2025 මුල් මාස 11 දී රාජ්‍ය ආදායම රු. බිලියන 4,900 ඉක්මවයි….

2025 වසරේ මුල් මාස 11 තුළ රජයේ සමස්ත බදු ආදායම රු. බිලියන 4,613ක් බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 2,105ක්, ශ්‍රී ලංකා රේගුව හරහා රු. බිලියන 2,223ක් හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 213ක් ලෙසින් බදු ආදායම් උපයා ඇති අතර වෙනත් වශයෙන් රු. බිලියන 70ක් සඳහන්ව ඇත.

2025 වසරේ මුල් මාස 11 දී තුළ බදු ආදායමට වැඩිම දායකත්වය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වන අතර, එය සමස්ත බදු ආදායෙමන් සියයට 48.2කි.

මෙම කාලය දෙවැනි වැඩිම දායකත්වය ලබා දී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වන අතර, එය සමස්ත බදු ආදායමෙන් සියයට 45.7ක් නියෝජනය කරයි.

මුදල් අමාත්‍යාංශය පවසන පරිදි 2025 වසරේ මුල් මාස 11 දී, වාහන ආනයනය හරහා උපයා ඇති බදු ආදායම, රු. බිලියන 410.5ක් දක්වා රු. බිලියන 355කින් ඉහළ ගොස් තිබේ.  2024 වසරේ මුල් මාස 11 හි වාහන ආනයන බදු ආදායම වාර්තා වූයේ රු. බිලියන 54.6ක් ලෙසිනි.

මේ අතර 2025 වසරේ පළමු මාස 11 කාලය තුළ සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,945.8 දක්වා සියයට 35.5 කින් ඉහළ ගොස් තිබේ. 2024 වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදයේ දී එම අගය රු. බිලියන 3,650.9 ක් ලෙසින් වාර්තා වේ.

මෙම කාලය තුළ ආදායම් බදු ආදායම ද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින්, 2024 වසරේ පළමු මාස 11 තුළ රුපියල් බිලියන 969.2 සිට 2025 වසරේදී රුපියල් බිලියන 1,096.9 දක්වා සියයට 13.2 කින් ඉහළ ගොස් ඇත.

එමෙන්ම, VAT බදු මඟින් ලැබුණු ආදායම 2024 වසරේ එම කාලය තුළ වූ රුපියල් බිලියන 1,174.0 සිට 2025 වසරේදී රුපියල් බිලියන 1,579.0 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 34.5ක වර්ධනයක් ලෙස සටහන් වේ.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, බදු පද්ධතියේ වැඩි කාර්යක්ෂමතාව, ආර්ථික ක්‍රියාකාරකම්වල වැඩි වීම සහ ආදායම් එකතු කිරීමේ ක්‍රමවේද ශක්තිමත් වීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතු ලෙස පවතින බවය.

හෙළයේ ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොල දිවි ගමනට සමුදෙයි…..

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27)  අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 92 වන වියේ පසුවුණි.

වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය.

ඇය ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ.

සිනමාවේ සදාකාලික ‘ගී රාජිනිය’ ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා ඇත.

1953 වසරේ දී ‘එදා රෑ’ චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායනයට පිවිසි ඇය ගෙවුණු දශක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය ලබාදී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට වරෙන්තු……

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට වරෙන්තු නිතුත් කර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ, නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නෙසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා එම නියෝගය ලබා දී තිබේ.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය සංශෝධනය කෙරේ…..

විවිධ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට බාධා මතුවන සිසුන්ට අඛණ්ඩවය සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක ‘සුරක්ෂා’  සිසු රක්ෂණාවරණ වැඩසටහන සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අදාළ සිසු සිසුවියන්ට අඛණ්ඩව සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල්ඩ් ලිමිටඩ් සමග ගිවිසුම් ගතව ඇත.

එමගින් රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් ලක්ෂ 40කට පමණ සෞඛ්‍ය රක්ෂණාවරණය, අනතුරු රක්ෂණාවරණය සහ ජීවිත රක්ෂණාවරණය යන කාණ්ඩ යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගනු ලැබ ඇති ගැටලු ද සැලකිල්ලට ගෙන, පහත සඳහන් සංශෝධන ඇතුළත් කරමින් ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණ වැඩසටහන 2025/26 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගනු ලබන බවට සහ ඒ අනුව, අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට කටයුතු කරන බවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදි.

