නුගේගොඩ වෙඩි තැබීමක්…..

අද (22) රාත්‍රී 8.30ට පමණ නුගේගොඩ මංසන්ධියේ හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබේ.

අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 25 හැවිරිදි තරුණයා මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් සහ කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කොළඹ මහ නගර සභාවේ අයවැය මාලිමාව පරදී…..

ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය අද (22) පරාජයට පත්වුණි.

මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි.

සර්වජන බලය මන්ත්‍රීවරු දෙපොළගේ ඡන්දය මෙහි දී තීරණාත්මක සාධකය වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 3කින් ජාතික ජන බලවේගය අයවැය පරාද වුණි.

කොළඹ මහ නගර සභාවේ බලය, ජාතික ජන බලවේගයට හිමිවූ අතර එහිදී ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.

ජනපති අනුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූති කරයි….

ගංවතුර සහ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවට සහන සැලසීම සඳහා කඩිනම් මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිය ස්තුතිය පළ කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා සමඟ ඊයේ (19) පැවති දුරකථන සංවාදයකදී, ජනාධිපතිවරයා, මෙලෙස අර්බුකාරී අවස්ථාවලදී ශ්‍රී ලංකාව සමඟ රැඳෙමින් නිරන්තර සහාය දැක්වීම පිළිබඳව ඒ මහතා වෙත සිය කෘතඥතාව පළ කළේය.

මෙම ඇමතුම අතරතුර, ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් මහතා, ගංවතුරෙන් අහිමි වූ ජීවිත සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ මෙරට ජනතාවට  සිය බලවත් සංවේගය පළ කළ අතර, මෙම ආපදා තත්ත්වයෙන් එල්ල වන අභියෝගවලට මුහුණ දීම සඳහා ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කළේය.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගනිමින් වැඩිදුර සහාය ලබා දීමට ඇති අවස්ථා සහ ආකාර සොයා බැලීම සඳහා හානියේ ප්‍රමාණය තක්සේරු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කණ්ඩායමක් මෙරටට එවීමට කටයුතු කරන බවද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අනුගමනය කරන දිගුකාලීන මානුෂීය ප්‍රතිපත්තිය යටතේ, ස්වාභාවික විපත් සහ හදිසි අවස්ථාවලින් පීඩාවට පත් ජාතීන්ට අවශ්‍ය සහාය සහ කඩිනම් සහන ලබා දීම මෙන්ම දිගුකාලීනව යළි යථා තත්වයට පැමිණ වීම කෙරෙහි අවධානය යොමු කරමින්, මෙම ආධාර ලබාදෙන බවද මෙහිදී සඳහන් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව සමඟ සිටිමින් අවශ්‍ය සහාය ලබාදීමට තම රට කැප වී ක්‍රියා කරන බවට යළි තහවුරු කළේය.

ජාත්‍යන්තර ආධාර සැපයීම සඳහා වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජිතායතනය සහ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් සමාජය ඒකාබද්ධව මෙරට කඩිනම් සහන සැපයීමේ මෙහෙයුම් දියත් කළ අතර, ඒ අතරට අබුඩාබි සිවිල් ආරක්ෂක කණ්ඩායම් විසින් දරුණු ලෙස ආපදාවට ලක් වූ ප්‍රදේශවල සිදු කරන ලද සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් මෙන්ම අවතැන් වූ පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර සැපයීම සහ හදිසි නවාතැන් පහසුකම් සැලසීමේ මෙහෙයුම්ද ඇතුළත් වේ.

මෙම ආපදා අවස්ථාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් දක්වන ලද කඩිනම් සහාය, අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන සහන කටයුතු සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයන අතර, එය දෙරට අතර ශක්තිමත් සහ දීර්ඝකාලීන සබඳතාවල පිළිබිඹුවක්ද වේ.

මතභේදාත්මක එන්නත් සිද්ධියට ඉන්දීය සමාගමෙන් ලිපියක්….

