අල්ලස් කොමිසමට එන්නැයි කියූ පුවත ගැන මහින්ද පාර්ශ්වයෙන් ප්‍රකාශයක්……

එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙතෙක් කිසිදු නිල නොතීසියක් හෝ දැනුම්දීමක් ලැබී නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

අදාළ සිදුවීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින්, නීතිඥ මනෝජ් ගමගේ මහතා මේ බව සඳහන් කර ඇත.

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී ලැබීමට නියමිත අධිකරණ තීන්දු පිළිබඳව පූර්ව නිගමන ප්‍රකාශ කිරීම අධිකරණයට කරන අපහාසයක් සහ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක් ලෙස ද එම නිවේදනය මඟින් පෙන්වා දි තිබේ.

අල්ලස් කොමිසම රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කළද, වත්මන් රජයට එල්ල වී ඇති ගල්අඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචා වැනි බරපතළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ නොකිරීම ගැටලුවක් බවද නීතිඥ මනෝජ් ගමගේ මහතා අවධාරණය කර ඇත.

අල්ලස් කොමිසම කටයුතු කරන්නේ මහජන බදු මුදලින් මිස පාලකයන්ගේ මුදලින් නොවන බවත්, දේශපාලන දඩයම්වලට ප්‍රමුඛත්වය ලබා නොදී අනෙකුත් මහා පරිමාණ වංචා පිළිබඳවද ස්වාධීනව පරීක්ෂණ පවත්වන්න ලෙසත් අදාළ නිවේදනය මඟින් සඳහන් කර තිබේ.

එමෙන්ම රාජපක්ෂ පාර්ශ්වය මෙවැනි දේශපාලන කටයුතුවලට බිය නොවන බවත්, අවශ්‍ය අවස්ථාවලදී නීත්‍යානුකූලව ඒ සඳහා ප්‍රතිචාර දක්වන බවද නීතිඥ මනෝජ් ගමගේ මහතා වැඩිදුරටත් අදාළ නිවේදනයේ දක්වා ඇත.

ආහාර මිල ගණන්වල වෙනසක් නැහැ – ආපනශාලා හිමියන්ගේ සංගමය…..

ඉන්ධන මිල ඉහළ දැමුව ද ආහාර වර්ගවල මිල ගණන් වැඩි නොකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි.

කෙසේවෙතත් ගෑස් මිල ඉහළ ගියහොත් ආහාර මිල ගණන් සම්බන්ධයෙන් යළිත් සාකච්ඡා කිරීමට සිදුවන බව ද හෙතෙම අවධාරණය කළේය.

“ඉන්ධන මිල වැඩිවුණේ, රුපියල් 12ත්, 15ත් කියන සුළු මුදලකින්. ඒ නිසා අපිට ආහාර පාන මිල වැඩි කිරීමක් සිදු කරන්න බැහැ. ඇත්තටම මේක අපිට පිරිවැයක් කරගන්න බැහැ. ඒ නිසා ආහාර මිල වැඩි කිරීමක් සිදුවෙන්නේ නැහැ. ආහාර මිල වැඩි කරන්න එපා කියලා ආපනශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි අවස්ථාවලදී මහජනතාවට පීඩා වන අයුරින් වැඩි මිලට ආහාර අලෙවි කරන ආපනශාලා වටලා ඔවුන්ට ලබා දෙන්න ඕන දඬුවම් ලබා දෙන්න කියලා අපි පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීමක් කරනවා. රුපියල් 12ක් වැනි සුළු මුදලකින් ඉන්ධන මිල වැඩි වුණා කියලා ආහාර මිල වැඩි කරන්න බැහැ. 

ගියවතාවේ ආහාර මිල වැඩි කරද්දී බිත්තර මිල රුපියල් 42යි. දැන් බිත්තරයක් රුපියල් 26කට විතර අඩු වෙලා තියෙනවා. කුකුල් මස් කිලෝවක් රුපියල් 1450ක තිබුණේ, දැන් 1250ට 1350ට බැහැලා තියෙනවා. මේ නිසා ආහාර මිල වැඩිවීමකට යන්නේ නැහැ කියලා පාරිභෝගික ජනතාවට කියනවා. හැබැයි ගෑස් මිල යම් කිසි ආකාරයකින් ඉහළ ගියොත්, ඒ පිළිබඳව සාකච්ඡාවක් කරලා කෑම මිල වැඩි කරනවා ද අඩු කරනවා ද කියලා තීරණයක් ගන්න වෙනවා.”

පසුගිය මාර්තු මස 31 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30කින් ඉහළ දැමීමට පියවර ගැනිණි.

ඒ, අප්‍රේල් මස පළමුවෙනිදා සිට විදුලි බිල ඉහළ යෑම හේතුවෙනි.

මේ අතර ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිල ද රුපියල් 5කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගත්තහ.

මාලදිවයින් ජනපති දිවයිනට පැමිණෙයි…..

රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා අද (3) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

ජනාධිපතිවරයාට අමතරව ජනාධිපති ආර්යාව සමගින් එරට උසස් නිලධාරීන් 20 දෙනෙකු මාලෙ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ‘UL 116’ දරන ගුවන් යානයෙන් මෙලෙස කටුනායක වෙත පැමිණ තිබුණි.

2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු මහතා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත දිවයිනට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා, ලබන 6 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

මාලදිවයින් ධූත පිරිස පිළිගැනීම සදහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක්ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ආණ්ඩුව අධිකරණයේ විශ්වාසය බිඳහෙළීම හෙළා දකින විමල්…..

ආණ්ඩු විසින් අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳහෙළන ආකාරයේ සිදු කළ ප්‍රකාශ තරයේ හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ, අධිකරණ විනිසුරුවන්ගේ ක්‍රියා කලාපය කෙරෙහි බලවත් සැකය සහ අවිශ්වාසය ඇති කෙරෙන ප්‍රකාශ ගණනාවක් පසුගිය ජාත්‍යන්තර කම්කරු දින වේදිකාවන් තුළදී ආණ්ඩු පාර්ශ්වය සිදු කළ බවය.

ඉදිරියේදී අධිකරණය තුළින් ලැබෙන්නට ඇති තීන්දු හා ඊට අදාළ දින ද සඳහන් කරමින් එම තීන්දුව අත්පොළසන් නගා භාර ගැනීමට සූදානම් වන ලෙස රටවැසියාට ජනාධිපතිවරයා ආරාධනා කළ බව හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

එමඟින් හෙළි වන්නේ, මෙරට යුක්තිය පසිඳලීමේ අධිකරණයම කාර්යය සම්පූර්ණ දේශපාලනීකරණයවී ඇති බව නොවේදැයි විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරනු ලබයි.

මෙවැනි ප්‍රකාශ අධිකරණයේ ස්වාධීන බව පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරන්නක් බව ද ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා පමණක් නොව, අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම මෙවැනි බරපතළ ප්‍රකාශ මැයි දින රැලිවලදී ප්‍රකාශ කර ඇත.

එමඟින් මෙරට අධිකරණයේ විනිසුරුවන්ගේ භාවිතය පිළිබඳව බලවත් සැකයක් මහජනතාව තුළ මතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

2026.05

මාධ්‍ය නිදහස පිලිබඳ ලෝක දර්ශකය – ශ්‍රී ලංකාව ස්ථාන 5කින් ඉදිරියට…..

ලොව මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වන වාර්ෂික දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 2026 වර්ෂයේදී ස්ථාන 05ක් ඉදිරියට පැමිණ තිබේ.

2025 වර්ෂයේදී 139 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර 134 වන ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.

දේශසීමා රහිත මාධ්‍යවේදීයෝ සංවිධානය විසින් වාර්ෂිකව නිකුත්කරනු ලබන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව ඇත.

2026 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව මෙවර ශ්‍රී ලංකාවට ලකුණු 40.77ක් හිමිව ඇති අතර පසුගිය වර්ෂයේදී එම ළකුණු සංඛ්‍යාව 39.93ක් ලෙස පැවතුණි.

මෙම දර්ශකයේ පළමු ස්ථානය නොර්වේ රාජ්‍යයට හිමිව ඇති අතර දෙවන ස්ථානය නෙදර්ලන්තයටත් තෙවන ස්ථානය ස්ටෝනියාවටත් හිමිව තිබේ.

මාධ්‍ය නිදහස අඩුම රටවල් ලෙස එරිත්‍රයාව, උතුරු කොරියාව, චීනය සහ ඉරානය එම දර්ශකයේ පහළම ස්ථානයට පත්ව ඇති බව වාර්තා වේ.

එමෙන්ම ලෝක මාධ්‍ය නිදහස් දිනය ද අදට යෙදී තිබේ.

1993 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක මාධ්‍ය නිහස් දිනට සෑම වසරකට මැයි 03 වනදින සමරනු ලබයි.

ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්……

ගාල්ල බන්ධනාගාරය තුළ වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් දෙදෙනෙකු පලායෑමට උත්සහා කිරීමේදී නිලධාරින් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

එහිදී තුවාල ලැබූ එක් අයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

දරුවන් සමග කටුකුරුන්ද මුහුදේ දිය නෑමට ගිය පියෙකු අතුරුදන්…..

කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ අද (3) ප.ව. 5.30ට පමණ දියනෑමට පැමිණි පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව කළුතර දකුණ පොලිසිය ප්‍රකාශ කළේය.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ, කටුකුරුන්ද ප්‍රදේශයේම පදිංචි  55 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බව සඳහන්ය.

ඔහු සිය දරුවන් සහ පවුලේ ඥාතීන් සමග දිය නාමින් සිටි අවස්ථාවේ, එකවර දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදි අනාවරණය වී තිබේ.

අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රක්ෂිත බන්ධනාගාරයට…..

