”දිට්වා සුළිකුණාටුව සමයේ මෙරට නායයෑම් 1241ක්”…..

දිට්වා සුළිකුණාටුව රට තුළ පැවති දින කිහිපය තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප අනුව මධ්‍ය හා විශාල පරිමාණයේ නායයෑම් 1241ක් සිදුව ඇතැයි හඳුනාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ප්‍රකාශ කළා.

කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආපදා තත්ත්වයන් හේතුවෙන් බලපෑම් එල්ල වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගාසිටුවීම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වු බවය.

කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් රුපියල් මිලියන 3.6ක පරිත්‍යාගයක්….

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන් එක්ව සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 3.6ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ.

ඉන්දුනීසියානු තානාපති Dewi Gustina Tobing මහත්මිය විසින් ඊට අදාළ වෙක්පත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත අද (11) එම අමාත්‍යාංශයේදී භාර දෙන ලදී.

කොළඹ සිටින තානාපතිවරු සහ මහකොමසාරිස්වරු නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ කොරියා තානාපති Lee Miyon, ස්විස්ටර්ලන්ත තානාපති Dr. Siri Walt, පලස්තීන තානාපති Thab 1.M. Khalil, මාලදිවයින් මහ කොමසාරිස් Masood Imad, ඕමාන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානි Said Al Harbi, ඉතාලි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Alberto Arcidiacono යන මහත්ම මහත්මිහු එම අවස්ථාවට එක්ව සිටියහ.

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන්නැයි නියෝග…..

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ගොනුකර ඇති පැමිණිල්ලක සැකකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා යළි විවෘත වරෙන්තු නිකුත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබීය.

පර්ප්‍රචුවල් ට්‍රෙෂරිස් සමාගම, හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු සැකකරුවන්ට එරෙහිව මුදල් විසුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පර්ප්‍රචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙප්රි ඇලෝසියස්, කසුන් පලිසේන ,පි.එම්.ගුණවර්ධන, මුත්තු රාජා සුරේන්ද්‍රන් යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.

සෙසු සැකකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අජාන් ගාර්ධිය පුංචිහේවා යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිට නොමැත.

එම සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා එහිදී  ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් යළි විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන්කර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල ලබන මැයි මස 21වනදා කැඳවන ලෙසත් නියම කළේය.

මාලිමාවට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ අයවැයත් පරදී….

ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ 2026 අයවැය වැඩි ඡන්ද 5කින් පරාජයට පත්ව තිබේ.

අයවැයට විරුද්ධව ඡන්ද 12ක් ලැබී ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 07ක් පමණී.

එක් සභිකයකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇති අතර ඒ අනුව පුත්තලම මහ නගර සභාවේ අයවැය ජාතික ජන බලවේගය පරාජයට පත්ව තිබේ.

නගරාධිපති එම්.එෆ්. රින්සාද් අහමඩ් මහතා විසින් අයවැය වාර්තාව ප්‍රථමවරට සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති ජන්දෙන් මෙසේ එය පරාජයට පත් විය.

අනතුරුව නගරාධිපති එම්.එෆ්. රින්සාද් අහමඩ් මහතා විසින් සභාව හෙට දිනය දක්වා කල් තබා රැස්වීමේ වැඩ කටයතු අවසන් කර ඇත.

කෙසේවෙතත් එය නගරසභා අඥා පනතට විරුද්ධ කටයුත්තක් බව සදහන් කරමින් සහ එය නිතී විරෝධි බව සදහන් කරමින් නගර සභා මන්ත්‍රීවරු 12 දෙනකුගෙන් අත්සන් සහිත ලිපියක් මහ නගරසභා ලේකම් තුමිය හරහා නගරාධිපතිවරයාට භාර දීමට ද කටයුතු කර තිබේ.

අමෙරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් සහ ජනපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකිවනු ඇති බවත්, එහිදී අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට අමෙරිකාව සුදානමින් සිටින බවත් එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් Allison Hooker මහත්මිය පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් Allison Hooker මහත්මිය අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර එහිදී උප ලේකම්වරිය මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යසනය හමුවේ සහාය ලබාදීමට හැකි වීම පිළිබඳ මෙහිදී සතුටු පළ කළ Allison Hooker මහත්මිය ආපදාවෙන්  මිය ගිය සියලුදෙනාගේ පවුල් වෙතද සිය ශෝකය පළ කර සිටියාය.

මෙම අසීරු අවස්ථාවේ විවිධ සහනාධාර සහ සහන කණ්ඩායම් මෙරටට එවමින් අමෙරිකා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැක් වූ සහාය වෙනුවෙන් මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමෙරිකාව ඇතුළු ලොව සියලු මිත්‍ර රාජ්‍යයන් ශ්‍රී ලංකාවට දැක් වූ හෘදයාංගම සහාය ඇගයීමට ලක් කළේය.

