මුහුදේ අඩුපීඩන කලාපය සුළිකුණාටුවක් වන ලකුණු…..

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කිරීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් අනාවැකි පළ කරන්නේ, මෙම පද්ධතිය හෙට (25) දිනයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඔක්තෝබර් 27 වැනිදා එනම් එළැඹෙන සඳුදා වනවිට සුළිකුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවටය.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ, පවතින වැසි තත්ත්වය ඔක්තෝබර් 28 වැනිදා දක්වා පවතිනු ඇති බවය.

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 16ක පුද්ගලයින් 20,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතියි.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු හතරක් තවදුරටත් විවෘතව පවතින අතර ඉන් තත්පරයට ඝණ අඩි 2,256 ජල ධාරිතාවක් කලාඔයට මුදාහැරේ.

එමෙන්ම කලාවැවේ වාන් දොරටු දෙක තවමත් අඩිය බැගින් විවෘතකර තැබීමෙන් කලාවැවෙන් කලා ඔයට තත්පරයට ඝණ අඩි 1,241 ජල ධාරිතාවක් මුදාහරින බව වාරි ඉංජිනේරුවන් පවසයි.

ඒ අනුව, කලා ඔයේ ජලය පිටාර ගැලීම හේතුවෙන් අවුකන සිට කැකිරාව මාර්ගය අවුකන විහාරස්ථානයට නුදුරින් දින කිහිපයක් තිස්සේ තවදුරටත් ජලයෙන් යටවී පවතියි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ වාර්තාවේ දැක්වුණේ කළු ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් ඒ අවට ජනතාව ගංවතුර පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවය.

මත් උවදුරට තවදුරටත් ඉඩ තබන්නේ නැහැ – ජනපති…..

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකට එක්වෙමිනි.

එහිදී ජනපතිවරයා සඳහන් කර ඇත්තේ දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කරගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටුකිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම ඒ හා බැදුණු අපරාධ කල්ලිවල මූල්‍ය බලය විසින් ආර්ථිකය, සමාජ දේහය, රාජ්‍ය යාන්ත්‍රණය සහ නීතියේ විධානයේ ආධිපත්‍ය පවා බිඳ වට්ටමින් රටත්, සමාජයත් විනාශ කරමින් ඇති බවද ජනපතිවරයා එහිදී පවසා තිබේ.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මෙම උවදුරට තවදුරටත් ඉඩ නොතැබීමට වත්මන් රජය තීරණය කර ඇති බවය.

රටම එකට ජාතික මෙහෙයුම සමාරම්භක උත්සවය ඔක්තෝබර් 30 වැනිදා පෙරවරු 10:00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

නවතම 2026 Sorento Hybrid හා ආකර්ෂණීය EV5 මාදිලි සමඟින් KIA දේශීය මෝටර් රථ ක්ෂේත්‍රයට නව අරුතක් ගෙන දෙයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රය නව යුගයක් කරා ගෙන යාමේ මාවත සකසමින් Kia Motors ලංකා සමාගම විසින් කොළඹදී පැවති මාධ්‍ය පෙර දැක්මකදී, 2026 Kia Sorento Hybrid සහ Kia EV5 සුවිශේෂී මාදිලි දෙක එකවර එළි දක්වන ලදී.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ආනයන තහනම ඉවත් කිරීමෙන් පසුව දේශීය වෙළඳපොළට Kia හි සුවිශේෂී ම හැඳින්වීම වන මෙම ද්විත්ව එළි දැක්වීම සිදුවන්නේ විද්‍යුත්කරණයේ රැල්ලකින් මෙම කර්මාන්තය නැවතත් ප්‍රතිනිර්මාණය වන අවස්ථාවේදීය. නවකයින් හා විද්‍යුත් විකල්ප නිෂ්පාදන පිරුණු වෙළඳපොළක, ප්‍රශංසනීය SUV නිෂ්පාදකයෙකුගේ සිට තිරසාර සංචලනයේ නව්‍යෝත්පාදකයෙකු දක්වා සන්නාමයේ පරිණාමය මූර්තිමත් කරන මෙම මෝටර් රථ වර්ග දෙක තුළ Kia උරුමයේ හා නව්‍යෝත්පාදනයේ වටිනාකම් මනාව මුසු වී ඇති බව සමාගම පවසයි.

