මීළග පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරේ…..

පාර්ලිමේන්තුව හෙට (07), 09 සහ 10 දිනවල රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 19 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම පාර්ලිමේන්තු කටයුතු තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව රැස්වන මෙම දින ත්‍රිත්වයේම පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාද පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාද වෙන් කර තිබේ.

ඒ අනුව 2026 අප්‍රේල් 7 වැනි අගහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව 4.45 දක්වා ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග සහ  ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති විවාදයට ගැනීමට නියමිතය.

තවද, 2026.03.17 දින පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ද්විත්වය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් නොවුණහොත් මෙදින දෙවනවර කියවීමට තීරණය වී ඇත.

අනතුරුව ප.ව 4.45 සිට ප.ව 5.30 දක්වා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතව තිබේ. එසේම ප.ව 5.30 ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතව ඇත.

අප්‍රේල් 8 වැනි බදාදා රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වේ.

2026 අප්‍රේල් 9 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 2.00 දක්වා (357 අධිකාරය වූ) යුද්ධ හමුදා පනත යටතේ නියෝග, (358 අධිකාරය වූ) නාවික හමුදා පනත යටතේ නියෝග සහ (359 අධිකාරය වූ) ගුවන් හමුදා පනත යටතේ නියෝග විවාදයට ගැනේ.

තවද  මහජන ආරක්ෂක ආඥා පනත යටතේ සහ  අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගරු ජනාධිපතුමා විසින් ප්‍රකාශන පළ කරනු ලැබුවහොත් ඊට අදාළ වූ යෝජනා සම්මත ද්විත්වය ද මෙදින විවාදයට ගැනීමට තීරණය වී ඇත.

ඉන්පසු ප.ව 2.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව 2019 අප්‍රේල් 21 දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත.

අප්‍රේල් 10 වැනි සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය කර තිබේ.

මේ සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි බදාදා නිවාඩුව අවලංගු කෙරේ……

මෙම සතියේ සිට ක්‍රියාත්මකවන පරිදි බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කිරීමට තීරණය කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ අනිද්දා එනම් 8 වෙනි බදාදා සිට නව තීරණය ක්‍රියාත්මක වන බවය.

එමෙන්ම ඒ මහතා පැවසුවේ ඊට අදාළ චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවය.

රට තුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වය තුළ ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන් සෑම සතියකම බදාදා දිනය රාජ්‍ය සේවකයින්ට නිවාඩුව දිනයක් ලෙ‍ෙ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණි.

ජනපති බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි…..

ATM යන්ත්‍ර මගින් මුදල් ගනුදෙනු කිරීමේ සේවාව ලබාදීමේදී බැංකු පද්ධතියට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර අද (06) පැවති හමුවට එක්වෙමිනි.

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව මෙම හමුව පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මෙම ක්‍රමවේදය ජනතාවට වඩා පහසු සහ ආකර්ෂණීය ක්‍රමවේදයක් බවට පත් කර ගැනීමට මෙරට බැංකු පද්ධතියෙන් ලබා ගත හැකි සහාය පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබේ.

වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මතු වන බාධා ඉවත් කර ගනිමින් සමාජය තුළ එය වේගයෙන් ප්‍රචලිත කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මෙරට ඩිජිටල්කරණයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අද  (06) ආරම්භ කෙරුණු ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතන වෙත පැවරී ඇති වගකීම මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.

නව ක්‍රමවේදය මගින් ගනුදෙනු කිරීමේදී ඇති වන පරිවර්තනයත් සමග එම පිරිවැය අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවත් නව ක්‍රමවේදය මහජනතාවට වඩාත් කාර්යක්ෂම, විශ්වාසනීය සහ ආරක්ෂිත ක්‍රමවේදයක් වනු ඇති බවත් මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

එහිදී බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරමින්, ලංකා බැංකුවේ වැඩබලන ප්‍රධාන කළමනාකරු, ප්‍රධාන විධායක නිලධාරී  වයි.ඒ. ජයතිලක මහතා අදහස් දක්වමින් සඳහන් කළේ ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගනුදෙනු කිරීමට ජනතාව දිරි ගැන්වීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බවයි.

රජය ආරම්භ කළ මෙම නව වැඩපිළිවෙළට බැංකු පද්ධතියේ උපරිම සහාය ලබා දෙමින් රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන ගමනට සිය දායකත්වය ලබා දෙන බවද ඒ මහතා සඳහන් කළේය.

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක….

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ යන මහත්වරු අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පවත්වා තිබේ.

