8වෙනි සහ 9වෙනි පාර්ලිමේන්තුවල සම්පූර්ණ විගණනයක් මාසයක් ඇතුලතදී පාර්ලිමේන්තුවට……

8වෙනි පාර්ලිමේන්තුවේ සහ 9වෙනි පාර්ලිමේන්තුවේ මුදල් භාවිතය සම්බන්ධයෙක් සියලුම අංශ නියෝජනය වන පරිදි සම්පූර්ණ විගණනයක් සිදුකර එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතා පවසයි.

අද (29) පෙරවරුවේ මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් කථානායකවරයා මේ බව පැවසීය.

එහිදී ඔහු පැවසුවේ,  තවත් මාසයක් පමණ කාලයක් අතුලදී එම විගණන වාර්තා පාර්ලිමේන්තුවට ලබා දීමට විගණකාධිපතිවරිය පොරොන්දු වූ බවය.

“රටේ තියෙන මුදල් සියලූම දේවල් විගණනයට භාජනය විය යුතුයි. පාර්ලිමේන්තුවේ අපි දැක්ක දෙයක් තමයි යම් යම් අංශයන් විගණකාධිපති තුමාගේ විගණනයට මීට පෙර ලක්වෙලා නෑ. ඒ නිසා අපි කල්පනා කළා, මුදල් භාවිතය පිළිබඳ පාරදුෂ්‍යභාවය මේ රටේ ජනතාව දැනගන්න අවශ්‍යයි. ඒ සඳහා මම හිටපු විගණකාධිපති තුමා වික්‍රමරත්න මහත්මයාව ගෙන්නලා ඉල්ලා සිටියා මේ වන විට 8වන පාර්ලිමේන්තුවත් 9වන පාර්ලිමේන්වත් මට සම්පූර්ණ විගණනයක් කරලා දෙන්න කියලා. එතනදී අපිට ජනතාවට කියන්න පුළුවන් ජනතාවගේ  මුදල්, පාර්ලිමේන්තුව සඳහා යොදවන මුදල්වල භාවිතයන් පිළිබඳව මේ රටේ ජනතාවට දැන ගැනීමට අයිතියක් තියෙනවා. ඒ සඳහා තමයි අපි පාර්ලිමේන්තුව විගණනයකට ලක් කරන්නේ. ඉදිරියේදී 10 වන පාර්ලාමේන්තුවටත් ඒ විගණනය කරන්න බලාපොරොත්තු වෙනවා. 

මාස 6ක් පමණ වෙනවා මේ ගැන විගණකාධිපතිට කියලා විගණනය කරන්න කියලා. මේ ළඟදිත් අපේ අලුත් විගණකාධිපති තුමිය ජයරත්න මැතිනියට මම කිව්වා හැකි ඉක්මනින් ඒ වාර්තාව ලබා දේන්න කියලා. එතුමියත් පොරොන්දු වුණා මාසයක් වගේ කාලයක් අතුලත දී 8වන පාර්ලිමේන්තුවේත්, 9වන පාර්ලිමේන්තුවෙත් එම විගණන  වාර්තා පාර්ලිමේන්තුවට ලබාදෙනවා කියලා.”

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ දිනවන්නා පරීශ්‍රයේ ස්ථාපිත කර අදට වසර 44ක් සැපිරීම නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගය වැදපුදා ගැනීම සඳහා කාථානායකවරයා අද එක්විය.

පසුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතා අද පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබාගගෙන තිබුණි.

දික්ඔය බස් අනතුරෙන් එක් අයෙකු ජීවිතක්ෂයට…..

හැටන් – දික්ඔය ප්‍රධාන මාර්ගයේ, බඩල්ගල ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී අද (29) පස්වරුවේ සිදුවූ අනතුරෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 70ක් වූ හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 40ක් පමණ ගමන්කර තිබේ.

එහිදී රියැදුරු ඇතුළු 34 දෙනෙකු තුවාල ලබා දික්ඔය රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇත.

පොලීසිය සඳහන් කළේ තුවාලකරුවන් අතර පිරිමි පුද්ගලයින් 17ක්, කාන්තාවන් 14ක්, අවුරුදු 12 පිරිමි ළමයෙකු හා අවුරුදු 4 ගැහැණු දරුවෙකු සිටින බවය.

ඉන් බරපතළ තත්ත්වයේ පසුවන එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහල වෙත යොමු කර ඇත.

අනතුරට ලක්වූ බස් රථය, තවත් බස් රථයකට ඉඩදීමට යෑමේදී එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 35ක් පමණ ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදුවිය.

වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින්ට වැඩ වරදියි…..

සම්මන්ත්‍රණයක් සඳහා පැමිණ නාරාහේන්පිට පෞද්ගලික හෝටලයක නවාතැන්ගෙන සිටි වෛද්‍යවරියන් කිහිපදෙනෙකු නාන කාමර තුළ දිය නාමින් සිටියදී, ජංගම දුරකථන මගින් රූගත කළ බවට සැකපිට තරුණයක් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු බව නාරාහේන්පිට පොලීසිය පැවසීය.

ඔවුන් මෙලෙස පිරිමි පුද්ගලයින්ගේ වීඩියෝ දර්ශනද ලබාගෙන ඇති අතර, එලෙස ලබාගන්නා දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇත්ද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවද සඳහන් කළේය.

අදාළ තරුණයින් දෙදෙනා අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

ලෝක සාමය අරමුණු කරගත් ඒහිපස්සිකෝ සාම පාගමන අවසන් වෙයි……

ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු “එහිපස්සිකෝ” සාම පාගමනේ සමාප්ති රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.

“චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය” යන බුදුරජාණන් වහන්සේගේ දේශනාව පදනම් කරගනිමින් කරුණාවේ සහ මෛත්‍රීයේ පණිවිඩය රැගෙන වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු විදෙස් භික්ෂුන්වහන්සේ දොළොස් නමකගේ සහභාගිත්වයෙන් පසුගිය 22 වනදා දඹුල් රජමහා විහාරස්ථානය අසළින් ආරම්භ කෙරුණු සාමයේ පා ගමන කි.මි 210කට වැඩි දුරක් ගෙවා අද (28) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ළඟා විය.

මෙහිදී ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ සහ ජය ශ්‍රී මහා බෝධි ශාඛාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල වශයෙන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ  වෙත භාරදීම සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ඇතුළු කණ්ඩායම මෙරට සිදු කළ පාද චාරිකාව අප රට තුළ නව ධර්ම උද්යෝගයක් නිර්මාණය කළ බවත්, එමෙන්ම  විනයධර සහ ධර්මධර ස්වාමීන්වහන්සේ කෙරෙහි මෙරට පොදු ජනතාව තුළ තිබෙන මහත් භක්තිය සහ ගෞරවය එමඟින් පෙන්නුම් කළ බවත්ය. උන්වහන්සේගේ දේශනාව වූ සතිමත් බව පුහුණු කරමින් සාමයේ දිවයින මනුෂ්‍යත්වයේ දිවයින බවට පත් කිරීමට කැපවෙමුයි සියලුදෙනාට ආරාධනා කළේය.

අද රට තුළ ඉදහිට සිදුවන ඇතැම් සිදුවීම් ආගමික ප්‍රබෝධය පිළිබඳ ජනතාව තුළ බිඳ වැටීමක් ඇති කරන බවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ආගමික සංස්ථාවන්හි ගෞරවය සහ වටිනාකමත්, ධර්මයේ හරයත් ආරක්ෂා කර ගැනීමට සියලු ආගමික නායකයන්ට මහඟු වගකීමක් පැවරී තිබෙන බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සෑම සහායක්ම ලබා දීමට රජය කටයුතු කරන බවත් සඳහන් කළේය.

මෙහිදි විශේෂ අනුශාසනාවක් සිදු කළ පූජ්‍ය මෙල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ සඳහන් කළේ අනාගතයේ කෙදිනක හෝ ඇමරිකාවේ බුදු දහම පිළිබඳ කතා කරන තැනක ලංකාවෙන් වැඩම කළ බෝධින් වහන්සේ සහ ධාතුන් වහන්සේ පිළිබඳ මෙම ඓතිහාසික අවස්ථාව සිහිපත් කරනු ඇති බවයි. එය ශ්‍රී ලාංකික ජාතිය ලෙස ඇමරිකාවේ බුදු දහම පිළිබඳ ආඩම්බර විය හැකි ඓතිහාසික අවස්ථාවක් බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

අපගේ ආරාධනාව පිළිගෙන ශ්‍රී ලංකාවට වැඩම කොට එම සාම මෙහෙවරේ යෙදීම පිළිබඳ මම පළමුකොටම අපේ පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ වෙත ස්තූතිය පිරිනමනවා. එමෙන්ම එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කළ පූජ්‍ය මෙල්පිටියේ විමලකිත්ති ස්වාමීන්වහන්සේ වෙත ස්තූතිය පිරිනැමිය යුතුයි.

සාමයේ වටිනාකම පිළිබඳව ශ්‍රී ලංකාවට බොහෝ අත්දැකීම් තිබෙනවා. අපි දිගුකාලීන යුද්ධයේ විනාශාකාරීත්වය පිළිබඳ ඉතා ඛේදනීය අත්දැකීම්වලින් යුත් පිරිසක්. එනම් සාමය කෙතරම් වැදගත්ද, ලෝක සාමය මොනතරම් කාර්යයක් ලෝකය වෙනුවෙන් ඉටු කරයිද කියන බලාපොරොත්තුව අපි සියලුදෙනා තුළ තිබෙනවා. ඒ සඳහා පඤ්ඤකර ස්වාමීන්වහන්සේ ඇතුළු ස්වාමීන්වහන්සේ දරන වෙහෙස පිළිබඳ අපේ කෘතඥතාව සහ ගෞරවය පුද කළයුතුයි.

ධර්ම පාද චාරිකා ශ්‍රී ලංකාවේ අපිට අලුත් දෙයක් නොවෙයි. එය අපේ සංස්කෘතියේම කොටසක්. බුදුරජාණන් වහන්සේ තමන්ගේ පළමු අග්‍ර ශ්‍රාවකයන්ට දේශනා කළේ “ චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” යනුවෙන්. මම හිතනවා එම බුදු වදන පෙරදැරි කරගනිමින් ලෝකය පුරා වෙසෙන අපේ ගරුතර මහා සංඝරත්නය වසර දහස් ගණනක් එම ධර්ම චාරිකාවේ පොදු ජන හිත සුව පිණිස වැඩම කර තිබෙනවා.