රුපියල් 129,600 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අනුරාධපුර, පණ්ඩුලගම යුද හමුදා කඳවුරේ සේවය කරන ලාන්ස් කෝප්‍රල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ සජිත් සමීර දිසානායක නැමති හමුදා සේවකයාය.

අල්ලස් කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ, යුද හමුදාවෙන් විශ්‍රාම ලබා සිටින පුද්ගලයෙකුට ඔහුගේ විශ්‍රාම ණය මුදල් පියවීමට උදව් කළ හැකි බව පවසා සැකකරු මෙම වංචාව සිදුකර ඇති බවය.

පැමිණිලිකරුගේ ණය විස්තර ලබාගෙන ඇති සැකකරු, රුපියල් ලක්ෂ 25 ක ආධාර මුදලක් ලබා දෙන බව පවසා ඇත.

එම ආධාරය ලබා ගැනීමට පෙර ගෙවිය යුතු මුදල් ලෙස පවසමින් අවස්ථා තුනකදී අල්ලස් වශයෙන් රුපියල් 129,600ක් මුදලක් බැංකු ගිණුමකට බැර කරවාගෙන තිබේ.

අනතුරුව, ලේඛන ගාස්තු වශයෙන් තවත් රුපියල් 13,457ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු පසුගිය (30) වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

මත්ද්‍රව්‍ය රැගෙන ආ සිද්ධියෙන් පසු සසුනේ ගෞරවය රැකීමට නීති රැසක්….

භික්‍ෂූන් වහන්සේ ඉදිරියේ දී විදේශගත වනවා නම්, උන් වහන්සේගේ ගුරු හාමුදුරුවෝ, ප්‍රදේශීය නායක හාමුදුරුවෝ සහ එම නිකායේ මහනායක හාමුදුරුවන්ගේ නිර්දේශය ලබාගැනීම මින් ඉදිරියට අනිවාර්ය කර තිබේ.

මෙම නීතිය මීට පෙර පනවා තිබුණත්, පසුගිය කාලයේ එය ක්‍රියාත්මක නොවූ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරයා සමග ලේඛකාධිකාරී හිමිවරු පැවැත්වූ සාකච්ඡාවකින් පසු මින් ඉදිරියට එය අත්‍යවශ්‍ය කාරණයක් බවත්, ඒ පිළිබඳ මහානායක හිමිවරුන්ද දැනුම්වත් කළ බවත් හෙතෙම පැවසීය.

මත්ද්‍රව්‍ය රැගෙන ආ චීවරධාරීන් 22 සම්බන්ධයෙන් රජයේ මතය ප්‍රකාශයට පත්කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.

මේ අතර ලේඛකාධිකාරී හිමිවරු, නීතිපතිවරයා සහ බුද්ධ ශාසන අමාත්‍යාංශ නිලධාරීන් ඊයේ (29) පුළුල් සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී විහාර දේවාලගම් ආඥාපනත කඩිනමින් සංශෝධනය කිරීම සඳහා අවදානය යොමුවූ බවද ඔහු පැවසීය.

ඒ අනුව එම පනතේ 41, 42 වගන්තිය ප්‍රකාරව මෙවැනි අවස්ථාවන්හි කටයුතු කිරීමේ බලය, මහානායක හිමිවරු ප්‍රමුඛ කරගත් මණ්ඩලයකට ලබාදීම සඳහා වැඩිදුරටත් සාකච්ඡා කළ බවද සඳහන් කළේය.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ‘මාවිල්ආරු’ සොරොව්වෙන් ජලය නිකුත් කෙරේ….

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාවිල්ආරු සොරොව්ව තාවකාලිකව පිළිසකරකර, ගොවීන් සඳහා ජලය නිකුත් කිරීම අද (30) සිදු කළේය.

ඒ අනුව ගොවි සංවිධාන 47කට අයත් ගොවි පවුල් 14,000කට, අක්කර 25,000කට වැඩි ප්‍රමාණයක වී වගා කටයුතු සිදුකිරීමට යළි අවස්ථාව උදාවිය.

මාවිල්ආරු සොරොව්වේ ආරක්ෂක බැම්ම කි.මී. 5ක් පමණ දිගින් යුතුව ඇති අතර, සුළි කුණාටුව හේතුවෙන් එය ස්ථාන 12කින් කි.මී. 1.5ක පමණ ප්‍රමාණයකින් හානි සිදුවිය.

ඒ අනුව එහි ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට ආරම්භකර ඇති අතර, එතෙක් යල කන්නයේ වගා සඳහා තාවකාලික බැම්මක් ඉදිකර මෙලෙස අවශ්‍ය ප්‍රමාණයට ජලය රඳවා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

මාවිල්ආරු ජලාශයෙන් කල්ලාරු, දෙහිවත්ත, නීලපොල, ඊචලාම්පත්තු, සේරුනුවර යන ගම්මාන සඳහා මෙලෙස ජලය නිකුත් කරනු ලැබීය.

මෙම අවස්ථාවට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.