එහිදී ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන්ගේ ශ්‍රී ලංකා දෙදින නිල සංචාරයේ පූර්ව සැලසුම් පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

එම නිල සංචාරයේදී ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එමෙන්ම මේ වනවිට අවසන් කර ඇති ඉන්දීය ආධාර ව්‍යාපෘති සහ ඉදිරියේදී ඇරඹීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගිතා උපදේශක Maitrey Kulkarni, දේශපාලන උපදේශක සහ චාන්සරි අංශ ප්‍රධානි ආචාර්ය  Rambabu C. සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සලේගේ රීට් පෙත්සමේ සම්පූර්ණ විස්තරය මෙන්න…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

එහි වග උත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ඇතුළු පිරිසකි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු‍කෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේවන විට දින 90ක රැඳවුම් නියෝග මත ඔහු එම දෙපාර්තමේන්තුව භාරයේ සිටියි.

එම අත්අඩංගුවට ගැනීම සහ රඳවාගෙන ප්‍රශ්න කිරීම අභියෝගයට ලක්කරමින් සුරේෂ් සලේ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

නීතිඥ අමිල කුමාර මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම තුළින් පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා කියා සිටින්නේ, 2016 වසරේ සිට 2018 වසර දක්වා කාලසීමාව තුළ තමන් මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ බවය.

අනතුරුව 2019 වසරේ ජනවාරි මස 07 වනදා සිට එම වසරේ නොවැම්බර් මස 29 වනදා දක්වා කාල සීමාව තුළ තමන් ඉන්දියාවේ ආරක්ෂක පුහුණු වැඩසටහනකට සහභාගී වී සිටි බව සඳහන් කරන පෙත්සම්කරු පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේ තමා ශ්‍රී ලංකාවේ නොසිටි බවත් පෙන්වාදී තිබේ.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතියට පටහැනි බවයි පෙත්සම්කරු පැවසීය.

පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසුව දේශීය වශයෙන් විජිත් මලල්ගොඩ කමිටුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා කොමිසම, මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් කමිටුව සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් ද විමර්ශන සිදුකළ අතර විදේශීය පරීක්ෂණ ආයතන කිහිපයක් විසින්ද විමර්ශන සිදු කළ බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

ඔහු සඳහන් කරන්නේ ඒ සෑම පරීක්ෂණ වාර්තාවක් මගින්ම පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ආධාර සහරාන් හෂිම් ඇතුළු තව්හිද් ජමාත් සංවිධානයේ මෙහෙයවීමෙන් සිදුකළ බවට කරුණු අනාවරණය කර තිබූ බවය.

ඒ කිසිදු වාර්තාවක තමන් මෙම ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට හෝ සහාය ලබාදුන් බවට තොරතුරු අනාවරණය කර නොතිබූ බවද සලේ මහතා අවධාරණය කරයි.

ඒ අනුව එම කිසිදු පරීක්ෂණ වාර්තාවක් මගින් තමන්ට එරෙහිව නිර්දේශ නිකුත් කර නොතිබූ බවයි ඔහු පෙන්වා දෙයි.

එසේම පෙත්සම්කරු පවසන්නේ ඉකුත් පෙබරවාරි 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් තමාව අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එවන් අත්අඩංගුවක් හෝ රඳවාගැනීමක් සඳහා කිසිදු සාධාරණ සාක්ෂියක් නොමැති බවය.

ඒ අනුව තමා සහ සෙසු සාක්ෂිකරුවන් මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශ අධිකරණය හමුවට කැඳවා විමර්ශනය කරන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඔහු වැඩිදුරටත් සිය පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බී වාර්තාවේ තමන්ව තුන්වන සැකකරු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මෙලෙස සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

සයිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළට……

සයිනොපෙක් සමාගම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව රුපියල් 572ක්ව පැවති එහි මිල රුපියල් 600ක් දක්වා ඉහළ ගොස් ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා ඔටෝ ඩීසල් (LAD) රජය අනුමත කළ මිල ගණන් යටතේම අලෙවිකරන බවය….

වත්කම් හෙළිකරන ලෙස අල්ලස් කොමිසම මහින්දට නොතීසි නිකුත් කරයි…

අප්‍රේල් 10 වැනිදාට පෙර සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නොතීසි නිකුත් කර තිබේ.

රාජපක්ෂගේ වත්කම් සහ බැරකම් සහ ඔහුගේ පවුලේ අය සම්බන්ධයෙන් 2010 සිට 2015 දක්වා කාලය තුළ ආරම්භ කරන ලද පරීක්ෂණයකට අදාළව මෙම ප්‍රකාශය ලබා දෙන ලෙස අල්ලස් කොමිසම හිටපු ජනාධිපතිවරයාට නියෝග කර ඇත.

විමර්ශන දිගු කාලයක් ප්‍රමාද වී ඇති බවත්, එබැවින් අප්‍රේල් 10 වැනි දිනෙන් පසු අවශ්‍ය තොරතුරු ලබා දීමට රාජපක්ෂට තවත් කාලයක් ලබා නොදෙන බවත් කොමිසම හිටපු ජනාධිපතිවරයාට ලිපියක් යවමින් සඳහන් කර ඇත.

මේ අතර, දින 12ක් ඇතුළත වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පසුගිය බ්‍රහස්පතින්දා (3) නොතීසි නිකුත් කළේය.