මතභේදාත්මක ඖෂධ ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයකින් පරීක්ෂා කරන ලෙස අදාළ ඉන්දීය සමාගම මෙරට සෞඛ්‍ය බලධාරීන් වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ජාතික ඖෂධ නීතිගත සංස්ථාව හා වෛද්‍ය සැපයුම් අංශය වෙත ඊයේ දිනයේ ලිපියක් යොමු කරමින් “මාන් ෆාමසියුටිකල්ස්” නැමැති ඉන්දීය සමාගම දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා යන වියදම් දැරීමට සිය සමාගම සූදානම් බව ද අදාළ ලිපියෙන් ඔවුන් දැනුම් දී ඇති බව අද දෙරණ කළ විමසීමකදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

“මාන් ෆාමසියුටිකල්ස්” ඖෂධ සමාගමෙන් මෙරටට ආනයනය කරනු ලබන මතභේදයට තුඩුදුන් ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ ඇතුළු එන්නත් වර්ග 10ක් මෙරට භාවිතය තාවකාලිකව අත්හිටුවීමට ඖෂධ නියාමන අධිකාරිය මේ වන විට පියවර ගෙන තිබේ.

එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට…..

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා බිම් රැසක් විනාශ වූ අතර ඒ හේතුවෙන් මේ දිනවල එළවළු මිලද සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතියි.

උඩරට එළවළුවලට සාපේක්ෂව පහතරට එළවළු මිල සැලකිය යුතු ලෙස දෛනිකව ඉහළ යන බවක් දැකගත හැකි බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික මිල දර්ශනයට අනුව ඊයේ වනවිට පිටකොටුව, දඹුල්ල මෙන්ම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි කිලෝවක් රුපියල් 600ත් 800ත් අතර සිල්ලර මිලකටත් තක්කාලි කිලෝවක් රුපියල් 500ත් 600ත් අතර සිල්ලර මිලකටත් පතෝල කිලෝවක් රුපියල් 600ත් 700ත් අතර සිල්ලර මිලකටත් අමු මිරිස් කිලෝවක් රුපියල් 1100ත් 1200ත් අතර සිල්ලර මිලකටත් අලෙවි වී තිබුණි.

එමෙන්ම වම්බටු කිලෝවක් රුපියල් 550ත් 800ත් අතර සිල්ලර මිලකට අලෙවි වී ඇති අතර කැරට් සහ ගෝවා කිලෝවක් රුපියල් 300ත් 500ත් අතර සිල්ලර මිල ගණන්වල පවතින බව වාර්තා වේ.

නාකොටික් යාත්‍රා නිරීක්ෂණ තොරතුරු ජාවාරම්කරුවන්ට ගිහින්…..

මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කරන බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට පිටස්තර පුද්ගලයින් ඇතුළුවීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

විවිධ අයි.පී. අංක 57කින් එම පද්ධතියට ඇතුළුවී ඇති අතර එම තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වී ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත.

මත්ද්‍රව්‍ය තොග රැගත් බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් නිරීක්ෂණය කරනු ලබන VMS පරීක්ෂාව මගින් පසුගිය කාලයේදී අවස්ථා රැසකදී මහ පරිමාණයෙන් මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එවැනි පසුබිමක පසුගිය කාලයේදී අදාළ තොරතුරු විමර්ශන නිලධාරීන්ට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට ද පත්වී ඇති බවට තොරතුරු ලැබීමත් සමග පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී අනාවරණ වී ඇත්තේ, විවිධ අයි.පී අංක 57කින් අදාළ පද්ධතියට පුද්ගලයන් ඇතුළු වී තොරතුරු ලබාගෙන ඇති බවය.

ඒ අනුව එම පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එමෙන්ම අදාළ VMS පරීක්ෂාවට ඇතුළුවීම සඳහා බාහිර පාර්ශ්වයන්ට නොහැකිවන පරිදි එහි රහස් අංක වෙනස්කර ඒවා නියෝජ්‍ය පොලිස්පතිවරයා හා අධ්‍යක්ෂවරයාට පමණක් ලබාදී ඇති බව ද වාර්තා වේ.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරුන් පස්දෙනෙකු ද වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුම්වීම් ලබාදී ඇත.

ඒ ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් සබඳතා පවත්වන බවට ලද තොරතුරුවලට අනුවය.

එමෙන්ම ඔවුන් පසුගිය කාලයේ නිසිපරිදි සිය රාජකාරී ඉටුකර නොමැති බව ද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනියුක්ත සියලු නිලධාරීන්ගේ වත්කම් බැරකම් පරීක්ෂාවක් ආරම්භ කර ඇත.