“අද මෙම එළිදැක්වීම, ලෝක දෙකක් අතර පාලමක් වැනි ය. එය ශ්‍රී ලංකිකයින්ට හුරු පුරුදු විශ්වාසනීය Kia උරුමය සහ අප සමාගමේ ගෝලීය දිශානතිය නිර්වචනය කරන නිර්භීත වූත්, විද්‍යුත්කරණය වූත්, අනාගතය අතර සබැඳියාව මනාව සංකේතවත් කරයි. Sorento Hybrid රථය සන්නාමයේ වටිනාකම් ඉදිරියට ගෙන යන අතර EV5 රථය Kia හි පූර්ණ විද්‍යුත්කරණය කරා යන ගමනේ නව පරිච්ඡේදෙයක් අරඹයි,” යැයි Kia මෝටර්ස් (ලංකා) සමාගමේ සභාපති මහේන් තම්බයියා මහතා උත්සවය අමතමින් පැවසීය.

වෙළඳපලේ ඇති Kia අභ්‍යන්තර දහන එන්ජින් මාදිලි සහ Kia Motors විසින් දැනටමත් හඳුන්වා දී නව ඇති Sportage,Sorento  හා Carnival වාහනවලට අමතරව නව Hybrid මාදිලි තුනක් මෙන් ම EV9,EV6 සහ EV5 විද්‍යුත් වාහන වලට අමතරව 2026 දී නව විද්‍යුත් රථ මාදිලි තුනක් ද ඉදිරිපත් කරන බව ඔහු තවදුරටත් අනාවරණය කලේය.

ශ්‍රී ලංකාවේ උසස් ම SUV කාණ්ඩය වන ‘D’ කාණ්ඩයේ ජනප්‍රිය නාමයක් වන Kia Sorento, හැකියාව හා සුවපහසුව අතින් ප්‍රමුඛ පෙලේ යුරෝපීය හා ජපන් වෙළඳ නාම සමඟ තරඟ කරන අතර බහුකාර්ය, ඉහළ කාර්යසාධනයක් සහිත SUV රථයක් ලෙස එහි කීර්ති නාමය ගොඩනගාගෙන ඇත. පස්වන පරම්පරාවේ 2026 Sorento Hybrid (HEV) රථය මෙම උරුමය ඉදිරියට ම ගෙන යන අතර නිර්භීත පෙනුම, උසස් දෙමුහුන් තාක්ෂණය සහ කැපී පෙනෙන අභ්‍යන්තර සැලැස්ම යන සියල්ල ඒකාබද්ධ කරමින් බුද්ධිමත් මෙන් ම සහජ රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙයි.

එහි සංකීර්ණ ස්වරූපයේ සිට එහි දෙමුහුන් හදවත දක්වා 2026 Sorento Hybrid රථය රියදුරාට පහසු වන ලෙස සැකසූ නව්‍යෝත්පාදනයන් හා තිරසාර ක්‍රියාකාරීත්වය සඳහා Kia හි කැපවීම පිළිඹිඹු කරයි. එය නව යුගයක් වෙනුවෙන් පරිණාමය වූ ප්‍රතිනිර්මාණය කළ මූර්තියක් බඳු ය.

Sorento රථය සමඟින් එළිදක්වන Kia EV5 රථය ශ්‍රී ලංකාවේ වෙළඳපලට එම සන්නාමයේ පළමු විද්‍යුත් රථ මාදිලියේ හඳුන්වා දීම වන අතර එය Kia හි පූර්ණ විද්‍යුත්කරණ නිෂ්පාදනයේ අනාගතයට තබන එඩිතර පියවරකි.

බහුකාර්ය හැකියාව, උසස් තාක්ෂණය සහ ප්‍රමුඛ පෙලේ කාර්යක්ෂමතාව මනාව මුසු වූ නව පරම්පරාව සඳහා ම නිර්මාණය වූ සංයුක්ත SUV රථයක් ලෙස නම්කර ඇති EV5 රථය මගින් එදිනෙදා ගමනේ දී විද්‍යුත් රිය පැදවීම කෙතරම් අගනේ ද යන්න නැවතත් අර්ථ දක්වයි.