මහිදු මහා රහතන් වහන්සේගේ  ශ්‍රී ලංකාගමනය අපේ රටේ මහා සංස්කෘතියක් නිර්මාණය කිරීමට දායක වුණා. අනතුරුව අපි දන්නවා 17 වන සියවස පමණ වන විට අපේ උපසම්පදා භික්ෂුව අපිට අහිමි වී තිබුණා. ඒ නිසා නැවත ශාසනය පිහිටුවීමේ අභියෝගයට අපි මුහුණ දී තිබුණා. එහිදී අපේ සරණංකර සංඝරාජ මහා හිමියන්ගේ නායකත්වය සහ මැදිහත්වීම මත සියම් දේශයෙන් වැඩම කළ උපාලි නායක හිමිපාණන් වහන්සේ විසින් අපේ රටේ නැවත භික්ෂු ශාසනය ස්ථාපිත කළා. එය තායිලන්තයේ සිට සිදුකළ චාරිකාවේ ප්‍රතිඵලයක්. ඒ වගේම වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ විශාල ධර්ම චාරිකාවක නිරත වුණා. ධර්ම පොත් පත් ගවේෂණය කරමින්, සංඝයා වහන්සේ පිළිබඳ පැතිරි තිබු දුර්මත ඉවත් කරමින් පොදු ජනයා වෙත ධර්මයේ තිබෙන හරය ගෙන යාමට කටයුතු කළා. ඒ නිසා මේ චාරිකා සහ වැඩම කරවීම් පිළිබඳ අපිට දිගු ඉතිහාසයක් අපිට තිබෙනවා.

අපේ හාමුදුරුවන් වහන්සේලා ගම්, නියම්ගම් කරා අවුරුදු දෙදහසකට වැඩි කාලයක්, තමන්ගේ දෙපා ගෙවෙනවා නම් ගෙවෙන තරමට, තමන්ගේ හඩ වියැකි යනවා නම් වියැකෙන තරමට දේශනා කරමින් ධර්ම චාරිකාවේ යෙදුණා. මම හිතනවා අපේ පඤ්ඤාකාර ස්වාමීන්වහන්සේ ඇතුළු කණ්ඩායමේ මෙම පාද චාරිකාව අප රට තුළ අලුත් ධර්ම උද්යෝගයක් නිර්මාණය කළා. විනයධර සහ ධර්මධර ස්වාමීන්වහන්සේ කෙරෙහි අපේ පොදු ජනතාව පිළිබඳ මොනතරම් භක්තියක් සහ විශ්වාසය තිබෙනවාද කියලා මෙම චාරිකාවෙන් සනාථ වුණා. බෞද්ධ ජනතාව ඉතා පිබිදීමකින් මඟ දෙපස රැදි සිටිමින් උන්වහන්සේ කෙරෙහි තමන්ගේ ගෞරවය සහ  ආදරය ප්‍රකාශයට පත් කරන අයුරු අපි දුටුවා. එය බුදු දහමේ විමුක්තියේ හරය පොදු ජනතාව තුළ කා වැද්දීමට විශාල ව්‍යායාමයක් වුණා කියලා අපි විශ්වාස කරනවා.

අපේ රටේ ඉතිහාසය දෙස බැලුවොත් ආර්ථික සමෘද්ධිය අත්පත් කරගත් සෑම අවස්ථාවකම ආගමික ප්‍රබෝධය අත්පත්කරගෙන තිබෙනවා. ආගමික ප්‍රබෝධය බිඳ වැටුණු සෑම අවස්ථාවකම ආර්ථිකය සහ සමාජය බිඳ වැටී තිබෙනවා. ඒ නිසා අපේ ආර්ථිකය,  සමාජය උසස් ලෙස වර්ධනය කරවා නම් ඒ හා සමාන ලෙස නව ආගමික ප්‍රබෝධයක් අවශ්‍යයි.

අද අපිට දකින්න තිබෙන දේ, විශාල පරිමාවෙන් නොවුණත් ඉදහිට සිදුවන සිදුවීම් අපේ ආගමික ප්‍රබෝධය පිළිබඳ ජනතාව තුළ බිඳ වැටීමක් ඇති කරනවා. ඒ නිසා විශේෂයෙන් අපේ සියලුම ආගමික නායකයන්ට එම ආගමික සංස්ථාවන්වල ගෞරවය සහ වටිනාකම, ඓතිහාසික උරුමය, ධර්මයේ හරය මේ සියල්ල ආරක්ෂා කර ගැනීමේ වගකීම තිබෙනවා. රජයක් ලෙස අපි ඒ වෙනුවෙන් ලබා දිය හැකි සෑම සහායක්ම ලබා දීමට සූදානම්.

අපේ රට නිවුණු රටක්, ගැටුම් නොමැති රටක් බවට පත් කර ගැනීමට නම් නීතිය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපි ඇතිතරම් පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය කර තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන ස්ථාපිත කර තිබෙනවා. ඒ ආයතන සඳහා පහසුකම් සපයා දී තිබෙනවා. හැබැයි රට දැහැමි වී තිබෙනවද?  නීතිගරුක වී තිබෙනවද? අපි විශ්වාස කරනවා රට දැහැමි සහ නීතිගරුක කිරීමේදී අපේ ආගමික සංස්ථාවන්වලට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා.