ඒ පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශය විසිනි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත එම විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේවනවිට එම කාර්යංශයේ නිලධාරීන් 400ක අධික සංඛ්‍යාවක් සේවය කරනු ලබයි.

ඉන් 20කට අධික පිරිසකගේ වත්කම්බැරකම් වාර්තා ලැබී ඇති බව පොලිසිය පැවසුවේය.

ඒ අතර සැකසහිත ලෙස වත්කම් බැරකම් ඇති නිලධාරීන් වෙතොත් වහාම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ඉවත් කරන බව ද වාර්තා වේ.

එමෙන්ම ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වැරදිකරුවන් වුවහොත් දැඩි නීතිමට ක්‍රියාමාර්ග ගන්නා බව ද උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර…..

කඩිනම් මූල්‍ය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 206ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සිය එකඟතාවය පළ කර තිබේ.

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (19) රැස් වූ අතර එහිදී මෙසේ අදාළ මුල්‍ය පහසුකම ලබාදීමට එකඟතාවය පළ වී ඇත.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසුව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබීය.

ඒ අනුව එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5වන සමාලෝචනය අවසන් කර ඇති අතර, ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණ ද, මෙම කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන් එය කල්දමනු ලැබීය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා IMF මෙහෙයුම් කණ්ඩායමක් 2026 මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

රන්වලගේ ලේ සහ මුත්‍රා සාම්පලවල ඇල්කොහොල් නොමැති බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වෙයි…..

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා රිය අනතුරට ලක්වූ අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර ඇති බවට සනාථ වී නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහුගේ රුධිර සහ මුත්‍රා සාම්පලවලට අදාළව සිදුකළ පරික්ෂණයේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වී නොමැති බවය.

ආපදා සහන පැකේජය ජනපති හෙළිකරයි….

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රු බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම තුළ ජනතාවට හිමිවන සහන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේය.

ඩොලරයේ අගය නොවෙනස්ව පවත්වා ගැනීමට අවශ්‍ය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපේක්ෂා කළ බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

2026 සැලසුමේ තිබූ ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 500ක් අලුතින් උපයාගැනීම තුළින් ඩොලරයට එන බලපෑම වළක්වා ගත හැකි බවද පැවසු ජනාධිපතිවරයා ඒ තුළින් ජනතාවට ලබාදෙන සහන පැකේජය පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.

පූර්ණ නිවාස හානි 6,228ක්,  NBRO අවසර ලබානොදෙන අර්ධ හානි වූ නිවාස 4,543ක්, කිසිදු හානියක් නොවූ NBRO අවසර ලබානොදෙන නිවාස 6,877ක් ඇති අතර, මුළු නිවාස 17,648ක් සඳහා මාස තුනකට රු 50,000 බැගින් ලබාදීමට රජය කටයුතු යොදා ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

සහන පැකේජය

* හදිසි ආපදා තත්ත්වය පහව යෑමෙන් පසුව ආපදාවට ලක්වූ පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීමට රු 25,000ක් ලබාදීම.

* නිවාසට හානි වූ හෝ නිවසේ ගෘහ භාණ්ඩවලට හානි වූ නිවාස සඳහා මුලික උපකරණ ලබාගැනීම සඳහා රු 50,000ක් ලබාදීම.

* පළමු වටයේ දී මුළුමනින්ම නිවාස අහිමි වූ  ආදායම් මාර්ග අහිමි වූ, NBRO නිර්දේශ ඇති අර්ධ වශයෙන් හානි වූ නිවාසහිමියන්ට හෝ නිවාස හානි වී නොමැති වුවත් අවදානම් තත්ත්වය තුළ නිවාසට යෑමට නොහැකි ජනතාවට රු 50,000ක දීමනාවක් ජනවාරියේ සිට මාස තුනක කාලසීමාවක් ලබාදීම.

* නිවාස සම්පූර්ණයෙන් හානි සිදුව ඇති, අර්ධ නිවාස හානි හෝ නිවසට හානි සිදුව නොමැතිව NBRO නිර්දේශ මත නිවසින් බැහැරවීමට උපදෙස් දුන් පිරිසට රු 25,000 බැගින් ලබාදීම.

