ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු සහ ඉෂාරාට ආධාර අනුබල දුන් 4ක් රිමාන්ඩ්….

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු තවදුරටත් නොවැම්බර් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

මේ අතර ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන්ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

බූස්ස බන්ධනාගාරයේ සිටින වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන් සූම් තාක්ෂණයේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය 07ක් රිමාන්ඩ්….

පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිස්පතිවරයා වෙත ලැබී තිබූ තොරතුරකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයකින් පසු මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40ත් 64ත් අතර වයස්වල පසුවන රත්මලාන, පන්නිපිටිය, ගල්නෑව, හෝකන්දර, පේරාදෙනිය හා කොළඹ 04 ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

රන් මිල අදත් රු 10,000කින් පහළට….

මෙරට රන් මිල පසුගිය සතියට සාපේක්ෂව රු 77,000කින් පමණ පහළ ගොස් ඇති අතර, අද (23) දී පමණක් රන් මිල රු 10,000කින් පහළ ගොස් ඇත.

ඒ අනුව අද (23) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 302,300ක් දක්වා පහළ ගොස් තිබේ.

පසුගිය සිකුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසය.

මේ අතර සිකුරාදා දිනයේ දී රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 330,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2025 තුන්වන කාර්තුව වන විට ඩොලර් බිලියන 13කට ආසන්න වෙයි….

ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයනය සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.

මෙය 2024 අදාළ කාලය හා සසඳන විට 7% වැඩිවීමකි.

2025 සැප්තැම්බර් මාසයේදී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන සහ සේවා අපනයන යන දෙකම ඇතුළත් සමස්ත අපනයන ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,469.75ක් දක්වා ළඟා වී ඇත.

එය 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 12.33%ක වර්ධනයකි.

මෙමගින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද උපාය මාර්ගවල ඵලදායීතාව පෙන්නුම් කර ඇත.

අපනයන අංශයේ ධනාත්මක ප්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා,

“අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය මගින් ගෝලීය වෙළඳාමට ශ්‍රී ලංකාව ගැඹුරින් ඒකාබද්ධ වීම සහ අපනයන තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට සහ වෙළඳපොළ අවස්ථා විවිධාංගීකරණය කිරීමට අප ගන්නා අඛණ්ඩ උත්සාහයන්ගේ සාර්ථකත්වය පිළිබිඹු කරයි. ගෝලීය අභියෝග හමුවේ අපගේ අපනයනකරුවන් නැවත වරක් කැපී පෙනෙන ස්ථාවරත්වය පෙන්නුම් කර ඇත.

2025 සැප්තැම්බර් වන විට සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 13 ට ළගාවීම අපගේ අපනයන ප්‍රජාවගේ ශක්තිය සහ අධිෂ්ඨානය සනාථ කරන සාක්ෂියකි. තුන්වන කාර්තුව අවසන් වන විට අපගේ වාර්ෂික අපනයන ඉලක්කයෙන් 72%කට වඩා දැනටමත් අත්පත් කර ගෙන ඇති හෙයින් අඛණ්ඩ සහයෝගීතාව සහ උපායමාර්ගික ක්‍රියාමාර්ග තුළින් ශ්‍රී ලංකාව 2025 අපනයන ඉලක්කයට සාර්ථකව ළඟා වන බවට අපි විශ්වාසයෙන් සිටිමු.”

රජයේ නිලධාරීන්ට බලපෑම් කළ කළමණාකරුවෙකු අත්අඩංගුවට අල්ලස් දැලේ….

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් රජයේ නිලධාරීන්ගේ නිල කාර්යය ඉටු කිරිමට බලපෑම් කිරීමේ චෝදනාව මත පුද්ගලික සමාගමක GPS තාක්ෂණික කළමණාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා කොමිෂන් සභාවේ නිල හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් ද සකස් කරමින් මෙසේ රජයේ නිලධාරීන්ගේ රාජකාරී සඳහා බාධා කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවැනි ආකාරයට ව්‍යාජ නිල හැඳුනුම්පත් ඉදිරිපත් කර හෝ ව්‍යාජ ලේඛන භාවිතා කරමින් ක්‍රියා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව කොමිෂන් සභාව වෙත (1954) දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දන්වා සිටී.

වැලිගම ඝාතකයින් ගැන සාර්ථක තොරතුරක්….

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතන සැකකරුවන් ගැන සාර්ථක තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

අද (23)  පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරි දින දෙක තුන තුළ ඔවුන් අත්අඩංගුවට ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“පොලිස් කණ්ඩායම් 4ක් යෙදෙව්වා. මේ වනවිට තොරතුරු ලැබී තියෙනවා. දින 2ක් 3ක් ඇතුළත මේකට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගන්නවා. ඒ සඳහා නියෝගයක් ලබාදීලා තියෙනවා. ඒ ගැන තොරතුරු ලැබෙමින් තියෙනවා. අපි කනගාටු වෙනවා එතුමා ඝාතනයට ලක්වීම ගැන. මම ඊයෙත් කිව්වා මේක පාතාලය, නීතිවිරෝධී කටයුතු කරන කෙනෙක් ද වෙනත් කෙනෙක් ද කියන එක අපිට අදාළ නෑ. හැම ජීවිතයක්ම ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා.”

ඊයේ (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාව තුළදී එහි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඔහුගේ නිල කාර්යාලය තුළ නාඳුනන තුවක්කරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

සුදු පැහැති කමිසයකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැලඳගෙන වෙඩික්කරු සභාපතිවරයාගේ කාර්යාලය තුළට පැමිණ තිබුණි.