අපේ රට සංවර්ධනය සහ සාමකාමී සමාජයක් කරා ගෙන  යන ගමනේදී  ආගමික ප්‍රබෝධයක සහ ආගමට නැඹුරු වූ සමාජයක් අවශ්‍ය වී තිබෙනවා. ඒ සඳහා එක්වන ලෙස මම සියලුදෙනාට ආරාධනා කරනවා. සාමය පිළිබඳ කතිකාවේදී අපේ රට ලෝකයට විශාල උදාහරණ ලබා දිය හැකි භූමියක්. යුද ගැටුම්, එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය අවිශ්වාසය ගොඩනැගී තිබුණා. නමුත් අපි රටක් ලෙස ක්‍රමානූකූලව එකිනෙකා අතර වෛරය ක්‍රෝධය. අවිශ්වාසය සමනය කර ගනිමින් සාමකාමී රාජ්‍යයක් සහ එකිනෙකාගේ සංස්කෘතින්වලට ගරුකරන සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර රැසක් අත්පත් කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වගේම ලෝකය පුරා බහුතර ජනතාවගේ අපේක්ෂාව සාමයයි. බහුතර ජනතාව සාමය අපේක්ෂා කර තිබියදී ගැටුම් ඇතිවන්නේ කෙසේද, මේ මොහොතේත් ලෝකයේ රාජ්‍යයන් ගණනාවක යුද්ධය පැතිරී තිබෙනවා. අපි සිතුවොත් තාවකාලිකව යුද්ධයේ ජයග්‍රාහී පාර්ශ්වයක් සිටිනවා කියලා,  යුද්ධය තාවකාලීකව ජයග්‍රහණය කළ රටක් පවා කියන්නේ අපිට අවශ්‍ය සාමය කියලයි. එයයි යථාර්ථය. හැබැයි  පොදු ජනයා සාමය කෙරෙහි විශ්වාස තබා තිබියදී ඇයි යුද්ධය ඇති වන්නේ. එක පැත්තකින් සාමය ගැන පොදු ජනතාව අපේක්ෂා තබන අතරම, යුද්ධය පිළිබඳ බලඅධිකාරීන් විශ්වාස කරනවා.

සැකයෙන්, අවිශ්වාසයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් තොර රාජ්‍යයක් ජන සමාජයක් පොදු ජනතාව අපේක්ෂා කරන අතර අන්තවාදීන්, කුමන්ත්‍රණකරුවන් අසමගියේ සහ ජාතිවාදයේ ගැටුම් අපේක්ෂා කරනවා. එනම් සාමයට ලැදි මහා ජනතාවක් අභිබවා අතළොස්සක් යුද්ධයේ න්‍යාය පත්‍රය අතට ගෙන මෙහෙයවමින් සිටිනවා. ඒ නිසා අපේ මාතෘ භූමියත්, ලෝකයත් බහුජනයා අපේක්ෂා කරන සාමයේ මාවතට අවතීර්ණ විය යුතුයි.

අපේ පඤ්ඥාකාර ස්වාමීන්වහන්සේත්, අපිත් මේ ව්‍යසනය දකිනවා. මේ ව්‍යසනය ඇතිවීමට හේතුව ලෙස උන්වහන්සේ දේශනා කරනවා සතිය අහිමි වීම. සම්මා සතියේ පිහිටුවා කටයුතු කිරීමට අසමත්වීම. ඒ නිසා උන්වහන්සේගේ දේශනාවන්හි හරය වන්නේ සම්මා සතියේ පිහිටුවා කටයුතු කිරීමයි. ඒ සඳහා අපි සියලු දෙනා සමත් වුවහොත් කවර පීඩාවක් මධ්‍යයේ හෝ කවර තර්ජන හෝ අවදානම් මධ්‍යයේ වුවද මිනිසුන් ලෙස  සම්මා සතියෙන් කටයුතු කිරීමට සූදානම් නම් අපිට හොඳම දේ කරන්න පුළුවන්. සාමයේදී පළමුවෙන්ම උඩට එන්නේ මනුෂ්‍යත්වයයි. යුද්ධයේදි පළමුව මිය යන්නේ මනුෂ්‍යත්වයයි. ඒ නිසා යළි මනුෂ්‍යයන් ලෙස සම්මා සතියෙන් යුතුව කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගත යුතුව තිබෙනවා. එම සම්මා සතිය පිළිබඳ අලුත් කථිකාවක් පඤ්ඤාකාර ස්වාමීන්වහන්සේ අපේ රට තුළ ආරම්භ කර තිබෙනවා. මම උන්වහන්සේට අපේ කෘතඥතාව පිරිනමනවා.

මේ රට තමයි ලෝකයේ සාමයේ දිවයින. අපි උත්සාහ කරමින් සිටිනවා මේ රට ලෝකයේ ආදර්ශමත් දිවයින බවට පත් කිරීමට. ධනය, යන්ත්‍රසූත්‍රවලින් අපිට අංක එකට පත්විය නොහැකි වුවත් මනුෂ්‍යත්වයෙන් ලෝකයේ අංක එක බවට පත් විය හැකියි. ඒ සදහා අපේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් නිරන්තරයෙන් සිදු කරන දේශනා ඉවහල් වෙනවා. ඒ තුළින් අපි සාමයේ දිවයින මනුෂ්‍යත්වයේ දිවයින බවට පත්කරමු’යි සියලුදෙනාට ආරාධනා කරමින් අපේ පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නැවත ස්තූතිය පුද කරනවා.

මෙහි ප්‍රධාන අනුශාසනාව  සිදු කළ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ

අද දින අප සැම එක්ව සිටින්නේ සාමය උදෙසා ශ්‍රී ලංකාවේ පැවැත් වූ මෙම පාගමන සාර්ථකව නිමා කරන අවස්ථාවටයි. මෙය හුදෙක් ඔබේ දේශය හරහා ‌භෞතිකව ගිය ගමනක් පමණක් නොවේ. එය එක් හදවතක සිට තවත් හදවතකට බැඳුණු සම්බන්ධතාවයක්. පියවරෙන් පියවර, නගරයෙන් නගරය පසු කරද්දී, ශ්‍රී ලංකාව තුළ ජීවමානව පවතින මෛත්‍රියේ සහ දයාවේ ප්‍රබලත්වය අපි අත්දැක්කෙමු.

