රටේ අනාගත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සහ IMF නව මෙහෙයුම් ප්‍රධානී අතර සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා පත්කළ නව මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ඇතුළු නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු පිළිබඳ සමාලෝචනයක නිරත වූ නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍යතුමිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය සහ රටේ අනාගත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳව ද සාකච්ඡා කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම, ඉදිරියේදී මතුවිය හැකි ආර්ථික අභියෝග ද, ඒ සඳහා අවශ්‍ය කඩිනම් විසදුම් සහ ශ්‍රී ලංකාව සඳහා ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු සංවර්ධනයන් පිළිබඳව ද දෙපාර්ශවය අතර කරුණු හුවමාරු වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අද කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (08) දිනයේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අද (08) දින තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 467.26 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊයේ (07) දිනයේ දී ඒකක 15,000 සීමාවෙන් පහළට පැමිණි සියලු කොටස් මිල දර්ශකය, අද (08) දිනයේ දී නැවත වරක් එම සීමාව ඉක්මවා යාමට සමත් වූ අතර, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,127.71 ක් ලෙස සටහන් වී තිබුණා.

එසේම අද දින රු. බිලියන 2.89 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රාජ්‍ය සේවයට අලුතින් තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් සහ තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව දේශපාලන බලපෑම්වලින් තොරව, කුසලතා සහ සුදුසුකම් මත පමණක් පදනම්ව රාජ්‍ය අංශය සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට රජය තීරණය කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් හා මෑතකාලීන ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් සහ තරුණ තරුණියන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබීමත්, පවතින රාජ්‍ය මූල්‍ය අවකාශයත් සැලකිල්ලට ගනිමින්, රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා මෙම බඳවා ගැනීම් සිදුවනු ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ සඳහා 2025 අයවැය තුළින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

අපි මේ ගැටලුවට මුහුණ දියයුතු වන්නේ ජාතියක් හැටියට – ජනපති

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

භූ දේශපාලනයේ මේ මොහොතේ අහිතකර තත්ත්වයක් නිර්මාණයවී ඇති බවත් මෙරට අපනයනවලට යම් බලපෑමක් වෙන තීන්දු තීරණවලට එළැඹී තිබෙන බවයි අද (07) ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

එය විසඳාගැනීම සඳහා උත්සහා සහ සාකච්ඡා කරමින් සිටින බවත් එවැනි අභියෝගයකට මුහුණ දී, අපේ රටේ ආර්ථිකය නැවත අර්බුදකාරී තත්ත්වයකට අත්පත් නොවන ආකාරයෙන් ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි සැලසුම් සකස් කරමින් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මෙය අපේක්ෂා නොකරන ලද තත්ත්වයක් බවත් මෙම ප්‍රශ්නයට අපි මුහුණ දියයුතු වන්නේ ජාතියක් ලෙස බවත් එවැනි ප්‍රශ්නයක් ඇතිවීම වැළැක්වීම සඳහා උපරිම මැදිහත් වන අතර එවැනි ප්‍රශ්නයකට මුහුණදීම සඳහා ජාතියක් ලෙස සූදානම් වියයුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා සාර්ථකව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ (EFF) සිව්වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී ශ්‍රී ලංකාව දැනට ලබා ඇති ප්‍රගතිය සහ ඉදිරි මූල්‍ය අරමුණු ළඟා කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා වී ඇති බවත්, එමෙන්ම ඇමෙරිකාවේ නව තීරුබදු පැනවීම හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයේම අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක්

අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා වී තිබෙනවා.

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 712.90කින් පහළ ගොස්, ඒකක 14,660.45ක් ලෙසින් සටහන් වූ අතර, S&P SL20 මිල දර්ශකය ඒකක 268.51කින් පහළ ගොස් ඒකක 4,264.84ක් ලෙසින් සටහන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

අද පෙරවරුවේ S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම නිසා කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවීමට‍ ද සිදුව තිබුණා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගමනාගමන කොමිෂන් සභාව හා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන් සඳහා ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර ඇති බව එම කොමිසම පවසනවා.

