රනිල්ට එරෙහි නඩුව නැවත කැඳවීම හෙට…..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නීති කෘත්‍ය, හෙට (29) නැවත කැඳවීමට නියමිතය.

පොදු දේපොළ පනත යටතේ චෝදනා ලද හිටපු ජනාධිපතිවරයා, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියගේ නියෝගය පරිදි පසුගිය අගෝස්තු 22 දින රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඊට අදාළ නීති කෘත්‍ය අගෝස්තු 26 වනදා නැවත කැඳවනු ලැබීය.

එහිදී පැමිණිලි සහ විත්ති පාර්ශ්ව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණි.

වැලිගම සභාපති ඝාතනයේ තවත් තොරතුරු එලියට එයි……

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු, යතුරුපැදිකරු, වෙඩික්කරුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 6දෙනා පැය 72ක් රඳවාගෙන මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ප්‍රශ්න කරමින් සිටී.

එමෙන්ම වෙඩික්කරුට ප්‍රවාහන හා පහසුකම් සැපයූ සැකකරුවන් තිදෙනා අද මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සිය කාර්යාලයේදී වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ සිද්ධියේ වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 9 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ අතරින් වෙඩික්කරු, යතුරුපැදිකරු, වෙඩික්කරුගේ බිරිඳ, කැකිරාවේදී සැඟව සිටීමට ආධාර අනුබල දුන් අයෙක් සහ බොරැල්ල සහස්පුරදී සහාය දුන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් 6දෙනෙක් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් පැය 72ක් රඳවාගෙන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කරමින් සිටී.

ඒහිදී වෙඩික්කරු පොලිසියට පවසා ඇත්තේ කැකිරාවේ නිවසින් පලා ආ තමා බසයකින් කොළඹට පැමිණ පසුව බොරැල්ල සහස්පුර ප්‍රදේශයට වෙත පැමිණි බවය.

එහිදී ඔහුට පුද්ගලයින් දෙදෙනෙකු හමුවී ඔවුන්ගේ නිවසකට ගොස් නා පිරිසිදු වී තමා සතුව තිබූ ජංගම දුරකථන දෙකෙන් එකක් ඔවුන්ට ලබාදී ඇත්තේ එහි ප්‍රශ්නයක් ඇති බැවින් ළඟ තබාගන්නා ලෙසට පවසමින්ය.

අනෙක් කුඩා දුරකථනය ආරෝපණය කිරීම සඳහා වෙඩික්කරු, සහස්පුරදී හමුවූ දෙදෙනාට ලබාදී තිබේ.

ඉන්පසු ඔවුන් දෙදෙනා හඳුනන ස්ථානයකට ගොස් තමා කොණ්ඩය සහ රැවුල කපා පෙනුම සම්පූර්ණයෙන් වෙනස් කර ගත් බව ද වෙඩික්කරු පවසා තිබේ.

සැකකරු වැඩිදුරටත් සිදුකළ ප්‍රකාශ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකට වුවත් ඒ සඳහා වෙඩික්කරුට ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ 15ක් පමණක් බවට පොලීසිය සැකපළ කරයි.

මේ අතර වෙඩික්කරු වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කර ඇත්තේ අදාළ ඝාතනය සිදුකළේ
රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකට වන අතර ඒ සඳහා තමාට  ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ 15ක් පමණ බවය.

වරින් වර යතුරු පැදිකරු මුදල් ඉල්ලා සිටියත් මුදල් වෙනුවට ඔහුට මත්ද්‍රව්‍ය ලබාදුන් බවත් වෙිඩ්ක්කරු හෙලිකර තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ විදෙස් රටක සැඟව සිටින රජිත සම්පත් නොහොත් ඩුබායි ලොක්කා නමැත්තා බවට අනාවරණ වී තිබේ.

ඒ අනුව ඩුබායි ලොක්කා, මිදිගම චූටි සහ තවත් පුද්ගලයෙකු වෙඩික්කරු සමග දුරකථයෙන් කතාකර සභාපතිවරයා ඝාතනය කරන ලෙසට උපදෙස් ලබාදී ඇති බව අනාවරණ වෙයි.

ඔවුන්, ඝාතනය සිදුකිරීම සඳහා යතුරුපැදි 02 ද ලබාදී ඇති අතර මේ වනවිට ඉන් එක් යතුරුපැදියක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

එමෙන්ම ඝාතනය සිදුකිරීමෙන් පසු වෙඩික්කරු ඇතුළු පිරිසට කැකිරාවේදී නවාතැන් දුන් පුද්ගලයා එම ප්‍රදේශයේම වඩේ වෙළෙන්ඳෙක් ලෙස හඳුන්වන අතර මත්ද්‍රව්‍ය සහ කෑම ගෙන ඒම සඳහා ඔහුට රුපියල් 30,000 බැගින් අවස්ථා දෙකකදී මුදල් ලබාදී ඇති බවත් අනාවරණ වේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මහජන දිනයේදී ප්‍රාදේශී සභාවට පැමිණ ඇති බවට ඩුබායි ලොක්කා විසින් වෙඩික්කරුට කළ දැනුම්දීමට අනුව ඔහු ප්‍රාදේශීය සභාවට පැමිණ තීබේ.