ඒ අනුව,

  • 2025/26 වර්ෂයට අදාළව ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණ වැඩසටහන 2026‑08‑31 දින දක්වා ක්‍රියාත්මක කිරීම.
  • දෙමාපිය මරණ ප්‍රතිලාභය ලබා දීමේදී සලකා බලනු ලබන අඩු ආදායම්ලාභී කාණ්ඩයේ වාර්ෂික ආදායම රුපියල් 180,000/- සිට රුපියල් 240,000/- ලෙස සංශෝධනය කිරීම.
  • කොඳුඇටපෙළ විකෘති වීම නිවැරදි කිරීම සඳහා පළඳින උපාංගය (Scoliosis Brace) සඳහා සහ කර්ණශංඛ උපකරණ (Cochlea Equipment) සඳහා රුපියල් 75,000/-ක් දක්වා ප්‍රතිලාභ ලබා දීම.
  • අසාධ්‍ය රෝග කාණ්ඩයට අයත් රෝග සඳහා සහ තවත් හඳුනාගත් රෝග 07ක් සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්නා සිසුන්ට රුපියල් 20,000/-ක් දක්වා ප්‍රතිලාභ ලබා දීම.
  • අසාධ්‍ය රෝග කාණ්ඩය සඳහා Pneumothorax, Encephalitis, Thalassemia, Hereditary spherocytosis සහ Sickle cell anemia යන රෝග 5 අලුතින් එක් කිරීම.
  • 2025‑09‑01 දින සිට ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන හිමිකම් අයදුම්පත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්හි ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයක් වෙත බාර දීමට අවස්ථාව සැලසීම.

යන කරුණු ඇතුළත් කරමින් එම රක්ෂණාවරණය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

නත්තල් වෙනුවෙන් කොළඹ සහ ගාලු මුවදොර ආශ්‍රිතව නව රථවාහන සැලැස්මක්….

2025 නත්තල් උත්සවය සැමරීම සඳහා හෙට (24) දින විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණිම අපේක්ෂා කරන බව පොලීසිය පවසයි.

එසේ පැමිණීමේදී ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දැනුම් දී තිබේ.

විශේෂයෙන් කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත යන පොලිස් වසම්වල මෙසේ අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවට අපේක්ෂා කරයි.

  • එසේ වුවද හෙට දින මෙම පොලිස් වසම්වල සාමාන්‍ය පරිදි රථවාහන ගමනාගමනය සිදු කරන අතර අධික රථවාහන තදබදයක් ඇතිවන අවස්ථා වලදි පමණක් අවස්ථානුකූලව පහත පරිදි රථවාහන ගමනාගමනය සිදු කිරීමට සැලසුම් කර ඇත.

* ගාලු මැද පාර ඔස්සේ කොළඹින් පිට වීම – එන්. එස්. ඒ. වටරවුම, ගාලු මැද පාර, බාලදක්ෂ මාවත හන්දියෙන් වමට (එම්. ඕ. ඩී. හන්දිය) බාලදක්ෂ මාවත, අලියා නාන වටරවුම, මාකන් මාකර් මාවත, ගාලු මුවදොර වටරවුම ඔස්සේ කොල්ලු පිටිය දෙසට ගමන් කිරීම.

* ගාලු මැද පාර, ගාලුමුවදොර වටරවුම සිට කොළඹට ඇතුළු වන රථවාහන බාලදක්ෂ මාවත හන්දිය දක්වා සහ ඉන් ඉදිරියට ගමන් කිරීම.

* ගාලු මුවදොර වටරවුමේ සිට මාකන් මාකර් මාවත ඔස්සේ අලියා නාන වටරවුම දෙසට හෝ අලියා නාන වටරවුම දෙස සිට බාලක්ෂ මාවත ඔස්සේ ගාලු මැද පාරට ගමන් කල නොහැක.

* බාල දක්ෂ මාවතේ අතුරු මාර්ග වලින් පැමිණෙන සියලු වාහන දකුණට හරවා අලියානාන වටරවුම ඔස්සේ කොළඹින් පිටවිය හැකි අතර ගාලු මැද පාරට අතුරු මාර්ග වලින් ඇතුළු වන සියලුම වාහන දකුණට හරවා එන් එස් ඒ වටරවුම දෙසට ගමන් කිරීම.

ඉහත රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදි කොළඹ නගරයේ පදික වේදිකා මත සහ ප්‍රධාන මාර්ගයන් අවහිර වන ලෙස කිසිදු රථ වාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර එවැනි ආකාරයට රථවාහන නීති උල්ලංඝණය කරනු ලබන රියදුරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.