ඒ අනුව ලබන 09 වැනිදා සිට 21 වැනිදා දක්වා මෙම ඒකාබද්ධ ප්‍රවාහන සැළැස්ම සකස් කර ඇති බවත්, මහනුවර, පුත්තලම, හයිලෙවල් / ලෝලෙවල්, දඹුල්ල හා ගාල්ල යන ප්‍රධාන කොරිඩෝ 05 කේන්ද්‍ර කර ගනිමින් ගමනාගමන මණ්ඩලය සහ ගමනාගමන කොමිෂන් සභාව මගින් දුරගමන් බස් රථ සේවා ක්‍රියාත්මක කරන බවත් සඳහන්.

එසේම ස්ථීර කාල සටහන්වල ධාවනය වන බස් රථවලට අමතරව, අතිරේක ගමන් වාර 500ක් ධාවනය කිරීමටද සැළසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මාකුඹුර, කඩවත, කඩුවෙල හා බැස්ටියන් මාවත කේන්ද්‍රකර ගනිමින් අධිවේගී මාර්ගය හරහා ගාල්ල, මාතර, බදුල්ල, තංගල්ල, කතරගම යන ප්‍රදේශ සඳහා මගී සේවා සැපයීමට අතිරේක බස් රථ 350ක් යෙදවීමට කටයුතු සැළසුම් කර ඇති බවද එම කොමිසම සඳහන් කළා.

මේ අතර  දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සාමාන්‍ය ගමන් වාරවලට අතිරේකව, කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, මහනුවර හා ගාල්ල යන ගමනාන්තවලට විශේෂ දුම්රිය සේවා යොදවා ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

news images

රාජ්‍ය සංචාරය නිම කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි දිවයිනෙන් පිටත්ව යයි

දෙදින නිල රාජ්‍ය සංචාරය නිම කරමින් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව පසුගිය 4 වනදා රාත්‍රීයේ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වූ අතර දෙරටට වැදගත් වන ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීම සිදු වුණා.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ පක්ෂ නායකයින් සමඟද ඉන්දීය අගමැතිවරයා සාකච්ඡා පැවැත්වීම සිදු කර තිබුණා.

අනතුරුව අද පෙරවරුවේ අනුරාධපුරයට පැමිණි ඉන්දීය අගමැතිවරයා ශ්‍රී මහා බෝධිය වැඳපුදාගැනීමෙන් අනතුරුව අනුරාධපුර දුම්රිය ස්ථානයේ දුම්රිය සංඥා පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවටද එක්වී තිබෙනවා.

ජනපති සහ ඉන්දියානු අගමැති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගනී

මෙරට තෙදින රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ එක්ව  අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන තිබෙනවා.

උඩමළුව වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරතවී තිබෙනවා.

තමන් උපන් ගුජරාට් ප්‍රදේශයේ 60 දශකයේදී සිදු කරන ලද කැනීම්වලින් සර්වඥ ධාතුන් වහන්සේලා සොයා ගත් බවත්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

බුද්ධගයාව අධ්‍යාත්මික නගරයක් ලෙස සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස අටමස්ථානාධිපති හිමියන් විසින් කළ ඉල්ලීම කෙරෙහිද අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක  සමඟ සාකච්ඡා කර එහි ඉදිරි පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

news imagesnews images

news images

මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය ඉන්දීය අගමැති අතින් විවෘත කෙරේ

මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අනුරාධපුර දුම්රිය ස්ථානයේදී මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කර තිබෙනවා.

ඒ අනුව එහි සමරු ඵලකය ඉන්දීය අග්‍රමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතින් විවෘත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම නවීකරණය කළ මහව – ඕමන්ත දුම්රිය මාර්ගයද නිල වශයෙන් ඉන්දීය අගමැතිවරයා අතින් මෙහිදී විවෘත කර තිබෙනවා.