අපි වර්ෂාව මැද ඇවිද ගියෙමු, දැඩි හිරු රශ්මිය මැද ඇවිද ගියෙමු, ශරීරයට මෙන්ම මනසටද අභියෝගයක් වූ රළු තාර පාරවල් මත පාවහන් රහිතව ඇවිද ගියෙමු. එහෙත්, සෑම දුෂ්කරතාවකදීම මේ සුන්දර රටේ ජනතාව අප නොසලකා හැරියේ නැත.  ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ දයාවෙනි.

අපගේ මාවත සුවපහසු කිරීමටත්, වේදනාව සමනය කිරීමටත් පාරවල් පුරා ජලය ඉස, කෙසෙල් කොළ සහ මල් ඇතිරිලි අතුරා තිබිණි.

ඔබ පෙන්වූ ගෞරවය, මුවඟ රැඳි සිනහව සහ විවෘතව ලබාදුන් රැකවරණය සැබෑ ශක්තිය කුමක්දැයි පෙන්වා දෙයි. සාමකාමී ජාතියක් යනු මෙවැන්නකි. මේ වෙනුවෙන් මගේත්, සාම පා ගමන් කණ්ඩායමේත්, මෙම ගමන අත්වින්ද සැමගේත් හෘදයාංගම ස්තූතිය පුද කරමි.

අද දින මම ඉතා වැදගත් කරුණක් සිහිපත් කිරීමට කැමැත්තෙමි. අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙකුට සාමකාමීව ජීවත්වන ආකාරය පමණක් නොව, ජාතියක් ලෙස සාමය ස්ථාපිත කර පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් මඟ පෙන්වා ඇත.

සමාජයක සහජීවනය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන ගුණාංග හතක් පවතී. ඒවා අතීතයේ දේශනා කළද අදටත් ඉතාමත් වලංගු වේ.

පළමුව,  සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා නිවැරදි සහ වැදගත් දෑ පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතියක් නිරන්තරයෙන් සාමූහිකව රැස්විය යුතුය. ප්‍රඥාවෙන් සහ අවබෝධයෙන් යුතුව සන්නිවේදනය කිරීම නැවැත්වූ විට බෙදීම් ආරම්භ වේ.

දෙවනුව, එසේ රැස්වන විට සමගි සම්පන්නව රැස්විය යුතුය. සමගියෙන් කටයුතු කළ යුතුය. සමගියෙන් විසිර යා යුතුය. රැස්වීම පමණක් ප්‍රමාණවත් නොවේ; අප එකිනෙකාට සලකන ආකාරයද  වැදගත් වේ.

තෙවනුව, සාමකාමී ජාතියක් යුක්තියට සහ සදාචාර මූලධර්මයට ගරු කළ යුතුය. ආවේගශීලී හෝ කිසිදු ජීවියෙකුට  හානිකරන  ක්‍රියා මගින් අක්‍රමිකතා ඇති නොකළ යුතුය.

සිව්වනුව, ජීවන අත්දැකීම් සහ ප්‍රඥාව ඇති වැඩිහිටියන්ට ගරු කළ යුතුය. වැඩිහිටියන් නොසලකා හරින සමාජයක වටිනාකම් ගිලිහී යයි.

පස්වනුව, කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කළ යුතුය. ආරක්ෂාව සහ ගෞරවය ඇති තැන ස්ථාවරභාවය සහ වර්ධනය පවතී.

සයවනුව, ආධ්‍යාත්මික සහ සංස්කෘතික වටිනාකම් සුරැකිය යුතුය. පූජනීය ස්ථාන, සම්ප්‍රදායන් සහ ඉගැන්වීම් ජාතියක අනන්‍යතාවේ නැංගුරම් වැනිය.

සත්වනුව,  සාරධාර්මික ජීවිතයක් ගත කරන අයට ජාතියක් ගරු කළ යුතුය. මන්ද, ගුණවත් පුරවැසියන් යනු සමාජයක නිදහස, ස්ථාවරත්වය සහ සදාචාරය පවත්වා ගැනීමේ පදනමයි.

මෙම ගුණාංග සුරකින්නේ නම්, සාමය යනු අප හඹා යා යුතු දෙයක් නොවේ. එය අප ස්වභාවිකවම අත්විඳින දෙයක් බවට පත් වේ.

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 සම්බන්ධව සිද්ධියේ නිලධාරීන් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්……

මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ඕස්ටේලියානු රජයට අයත් ආයතනයකට ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනික පාර්ශවයක් අතට බැරවීම සම්බන්ධයෙන් අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුල්වරට අධිකරණයට කරුණු වාර්තා කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ ප්‍රශ්නගත ගෙවීම සම්බන්ධයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ
e-mail පද්ධතිය භාර සමාගම පෙර අනතුරු ඇඟවීමක් සිදුකර තිබියදීත්, පසු විපරමකින් තොරව මෙම මුදල් බැහැරකිරීම සිදුකර ඇති බවය.

ඒ අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන් 05 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.

මෙරට මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිදූවීම සම්බන්ධයෙන් ආන්දෝලනයක් නිර්මාණයවී ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අද මුල්වරට ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළේය.

සිදුකෙරෙමින් පවතින විමර්ශනය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතාට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියා ඉල්ලා සිටියේ මෙම විමර්ශනය සංවේදී, සූක්ෂ්ම කරුණු ඇතුළත් ක්‍රියාවලියක් වන බැවින් ඊට අදාළව අධිකරණයට ඉදිරිපත් කරන පිටු 27කින් යුතු වාර්තාව අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා සතු ආරක්ෂක සේප්පුවෙහි තැන්පත් කරන ලෙසය.