එහි කාර්යසාධන ලක්ෂණ එහි හැකියාවන් මනාව සනාථ කරයි. EV5 හි සම්මත මාදිලියේ 64kWh බැටරිය සහ 160kW මෝටරය මගින් එක් ආරෝපණයකට කිලෝමීටර 400ක් දක්වා පරාසයක් ලබා දෙන අතර දිගු දුර මාදිලියේ දී මෙය කිලෝමීටර 555 දක්වා වැඩි වේ.

“EV5  හුදෙක් Kia හි ගෝලීය විද්‍යුත් මාදිලි පෙළෙහි තවත් එක් නිෂ්පාදනයක් ම නො වේ,” යැයි තම්බයියා මහතා පැවසීය. “එමගින් නියෝජනය වන්නේ ධාවනය පිළිබඳව ඇති අපගේ දැක්මේ දිශානතිය යි. එනම් කාර්යක්ෂම, රියදුරුට ගැලපෙන සහ භාවාත්මක බව යන ගුණාංගයි. ශ්‍රී ලංකාවට EV5 මාදිලිය පැමිණීම එක් හඳුන්වා දීමක් නොවේ. එය Kia හි විද්‍යුත් අනාගතය මෙරටට පැමිණ ඇති බවට වන නිමිත්තකි.”

මෙම ද්විත්ව එළි දැක්වීම මගින් Kia මෝටර්ස් ලංකා සන්නාමයේ අතීතය සමඟ එහි විද්‍යුත් අනාගතය සම්බන්ධ කරයි. 2026 Sorento Hybrid රථය Kia හි බලවත් වූත්, ජනතා කේන්ද්‍රීය වූත් SUV රථවල උරුමය පිළිඹිඹු කරන අතර ම EV5 රථය බුද්ධිමත්, සම්බන්ධිත විද්‍යුත් ධාවනයේ නව යුගය නියෝජනය කරයි. සමස්තයක් ලෙස, ශ්‍රී ලංකික මෝටර් රථ හිමියන් හට විලාසිතාව, හරය සහ තිරසාරභාවය ඒකාබද්ධ වූ වාහන ලබා දීමට Kia හි ඇති දිගුකාලීන කැපවීම මෙම නව මාදිලි වලින් මනාව පෙන්නුම් කරයි.

එහි නිෂ්පාදනවල ගුණාත්මකභාවයවිශ්වසනීයත්වය සහ නව්යෝත්පාදනය පිළිබඳව සන්නාමයේ ආත්ම විශ්වාසය අවධාරණය කරමින් මාදිලි දෙක සඳහා ම Kia වෙතින් වසර පහක හෝ කිලෝමීටර 150,000  වගකීමක් (මෙයින් පළමු සිදුවීමටසහ EV5 බැටරියට වසර අටක වගකීමක් ලබා දෙයි.

බඹරු දෂ්ට කිරීමෙන් පසු බගවන්තලාව වතු සේවකයන් හය දෙනෙකු රෝහල් ගත කර ඇත.

බගවන්තලාව ඉරණිකාඩු සහ සෙන්විජයන්ස් වතුයායේ තේ දළු නෙලමින් සිටි
සේවකයින් හය දෙනෙකු බඹරෙකු දෂ්ට කිරීමෙන් පසු බගවන්තලාව දිස්ත්‍රික්
මූලිකරෝහලට ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසීය.
මෙම සිදුවීම 2025.10.24 වන සිකුරාදා පෙ.ව. 10.30 ට පමණ සිදු වූ බව
පොලිසිය අනාවරණය කරයි ,
බගවන්තලාව සෙන්විජයන්ස් වතුයායේ තේ දළු නෙලමින් සිටි සේවකයින්
සිව්දෙනෙකුට දෂ්ට කළ බඹරුන් ඉරණිකාඩු වතුයායේ රැකියාවේ යෙදී සිටි
සේවකයින්ට ද දෂ්ට කර ඇති බව වාර්තා වේ ,
කාන්තා සේවිකාවන් 05 දෙනෙකු සහ පිරිමි සේවකයෙකු 01 දෙනෙකු තුවාල
ලබා ඇති බව පොලිසිය තවදුරටත් පැවසීය.
තුවාල ලැබූ සේවකයින්ගෙන් හය දෙනෙකු රෝහලේ නේවාසිකව බගවන්තලාව
දිස්ත්‍රික් මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයන්
පැවසීය.

නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්

තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය…..

තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇතුන් දෙදෙනෙකු ආපසු ගෙන්වා ගැනීමට එරට රජයේ අවධානය යොමුව තිබේ.

තායිලන්ත රජය උපුටා දක්වමින් එරට මාධ්‍ය සඳහන් කර ඇත්තේ, ඔක්තෝබර් මස 28 වන දින ශ්‍රී ලංකා රජය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය.

ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන අයහපත් සැලකිල්ල හේතුවෙන් තායිලන්ත රජය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

2023 වසරේ දී ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට නැවත රැගෙන ගිය  Plai Sak Surin හෙවත්  ‘මුතුරාජා’ හස්තියා මෙරටින් රැගෙන යෑමට අනුගමනය කරන ලද ක්‍රියාවලියම මෙම ඇත්තු දෙදෙනා රැගෙන යෑමට භාවිත කිරීමට නියමිත බව ද වාර්තා වේ.

Plai Pratu Pha සහ Plai Srinarong යන නම්වලින් මෙම ඇත්තු දෙදෙනා හඳුන්වනු ලබයි.

ඉන් එක් ඇතෙකු වයස අවුරුදු 12 දී 1979 දී තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කරන ලද පළමු ඇත් පැටවා වන බව ද වාර්තා වේ.

පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීමට ගුරු-විදුහල්පති විරෝධය….

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය දැඩි විරෝධය පළ කරයි.

අද (24) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගුරු – විදුහල්පති සංගම් පැවසුවේ නොවැම්බර් 7 වනදාට පෙර පාසල් පැවැත්වීමේ කාලය සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් පාසල් වාරය ආරම්භ වූ වහාම එක්දින වර්ජනයකට අවතීර්ණ වන බවය.

රජයේ දන්ත වෛද්‍යවරුන් වැඩවර්ජනයකට සුදානමින්….

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන මස 06 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

වැලිගම සභාපති ඝාතනයේ විමර්ශනවල ප්‍රගතිය…..

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩිතැබූ වෙඩික්කරු සම්බන්ධයෙන් යම් යම් තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලීසිය පවසයි.

ඔහු බොහෝ දුරට ආරක්ෂක අංශයකින් පලාගිය අයෙකු බවට සැක කරන බවද පොලීසිය පැවසීය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්න වික්‍රමසේකර මහතාව පසුගිය බදාදා (22) ප්‍රාදේශීය සභාවේ සභාපති නිලමැදිරිය තුළදී වෙඩිතබා ඝාතනය කළේය.

මේ වනවිට සභාපතිවරයාගේ දේහය මිදිගම පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැම්පත් කර තිබේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකය.

පොලිස් කණ්ඩායම් 4ක් ඒ අනුව යොදවා ඇති අතර ඉන් 2ක් CCTV කැමරා පරීක්ෂා කිරීම සඳහා යොදවා ඇති බව පොලීසිය පවසයි.

මේ අතර අද (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් දුරකථන දත්ත ඔස්සේද විමර්ශන ක්‍රියාත්මක බවය.

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු සහ ඉෂාරාට ආධාර අනුබල දුන් 4ක් රිමාන්ඩ්….

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු තවදුරටත් නොවැම්බර් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

මේ අතර ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන්ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

බූස්ස බන්ධනාගාරයේ සිටින වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන් සූම් තාක්ෂණයේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය 07ක් රිමාන්ඩ්….

පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිස්පතිවරයා වෙත ලැබී තිබූ තොරතුරකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයකින් පසු මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40ත් 64ත් අතර වයස්වල පසුවන රත්මලාන, පන්නිපිටිය, ගල්නෑව, හෝකන්දර, පේරාදෙනිය හා කොළඹ 04 ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.