යුද්ධයෙන් නැවතී තිබූ ‘කුවේට් එයාවේස්’ කොළඹ දක්වා යළි ගමන් අරඹයි….

මැදපෙරදිග යුධමය වාතාවරණය හේතුවෙන් මෙහෙයුම් නවතා තිබූ ‘කුවේට් එයාවේස්’ ගුවන්සේවය යළි කොළඹ දක්වා   ගුවන්ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අද (8) පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අනුව මේ වනවිට ඇති වී තිබෙන යුධමය වාතාවරණය සලකාබලමින් අප්‍රේල් 15 සිට ගුවන්ගමන් නිල වශයෙන් ආරම්භ කිරීමට එම සමාගම තීරණය කර ඇත.

යුධමය වාතාවරණය හේතුවෙන් ඉකුත් පෙබරවාරි 28 වනදා සිට ‘කුවේට් එයාවේස්’ සිය ‍මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර තිබුණි.

ඉන් අනතුරුව මාර්තු 2වනදා සිට ගුවන්ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කළද, ඒ වනවිටද තිබූ අනාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් ගුවන්ගමන් යළි අත්හිටුවීය.

කෙසේ නමුත් එම තත්ත්වය යටතේ මාර්තු 31වනදා මඟීන් 241ක් රැගත් විශේෂ ගුවන් යානයක් කුවේට් සිට කටුනායක වෙත පැමිණියේය.

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් – ජනපති….

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත්, රජයට අවශ්‍ය සැපයුම් සිදු කිරීමේදීද ඉදිරියේදි දේශීය ව්‍යාපාරිකයන්ට ලබා දෙන අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ලංකා එක්සත් ව්‍යාපාරිකයන්ගේ සන්ධානය සමඟ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් දේශීය කර්මාන්තවලට එල්ල වී ඇති අභියෝග සහ කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු මෙන්ම ඒ වෙනුවෙන් ලබා දිය හැකි සාධනීය විසඳුම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණි.

සෙස් බද්ද, දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයෙහි පවතින මානව සම්පත් හිඟය මෙන්ම අනීතික ලෙස මෙරටට පැමිණෙන භාණ්ඩ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් ව තිබේ.

ගුණාත්මකභාවයෙන් අඩු භාණ්ඩ දේශීය වෙළෙඳපොළට පැමිණීම සහ ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු විසඳා ගැනීමට අදාළ ආයතන සමඟ ඒකාබද්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

බහාලුම් නිදහස් කර ගැනීම සහ එහිදී ඇති වන අකාර්යක්ෂමතාව මඟහරවා ගැනීමට ගත යුතු පියවර පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර, අදාළ අංශ සමඟ ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

විදුලි ගාස්තු තවත් 15%කින් වැඩිකරන්නැයි ඉල්ලීමක්….

2026 දෙවන කාර්තුව සඳහා 15%කට ආසන්න ප්‍රතිශතයකින් යළිත් විදුලි ගාස්තු ඉහළ දැමීමට ජාතික පද්ධති පාලක (National System Operator) පෞද්ගලික සමාගම මහජන උපයෝගීතා කොමිසමෙන් ( PUCSL) ඉල්ලීමක් කර තිබේ.

ඒ, අප්‍රේල් – ජුනි (දෙවන කාර්තුව) කාලසීමාවට අදාළව පසුගියදා ප්‍රකාශයට පත්කළ 10%ක විදුලි ගාස්තු සංශෝධනයට අතිරේකවය.

ජාතික පද්ධති පාලක පෞද්ගලික සමාගම මෙලෙස දෙවන කාර්තුවේදී 15%ක අතිරේක ඉහළ දැමීමක් ඉල්ලා ඇත්තේ, විදුලි ජනයේදී අතිරේකව සිදුවන රුපියල් බිලියන 16ක පිරිවැයක් පියවාගැනීමට බව සඳහන්ය.

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි ජනනය සඳහා අතිරේක ඩීසල් ප්‍රමාණයක් භාවිත කිරීමට සිදුවීම, මැදපෙරදිග යුද්ධය හෙතුවෙන් ඇතිව තිබෙන දැවිතෙල් හිඟය නිසා ඩීසල් බලාගාරවලින් විදුලි උත්පාදනය කිරීමට සිදුවීම මීට බලපා ඇත.

එමෙන්ම ගල්අඟුරුවලින් අපේක්ෂිත ධාරිතායට විදුලිය ජනනය නොවීම වැනි හේතු මත ඩීසල් බලාගාරවලින් විදුලි ඉල්ලුම පියවා ගැනීමේදී සිදුවන අතිරේක ජනන වියදම් පියවා ගැනීමද මෙම යෝජිත නව සංශෝධනයේ අරමුණ වී තිබේ.