පොලිසිය පවසන්නේ, සැකකරු මේ වන විට පරස්පර ප්‍රකාශ සිදුකරමින් සිටින බවය.

කෙසේ වෙතත්, මෙම ඝාතනය සිදුකළේ කුමන හේතුවක් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

ඊට අමතරව වෙඩික්කරුට ඝාතනයට පෙර සහ පසු ප්‍රවාහන පහසුකම් සැපයූ ගාල්ල අගුළුගහ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙක්, ඝාතනයට යොදාගත් යතුරු පැදිය ධාවනයට සුදුසු ආකාරයට අලුත්වැඩියාව කරදුන් වලානේ ගරාජ් හිමිකරු හා එම යතුරුපැදිය ඝාතකයින්ට ගෙනවිත් දුන් පොල්අතුමෝදර තරුණයෙක් ද වැලිගම සහ මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරන ලද ඒම සැකකරුවන් තිදෙනා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ පොලිස් නිලධාරියා පැවසුවේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන බවය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත් වූ අතර ඔවුන් අධිකරණයට පෙන්වා දුන්නේ ගරාජයේ හිමිකරුට යතුරුපැදියක ස්ටාටර් මෝටරය සවිකරදීමේ ගාස්‍තු ලෙස රුපියල් 400ක මුදලක් ලබා ගෙන ඇති බවත්, ආරක්ෂක කැමරාවල එය නිවැරැදිව සටහන් වී ඇති බවය.

එබැවින් ඕනෑම විමර්ශනයකට ඉදිරිපත්වීමට තම සේවාදායකයා සූදානම් බවත්,  ගරාජයේ හිමිකරු ලෙස ඔහු කිසිඳු අපරාධමය වරදක් හෝ වරදකට උදව් උපකාර කර නැතැයි එම නීතිඥවරුන් පෙන්වා දුනි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා වැඩිදුර විමර්ශන වාර්තාව එළැඹෙන 30 වැනිදා ඉදිරිපත් කරන්නැයි පවසමින්, එදින දක්වා සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ඒ අනුව එම සැකකරුවන් තිදෙනා අද පස්වරුවේ රක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.

ලොකු ලූනු මිලදී ගැනීමේ රජයේ කොන්දේසි….

රජය ලොකු ලූනු මිලදී ගැනීමේදී කොන්දේසි 17ක් ද පනවා තිබේ.

ඒ් අනුව රජය මිලදී ගන්නා ලොකු ලූනු ගෙඩියක විෂ්කම්භය විය යුත්තේ මිලිමීටර් 35 – 65කි.

විෂ්කම්භය මිලිමීටර් 65ට වැඩි සහ මිලිමීටර් 35ට අඩු ලොකු ලූනු තොග මිලදි ගැනීමේදී ද කොන්දේසි පනවා තිබේ.

ඒ් අනුව එම ලූනු මුළු තොගයේ බරින් සියයට දහය ඉක්ම නොවිය යුතු වෙයි.

එමෙන්ම  මිලදී ගැනීමේ ප්‍රමිතියට අනුව ලොකු ලූනු කිලෝවක් සඳහා ගෙඩි අටක් පමණ අන්තර්ගත යුතු බවද රජය ලූනු ගොවීන්ට කොන්දේසි පනවා තිබේ.

කෙසේ වෙතත්,  රජයේ ලොකු ලූනු මිලදී ගැනීමේදී පනවා ඇති කොන්දේසි තමන්ට පීඩනයක් එල්ල කරන බව ගොවීන් පවසයි.

සතොස සභාපති සමිත පෙරේරා මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි සඳහන් කළේ, සතොසට මිලදී ගනු ලබන්නේ යළි අලෙවි කළ හැකි මට්ටමේ නිෂ්පාදන බවය.

මාතලේ අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්කවල ගොවීන් පසුගිය මාස කිහිපයක සිට ලොකු ලූනු අස්වැන්න නෙලීම ආරම්භ කළේය.

කෙසේ වෙතත් නිසි මිලට තම අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීමෙන් ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසරණභාවයකටය.

ඇතැම් ගොවීන්ගේ අස්වැන්න නිවෙස් තුළම විනාශ වී ගොස් ඇත.

