බූස්ස බන්ධනාගාරයේදී මිය ගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකෙරේ

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේදී මිය ගිය රැඳවියාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) ගාල්ල, කරාපිටිය රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

‍හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ, 46 හැවිරිදි මෙම රැඳවියා සිර මැදිරිය තුළ තුවාල ලබා වැටී සිටියදී සොයාගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිර මැදිරියේ සිටි සෙසු රැඳවියන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් තිබෙන බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය ද විමර්ශන ආරම්භ කර තිබෙන බව වැඩිදුරටත් සඳහන්.

ඉන්දීය අගමැති‍ගේ ශ්‍ර්‍රී ලංකා සංචාරයට සමගාමීව, ද්වි-පාර්ශ්වික ගිවිසුම් අත්සන් තැබීම සහ ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සිදුකෙරේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වි-පාර්ශ්වික ගිවිසුම්වලට අත්සන් තැබීම අද දහවල් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවුණා.

ඒ අනුව, ආරක්ෂක, සෞඛ්‍ය, ඩිජිටල් තාක්ෂණය, ආර්ථික යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම ද්වි-පාර්ශ්වික ගිවිසුම් අත්සන් කර ඇති බවයි සඳහන් වන්නේ.

මීට අමතරව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මෙගාවොට් 120ක සාම්පූර් සුර්ය බල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මාර්ගගත ආකාරයෙන් ආරම්භ කිරීම ද මෙහිදී සිදුවුණා.

එසේම දඹුල්ලේ ඉදිකෙරුණු කෘෂි ශීතාගාර සංකීර්ණය ද, ආගමික ස්ථාන 5000 ක වහල මත ඉදිකෙරුණු සූර්ය පැනල ව්‍යාපෘති ද මාර්ගගතව විවෘත කිරීම ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි විසින් සිදුකෙරුණා.

නරේන්ද්‍ර මෝදි හා ජනපති අනුර අතර නිල සාකච්ඡා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙයි

දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර නිල හමුව අද (05) පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ඉන් අනතුරුව දෙරටේ රාජ්‍ය නායකයන් දෙපළ හා නියෝජිත පිරිස ද්වි-පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබූ අතර, ඉන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගි වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පවත්වනු ලැබුවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල වශයෙන් පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද උදෑසන කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදි පවත්වනු ලැබුවා.

ආනයන බදු ගැන අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බවට නිවේදනයක්

වෙළඳ අසමතුලිතතා විසඳා ගැනීමට සහ ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව මුදල් අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

2023 මාර්තු මාසයේ සිට IMF විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ සිටින ශ්‍රී ලංකාව, ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයන් සඳහා එක්සත් ජනපද සහයෝගයේ වැදගත්කම අවධාරණය කරන බවත්, 2024 දී ආර්ථිකය ස්ථාවර වෙමින් 5% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති පසුබිමක ගෝලීය ඉල්ලුම මන්දගාමී වීම එහි ප්‍රගතියට බලපෑ හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

නව අවස්ථා විවෘත කිරීම සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් වෙළඳ බාධක අඩු කිරීමට සහ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවී සිටින බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (04) දින සිට ලබා ගත හැකි බවයි එම ආයතනය සඳහන් කළේ.

දුඹුරු සීනි, රතු පරිප්පු, ටින් මාලු, ආනයනික නාඩු සහල්, පාන් පිටි, රතු කැකුළු සහල් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

news images

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ ඝාතනයක්

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ශිවා නමැති රැඳවියෙකු වන අතර ඔහුගේ සිරුරේ ස්ථාන 11ක පමණ උල් ආයුධයකින් ඇනීමෙන් ඇතිවූ තුවාල දක්නට ඇති බවයි වාර්තා වෙන්නේ.

රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙකු මෙලෙස ඝාතනය වී ඇති අතර සිරදඬුවම් විඳින රැඳවියෙකු විසින් ඝාතනය සිදුකර ඇති බවට වන සැකය මත විමර්ශන සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අවුරුද්දට ගමට යන්න ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා 8 වනදා සිට ආරම්භ වෙයි

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න සඳහන් කළේ ඒ සඳහා අතිරේක බස් රථ 500ක් යොදා ගන්නා බවත් කොළඹ, කොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට අතිරේක බස් ගමන් වාර ධාවනයට එක් කරන බවයි.

සභාපතිවරයා සඳහන් කළේ උත්සව සමයේ විශේෂ ප්‍රවාහන සේවා ලබන 20 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.

ගම්බිම් බලා යන ජනතාවට ලබන 10 වැනිදා සිට අතිරේක දුම්රිය ගමන් වාර 40ක් පමණ ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල , බෙලිඅත්ත, ත්‍රිකුණාමලය, අනුරාධපුරය ඇතුළු ගමනාන්ත කිහිපයක් සඳහා එම දුම්රිය ගමන් වාර යොදවන බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත්ට බරපතළ වැඩසහිත වසර 16 ක සිර දඬුවම්

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබාගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණා.

හයිලන්ඩ් නිෂ්පාදන කිහිපයක මිල අඩු කෙරේ

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව යෝගට් එකක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 70 ක් වනවා.

මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 200 ක් වන අතර මිලිලීටර් 900 කල්තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක මිල අඩු කර ඇත්තේ, රුපියල් 60 කින් වන අතර එහි නව මිල රුපියල් 380 ක්.

මිලිලිටර් 450 දින තුනක දියර කිරි පැකට්ටුවක් රුපියල් 30 කින් පහළ දමා ඇති බවයි මිල්කෝ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

RMV සියලු සේවාවන් සඳහා අප්‍රේල් 15 සිට TIN අංකය අනිවාර්ය කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2025 අප්‍රේල් මස 15 වන දින සිට බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය අනිවාර්ය කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images