* ආපදාවට ලක්වූ මුළු නිවාස 17,648ක ජනතාවට රු ලක්ෂ 50 බැගින් ලබාදීම.

* වී, බඩඉරිඟු, රටකජු සහ ධාන්‍ය වගා කර ඇති අයට හෙක්ටයාරයකට රු 150,000ක දීමනාවක්.

* මිරිස්, ලූනු, ගස්ලබු, කෙසෙල් ඇතුළු එළවළු වගාකළ ගොවීන්ට හෙක්ටයාරයකට රු 200,000ක දීමනාවක්.

* ඝණත්වය අනුව ගම්මිරිස්, එනසාල් සහ කෝපිවලට වන්දි ලබාදීම. (ගම්මිරිස් වැළකට රු 250ක්.)

* පශු වෛද්‍ය කාර්යාලවල ලියාපදිංචි වූ දෙමුහුන් ගවයෙක් වෙනුවෙන් රු 200,000ක බැගින් උපරිම ගවයින් 10ක් සඳහා ආධාර මුදලක් ලබාදීම.

*දේශීය ගවයෙකු වෙනුවෙන් රු 50,000ක දීමනාවක් උපරිම ගවයින් 20 දෙනෙකු සඳහා ආධාර ලබාදීම.

*සූකරයින්, එළුවන් සහ බැටලුවන් සත්ත්ව පාලනයේ යෙදෙන ලියාපදිංචි වී සිටින පිරිසට එක් සතෙකුට රු 20,000 බැගින් සතුන් 20 දෙනෙකු සඳහා ආධාර මුදලක් ලබාදීම.

*කුකුළු පාලනයේ යෙදෙන පිරිසට මියගිය එක් ලේයර් සතෙකුට රු 500 බැගින් උපරිම සත්තු 2,000ක් දක්වා ආධාර ලබාදීම. බ්‍රොයිලර් සතෙකුට රු 250 බැගින් සත්තු 4,000ක උපරිමයකට යටත්ව ලක්ෂ 10ක් ලබාදීම.

* කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන බෝට්ටුවට රක්ෂණයක් ඇති අයට, රක්ෂණයේ මුදල සීනෝර් ආයතනයට ලබාදී එම පිරිසට අලුත් බෝට්ටුවක් ලබාදීම.

* දැල් ආම්පන්න නැති වූ සෑම ධීවරයෙකුටම රු 100,000 වවුචරයක් ලබාදීම.

* ආපදාවට ලක්වූ බෝට්ටු සීනෝර් ආයතනයෙන් නොමිලේ සාදා දීම.

* මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන ඔරුවක් අහිමි වූ අයෙකුට රු 100,000 මුදලක් හා හානියට පත්වූ ජලාශවලට පැටව් ලබාදීම.

* ආපදාවට ලක්වූ පාසල් සිසුන්ට රු 25,000 දීමනාවක්.

* කර්මාන්ත අමාත්‍යාංශයයේ ලියාපදිංචි වූ කර්මාන්ත 9,600ට ලක්ෂ 2ක මුදලක්

* අර්ධ හානියට පත්වූ ව්‍යාපාර ගොඩනැගිලි සඳහා ලක්ෂ 5ක් හෝ තක්සේරු කිරීමෙන් පසු උපරිමය ලක්ෂ 50ක්

* කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි වූ ප්‍රාදේශීය ව්‍යාපාර සඳහාත් දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡාවෙන් පසු දීමනාවක්

* මහා පරිමාණ ව්‍යාපාර සඳහා සහනශීලි ණයක් යටතේ කුඩා කර්මාන්ත සඳහා ලක්ෂ 2.5 සිට ලක්ෂ 10 දක්වාත් සහ විශාල කර්මාන්ත සඳහා රුපියල් මිලියන 25ක්

කොටහේනේ පිහි ඇනුමක් – අයෙක් මරුට….

කොටහේන 6වන පටුමග ප්‍රදේශයේ අද (18) පස්වරුවේ සිදුවූ පිහි ඇනුමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙළෙඳසැළක් ඉදිරිපිට සිටි අයෙක් ඉලක්ක කර මෙම පිහි ඇනුම සිදුව ඇති අතර, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇති බව කොටහේන පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා 53 හැවිරිදි වියේ පසුවන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.