එහිදි වෙඩික්කරු නිල ආසනයේ සිටි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර තවත් අයෙකු සමඟ යතුරු පැදියකින් පලා යන අයුරු CCTV දර්ශනවල පටිගතව තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සභාපතිවරයා මාතර දිස්ත්‍රික් මහ රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණි.

පොලීසිය පැවසුවේ වෙඩිවැදීමෙන් ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ හිසට, ගෙලට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධික්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන්ය.

මේ අතර  බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින මිදිගම රුවන්ගේ පාර්ශවය විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැකපල කරයි.

තමාට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ලසන්න වික්‍රමසේකර මහතා පසුගිය අගෝස්තු මස 29 වනදා තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ලිපියක් ද යොමුකර ඇති බව සඳහන්ය.

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්…..

රිමාන්ඩ් භාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්‍ෂාණී නමැත්තිය ලබන 31 වෙනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සැකකාරියගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදිනට ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රත්වරයා මෙම නියෝගය කළේය.

වැලිගම සභාපතිගේ දේහය නිවසට රැගෙන එයි….

වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය මේ වනවිට මිදිගම පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

ඊයේ (22) රාත්‍රීයේ ඒ මහතාගේ දේහය නිවසට රැගෙන විත් තිබුණි.

සභාපතිවරයාගේ දේහය ඉදිරියේ “අනේ මගේ රන්කඳ මාව දාලා යන්න එපා…මට දරාගන්න අමාරුයි. හිත හදාගන්න එක පාරක් මට කතා කරන්න. මම කොච්චර ආදරෙන් ද මෙයාව බලාගත්තේ. මට මෙච්චර වේදනාවක් දීලා ගියා. අනේ මගේ රන්කඳ එන්නකෝ මා ළඟට එකපාරක්…මම එනකල් පොඩ්ඩක් පණ අල්ලගෙන ඉන්න තිබුණානේ…” යනුවෙන් හඬා වැළෙපෙමින් ඔහුගේ බිරිඳ සංවේදී වන අයුරු ‘අද දෙරණ’ කැමරාවේ සටහන්ව තිබුණි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ (22) උදෑසන 10.30ට පමණ සභාපතිවරයා ඔහුගේ කාර්යාලය තුළ පුටුව මත දීම වෙඩි තබා ඝාතනය කෙරුණි.

සභාපතිවරයාගේ නිල කාමරය තුළට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මහජන දිනයක් වූ බැවින් ඔහුව හමුවීම සඳහා මහජනතාවට වෙලාව වෙන් කර තිබූ බව පොලීසිය පවසයි.

එහිදී වෙඩික්කරු ද සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් සුදුපැහැති ඇඳුමකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැළඳ ඔවුන් අතර රැඳී සිට තිබුණි.

ඒ අතරතුර කාන්තාවක් සභාපතිවරයාගේ නිලකාමරයට ගොස් ඔහු ලවා ලිපියක් අත්සන් කරගෙන පිටතට පැමිණීමේදී වෙඩික්කරු නිල කාමරය තුළට ඇතුළුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව වෙඩික්කරු යතුරුපැදියකින් පලාගොස් තිබේ.

සභාපතිවරයාගේ හිසට හා ගෙලට වෙඩි ප්‍රහාර 4ක් එල්ල වී තිබුණු බව පොලීසිය පැවසීය.

2026 වසරේ සිට සියලුම පෙරපාසල් සඳහා එකම විෂයමාලාවක්…

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22)  පාර්ලිමේන්තුවේ දී රැස් විය.

මෙම අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, 2026 වසරේ සිට දිවයින පුරා සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව ය.

ඇයපැවසූවේ, පූර්ව ළමාවිය විෂය මාලා රාමුව මේ වන විට සම්පූර්ණ කර අවසන් ව ඇති අතර, දහනවදහසකට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ  නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 25 දින ආරම්භ කිරීමට නියමිත ව ඇති බව ය.

එහි දී සෑම පළාතක ම ගුරු පුහුණුවීම් සිදු කරන අතර, එමගින් නව විෂයමාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ඇති බව ද අග්‍රාමාත්‍යවරිය පැවසී ය.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළේ, පාසල් කිසිවක් නොවසන බවත්, පාසල් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බවත් ය.

මෙය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනය හා සැමට සම අවස්ථා ලබා දීමේ අරමුණින් සිදු කරන බවත් ඇය සඳහන් කළා ය.

හමුදා පරිහරණයේ තිබූ උතුරු – නැගෙනහිර ඉඩම් අක්කර 700කට අධික ප්‍රමාණයක් නිදහස් කෙරේ…..

2025 වසරේ මේ දක්වා වූ කාලය තුළ උතුරු – නැගෙනහිර හමුදා පරිහරණයේ තිබූ රජයේ ඉඩම් අක්කර 706ක් නිදහස් කිරීමට රජය කටයුතු කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර මහතා පැවසීය.

අද (23) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ හෙළිදරව් කරමින් පවසා සිටියේ, උතුරේ නිදහස් කළ ඉඩම් අතරට පුද්ගලික ඉඩම් අක්කර 86.24ක් සහ හමුදා පරිහරණයේ තිබූ ඉඩම් අක්කර 586ක් ද ඇතුළත් බවය.

අදාළ ඉඩම් පිළිබඳ තොරතුරු ආරක්ෂක කවුන්සිලයට සහ ආරක්ෂික ආංශික සභාවට ද ඇතුළත් කර මෙම නිදහස් කිරීම සිදුකළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

නැගෙනහිර පමණක් රජයේ ඉඩම් අක්කර 34.58ක් නිදහස් කර ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.