නීතිවිරෝධී ධීවර කටයුතු කළ 41ක් නීතියේ රැහැනට…..

නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 41දෙනෙකව, ඩිංගි යාත්‍රා 11ක් සහ ට්‍රැක්ටර් රථ 2ක් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්ත‍මේන්තුව එක්ව සිදුකළ මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ,  ත්‍රිකුණාමලය චෙම්මලෙයි, චෙඩ්ඩිපලයාම්, එලිස‍බෙත් දූපත, ෆවුල් පොයින්ට්, ක්ලැපන්බර්ග් පොයින්ට්, උප්පුරාල්, නන්දිකඩාල් කලපුව, අලම්පිල්, අලියා දූපත, පුඩුවකට්ටු, පුත්තලම උච්චමුනෙයි සහ යාපනය කොමාර් පොයින්ට් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙමස පළමුවනදා සිට 15 වෙනිදා දක්වා සිදුකළ මෙහෙයුම් වලදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, මුහුදු කුඩැල්ලන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න, ට්‍රැක්ටර් රථ සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, කින්නියා, කොඩ්බේ, ඊච්චලම්පත්තු, කලවංචිකුඩි, කිලිනෝච්චිය, පුත්තලම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙත සහ පුල්මුඩේ විශේෂ කාර්ය බලකාය වෙත භාරදී ඇත.

දකුණු පාතාලය සෙලවුණු SF රාජුගේ අත්අඩංගුවට ගැනීම….

මිනී මැරුම්, කප්පම් ගැනීම්, අවි ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි දරුණු ගණයේ අපරාධකරුවකු වන සෝබනහන්දි සනත් ද සිල්වා හෙවත් එස්. එෆ්. රාජු මේ වනවිට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් තිබේ.

ඒ, පැය 72ක කාලයකට ලබාගත් රැඳවුම් නියෝග මතය.

ඉන්දියාවේදී අත්අඩංගුවටගත් සැකකරු ඊයේ (18) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබීය.

සෝබනහන්දි ජයලත් ද සිල්වා හෙවත් කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන සෝබනහන්දි සනත් ද සිල්වා හෙවත් එස්.එෆ්. රාජු ඉන්දියාවේ නවදිල්ලි ගුවන්තොටුපොළේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා පොලිසිය ඉන්දිය බුද්ධි අංශ වෙත ලබාදුන් තොරතුරකට අනුවය.

එස්.එෆ්. රාජු ඉන්දියාවට පැමිණ ග්‍රිසියට හෝ ඉතාලියට පලායාමට සූදානමින් සිට ඇති බව එම තොරතුරේ සඳහන්ව තිබී ඇත.

ඒ අනුව එස්.එෆ්. රාජු කටුනායක ගුවන්තොටුපොළින් ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන එනු ලැබීය.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා භාරදෙනු ලැබුවේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙතයි.

එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේම ඔහු රැගෙන එනු ලැබීය.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සෘජු අධීක්ෂණයෙන්, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන් සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.

එස්.එෆ්. රාජු පොලිස් විශේෂ කාර්ය බලකායේ සිට පසුව යුද හමුදා විශේෂ බලකායේ සෙබළෙකු ලෙස කටයුතු කර තිබේ.

තම සොහොයුරා වන කරන්දෙණියේ සුද්දා සමග එක්ව හිත හොඳ දොස්තර ඝාතනය කිරීමත් සමග මොහු පාතාලයට අත්පොත් තබා ඇති බව පොලිසිය පැවසුවේය.

කරන්දෙණියේ සුද්දා ලබා ගන්නා කොන්ත්‍රාත් ඝාතන බහුතරයක් මොහු  මෙහෙයවා ඇති බවද වාර්තාවේ.

එමෙන්ම මිනී මැරුම්, කප්පම් ගැනීම්, අවි ආයුධ ජාවාරම් කිරීම් හා පාතාල ක්‍රියාදාම මෙහෙයවීම සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ලවී තිබේ.

අකුරේගොඩදී පසුගියදා නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම මෙහෙයවා ඇත්තේ ද SF රාජු බවට සැක කෙරේ.