ශ්‍රී ලංකාවට මෙම ව්‍යසනයට මුහුණ දීමට සිදු වූයේ රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට ගෙන එමින් ආර්ථික දර්ශකද ඉහළ නංවා ගනිමින් සිටින මොහොතක බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආපදාවට පත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සහ දිගුකාලීනව යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී විශේෂ අවධානය යොමු කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.

ගංවතුර සහ නායයාම් හේතුවෙන් විනාශ වී ඇති මහාමාර්ග, දුම්රිය මාර්ග ආදී යටිතල පහසුකම් සහ කෘෂිකර්ම, පශු සම්පත් සහ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු ප්‍රධාන ආදායම් මාර්ග යළි යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් යම් කාලයක් ගත වන බවත්,  එහිදී  සියලු මිත්‍ර රටවල සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එක්සත් ජනපද තීරුබදු පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබද අවධානය යොමු කර තිබෙන බවත්, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර වෙළෙඳ සහ නාවික කටයුතු පුළුල් කරගැනීම වෙනුවෙන් සහාය ලබාදීමට කටයුතු කරන බවත් උප රාජ්‍ය ලේකම්වරිය මෙහිදී සඳහන් කළාය.

විශේෂයෙන් විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සිය සහාය ලබා දෙන බවද සඳහන් කළාය.

පසුගිය කාලයේ අමෙරිකානු සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණි අතර, තවදුරටත් එම පැමිණීම අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවතින ව්‍යසනය තත්ත්වයෙන් මිදී ශ්‍රී ලාංකික ජනතාවට උසස් ජීවන තත්ත්වයක් උදා කර දීමට අමෙරිකානු රජය ලබාදෙන දායකත්වය ඇගයීමට ලක් කළේය.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුද, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය ඇතුළු දූත පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සාමාජිකයන් හා අමාත්‍ය උපාලි පන්නිල මහතා අතර විශේෂ සාකච්ඡාවක්…..

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් අඩු ආදායම් ලාභී පවුල් සඳහා ලබාදෙන ප්‍රතිලාභ හා සමාජ සුබසාධන මණ්ඩලය මගින් ලබාදෙන අස්වැසුම ප්‍රතිලාභය ඇතුළු සමාජ සුබසාදක ප්‍රතිලාභ ලබාදීමේදී සැලකිල්ලට ගතයුතු කරුණු පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා හමුවක් ගරු අමාත්‍ය මහචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල සමාජිකයන් සමඟ ඊයෙ (09.12.2025) දින පෙරවරුවේ අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වුනා.

එහිදී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් වයස අවුරුදු 70ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා ලබාදෙන රුපියල් 5000ක දීමනාව, ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබාදෙන රුපියල් 10,000ක දීමනාව හා වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන රුපියල් 10,000ක දීමනාව ඇතුළු ප්‍රතිලාභ ලබාදීමේදී අස්වැසුම ගිණුම් මගින් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන ලදි. තවද සුබසාදක ප්‍රතිලාභ ලබාදීමේදී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය හා සුබසාදක ප්‍රතිලාභ මණ්ඩලය අවබෝධතාවයෙන් කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම සම්පත් මන්ත්‍රිනායක මහතා, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කැටවලගෙදර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ

සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට….

සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, පතරොම් සන්තකයේ තබා ගැනීම, සංවිධානාත්මක අපරාධකරුවන්ට අයත් මුදල් බැංකු ගිණුම්වල ඇතුලත් කරගෙන ගණුදෙනු කිරීම හා සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (09) රාත්‍රියේ මරදාන පොලිස් වසමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකරු වයස අවුරුදු 32 ක් වන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය වයස අවුරුදු 25 ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම සැකකරු හා සැකකාරිය තාවකාලිකව රැඳී සිටි කොළඹ 10 ප්‍රදේශයේ ලැඟුම්හලක කාමරය පරික්ෂා කිරීමේදී සැකකරුට අයත් ලැප්ටොප් බෑගයක් තුල සඟවා තිබූ 9mm ජීව පතරොම් 15 ක්ද, සැකකරුගේ ප්‍රකාශ මත කුට්ටිගල පොලිස් වසමේ තුංකම ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්ෂා කර එම නිවසේ අල්මාරියක් තුල සඟවා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ සංවිධානාත්මක අපරාධ සිදු කර උපයා ගත් බවට සැක කරන රුපියල් පහලොස් ලක්ෂ තිස් හතර දහසක මුදලක් ද (රු. 1,534,000/=) විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.

මෙම සැකකරු හා සැකකාරිය මේ වන විට රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ඥාතීන් බවටද අනාවරණය වී තිබේ.

මොවුන් පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ලංකාවට වූ හානි ගැන UNDP වාර්තාවක්….