GMOA හෙට පෙරවරුවේ සිට යළි වැඩවර්ජනයේ…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (9) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

සීමාවාසික පත්වීම් ලබාදීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාං‍ශය තම සංගමය සමග එකඟ වූ කොන්දේසි කඩකරමින් අදාළ පත්වීම් ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සංගමය පැවසීය.

මේ සම්බන්ධයෙන් ‘GMOA’ නිකුත්කළ නිවේදනය,

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය දේශපාලනීකරණයට ලක්කිරීමේ උත්සාහයන් හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කරන ලදී.

ඒ අනුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

එහිදී එකඟතාවය වූයේ අදාල සාකච්ඡාව අවසන් වනතුරු ප්‍රශ්නගත  පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ලැයිස්තුව අත්හිටුවිය යුතු බවයි.

එහෙත් මේ වන විට අදාළ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත.

මෙය, යම් ගැටලුවක් සාකච්ඡාමය ප්‍රවේශයකින් විසඳගැනීමේ ක්‍රියාවලියේ මූලික ප්‍රතිපත්තීන් පවා උල්ලංඝනය කිරීමකි.

එමෙන්ම විශ්වාසය මත පදනම්ව ගැටළුවක් සාකච්ඡාවෙන් විසඳාගැනීම සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය උත්සහ කරන පසුබිමක, එම විශ්වාසය අමු අමුවේ කඩකරමින් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීම පිළිගත නොහැකි සහ අතිශය සදාචාර විරෝධී ක්‍රියාවකි.

සෞඛ්‍ය අමාත්‍යවරයා රට තුළ නොමැති අවස්ථාවක මෙය සිදුවීම කිසිසේත්ම සුළුවෙන් බැහැර කළ නොහැක.

මෙම තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභාව, හෙට දින එනම් 09.04.2026 වන බ්‍රහස්පතින්දා දින උදෑසන 08සිට ආරම්භ වන පරිදි දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී.

මෙම ප්‍රකාශයට පත් කරන ලද ලැයිස්තුව වහාම ඉවත් කර ගැටලුව විසඳීමට හෙට දින උදෑසන 08 දක්වා කාලය ඇති අතර, එසේ නොවන්නේ නම් වැඩ වර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාවේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගකිවයුත්තන් සම්පූර්ණයෙන් භාරගත යුතුය.

නුවරඑළිය ප්‍රා.ස සභාපති දූෂණ චෝදනා මත අත්අඩංගුවට…..

නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බල ප්‍රදේශය තුළ සංවර්ධන කාර්යයන් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ දී ප්‍රාදේශීය සභාව විසින් අනුගමනය කළ යුතු ජාතික රාජ්‍ය සභාවේ නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් 2021 වර්ෂයේ දී රජයට අයත් ඉඩමක් සඳහා ඉදිකිරීම් සැලසුමක් අනුමත කර අදාළ අයදුම්කරු හට වාසියක් සලසා දීම තුළින් දුෂණය නමැති වරද සිදුකිරීම යන චෝදනාව මත සභාපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහ රිමාන්ඩ්….

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ යන අය මෙමස 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබේ.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (07) අලුත්කඩේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී තිබුණි.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් පිටත සේවකයින් 6 දෙනෙකු බඳවා ගෙන, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 14.32ක පාඩුවක් සිදුකර ඇති බවට ඔවුන් දෙදෙනාට චෝදනා එල්ලව ඇත..

ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට….

ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025/2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ගල්අඟුරු සැපයීමේදී ප්‍රශ්නගත ට්‍රයිඩන්ට් සමාගම විසින් පැටවුම් වරායේ වාර්තා ලබාගත් පරීක්ෂණාගාරය බලපත්‍ර අහෝසි වූ එකක් බව විගණකාධිපතිවරයා විසින් මෙම විශේෂ විගණන වාර්තාවෙන් අනාවරණ කර තිබේ.

විගණකාධිපතිවරයා මෙම වාර්තාව ලබාදුන්නේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා ජාතික විගණන කාර්යාලයට කළ දැනුම්දීමකට අනුවය.

වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණ වන්නේ ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට, ටෙන්ඩරය හිමිවූ ට්‍රයිඩන්ඩ් සමාගම සිය ලියාපදිංචිය හෝ සම්පූර්ණ කර නොතිබූ බවයි.