දූෂණ විරෝධී පනත යටතේ කොමිසමට පැවරී ඇති බලතල අනුව මෙම නොතීසි නිකුත් කර ඇති අතර, අදාළ කාල සීමාව තුළ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද කොමිසම දන්වා තිබේ.

අඛණ්ඩව සිදුවන විමර්ශන කිහිපයකට අදාළව මෙම තොරතුරු ඉල්ලා ඇත.

කිතුනු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරුදින අදයි….

ලොව පුරා කිතුනු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරු දින අදට (05) යෙදී තිබේ.

ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරමින් කිතුනු ජනතාව පාස්කු ඉරිදා දිනය ඉමහත් භක්තියෙන් සමරනු ලැබේ.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින තුනකට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍ය ලෙස කිතුනුවන් සමරනු ලබන අතර ජේසුස් වහන්සේ දුක විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණු ජනතාව විවිධ වත් පිළිවෙත් සිදුකරමින් ගතකළ දින 40ක කාලයද පාස්කු ඉරු දිනයෙන් අවසන් වේ.

ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථානය වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බවද බයිබලයේ සදහන් වේ.

අදට යෙදී ඇති පාස්කු මංගල්‍ය වෙනුවෙන් “ආලේ ලුයියා” සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රී දේව මෙහෙයන් ඊයේ රාත්‍රියේ සෑම දේවස්ථානයකදීම පැවැත්විණි.

අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වූ විශේෂ දේවමෙහෙය පැවැත්වුණේ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදීය.

මේ අතර පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පැවැත්වෙන දිව්‍ය පූජා සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ක්‍රියාත්මක කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් පැවසුවේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ද මෙම ආරක්ෂිත මෙහෙයුම් සඳහා යොදවා ඇති බවය.

මේ හේතුවෙන් අනවශ්‍ය බියකින් තොරව කිතුනු ජනතාවට තම ආගමික වතාවත් සිදුකිරීමට හැකියාව උදා කර ඇති බවද ජූඩ් ක්‍රිසන්ත පියතුමන් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට OPEC+ තීරණය කරයි….

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පාලනය කිරීම සහ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පිහිටුවා ගත් ‘OPEC+’සංවිධානය එළැඹෙන මැයි මාසයේ දී තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට අද (5) සිය එකඟතාව පළකර තිබේ.

ඔපෙක් (OPEC) සහ ඔපෙක් නොවන (තෙල් අපනයනය කරන රටවල්) 10කින් සැදුම්ලත් සංගමයක් වන මෙම ජාත්‍යන්තර සන්ධානයේ සාමාජික රටවල් 8ක් මෙම එකඟතාවට පැමිණ ඇත.

ඒ අනුව සෞදි අරාබිය, රුසියාව, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, කසකස්තානය, ඇල්ජීරියාව සහ ඕමානය මෙම එකඟතාව පළකර ඇති අතර, ඔවුන් දිනක නිෂ්පාදනය බැරල් 206,000කින් වැඩි කිරීමට තීරණය කර තිබේ.

‘OPEC+’සන්ධානය පවසන්නේ එම රටවල් ඔවුන්ගේ ඒකාබද්ධ නිෂ්පාදනය වැඩි කිරීමත් සමග දිනක නිපදවන බැරල් ප්‍රමාණය බැරල් මිලියන 33.7ක් දක්වා ඉහළ දැමීමට හැකිවනු ඇති බවය.

කෙසේ නමුත් දිනක නිෂ්පාදනය වැඩිකළඳ ගුවන් ප්‍රහාරවලින් හානියට පත් බලශක්ති යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමට දිගු කාලයක් ගතවනු ඇති බව එම සංවිධානය පවසයි.

එමෙන්ම යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර හෝ ජාත්‍යන්තර සමුද්‍රීය මාර්ග කඩාකප්පල් කිරීම් හරහා බලශක්ති සැපයුමට සිදුවන ඕනෑම බාධාවකින් වෙළෙඳපොළ අස්ථාවරත්වය තවදුරටත් වැඩි කරන බවට සංවිධානය අනතුරු ඇඟවීය.

මැදපෙරදිග යුද්ධයත් සමග ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ගෝලීය වෙළඳපොළවලින් ඇණහිට ඇති බව විදෙස් වාර්තා පවසයි.

‘GMOA’ ඉල්ලීම් ගැන සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ඇමති දින දෙයි….

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කර තිබෙන වර්ජනයේ ගැටලු ගැන අවධානය යොමුකරමින් එළැඹෙන බ්‍රහස්පතින්දා (9) ඔවුන්ට සාකච්ඡාවක් ලබාදීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට සහභාගීවීමට තමන් හෙට (6) ඉන්දියාව බලා පිටත්ව යන බවත්, යළි පැමිණීමෙන් පසු අදාළ සාකච්ඡාව ලබාදීමට බලාපොරොත්තුවන බව බවත් හෙතෙම පැවසීය.