කරන්දෙණියේ සුද්දාගේ කල්ලිය දකුණු පළාතේ මේ වන විට ක්‍රියාත්මක දරුණුතම අපරාධ කල්ලියක් වන අතර මොහු අත්අඩංගුවට පත්වීමත් සමග දකුණේ අපරාධ රැසක් පාලනය කරගැනීමට හැකිවනු ඇති බවට පොලිසිය අපේක්ෂා කර ඇත.

ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ඉවතට…..

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේ දී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම සමාගම හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව සැකකරු ලබන 28 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන…..

විදුලිබල අමාත්‍යාංශය විසින් ගල්අඟුරු ආනයනය කළ සමාගමෙන් රුපියල් කෝටි 915කට ආසන්න මුදල් ප්‍රමාණයක් රඳවාගෙන තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඒ හේතුවෙන් තත්ත්වයෙන් බාල ගල්අඟුරු සැපයීම හේතුවෙන් පාඩුවක් සිදුව ඇත්තේ, රජයට නොව අදාළ ගල්අඟුරු සැපයුම් සමාගමට බව අමාත්‍ය හෙතෙම පැවසීය.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී විජිත හේරත් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, නැව් 3කට අදාළව රුපියල් කෝටි 500කට අධික මුදලක් එම සමාගමට ගෙවීමට නියමිතව තිබුණද පරීක්ෂණ වාර්තා අසමත් වූ බැවින් එම ගෙවීම් සිදුනොකරන බවය.

එමෙන්ම අදාළ සමාගම සමග ඇතිකර ගත් කාර්යසාධන බැඳුම්කරය අනුව රුපියල් කෝටි 450ක මුදලක් පවතින බවත්, ඒ අනුව රුපියල් කෝටි 960ක් මෙරට සතුව පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා,

“ආනයනය කළ ගල්අඟුරුවල උපදින බලශක්තියේ අඩුවක් තිබෙනවා. ඒකෙන් පාඩුවක් වෙනවා. නමුත් මහජන උපයෝගීතා කොමිසම ඉතා පැහැදිලිව කිව්වා, විදුලිබිල ගණනය කිරීමේදී කිසිසේත්ම ඒ පාඩුව කිසිසේත්ම විදුලිබිලට එකතු කරන්නේ නැහැ කියලා. 

විදුලිබල අමාත්‍යාංශය විසින් ගල්අඟුරු ආනයනය කළ සමාගමෙන් ආසන්න වශයෙන් රුපියල් 915කට ආසන්න මුදල් ප්‍රමාණයක් රඳවගෙන තිබෙනවා. ගණනය කරලා තිබෙනවානේ බාල ගල්අඟුරු නිසා රුපියල් මිලියන 8,000 (කෝටි 800)ක් පාඩු වෙන්න පුළුවන් කියලා. හැබැයි අපි කෝටි 915ක් රඳවාගෙන තිබෙනවා. ඒ නිසා මේකේ කිසිම පාඩුවක් ජනතාවට වෙන්නේ නෑ. 

විදුලිබිල ගණනය කරන්න බලය තිබෙන්නේ මහජන උපයෝගිතා කොමිසමට. ඔවුන් වාර්තා කරලා තිබෙනවා ඒක විදුලිබිලට කොහෙත්ම එකතු කරන්නේ නැහැ කියලා.

ඉතින් මේකෙන් පාඩුවක් වෙලා තිබෙනවා, හැබැයි පාඩුව වෙන්නේ සමාගමට. ඔවුන් දඩ ගෙවලා තියෙන්නේ. මේ පාඩුව ජනතාවටවත්, ආණ්ඩුවටවත් යන්නේ නෑ” යැයි පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා,

“සැපයුම්කරුවා ගල්අඟුරු පටවන වරාය ආසන්නයේ තිබෙන පරික්ෂණාගාරයෙන් අසමත් වුණොත් කිසිම දෙයක් ගෙවන්නේ නෑ. එතනින් පාස් වෙලා ආවොත් අපි 80%කට ආසන්න ප්‍රමාණයක් ගෙවිය යුතුයි. නමුත් සමහර ඒවා තියෙනවා අපි 80%ත් ගෙවලත් නෑ. 

ඊට අමතරව සාමාන්‍යයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවා තියෙනවා Performance Bond එක කියලා එකක්. මේකට ඩොලර් මිලියන 15ක් තියෙනවා. රුපියල් වලින් කෝටි 450ක්. එකත් අපි ලඟ තියෙනවා. අපි ගෙවලා තියෙන්නේ 80%ට අඩුවෙන්. එතනත් කෝටි 500ක වගේ ප්‍රමාණයක් තියෙනවා ගෙවන්න තියෙන ගාන” යනුවෙන් පැවසීය.

