මහරගම පමුණුව පාරේ දෙමහල් නිවසක ඉහළ මහලේ ඊයේ (18) පස්වරුවේ ඇතිවූ ගින්න, නිවසේ කුළිය සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් මුල්කර ගනිමින් නිවසේ හිමිකරු විසින්ම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.
කාලක සිට නිවසේ හිමිකරු සහ කුළි පදනම මත සිටි අදාළ පුද්ගලයින් අතර ආරවුලක් පැවති බවට මහරගම පොලිස් ස්ථානය වෙත ද පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ.
මහරගම පමුණුව පාරේ, එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමඟ අංක 17/2 දරන දෙමහල් නිවසේ ඉහළ මහලේ ඊයේ පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබුණි.
පසුව එය දුටු ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවාදැමීට කටයුතු කළේය.
එහිදී නිවස අභ්‍යන්තරයේ සිටි බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් රෝහල්ගත කිරීමට පළමුව ඔවුන් කටයුතු කර ඇත.
එලෙස රෝහල්ගත කර ඇත්තේ නිවසේ හිමිකරු සහ කුලී පදනමට නිවසේ පදිංචිව සිටි පවුලේ ගෘහ මූලිකයාය.
කෙසේ වෙතත් අනතුරුව සිදුකළ සෝදිසියේදී නිවසේ කාමරයක් තුළ මියගොස් සිටීයදි එම ගෘහ මූලිකයාගේ බිරිඳගේ සහ දියණියගේ සිරුරු සොයාගෙන තිබුණි.
මෙලෙස මියගොස් ඇත්තේ රන්තකාන්ති වික්‍රමආරච්චි නම් 55 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණිය වූ තත්සරණි රත්නායක නම් 16 හැවිරිදි දැරියකි.
එසේම රෝහල්ගත කර සිට 76 හැවිරිදි නිවසේ හිමිකරුද අද (19) පෙරවරුවේ මිය ගොස් ඇතැයි මහරගම පොලීසිය සඳහන් කළේය.
සිදුවීම සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