2025 / 2026 වාරය සඳහා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේදී එම ප්‍රසම්පාදනයෙහි මෙන්ම මිලදීගත් ගල්අඟුරු අපේක්ෂිත ප්‍රමිතියට නොතිබීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විගණකාධිපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබුණි.

ඒ අනුව ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025 / 2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව, ජාතික විගණන කාර්යාලය මගින් මේ වනවිට නිකුත්කර තිබේ.

එහි දැක්වෙන්නේ, මෙම ප්‍රසම්පාදනයේදී ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට ලියාපදිංචිය සම්පූර්ණ කරන ලද සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීම සිදුකරන බව එම දැන්වීමේ පැහැදිලිව සඳහන් කර තිබූ බවය.

එසේවුවද එම දිනය වනවිට සම්පූර්ණ ලියාපදිංචි ගාස්තුව ගෙවා ලියාපදිංචිය තහවුරු කරනොගත් සැපයුම්කරුවන් තිදෙනෙකුටද ලංසු යැවීමට කටයුතු කර තිබූ අතර, මෙම ප්‍රසම්පාදනයට තෝරාගත් ට්‍රයිඩන්ට් සමාගම ද එදින වනවිට ලියාපදිංචිය තහවුරු කර නොතිබූ බව විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර තිබේ.

මිලදීගත් ගල්අඟුරු ලක්විජය බලාගාරයට උචිත ප්‍රමිතීන්ගෙන් සමන්විත වේදැයි පැටවුම් වරායේදී හා ගොඩබෑම් වරායේදී ස්වාධීන පරීක්ෂකයෙකු මගින් පරික්ෂාවකට ලක්කරනු ලබන අතර, පැටවුම් වරායේදී විකුණුම්කරු පත්කරන ලද Mitra SK South Africa හිමිකාරි සමාගමට අවශ්‍ය කරන ප්‍රමිතින්වලට යටත්ව ගල්අඟුරු සාම්පල පරික්ෂා කිරීම සඳහා ප්‍රතීතනතාවයක් නොතිබුණු බැවින් ඒ වෙනුවෙන් පරික්ෂණ වාර්තාව නිකුත් කිරීමට 2025 වසරේ දෙසැම්බර් 29 වැනි දින වනවිට බලපත්‍රය අවලංගු වූ PT Mitra SK Analisa Testama Samarinda නම් ඉන්දුනීසියානු සමාගමකට පවරා තිබේ.

කෙසේවෙතත් අදාළ සමාගමේ බලපත්‍රය 2026 වසරේ මාර්තු 31 වැනිදා වනවිටත් යාවත්කාලීන කර තිබුණු බවට විගණනයේදී කරුණු අනාවරණය වී නොමැත.

කෙසේවුවද ලැබී තිබුණු නැව්තොග 12ටම අදාළ පැටවුම් වරායෙහි වාර්තා ප්‍රතීතනතාවයක් නොමැති බව හඳුනාගන්නා ලද Mitra SK South Africa හිමිකාරි සමාගම විසින් නිකුත් කර ඇති බව විගණන වාර්තාව පෙන්වා දී තිබේ.

ඒ අනුව වාර්තාව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ පැටවුම් වරායේ පරීක්ෂණ වාර්තා සහ ලක්විජය බලාගාරයේ ප්‍රධාන පාලන ඒකකයෙන් ලබාගන්නා දත්ත අතර පරස්පරතා පැවතියදීත් පැටවුම් වරායේ වාර්තා සම්බන්ධයෙන් තහවුරුවක් ලබාගැනීමට ලංකා ගල්අඟුරු සමාගමට විකල්ප අවස්ථා කිහිපයක් තිබුණද ඒ කිසිවක් භාවිත කිරීමට එම සමාගම කටයුතු කර නොමැති බවයි.

එමෙන්ම වසර පුරා ශ්‍රී ලංකාවට ගල්අඟුරු ගොඩබෑමට නොහැකි වීම නිසා මෙරටට ගල්අඟුරු සපයාගත හැකි කාල සීමාවේ උපරිම වශයෙන් එය සිදුකළ යුතු වුවත් එම අවස්ථාව පැවති 2025 වසරේ නොවැම්බර් 13 සිට දෙසැම්බර් 30 දක්වා දින 40ක කාලයේ කිසිඳු ගල්අඟුරු නැව්තොගයක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවන පරිදි ප්‍රසම්පාදනය සිදුකිරීමට ලංකා ගල්අඟුරු සමාගම අපොහොසත් වී ඇතැයි විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත.

