රෝහිතගේ දියණියට ඇප හිමිවෙයි…..

මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධනට ඇප හිමිව තිබේ.

ඇය අද (31) පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබේ.

නීති විරෝධි ලෙස ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ඇය ඊයේ (30) වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත භාර වී තිබුණි.

එහිදී ඇයගෙන් පැය 9කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රොෂෙල් අබේගුණවර්ධනගේ සැමියා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

නව අගවිනිසුරු පිලිගැනීමේ උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්වෙයි…

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්විය.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ද මෙම උත්සවයට සහභාගි විය.

මෙම චාරිත්‍රානුකූල නිල උත්සවයේදී සිය ප්‍රකාශය සිදුකළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නගා සිටුවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.

නඩු කටයුතු වේගවත් කිරීම මෙන්ම අධිකරණ පද්ධතිය තුළ ඵලදායි සේවාවක් මහජනතාව වෙත ලබාදීම සඳහා අධිකරණ කටයුතු ඩිජිටල් කරණය කිරීම වේගවත් කරන බවත් ඔහු කියා පැවසීය.

කොස්ගොඩදී වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වෙයි…..

අද උදෑසන හයට පමණ කොස්ගොඩ දූවෙ මෝදර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇත.එම පුද්ගලයා නිවසේ  නිදා සිටියදී පැමිණි පුද්ගලයකු මෙම වැඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ දූව මෝදර  ප්‍රදේශයෙක් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක හිමිකරුවකුවන විසි හතර හැවිරිදි අරුන් මෙන්ඩිස් නමැති අවිවාහක පුද්ගලයෙකි.යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙරළ දෙසින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස්  ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති අතර වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන යතුරු පැදියක් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අතුරුවැල්ල පලම අසල දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.මේ සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අම්බලන්ගොඩ අනුරාධ.

කාන්තාවක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමක් සම්බන්ධයෙන් හසලක OICට දුන් තීන්දුවක්….

2019 වසරේ “ධර්ම චක්‍රයක්” සහිත ඇඳුමක් පැළඳ සිටියේ යැයි කාන්තාවක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම තුළින් හසලක පොලීසියේ ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අදාළ කාන්තාව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් යුතුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකළ හසලක පොලීසියේ එවකට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන නිශාන්ත යන අය විසින් සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් 30,000ක මුදලක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

එම වන්දි මුදල ගෙවීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුදල් හෝ පොලිස් සාමුහික අරමුදලේ මුදල් භාවිත නොකළ බවට පොලිස්පතිවරයා විසින් අධිකරණයට සහතිකයක් ලබාදිය යුතු බවටත් එම නියෝගයේ සඳහන් වේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 3 (1) වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමේදී අනුගමනය කළ යුතු පැහැදිලි කිරීම් දැක්වෙන චක්‍රලේඛයක් නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායිකාව ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් පැළඳ සිටි බවට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්ත ද පසුව එය නැවක සුක්ඛානමක් බවට කරුණු අනාවරණය වී ඇති බව කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දී ඇත.

2019 වසරේ මැයි මස 17 වනදා හසලක පොලිස් වසම තුළදී ධර්ම චක්‍රය සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි මෙම පෙත්සම්කාරිය අත්අඩංගුවට ගෙන  රඳවා ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබුණි.

මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් ජනපති දිවයිනට….

පසුගිය 28 වැනිදා ආරම්භ කළ මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30)  රාත්‍රියේ දිවයිනට පැමිණියේය.ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වූයේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr. Mohamed Muizzu) මහතාගේ ආරාධනයකට අනුවය.  

 මෙම රාජ්‍ය සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා සමඟ මෙන්ම මාලදිවයිනේ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් සමඟද අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත් වීය.මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අන්‍යෝන්‍ය නීති අධාර ගිවිසු‍මක් සහ මාලදිවයිනේ විදේශ සේවා ආයතනය (FOSIM) සහ බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනිණි.

 ජනාධිපතිවරයා වෙනුවෙන් මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා විසින් කුරුම්බා මෝල්ඩිව්ස්නිවාඩු නිකේතනයේදී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබිණි.

 මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම නිමිත්තෙන් මාලේ අගනුවර පිහිටි සුල්තාන් උද්‍යානයේදී ජනාධිපතිවරයා විසින් පැළයක් රෝපණය කරන ලදී.එසේම, ජනාධිපතිවරයා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා-මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය එක්ව සංවිධානය කර තිබූ ව්‍යාපාරික සංසදයද, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ හමුවද ඇමතීය.වසර 60ක් පුරා දෙරට අතර දේශපාලන විශ්වාසය, ජනතාව අතර සමීප සබඳතා සහ සුහදත්වය මත ගොඩනැඟුණ මිත්‍රත්වය සහ බහුවිධ සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම  පිළිබඳව මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අවධාරණය කෙරිණි. ඒ අනුව, දෙරට අතර සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාමට මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.මෙම රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක් වූහ.

මන්ත්‍රී රෝහිතගේ දියනිය හෙට අධිකරණයට….

