ධව අධිකරණය තුළ නඩු 06ක් පවතින අතර මොහු අත්හිටවූ සිරදඬුවම් මත සිට ඇති බවද පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම ලසන්ත වික්‍රමසේකර මහතා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පැවසෙන මේවන විට බන්ධනාගාර ගතව සිටින නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සමග සමීප සබඳතාවක් පවත්වා ඇති බවට ද අනාවරණය වී ඇත.

හරක් කටාගේ කල්ලියේ ප්‍රධානීන් වන ‘මිදිගම චූටි’ හා මිදිගම රුවන් සමග ද ඔහු සමීප ඇසුරක් පවත්වා ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබේ.

පසු කලෙක මිදිගම රුවන් එම කණ්ඩායමෙන් වෙන් වී ඇති අතර අනතුරුව ඔහුගෙන් වික්‍රමසේකර මහතාට මරණ තර්ජන එල්ලවී ඇති බව පොලීසිය පැවසීය.

බන්ධනාගාරගතව සිටින මිදිගම රුවන් එහි සිට ෆේස්බුක්හි පෝස්ටුවක් පළකළ තිබුණි.

”ගරු සභාපතිතුමෝ, ඔයා දැන් සුදු ඇන්දට අමතක කරන්න එපා ඔයා කළු අඳින කාලේ අපි ඔක්කොම එකගොඩේ හිටිය වග. බොරු කියලා නාට්ටි දාලා මගේ එක කොල්ලෙක් හරි හිරකරන්න හැදුවොත් මම ඇත්ත කියලා ඔයාගේ සුදු රෙද්ද ඔළුවෙන් ගලවලා දාන්න දෙපාරක් හිතන්නේ නැහැ. අනික උඹට මම ගහන්න ඉන්නවා කියකියා එක එකාට කියන්න එපා. මම ප්‍රතිපත්තියක් වශයෙන් හරක් මරන්නේ නෑ.” යනුවෙන් එහි සටහන් කර තිබිණි.

එලෙස එල්ල වූ තර්ජන හමුවේ ලසන්න වික්‍රමසේකර මහතා පසුගිය අගෝස්තු මස 29 වනදා තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ලිපියක් යොමුකර ඇත.

එහි දැක්වෙන්නේ තමන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවය.

“මා අධිකරණයට පැමිණෙන අවස්ථාවකදී හෝ ප්‍රාදේශීය සභාවට පිටත්ව යන අවස්ථාවකදී මා ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ දරන බවට මා හට විශ්වාසයක් පවතින බව සැළකර සිටිමි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාතාල කල්ලි ගණනාවක් මා හට තර්ජන එල්ලකර ඇත. ඔවුන් මා ඝාතනය කරන බවට පවසා ඇති බවට මා හට, විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව සැළකර සිටිමි. සමාජ මාධ්‍යයන් ඔස්සේ මාගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් මිදිගම රුවන් හෙවත් රුවන් ජයසේකර නැමැති පුද්ගලයා විසින් මුහුණුපොත හරහා පෝස්ටුවක් පළකර ඇති ආකාරයක් මාහට දැනගැනීමට හැකියාව ලැබුණා. මෙම සියලු තත්ත්වයන් හේතුවෙන් මාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවට මා හට දැනෙන බැවින්ද, ඒ බවට දැන් දැන් සිදුවන තර්ජන ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බැවින්ද මාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමර්ගයෙක් ගැනීමට කටයුතු කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.”

කෙසේ වෙතත් ඔහුගේ ජීවිතය පිළිබඳව එම වකවානුවේදී තර්ජනයක් එල්ල වී නොතිබූ බව පොලීසිය සඳහන් කළේය.

නමුත් සභාපතිවරයා විවිධ ස්ථානවල සැඟවී සිටිමින් සිට ඇති අතර සභාවාරයන් සඳහා පමණක් වැලිගම ප්‍රාදේශීය සභාවට පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ සභික නීතීඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට ඉකුත් ජූලි මස 16 වනදා වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේද ලසන්න වික්‍රමසේකර මහතාටය.