මෙසේ කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් රථගාල් වල ගාල් කර තැබීමේ පහසුකම් සලසා ඇති බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

  • පහත සඳහන් නිදහස් රථගාල් හා මාර්ග දෙපස මුදල් අයකර ගැනීමකින් තොරව රථවාහන අවහිරතා ඇති නොවන පරිදි ගාල්කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

* කොටුව පොලිස් වසමේ බාලක්ෂ මාවත එම්ඕඩී රථගාල (බේරේ වැව දෙසට)

*කොල්ලුපිටිය / බම්බලපිටිය/වැල්ලවත්ත මුහුදුබඩ මාර්ග

* කොටුව හා මරදාන පොලිස් වසම් වල ඩී ආර් විජේවර්ධන මාවත

* කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ පාසන්ට් පාර පිටවීමේ තීරුව පමණක්

*ගාලු පාර වැල්ලවත්ත සැවෝයි අසල සිට ගාලු පාර බගතලේ පාර හන්දිය දක්වා රථ නැවතුම් ස්ථාන වල (Parking Bays)පමණක්

* කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ වටරවුමේ සිට පුස්තකාල වටරවුම දෙසට ඇතුළු වීමේ තිරුව (වම්පස)

*කුරුඳුවත්ත පොලිස් වසමේ එෆ් ආර් සේනානායක මාවත

*කුරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවත රීඩ් රාජකාරී හන්දියේ සිට රීඩ් මාවතරීඩ් තර්ස්ටන් හන්දිය දක්වා මාර්ගයේ දකුණු පස

*කුරුඳු වත්ත පොලිස් වසමේ නිදහස් මාවත නිදහස් වටරවුමේ සිට නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ දකුණු පස

*කුරුඳුවත්ත පොලිස් වසමේ මෙට්ලන්ඩ් පෙදෙස

*කුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතන පාර

පහත සඳහන් රථගාල් සහ මුදල් අයකිරීමේ පදනම මත රථගාල් කිරීම සඳහා අවස්ථාව සලසා ඇත.

*පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවත පරණ මැනිං වෙළඳ සංකීර්ණ රථගාල

*කොටුව පොලිස් වසමේ විමලධර්ම සූරිය ඔර්ලෝසු කණුව අසල රථගාල

*කොටුව පොලිස් වසමේ රාසික් ෆරීඩ් මාවත හේමාස් රථගාල

*ඩී ආර් විජේවර්ධන මාවත ලේක් හවුස් රථගාල

*කොටුව පොලිස් වසමේ ලේඩ්න් බැස්ටියන් මාවත

*කොටුව පොලිස් වසමේ බ්‍රිස්ටල් වීදිය

*කොටු ව පොලිස් වසමේ ඩියුක් වීදිය

*කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ යුනියන් පෙදෙස ඩෝසන් විදිය හන්දිය ඇක්සර් ටවර් රථගාල

*මරදාන පොලිස් වසමේ ගාමිණි වටරවුම් (St’ Clement)

කඩිනමින් ස්ථීර විගණකාධිපතිවරයෙකු පත්කරන්නැයි ඉල්ලීමක්….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්ථීර විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත්කිරීම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් සිදුකරයි.

නීතීඥ සංගමය විසින් විශේෂ ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, රාජ්‍ය මුල්‍ය පාලනයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමට විගණකාධිපතිවරයාගේ පත්වීම අත්‍යවශ්‍ය බවය.

පසුගිය අප්‍රේල් මාසයේ හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසු මේ දක්වා ස්ථීර නිලධාරියෙකු පත්නොකිරීම සම්බන්ධයෙන් නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමුකර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(1) ව්‍යවස්ථාව යටත් පිහිටුවා ඇති විගණකාධිපති ධුරය සමස්ත රාජ්‍ය ආයතන වල වගකීම තහවුරු කරන ප්‍රධානතම කාර්යභාරය ඉටුකරන බවත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව දැනට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ආර්ථිකය ගොඩනගමින් සිටින අතර දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු විනාශය වෙනුවෙන් විශාල වශයෙන් විදේශ ආධාර ලැබෙමින් පවතින අතර මෙවෙනි අවස්ථාවක මුල්‍ය විනිවිදභාවය උපරිමයෙන් තිබිය යුතු බව නීතීඥ සංගමය සිය ලිපියෙන් අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයා මීට පෙර ඉදිරිපත් කරන ලද නාමය ව්‍යවස්ථාදායක සභාවේ බහුතර කැමැත්ත දිනාගැනීමට අපොහොසත් වී ඇති බැවින් දේශපාලන වශයෙන් පක්ෂපාතී නොවන ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයක් සහ ස්වාධීනත්වයක් ඇති ව්‍යවස්ථාදායක සභාවේ පොදු එ

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙයි….

මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුව අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද විශේෂ ලිපියද මෙහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සහන සැලසීමට පළමුවෙන්ම එක්වෙමින් ජනතාව මුදා ගැනීමේ, සහන සැලසීමේ සහ  ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය දැක් වූ හෘදයාංගම සහයෝගය මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘතවේදීව අගය කළේය.

ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සහ ඖෂධ, අහාර ඇතුළු මානූෂිය ආධාර සපයමින්ද, විනාශ වූ මාර්ග ප්‍රතිසංස්කරණය, මහිංයගණය රෝහල ඇතුළු රෝහල් පද්ධතිය යථාවත් කිරීම ආදී යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන්ද ඉන්දීය රජය දැක් වූ සුවිශේෂී සහාය ජනාධිපතිවරයා කෘතවේදීව සිහිපත් කළේය.

යාල්දේවී නැවතත් – උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් විවෘතයි….

උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, අනිද්දා (24) සිට උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා යාල්දේවී දුම්රිය පහත පරිදි ධාවනයට සැලසුම් කර ඇත.

එමෙන්ම, යාල්දේවි දුම්රියේ පළමු පංතියේ (වායු සමනය කළ ) සහ දෙවන පංතියේ ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා තිබේ.

 

1

පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්….

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාවලියට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන කොමිෂන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ගත් සාමූහික තීරණයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මේ වන විට පැනනැඟී ඇති ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර හමුවක් අද දින (22) ‘ඉසුරුපායේ’ දී පැවැත්විණි.

2026 වසරේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම නිසා ඇති වන ගැටලු වෘත්තීය සමිති සාමාජිකයන් විසින් අග්‍රාමාත්‍යවරිය හමුවේ ඉදිරිපත් කරන ලදී.

එහිදී වැඩිදුරටත් පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අනුව පන්ති කාමරය තුළ සිදු කරන ඇගයීම් ක්‍රමවේදයේ දී, ගුරුවරයාට ඇගයීම් කටයුතුත් සිසුන්ට අධ්‍යයන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිසි පරිදි සිදු කිරීම සඳහාත් එක් කාලපරිච්ඡේදයක් විනාඩි 50 දක්වා දීර්ඝ කිරීමට සිදු වන බවයි.

එහිදී වෘත්තීය සමිති මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

මෙම සාකච්ඡාවේ දී පසුගිය දිනවල සිදු වූ ස්වාභාවික ආපදාවලින් විපතට පත් පාසල් යළි ගොඩනැඟීම සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා විය.

මේ වන විටත් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයේ ඇති පාසල් කඩිනමින් යථා තත්ත්වයට පත් කර, එම ප්‍රදේශවල අධ්‍යාපන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි ද අවධානය යොමු විය.

දිට්වා සුළිකුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය ඩොලර් බිලියන 4.1ක් – ලෝක බැංකුව කියයි….

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන්  මෙරට ගොඩනැගිලි හා ඒවායේ  අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය හා තීරණාත්මක යටිතලපහසුකම්වලට සිදුකර ඇති භෞතික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් බවට ඇස්තමේන්තු කර ඇති බව ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකු සමූහය විසින් අද (22) දින ප්‍රකාශයට පත් කරන ලද Global Rapid Post-Disaster Damage Estimation (GRADE) වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 4%ක ප්‍රමාණයකට සමාන වනු ඇති බවයි.

මෙම වාර්තාවට අනුව වැඩිම හානිය මධ්‍යම පළාතෙන් වාර්තා වන අතර එය ඩොලර් මිලියන 689ක් ලෙසින් ඇස්තමේන්තු කර ඇත.

එසේම මාර්ග, පාලම්, දුම්රිය මාර්ග හා ජල සම්පාදන පද්ධති ඇතුළු යටිතල පහසුකම්වලට වූ හානිය ඩොලර් බිලියන 1.735ක් ලෙසින් ගණනය කර ඇති අතර එය සමස්ත හානියෙන් 42%ක ප්‍රමාණයකි.

ලෝක බැංකුව පවසන පරිදි නේවාසික ගොඩනැගිලිවලට මෙම දිට්වා ව්‍යසනයෙන් සිදුව ඇති හානිය ඩොලර් මිලියන 985කි.

මේ අතර වී, එළවළු, වෙනත් වාණිජ භෝග, පශුසම්පත් හා වෙනත් යටිතල පහසුකම් ඇතුළුව කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට සිදුවී ඇති හානිය ඩොලර් මිලියන 814ක් ලෙසින් වාර්තා වේ.

මේ අතර රෝහල්, පාසැල්, ව්‍යාපාරික ස්ථාන, මහාපරිමාණ කර්මාන්තශාලා ආදිය ඇතුළු නේවාසික නොවන ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ඩොලර් මිලියන 562 ක් ලෙසින් ගණන් බලා ඇත.