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරටට සිදුවූ බලපෑම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නවතම වාර්තාවක් එළිදක්වා තිබේ.

අධික වැසි සමග ඇතිවූ ගංවතුර සහ ජලගැලීම් හේතුවෙන් මෙරට පුද්ගලයින් මිලියන 2.3කට බලපෑමට ලක්ව ඇති බව එම වාර්තාවේ සඳහන්.

එමෙන්ම මෙරට හෙක්ටයාර මිලියන 1.1 ඉක්මවූ භූමි ප්‍රමාණයක් ජලගැලීම්වලට හසුව ඇති බවත්, එය ශ්‍රී ලංකා භූමි ප්‍රමාණයෙන් 20% ක් පමණ වන බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

ජාතික වශයෙන් ජලගැලීමෙන් වැඩිම භූමි ප්‍රදේශයක් යටවූ ප්‍රදේශය ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හඳුනාගෙන ඇත.

එහි හෙක්ටයාර් 23,000කට වැඩි ප්‍රමාණයක් ගංවතුරට හසුව තිබේ.

එසේම ගංවතුරින් කුඹුරු ඉඩම් හෙක්ටර්යාර 530,000ක් යටවී ඇති බවද එම වාර්තාවේ සඳහන්.

මෙවර ගංවතුරට හසුවූ ගොඩනැගිලි සංඛ්‍යාව 720,000කට ආසන්න වන අතර, එය මෙරට සමස්ත ගොඩනැගිලි සංඛ්‍යාවෙන් 12න් 1ක්.

මාර්ග කිලෝමීටර් 16,000කට වඩා ගංවතුරට නිරාවරණය වී ඇති අතර, ඒ හා සමානව කිලෝමීටර් 278කට වඩා වැඩි දුම්රිය මාර්ග සහ පාලම් 480ක් ගංවතුරට ලක්වූ ප්‍රදේශවල පිහිටා තිබේ.

ගංවතුරට නිරාවරණය වූ පුද්ගලයින් අතරින් මිලියන 1.2ක් කාන්තාවන් වන අතර, දරුවන් 522,000ක් සහ අවුරුදු 65ට වැඩි වැඩිහිටි පුද්ගලයින් 263,000ක් ගංවතුරේ බලපෑමට ලක්ව ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

එලෙස ගංවතුරට නිරාවරණය වූ පුද්ගලයින් අතරින් 60%කට වඩා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජීවත්වන පුද්ගලයින් බව ද එහි සඳහන්.

මේ අතර ඇදහැළුණු අධික වැසි හේතුවෙන් මෙරට කඳුකර ප්‍රදේශවලින් නායයෑම් 1,200ක් පමණ වාර්තා වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඉන් 135ක් වන වැඩිම නායයාම් වාර්තා වී ඇත්තේ මහනුවර – උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ය.

ඊට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල සහ පස්සර යන එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් නායයාම් 60කට වැඩි සංඛ්‍යාව බැගින් වාර්තා වී තිබේ.

එසේම, ගංවතුර සහ නායයාමෙන් ඇතිවූ ආපදා හේතුවෙන් ඉදිකිරීම් නොවන අපද්‍රව්‍ය ටොන් 25ක් පරිසරයට එකතු වී ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අලුත්ම වාර්තාවේ සඳහන්.

එම ප්‍රමාණය ඝන මීටර් 60,000ක් පමණ වන බව එහි දැක්වේ.

මහනුවර – නුවරඑළිය මාර්ගය යථා තත්ත්වයට….

අධික වර්ෂාවත් සමග පස්කඳු කඩාවැටී ගමනාගමන කටයුතු අවහිර වී තිබූ මහනුවර – නුවරඑළිය මාර්ගය ඇතුළු මාර්ග 4ක් යථා තත්ත්වයට පත්කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද  (10) පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය මේ බව පවසා සිටියාය.

එහිදී ඇය පවසා සිටියේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ මත ඉහත මාර්ගවල බර වාහන ධාවනයට විවෘත කරන බවය.

පසකඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වූ නුවරඑලිය – මහනුවර ප්‍රධාන මාර්ගය මෙලෙස ගමනාගමක කටයුතු සඳහා විවෘත වූ යේ දින ගණනාවකට පසුවය.

කටුකිතුල, තවලන්තැන්න, රම්බොඩ ඇල්ල ඇතුලු ස්ථාන කිහිපයකින්ම එම මාර්ගයට විශාල වශයෙන් පසුකඳු නාය ගොස් තිබුණි.

කෙසේ නමුත් යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව එම මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර එක් මන්තීරුවක් පමණක් සැහැල්ලු වාහන ධාවනයට විවෘත කිරීමට පියවර ගත්තේය.

කෙසේ නමුත් මෙම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේ දී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙසත්, මාර්ගය නායගිය ස්ථානවල නතර නොකරන ලෙසත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි…

අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු කුලතුංග මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.