එයද මිදිගම රුවන්ගේ පාර්ශ්වය විසින් සිදුකර එහි චෝදනා ඔහු වෙත එල්ලකීරීමට උත්සාහ දරා ඇති බව පොලීසිය සිදුකළ දීර්ඝ විමර්ශනයේදී හෙළිවී ඇත.

ඒ අනුව පොලීසිය සැක පළකරන්නේ ලසන්න වික්‍රමසේකර මහතාව මිදිගම රුවන්ගේ පාර්ශ්වය විසින් ඝාතනය කර ඇති බවය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධික්ෂණය යටතේ කණ්ඩායම් 04ක් විසින්  සිදු කරනු ලබයි.

මේ අතර ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග වැද ජයග්‍රහණය කළ අතර ඔහු එහි සභාපති ධූරයට පත්වූයේ ඒ සඳහා පාර්ශ්ව දෙකක් අතර පැවති මතභේදාත්මක තත්ත්වයකින් පසුව වීමද විශේෂත්වයකි.

පද්මේගේ දුරකථනයක තිබූ දෙයක් ගැන CIDය පියුමිගෙන් ප්‍රශ්න කරයි…..

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුම් හංසමාලිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (21) පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනයක තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.

එම ඡායාරූපයේ පද්මේ සමග පියුමි හංසමාලි ඇතුළු මෙරට තවත් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකු සිටින බව වාර්තා වේ.

එමෙන්ම පද්මේ පියුමි හංසමාලි සමග පැවැත්වූ දුරකථන සංවාද කිහිපයක් ද ඔහුගේ ජංගම දුරකථනයේ තිබී හමුවී ඇති බව පැවසේ.

එම ඡායාරූපයේ සිටින සෙසු රංගන ශිල්පිනියන් ද ඉදිරියේදී ගෙන්වා ප්‍රකාශ ලබාගන්නා බව පොලීසිය පැවසුවේය.

කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව රෝස පැහැ ගැන්වෙයි…..

සෑම වසරකම ඔක්තෝබර් මස ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය හෙවත් “රෝස පැහැති මාසය” ලෙස සලකනු ලබන අතර ඊට සහය පළ කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ කථානායක ජගත් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන්ට පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සංකේතවත් කරන ලාංඡන පැළඳවීම සහ අත්පළදනා ලබා දීම අද (22) පාර්ලිමේන්තුවේදී සිදුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක  රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන්ට ද සංකේතාත්මක ලාංඡන පැළඳවීම සහ අත්පළඳනා ලබා දීම සිදු කෙරිණි.

තවද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුම් දොරටුව අභියසදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පියයුරු පිළිකා මර්දනය පිළිබඳ දැනුවත් කිරීමට සහය පළ කිරීමේ ලාංඡන පැළඳවීම සහ අත්පළදනා ලබා දීම  සිදුවිය.

එසේම සංසදය විසින් පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්වරුන්ට ද ලාංඡන පැළඳවීම සිදුකෙරිණි.

අද මෙම වැඩසටහනට සහය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණ තිබුණි.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව මෙම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයට සමගාමීව පියයුරු පිළිකා මර්දනය කිරී‍මේ අවශ්‍යතාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අද ප.ව 4.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

ලොවපුරා කාන්තාවන් අතර සුලභම පිළිකාව පියයුරු පිළිකාව වේ.  ඒ අනුව ශ්‍රී ලංකාවේ ද දිනකට නව රෝගීන් 15 ක් හදුනාගන්නා බවත් ඉන් 3 දෙනෙකු මිය යන බවත් මෙම අවස්ථාවට සහභාගීවූ වෛද්‍යවරියෝ සඳහන් කර ඇත.