අනතුරුව, නියමිත ප්‍රමාණයට අඩුවෙන් නැව් පැමිණීම නිසා මේ වසරේ මාර්තු 18 වැනිදා ක්ෂ්‍ණික ප්‍රසම්පාදනයකින් ගල්අඟුරු මිලදී ගැනීමට සිදුවී තිබුණු අතර එහිදී තෝරාගත් Taranjot Resource පුද්ගලික සමාගම ද තම ලියාපදිංචිය ලබාගන්නා අවස්ථාවට පෙර මාස 36ක කාලය තුළ ලක්විජය බලාගාරයේ දළ තාපජනන අගය ප්‍රතික්ෂේපිත මට්ටම වූ කිලෝකැලරි 5,900 හෝ ඊට වැඩියෙන් සැපයීමට අපොහොසත් වී තිබූ සමාගමක් බවද විගණකාධිපතිවරයා මෙම වාර්තාවෙන් හෙළිදරව් වී තිබේ.

මෙම තත්ත්ව සැලකූවිට නියමිත කාලයට ගල්අඟුරු නැව් ගෙන්වාගැනීමට නොහැකිවීමත්, ඉදිරියේදී ඇතිවිය හැකි පාලනය කළ නොහැකි තත්ත්ව මත ලක්විජය බලාගාරයේ අවශ්‍යතාවට ගල්අඟුරු ප්‍රමාණවත් නොවුණහොත් අඛණ්ඩ විදුලිබල සැපයුමකට අවාසි සහගත ලෙස බලපෑ හැකි බවද විගණනකාධිපතිවරයා මෙම විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

බදාදා නිවාඩුව අවලංගුවීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි….

බදාදා දිනයේ නිවාඩුව අවලංගුවීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (08) රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මේ බව සඳහන් කළේය.

පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම හේතුවෙන් හෙට (08) පාර්ලිමේන්තුව රැස් නොවීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබිණි.

නමුත් අද දින එළැඹි තීරණයට අනුව හෙට පෙ.ව 9.30 – පෙ.ව. 10.00  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව 10.00 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

ඉන්පසු පෙ.ව  10.30 – පෙ.ව 11.00 කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

අනතුරුව පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන වර්තමාන තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය  පැවැත්වීමටත් මෙහිදී තීරණය කර ඇත.

තවද ලබන 9 වෙනි බ්‍රහස්පතින්දා සහ 10 වෙනි සිකුරාදා යන දෙදිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල කිසිදු වෙනසක් සිදු නොවේ.

මේ අතර එළඹෙන සිංහල – දමිල අලුත් අවුරුදු උත්සවය හේතුවෙන්  අප්‍රේල් දෙවන පාර්ලිමේන්තු සතිය නොපැවැත්වීමටත් මෙහිදී තීරණය වූ බව මහලේකම්වරිය පැවසුවාය.

අප්‍රේල් ගෙවුණු දින 5ට සංචාරකයින් 26,800ක් මෙරටට ඇවිත්…..

අප්‍රේල් මාසයේ මුල් දින 5 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 26,800ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 7,562ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 28%ක් වේ.

එමෙන්ම, රුසියාවෙන් 1,623ක්, ජර්මනියෙන් 1,090ක්, එක්සත් රාජධානියෙන් 2,854ක්, චීනයෙන් 1,537ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 2,794 ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට අප්‍රේල් 05 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 767,434ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 154,835ක්, රුසියාවෙන් 67,541ක් සහ එක්සත් රාජධානියෙන් 81,274ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

ඉන්ධන පිරවූ බවුසරයක් පුවක්ගහවෙලදී පෙරළෙයි…..

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පුවක්ගහවෙල ප්‍රදේශයේදී ඉන්ධන පිරවූ බවුසර් රථයක් මාර්ගයේ පෙරළී ගොස් තිබේ.

අද (07) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර කාර්මික දෝෂයක් මීට හේතුව වී ඇතැයිද වාර්තා වේ.

අනතුරින් බවුසර් රථය මාර්ගයේ පෙරළී ගොස් තිබූ අතර එය තුළ ඉන්ධන ලීටර් 33,000ක් තිබූ බවද පැවසේ.

බවුසර් රථය පෙරළී යාමෙන් පසුව එහි තිබූ ඉන්ධන මාර්ගය පුරා විසිරී ගිය අතර ඉන්ධන එක් රැස් කිරීම සඳහා මිනිසුන් භාජන රැගෙන පැමිණ සිටි අයුරුද දක්නට ලැබුණි.