එහිදී අදහස් දැක්වු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මුහම්මදු ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා පැවසුවේ, කිසිදු විටකදී මෙරටට ගෙනා ගල්අඟරු නැවත පටවා යැවීමට හැකියාවක් නොමැති බවත්, දඩ අයකරනු ලබන්නේ එම පාවිච්චි කිරීමත් සමග ඇති වන පාඩුවට බවත් සඳහන් කළේය.

“නැව් 3ක පාඩුව සහ Performance Bond (කාර්යසාධන බැඳුම්කරය) එකතු කරලා තමයි කෝටි 960ක් තියෙන්නේ. මෙම පරීක්ෂණවලින් ඒක තහවුරු වුණොත්. දැනට තහවුරු වුණු පරීක්ෂණ වාර්තා අනුව තමයි මේ මුදල ගණනය කරලා තියෙන්නේ”.

ප්‍රශ්නය – පාවිච්චි කරපු දේකට කොහොමද දඩ අය කරන්නේ?

“අපේ කාලේ විතරක් නෙමෙයි ගිය ආණ්ඩු කාලෙත් දඩ කරලා තියෙනවා. ඒ, අයකරලා තියෙන්නේ පාවිච්චි කරපු ගල්අඟුරුවලට. ඒ නිර්ණායකවලට එන්න බැරි වුණොත්, ආසන්න වශයෙන් පිරිවිතර 10ක් පමණ තියෙනවා.

ඒ තත්ත්වයන් අවේ නැති වුණෙත් දඩ අය කරනවා. ගල්අඟරු අපිට නැවත පටවලා යවන්න විදියක් නෑ” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක්…..

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (17) පැමිණිල්ලක් ලැබී තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති, වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා 2024 හා 2025 වසරවලට අදාළව පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනිදා භාර දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී තිබේ.

රුපියල් කෝටි 6.7කට අධික නිෂ්චල දේපොළ තමාට අයත් බවට අමාත්‍යවරයා සිය වත්කම් ප්‍රකාශය මගින් දක්වා තිබීමත්, සිය වියදම් පවා පියවාගැනීම දුෂ්කර බවට ඔහු වසර කිහිපයකට පෙර ප්‍රකාශයක් කර තිබීමත් සැලකිල්ලට ගෙන මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව,

“ඉතාමත්ම අඩු කාලයක් තුළදී විශාල ධනයක් ඔහු උපයා ගත්තේ කෙසේද?. එතකොට අල්ලස් හා දූෂණ විරෝධී කොමිෂන් සභාවට ඔහු අවසන්වරට ලබාදීපු වත්කම් ප්‍රකාශයත්, වර්තමානය වනවිට ඔහු සතු වත්කම් සම්බන්ධවත් තිබෙන පරස්පරයත් ගැන සමාජය මතු කරන සිදුවීම ගැන පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිනවා” යැයි පැවසීය.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට….

දිවයිනට දකුණු දෙසින් මුහුදු සැතපුම් 400ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් අදාළ බහුදින ධීවර යාත්‍රාව අද (17) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් තිබුණි.

රුපියල් කෝටි 400කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය තොගයක් එහි තිබී සොයාගැනුණි.

දෙනුවන් පුතා නම් අදාළ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සිව්දෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් අතර එහි තිබී මත්ද්‍රව්‍ය බහාලු උර 6ක් සොයාගැනුණි.

බලහත්කාරයෙන් කාන්තාවකගේ හිසකෙස් කැපූ කතක් ඇතුළු 5ක් අත්අඩංගුවට….

රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ රාගම පොලිසිය, වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත.

විමර්ශන කටයුතු සිදුකර ප්‍රධාන සැකකාරිය වන අවුරුදු 27ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් සහ වයස අවුරුදු 20, 21, 22 සහ 23 වයසේ පසුවන රාජාංගනය, කඩවත, රාගම, ත්‍රිකුණාමලය චීනවරාය ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (18) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු රාගම පොලිසිය විසින් සිදුකරයි.

කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි – නාමල් රාජපක්ෂ…..