පියයුරු පිළිකාව කල් ඇතිව හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් පූර්ණ සුවය ලැබිය හැකි බවත්, ඒ සඳහා වයස අවුරුදු 20ට වැඩි කාන්තාවන් මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකිරීමේ අවශ්‍යතාවයත් ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මාසයට පමණක් සීමා නොවී මේ පිළිබඳව දැනුවත් වෙමින් මෙම සමාජ ව්‍යසනය තුරන් කිරීමේ වගකීම කාන්තාවන්ට පමණක් නොව පිරිමි පාර්ශ්වයට ද ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි. මේ පිළිබඳව මෙරට පාසැල් මට්ටමින් දැනුවත් කිරීම ආරම්භ කොට ඇති බවත් ‘රෝස බදාදා’ නමින් විවිධ පාර්ශවවල සංවිධාන ශක්තියෙන් වැඩසටහන් ආරම්භකොට ඇති බවත් මෙහිදී අනාවරණය විය.

එසේම පාර්ලිමේන්තුවේ මෙම වැඩසටහනට සමගාමීව සියලුම පාසැල්වල උදය රැස්වීමේදී පාසැල් ළමුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස සියලු විදුහල්පතිවරු දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත සංසදය විසින් ලිඛිතව දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ද ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ශ්‍රීනි අලහප්පෙරුම, විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු, ඉන්දිරා පිළිකා භාරයේ සභාපති වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම වැඩසටහනට සහභාගී වී ඇත.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ දත්ත රැස්කරන්නැයි උපදෙස්….

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ දත්ත රැස්කිරීමට කටයුතු කරන ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාව මගින් නිලධාරීන්ට උපදෙස් ලබා තිබේ.

ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සොයාබැලීම  සඳහා වන එම  අනු කාරක සභාව  එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දෙන ලදී.

රට පුරා ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ ගෙවීමට පවතින හිඟ මුදල් පිළිබඳ දත්ත රැස් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස නුවරඑළිය, මඩකලපුව, පොළොන්නරුව සහ කොළඹ යන දිස්ත්‍රික්කවල හැටන්, දකුණු කෝරලයිපත්තු, වැලිකන්ද සහ වැල්ලවත්ත යන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල දත්ත රැස් කිරීමට සැලසුම් කර ඇති බව අනුකමිටුවේ සභාපතිවරිය  සඳහන් කළාය.

ඒනුව එම  තොරතුරු රැස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

මෙහිදී ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන් සහන සැලසීම හෝ එම ගැටලුවෙන් ඔවුන් මුදා ගැනීමට මැදිහත් වන්නේ කෙසේද යන්න පිළිබඳව  දීර්ඝ ලෙස  සාකච්ඡා විය.

මේ වනවිටලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන 34ක් කැඳවා ඔවුන් සමග සාකච්ඡා කර අදාළ ණය කරුවන්ට ලබාදිය හැකි සහන සම්බන්ධයෙන්  ගතහැකි පියවරයන් මොනවා ද යන්න විමසීමටද මෙම  රැස්වීමේදී තීරණය විය.

‘ශ්‍රී ලාංකික දිනය’ ජාතික වැඩසටහනට කැබිනට් අනුමැතිය…..

‘ශ්‍රී ලාංකික දිනය’ ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව 2025 අයවැය කතාවේදී ජනාධිපතිවරයා විසින් මෙය යෝජනා කළේය.

මෙම වැඩසටහන මඟින් සංචාරක ආකර්ශනය දිනාගැනීමට බලාපොරොත්තු වන බවත් රු මි 300ක ප්‍රතිපාදන මේ සඳහා වෙන්කර ඇති අතර, අදාළ දින තුන තුළ දී එම මුදල උපයා ගැනීමට අපේක්ෂිත බව ද කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැවරී ඇත.