වැඩිදුර වාර්තාවේ විවෘත අධිකරණයේ සඳහන් කරන කරුණුවලට අමතර සංවේදී සියුම් කරුණු ඇතුළත් බැවින් ඒ පිළිබඳ මහේස්ත්‍රාත්වරයාගේ අවධානය යොමුකරන ලෙසද විමර්ශන නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

“ස්වාමිනි, ශ්‍රී ලංකා මහබැංකුවට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් ව්‍යාජ e-mail ලිපිනයක් හරහා වංචනික පිරිසකට බැහැර කිරීම සම්බන්ධයෙන් 2026 මාර්තු 24 ලද පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය සිදුකරනවා. ස්වාමිනි, විවිධ කටයුතුවලට අදාළව මෙරට ක්‍රියාත්මක වූ ව්‍යාපෘති 05ක් සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ඔස්ට්‍රේලියානු රජයෙන් මෙරටට ණය ආධාර ලැබී තිබෙනවා. පසුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය හරහා එම ණය ගෙවීම සිදුකරමින් සිට තිබෙනවා. එහිදී ඔස්ට්‍රේලියානු රජයේ Export finance australia නැමැති ආයතනයට සිදුකරන ලද ගෙවීමක් සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්න සහගත තත්ත්වය ඇතිවී තිබෙන්නේ. ගනුදෙනු සිදුවෙමින් පවතින එක් අවස්ථාවකදී අදාළ සමාගමේ e-mail ලිපිනයට සමාන e-mail ලිපිනයකින් ගෙවීම්වලට අදාළ ඉන්වොයිසය ඇවිල්ලා තියෙනවා. මෙහිදි මුදල් ගෙවීම සිදුකළ යුතු ආයතනයේ Domain එක කුඩා වෙනසකට තමයි ලක්වෙලා තියෙන්නේ. නිවැරදි domain එක ඕස්ට්‍රේලියානු රජයට අයත් “exportfinance.gov.au” වෙද්දි, ව්‍යාජ domain එක “exportfinance.av.com” නමින් වාණිජ අරමුණක් සහිත domain එකක් ලෙස වෙනස්කර තිබෙනවා. එසේ තිබියදී පසු විපරමක් නොකර මුදල් බැර කිරීමකුයි සිදුවී තිබෙන්නේ.”

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරියා මෙම වංචනික සිදුවීමේදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ e-mail පද්ධතියට අනවසර ප්‍රවේශයක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන්ද අධිකරණයට කරුණු දක්වනු ලැබීය.

“ස්වාමිනි අපි මේ වෙද්දි ප්‍රශ්නගත e-mail ලිපිනවලට අදාළ පද්ධතිය පවත්වාගෙනයාම භාරව කටයුතු කළ ශ්‍රී ලංකා සමාගම වූ “එනෙබල්” නැමැති සමාගමින් Server login පරික්ෂා කරමින් කරමින් ඉන්නේ. එම පද්ධතියට අනවසර ප්‍රවේශයක් සිදුවී ඇති බවක් දැනට අනාවරණය වී නැහැ. සාමාන්‍යයෙන් මේ පද්ධතිය හරහා දිනකට e-mail 15,000ක් පමණ හුවමාරු වෙනවා. ඒ නිසාම එවැනි අනවසර ප්‍රවේශයක් සිදු වූයේද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවෙමින් තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 162, 386, 396, 399 සහ 400 වගන්ති යටතේත්, පරිගණක අපරාධ පනත හා පොදු දේපළ පනත යටතේත් වැරදි සිදුවී ඇති බව දැනට අනාවරණය වී තිබෙනවා.”

මෙහිදි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේ මෙම සිදුවීමේදී චේතනාන්විතව, සාපරාධි මනස සහිතව අපරාධයක් සිදුවූ බවට කරුණු අනාවරණය වී ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු දුන් විමර්ශන නිලධාරියා,

“ස්වාමිනි, ව්‍යාජ ලෙස domain එක වෙනස්වීම පිළිබඳ 2025.10.28 දින e-mail ලිපිනවලට අදාළ පද්ධතිය පවත්වාගෙනයාම භාරව කටයුතු කළ සමාගම දැනුවත් කිරීමක් කර තිබෙනවා.” යැයි සඳහන් කළේය.

එහිදි මහේස්ත්‍රාත්වරයා පෙරළා ප්‍රශ්නකර සිටියේ මුදල් මුදාහැරීම සිදුකර ඇත්තේ එම අනතුරු ඇඟවීමට පෙරද, පසුවද යන්නයි.

ඊට පිළිතුරු දුන් විමර්ශන නිලධාරියා සඳහන් කළේ අදාළ අනතුරු ඇඟවීම සිදුකිරීමෙන් පසු මුදල මුදාහැරීම සිදුකර ඇති බවයි.

e-mail හුවමාරු කරගැනීම හැර මුදල් බැරකිරීමට පෙර වෙනත් තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් භාවිතා කර ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරියාගෙන් විමසීය.