ගල්අඟුරු වංචාව යටපත් කිරීම සඳහා ආණ්ඩුව දරන සියලු උත්සාහයන් පරාජය කළ යුතු යැයි සඳහන් කරමින් සමගි ජන බලවේගය අද (17) පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේය.

එමගින් අවධාරණය කර ඇත්තේ, දූෂිත අමාත්‍යවරයාත්, අමාත්‍යංශ ලේකම්වරයාත් ඉල්ලා අස්වීම හරහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනයෙන් රටට සිදුකළ බිලියන ගණනක පාඩුව ජන මනසින් යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ කර ඇති බවය.

ටෙන්ඩර් ක්‍රියාවලියේ සිටම සිදුකළ මෙම දූෂිත ගණුදෙනුව සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා, ලේකම්වරයා පමණක් නොව ජනාධිපතිවරයා ප්‍රමුඛ සමස්ත කැබිනට් මණ්ඩලයම වගකිව යුතු බවත්, ඒ සම්බන්ධයෙන් ගතහැකි සියලු පියවර ගන්නා බවත් සමගි ජන බලවේගය නිකුත්කළ නිවේදනයේ සඳහන්ය.

මේ අතර මේ සම්බන්ධයෙන් ‘X’ සටහනක් තබමින් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්ත ද එය ප්‍රමාද වැඩි බවය.

ගල්අඟුරු වංචාව දැනටමත් ජාතියට මිලියන ගණනක් අහිමි කර ඇති බවත්, අමාත්‍යවරයා ඉල්ලා අස්වුවද සිදුවූ පාඩුවට කරන්නේ කුමක්ද යන්න අපැහැදිලි බවත් එමගින් සඳහන් කර තිබේ.

නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ, කුමාර ජයකොඩි මහතාට
අතීත දූෂණ චෝදනා තිබියදීත්, මෙතරම් බලවත් අමාත්‍යාංශයකට පත්කිරීමේ වගකීම ජනපති භාරගත යුතු බවය.

අපරාධ රැසකට සෙවූ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි…..

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ දරුණු ගණයේ අපරාධකරුවකු වන ‘කරන්දෙණියේ රාජු’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් මීට සුළු වේලාවකට පෙර මෙරටට රැගෙන එනු ලැබුවා.

ඝාතන ඇතුළු අපරාධ සිද්ධි 15කට අධික සංඛ්‍යාවකට පොලිසියට අවශ්‍යව සිටින රාජු, ඉන්දියාවේදී එරට ආරක්ෂක අංශ පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ සහෝදරයෙකු වේ.

අපක්ෂපාතී සහ ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසා බලශක්ති අමාත්‍යවරයා සහ ලේකම්වරයා ඉල්ලා අස්වෙති…..

ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ.

 අද (17) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගල්අඟුරු ආනයනයේදී හා ඒ ආශ්‍රිත විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා සහ නීතිවිරෝධී ක්‍රියා සිදු වී ඇත්ද යන්න විමර්ශනය කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලද අතර බලශක්ති අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී ඇත්තේ එම කොමිසමේ අපක්ෂපාතී හා ස්වාධීන ක්‍රියාවලියට සහය පළ කිරීමක් ලෙසය.

 ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කර ඇත්තේ ගල්අඟුරු සැපයුම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට ගත් තීන්දුවත්, 2009 වසරේ සිට ගල්අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් මගින් ජනාධිපතිවරයා වෙත ඇති දූෂණයට එරෙහි සහ ජන වරමට කැපවුණු නිර්භීත අධිෂ්ඨානය තමන් අගය කරන බවය.

 ඒ අනුව ඉදිරියේදී සිදු කිරීමට නියමිත විමර්ශන කටයුතු ඉතා ස්වාධීනව සහ කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව සිදුවිය යුතු බවට තමන් විශ්වාස කරන බවත් විමර්ශනය සිදු වන අතරතුර තමා  එම තනතුරේ රැඳී සිටීම පවා ඊට බාධාවක් වනු ඇත යන ස්ථාවරය මත පිහිටා අද (17) දින සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

 බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා තම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත විමර්ශනවලට අවහිරයක් නොවීම සහ විමර්ශනවල ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා ඊට පහසුකම් සැලසෙන පරිදි තමන් දරන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම යෝග්‍ය බවට තමන් විශ්වාස කරන බවය.