ඒ අනුව, ‘ශ්‍රී ලාංකික දිනය’ වැඩසටහන 2025 වර්ෂයේ දෙසැම්බර් මස 12, 13 සහ 14 යන දිනවල කොළඹ මහ නගර සභා පිටිය හා විහාර මහා දේවී උද්‍යානය ඇතුළු එම ප්‍රදේශය ආශ්‍රිත පරිශ්‍ර හා ප්‍රධාන මාර්ගවලින් ආවරණය වන පරිදි කලාප 04ක රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

තවද, එකී වැඩසටහන සියලුම ජාතීන් හා ආගම් නියෝජනය වන අයුරින් හා ඒ ඒ දිස්ත්‍රික්කවල සංස්කෘතිකාංග හා ආහාර සංස්කෘතීන් ඇතුළත් වැඩ සටහන්, දේශීය කර්මාන්ත ප්‍රදර්ශන හා අලෙවිය, නව නිපැයුම් අවස්ථා හඳුන්වා දීම ඇතුළු වැඩසටහන්වලින් සමන්විතව පැවැත්වීමට සූදානම් කර ඇත.

ඒ අනුව, ‘ශ්‍රී ලාංකික දිනය’ වැඩසටහන පැවැත්වීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අලුත් සර්වේයර් ජනරාල්වරයෙක්….

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල්වරයා වශයෙන් එන්.කේ.යූ.රෝහණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජෙනරාල් වශයෙන් කටයුතු කළ වයි.ජී.ඥානතිලක මහතා 2025-10-01 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත.

ඒ අනුව, පුරප්පාඩු වී ඇති සර්වේයර් ජනරාල් තනතුරට ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම අතිරේක සර්වේයර් ජනරාල්වරයා වන එන්.කේ.යූ.රෝහණ මහතා මෙලෙස පත් කර ඇත.

මිදිගම ලසා ඝාතන සිද්ධිය ගැන පොලිස් කණ්ඩායම් 4ක් පරීක්ෂණ අරඹයි….

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව පැවසීය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අදාළ ඝාතනය සඳහා උණ්ඩ 4ක් භාවිත කර ඇතැයි ද මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ඔහුගේ කාර්යාලය තුළදීම අද (22) උදෑසන 10.30ට පමණ වෙඩි තබා ඝාතනය කෙරුණි.

සභාපතිවරයාගේ නිල කාමරය තුළට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

අද සභාපතිවරයාගේ මහජන දිනයක් වූ බැවින් ඔහුව හමුවීම සඳහා මහජනතාවට වෙලාව වෙන් කර තිබූ බව පොලීසිය පවසයි.

වෙඩික්කරු ද සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් සුදුපැහැති ඇඳුමකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැළඳ  ඔවුන් අතර රැඳී සිට තිබුණි.

ඒ අතරතුර කාන්තාවක් සභාපතිවරයාගේ නිලකාමරයට ගොස් ඔහු ලවා ලිපියක් අත්සන් කරගෙන පිටතට පැමිණීමේදී වෙඩික්කරු නිල කාමරය තුළට ඇතුළුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව වෙඩික්කරු යතුරුපැදියකින් පලාගොස් තිබේ.

සභාපතිවරයාගේ හිසට හා ගෙලට වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල සිදුව තිබුණි.

පද්මේගේ රු මි 50ක වත්කම් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට….

අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාට අයත් රුපියල් මිලියන 50ක වත්කම් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබේ.

මාරක බස් අනතුරක් – පුද්ගලයෙක් මරුට – 10ක් රෝහලට….

මන්නාරම – මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ කිලෝමීර් 35 කණුව සහ කිලෝමීටර් 36 කණුව අතර ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගයෙක් මිය ගොස් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (22) අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

කොළඹ දෙස සිට මන්නාරම දෙසට ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ අයිනෙහි තිබූ ගසක ගැටී මෙම අනතුරක් සිදුව ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ, ආසිකුලම්, මුරුන්කන් ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු මන්නාරම් හා වව්නියාව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.

මෘත ශරීරය සෙට්ටිකුලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුද තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් පරයනාලන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.