එහිදි විමර්ශන නිලධාරියා කියාසිටියේ “සාමාන්‍යයෙන් මෙම ගනුදෙනු හා තහවුරු කරගැනීම් සිදුවන්නේ e-mail පණිවුඩ හරහායි. අනතුරු ඇඟවීමෙන් පසු, පියවරක් ගත් බව දැනට පෙනීයන්නේ නැහැ. නමුත් ගනුදෙනුව සිදුවන නිශ්චිත මොහොතේ නිවැරදි e-mail ලිපිනයෙන්ද පණිවුඩයක් ඇවිල්ලා තියෙනවා. එබැවින් තවදුරටත් Server login අපි පරික්ෂා කරමින් ඉන්නවා. අපේ පද්ධතියට වගේම ඕස්ට්‍රේලියාවේ අදාළ ආයතනයේ පද්ධතියටත් අනවසර ඇතුල්වීමක් සිදුවී තිබෙද යන්න විමර්ශනය කරනවා. මේ විමර්ශනයට මේ වෙද්දිත් Interpol එක සහ Australian Federal Police සහාය ලැබෙමින් තිබෙනවා.” 

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේ නීති කෘත්‍යයට අදාළව දැනට සැකකරුවන් නම්කර ඇත්ද යන්නයි.

එහිදි විමර්ශන නිලධාරියා මෙසේ පිළිතුරු දුන්නේය.

“දැනට සැකකරුවන් නම් කිරීමක් නැහැ ස්වාමිනි. නමුත් වැඩිදුර වාර්තාවේ දක්වා ඇති මේ e-mail ගනුදෙනුවලට සෘජුව සම්බන්ධ වූ පුද්ගලයින් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනම් පනවන ලෙස අපි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔවුන්ගේ බැංකු ගිණුම් තොරතුරු පරික්ෂා කිරීමට අවසර දෙමින් නියෝග නිකුත් කරන්න. ඒ වගේම මේ විමර්ශනය සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, රජයේ රස පරීක්ෂක, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන පීඨයේ නියෝජනය සහිත තාක්ෂණික කමිටුවක් පත්කරන ලෙස අප අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

එකී ඉල්ලීම්වලට අවසර ලබාදුන් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වැඩිදුර විමර්ශන සඳහා මෙසේ නියෝග කළේය.

“පළමුව මේ සිදුවීමේදී අපරාධයක් සිදුවී ඇත්දැයි සොයාබැලිය යුතුයි. එසේ වී ඇත්නම් එම අපරාධය සිදුකළේ කවුදැයි දෙවනුව සොයාබැලිය යුතුයි. ඒ වගේම මින් ඉදිරියට මෙවැනි සිදුවීම් වළක්වා රාජ්‍ය මුදල් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගැනීම අවශ්‍යයි. එම පියවර සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන්න.”

ඒ අනුව වැඩිදුර විමර්ශන ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුව ජුනි මස 03 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

මත්ද්‍රව්‍ය සමඟ කොටුවූ චීවරධාරීන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවෙයි……

රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු චීවරධාරීන් විසි දෙදෙනා අතරින් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදුකළ පරීක්ෂණයකදී හෙළිවී තිබේ.

තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් විසි දෙදෙනෙකු අප්‍රෙල් 25 වැනිදා  මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණේ “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමගින්ය.

ඒ අනුව සැකකාර චීවරධාරීන් පිරිස මේවන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ රඳවාගෙන ප්‍රශ්න කර අතර ඊයේ දිනයේදී ඔවුන්ව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකළේය.

එහිදී අනාවරණය වී ඇත්තේ, ඉන් 19 දෙනෙකු ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවය.

මෙහිදී අත්අඩංගුවට පත් වූ ජඹුරලිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවිසූ චීවරධාරීන් තිදෙනා පමණක් මින් පෙර තායිලන්තයේ සංචාරයක නිරතව ඇති බවත් එහිදී ඔවුන් ඇතුළුව චීවරධාරීන් 12 දෙනෙකු පමණක් ඒ සඳහා එක් ව ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.

එම අවස්ථාවේදී ඔවුන් විසින් රැගෙන ආ බව පැවසෙන මත්ද්‍රව්‍ය අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක සඟවා ඇති අතර ඒ අනුව එම නිවසේ හිමිකරුවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එළැඹෙන මැයි මාසයේදී තවත් චීවරධාරීන් 40 දෙනෙකු පමණ රැගෙන ඔවුන් තායිලන්තයේ සංචාරයක් සඳහා යෑමට සූදානමින් සිට ඇති බව වාර්තා වෙයි.

මෙරට සිට මෙම ජාලය මෙහෙය වූ බව කියන ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනුලැබූ අමිතාන්ද නම් චීවරධාරියා විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට පත් වූ දින අදාළ මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑම සඳහා ගුවන්තොටුපලට පැමිණියත් , අනෙක් පිරිස අත්අඩංගුවට පත් වූ පසු එම ස්ථානයෙන් පලාගොස් ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීත් යම්කිසි මත්ද්‍රව්‍යයක් පානය කර සිට ඇති බව වාර්තා වෙයි.

මේ අතර මෙම ජාවාරම මෙරට සිටින ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකරන බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඒ අතරින් අයෙක් ‘හාජි’ නම් නමකින් හැඳින්වෙන පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සෘජු අධීක්ෂණයෙන් නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකය.

මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්….