ආන්දෝලනාත්මක එකලස් කරන ලදැයි සැලකෙන  ලෑන් කෘෂර්  වර්ගයේ ජීප් රථයේ වත්මන් අයිතිකරු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය අද (30) උදෑසන වලාන දූෂණ මර්දන ඒකකයටභාරවීමෙන් අනතුරුව වලාන දූෂණ මර්දන නිලධාරීන් විසින් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව අද (30) සහ 3.30ට පමණ මතුගම  මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් රාත්‍රී 8 දක්වා අධිකරණයට ඉදිරිපත් නොකළ අතර  පානදුර වලාන දූෂණ මර්දන ඒකකය නිලධාරීන් විසින් මතුගම පොලිසියට භාරදීමෙන් අනතුරුව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව හෙට  මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව  ඇති බව නීතිඥවරයා වෙත දැනුම් දී ඇති බවට වාර්ථා වෙයි…..

කළුතර චන්දන පෙරේරා

හිටපු මන්ත්‍රී ජොන්ස්ටන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට……

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් ත්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද (30) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු  ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ නඩු විභාගය පැවැත්විය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ සතොස හිටපු මූල්‍ය ප්‍රධානී නිමේෂා සංජීවනි මහත්මියගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර තිබේ.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝම්බර් මස 16 වනදා දක්වා කල් තබා ඇත.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවයේ නිරත වූ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු  වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ  අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මොහොමඩ් සාකිර් යන අයට එරෙහිව අල්ලස්කොමිසම මෙම නඩුව ගොනු කර තිබුණි.

BYD රථ දහසකට වඩා හම්බන්තොට සිරවෙයි…..

BYD ATTO 3 ඇටෝ ත්‍රී වර්ගයේ මෝටර් රථ දහසක් පමණ හම්බන්තොට වරායෙන් නිදහස් නොකර තබාගැනීම පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය.

කෙසේ වෙතත් අදාළ මෝටර් රථවල එකම බලයලත් බෙදාහැරීමේ ආයතනය වන ජෝන් කීල්ස් සමාගම පවසන්නේ, ඔවුන්ගේ සියලුම වාහන දේශීය නීති රෙගුලාසිවලට අනුකූල බවට සහතික කරන බවය.

මේ අතර CROSS BORDER ණයවර ලිපි විවෘත කරමින් කොන්දේසි සපුරා නොමැතිව ආනයනය කළ රථවාහන ප්‍රතිඅපනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ කළේය.

CROSS BOARDER LC හෙවත් දේශසීමා ණයවර ලිපි විවෘත කර ආනයනය කරන ලද රථවාහන 500කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට හම්බන්තොට වරායේ නිශ්කාශනය නොකර ගාල්කර තිබේ.

මේ අතර BYD ATTO 3 වර්ගයේ මෝටර් රථ දහසක් පමණ ද හම්බන්තොට වරායෙන් නිෂ්කාශනය නොකර ශ්‍රී ලංකා රේගුව රඳවා තබාගෙන තිබේ.

ඊට හේතු වී ඇත්තේ මෙරටට ආනයනය කරන ලද ATTO 3 මාදිලියේ රථවල මෝටර් බලය 100kW ලෙස නිෂ්පාදනය කර පැමිණියද, එම මාදිලියෙන්ම වෙනත් රටවලට ආනයනය කරන වාහනවල මෝටර් බලය 150kW වීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වයයි.

100kW මෝටර් රථ සඳහා අඩු රේගු බද්දක් අය කෙරෙන අතර, 150kW සඳහා වැඩි රේගු බද්දක් නිෂ්කාශනයේදී අය කෙරේ.

එමෙන්ම මෙම BYD වාහන මාදිලි පිළිබඳ මෑතකාලයේ පළවන පුවත සම්බන්ධයෙන් එම රථවාහන සඳහා මෙරට එකම බලයලත් බෙදාහැරීමේ ආයතනය වන John Keels CG Auto පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ චීනයේ BYD වෙතින් ආනයනය කරන ලද වාහන 100 kW මාදිලි බව ජනතාවට සහතික කරන බවය.

එම වාහන සිංගප්පූරුව වැනි ජාත්‍යන්තර වෙළෙඳපොළවල අලෙවිවන වාහන මාදිලි බවද එම නිවේදනයේ සඳහන්.

එම සමාගම පෙන්වාදෙන්නේ මෙම වාහන motor power චීනයේ BYD හි පරීක්ෂණ වාර්තා මගින් තහවුුරු කර ඇති බවත්, ස්වාධීන පරීක්ෂණ ආයතනයක් එය වැඩිදුරටත් සහතික කර ඇති බවය.

මෙරට වගකිව යුතු සමාගමක් ලෙස John Keels CG Auto පුද්ගලික සමාගම ආනයනය කරනු ලබන සියලුම වාහන දේශීය නීති රෙගුලාසිවලට සම්පූර්ණයෙන්ම අනුකූල බවට සහතික කරන බව එම සමාගම පවසයි.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ්…..

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාව යළිත් එළැඹෙන අගෝස්තු මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ අද (30) පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු නාවික හමුදාපතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසු ගිය 28වනදා අත්අඩංගුවට ගැනුණි.

ඒ අනුව, හිටපු නාවික හමුදාපතිවරයාව එදින පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

වත්මන් යුද හමුදාපතිවරයාට සේවා දිගුවක්……

වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාට වසරක සේවා දිගුවක් ලබා දී තිබේ.

අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාල සේවා දිගුව ලබා දී ඇත.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව නියෝජනය කරන වත්මන් යුද හමුදාපතිවරයා පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි යුද හමුදාපතිවරයා ලෙස එම ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

යුද හමුදාපති ධුරයේ රාජකාරී භාර ගැනීමට ප්‍රථම ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරය හෙඹවීය.

කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා වර්ෂ 1989  ජනවාරී මස 20 වැනිදා කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්විය.