විෂ මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී භික්ෂුන් පිරිසක් අත්අඩංගුවට පත්වීම සහ ඊට අදාළ විමර්ශන මෙන්ම, ඒ හමුවේ මතු වී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මේ වන විට විෂ මත්ද්‍රව්‍ය උවදුර ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබීම මෙම සිදුවීම සමඟ මනාව තහවුරු වන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එබැවින් විෂ මත්ද්‍රව්‍යවලට එරෙහිව රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සමඟ සියලු දෙනා වඩා ශක්තිමත්ව අත්වැල් බැඳ ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

රට ආර්ථික සහ සමාජයීය වශයෙන් නව පරිවර්තනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළෙහිදී සම්බුද්ධ සසුන සහ ඒ සමඟ ගොඩනැඟී ඇති හර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාව ලබා දී කටයුතු කිරීම රජයේ අභිප්‍රාය බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මුළු මහත් සමාජයම කම්පාවට පත් කරමින් සිදු වූ මෙම සිදුවීමට අදාළව මතුවී ඇති තත්ත්වය සහ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ මෙහිදි පොලිස්පතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

මෙම සිදුවීමට අදාළව මහානායක හිමිවරු මේ වන විටත් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර, එය සමස්ත සංඝ සමාජයේ පණිවිඩය ලෙස සලකා කටයුතු කරන ලෙස මෙහිදී මහා සංඝරත්නය රජයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

එමෙන්ම, වත්මන් ප්‍රවණතා සමඟ සංඝ සමාජය ආරක්ෂා කර ගැනීම භික්ෂු වහන්සේට පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා රජයේ සහාය අවශ්‍ය බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර මෙන්ම විහාර දේවාලගම් පනත ආදී පනත් සංශෝධනය සහ නෛතික ප්‍රතිපාදනවල සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද, ඓතිහාසික සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය පහමුනේ ශ්‍රී සුමංගල,  පූජ්‍ය මහවෙල ශ්‍රී රතනපාල, පූජ්‍ය වෙලගෙදර ශ්‍රී සුමනජෝති , පූජ්‍ය ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද , පූජ්‍ය ආචාර්ය මුරුද්දෙණිය ශ්‍රී ධම්මරතන, පූජ්‍ය අත්තංගනේ රතනපාල, පූජ්‍ය අත්තංගනේ ශාසනරතන , පූජ්‍ය සුහදගම අනුරුද්ධ , ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරිසීවලී, නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය අහංගම මෛත්‍රීමූර්ති යන ස්වාමීන්වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහජන  ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, නීතිපති පාරින්ද රණසිංහ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් සහ ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පිරිවෙන් අධ්‍යාපනය හරහා සමාජයට නායකත්වය දිය හැකි පිරිසක් නිර්මාණය කළ යුතු බව අගමැතිනිය කියයි…..

පිරිවෙන් අධ්‍යාපනය හරහා සමාජයට නායකත්වයක් දිය හැකි පිරිසක් නිර්මාණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය සඳහන් කරනුයේ බුද්ධ ධර්මය තුළ ඇති වටිනාකම් සහ දැනුම පිරිවෙන් තුළ අධ්‍යාපනය ලබන ස්වාමින් වහන්සේලාට හා ගිහි සිසුන්ට ලබා දිය හැකි, නායකත්ව ගුණාංගයන්ගෙන් පිරි ආචාර්යවරුන් ද පිරිවෙන් පද්ධතියට අවශ්‍ය බවය.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ භික්ෂුන් වහන්සේලා හා ගිහි පිරිවෙන් ආචාර්යවරුන් 148 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීම සඳහා අද (28) දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති උත්සවයට එක් වෙමිනි.

මෙහිදී පැවිදි ආචාර්යවරු 101 දෙනෙක් සහ ගිහි ආචාර්යවරු 47 දෙනෙක් නව පත්වීම් ලැබූහ.

මෙහිදී අග්‍රමාත්‍යවරිය පැවසුවේ අභියෝග ගණනාවක් පවතින බවත් වත්මන් ලෝකය තුළ වගකීම් භාරගත හැකි බෞද්ධ ධර්මයේ ඇති වටිනාකම් ඉගෙනීමට සේම ඒවා ජීවිතය තුළ භාවිතයට ගන්නා පිරිසක්ද අවශ්‍ය වන බවය.

ඒ අනුව රටේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය එම පිරිස නිර්මාණය කරවීමේ කාර්යභාරය අද දිනයේ සිට මෙම පත්වීම් ලැබූ පාර්ශ්වයන්ට පැවරෙන බවත් එම පිරිස නිර්මාණය කිරීමේ වගකීමද මේ සමග පැවරෙන බවද අග්‍රමාත්‍යවරිය සඳහන් කළාය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යයන අංශයේ නායක ස්වාමීන් වහන්සේලා මෙන් ම නිලධාරි මහත්ම මහත්මීන් ද සහභාගී වී සිටියහ.

විදුලි ගාස්තු දැමීමට අදාළ සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව PUCSL වෙත……

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ අරමුණින් යුතුව, සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව ජාතික පද්ධති පාලන (පෞද්) සමාගම විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම මෙම තීරණයට මූලික හේතුව වී ඇති බව වාර්තා වේ.

ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි….

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබේ.

අද (28) පස්වරුවේ පැවැති විධායක කමිටු රැස්වීමකදී ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වෙයි.

ශම්මි සිල්වා මහතා 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුල්වරට තේරී පත් වූ අතර ඔහු එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කළේය.

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඔහු ඇතුළු ක්‍රිකට් පරිපාලනයට විවිධ චෝදනා එල්ල වූ අතර එවන් පසුබිමක වත්මන් ක්‍රිකට් පරිපාලනයට ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ පාර්ශව දැනුම් දී ඇතැයි පසුගිය දිනක මාධ්‍ය වාර්තා පළවිය.

වර්තමානයේ දැඩි කතාබහට ලක්වන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමණාකරුවෙක් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඇතුළු පිරිසක් ආණ්ඩුවේ ඉහළම පාර්ශ්ව හමුවී වත්මන් ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.