මෙවැනි පසුබිමක රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ සතොස මගින් දේශීය ගොවීන්ගේ ලොකු ලූනු අස්වැන්න මිලට ගැනීම ආරම්භ කර තිබේ.

ඒ් අනුව ලොකු ලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 140 ගණනේ එක් ගොවියෙකුගෙන් රජය මිලදී ගන්නා ලූනු ප්‍රමාණය කිලෝග්‍රෑම් 2000කි.

අද පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ රජයේ ලූනු මිලදී ගැනීමේ ගබඩාව ආසන්නයට පැමිණි ගොවීන් පැවසුවේ, මෙම ලූනු මිලදී ගැනීමේ කොන්දේසිවලින් තමන් පීඩාවට පත්වන බවය.

අද පස්වරුව වන විටත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ ස්ථාපනය කර ඇති ලූනු මිලදී ගැනීමේ මධ්‍යස්ථානයට කිසිදු ගොවියෙකු ලූනු අළෙවි කර තිබුණේ නැත.

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය විශ්‍රාම යයි……

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගොස් තිබේ.

ඒ මහතා අද (27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ජාතික බුද්ධි ප්‍රධානී ධූරයෙන් විශ්‍රාම ගන්නා ලදි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් වනිගසූරිය සිය වෘත්තීය ජීවිතය පුරාවට විශිෂ්ඨ අන්දමින් සේවයකළ නිලධාරියෙකි.

ඔහු ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කරමින්, රටේ බුද්ධි ජාලය ශක්තිමත් කිරීමට සහ ජාතික ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් වන නියෝජිතායතන අතර සම්බන්ධීකරණ කටයුතු වැඩිදියුණු කිරීම සඳහාත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මේජර් ජෙනරල් වනිගසූරිය ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් මෙම වසරේ ජනවාරි මාසයේදී එම ධූරයේ වැඩ භාර ගෙන තිබුණි.

වැල්ලම්පිටිය නිවසක් ඉදිරිපිට අත්බෝම්බයක්……

වැල්ලම්පිටිය, ඩොනල් පෙරේරා මාවතේ, ඇල්බා නිවාස සංකීර්ණයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ අත්බෝම්බයක් තිබී හමුව තිබේ.

ඊයේ (26) රාත්‍රියේ එම නිවසේ හිමිකාරිය විසින් නිවස ඉදිරිපිට පිරිසිදු කිරීම් කරමින් සිටියදී සැකකටයුතු යමක් දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.

ඒ අනුව, වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට ලද 119 දුරකථන පණිවිඩය මත සිදුකළ සෝදිසි කිරීමකදී මෙම අත්බෝම්බය සොයාගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ මෙම අත්බෝම්බය ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති අතර පරණ අත්බෝම්බයක් බවට නිරීක්ෂණය වූ බවය.

කෙසේවෙතත් මෙම අත්බෝම්බය මෙම ස්ථානයට පැමිනි ආකාරය සම්බන්ධව කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.

බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරින් පැමින මෙම අත්බෝම්බය පරික්ෂා කර නිෂ්ක්‍රීය කර අධිකරණ කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ජගත් විතාන සම්බන්ධව පොලිස්පතිවරයා සිදුකළ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක්….

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ පොලීසිය ලබා දුන් ආරක්ෂාව පිළිබඳව මාධ්‍යයට පොලිස්පතිවරයා කළ ප්‍රකාශය සමගි ජන බලවේගයේ අවධානයට යොමුව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ දේශපාලනික නොවන කරුණු කාරණා මත මන්ත්‍රීවරයාට තර්ජන එල්ල වී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් කරනු ලබන ප්‍රකාශය තුළ මන්ත්‍රීවරයා වෙනත් අනීතික ක්‍රියාවකට හෝ පෞද්ගලිකව ඉස්මතු වූ ක්‍රියාවකට හෝ තර්ජනයක් එල්ල වී ඇති බව හැඟේන බවය.

එය කුමක්දැයි නිවැරදිව ප්‍රකාශ කිරීම පොලිස්පතිවරයාගේ වගකීමක් වන බවත් එසේ නොමැතිව වක්‍රෝත්තියෙන් ප්‍රකාශ සිදු කිරීම තුළ මහජන සේවාවේ නිරත මන්ත්‍රීවරයෙකුට සිදු කරනු ලබන අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස එය සිය පක්ෂය විසින් තරයේ හෙලා දකින බවත් එහි සඳහන් කර තිබේ.

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා රුමේෂ් තරංග….

ඉන්දියාවේ රාංචි හි පැවති 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග දක්ෂතම පිරිමි ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබ තිබේ.

ඊයේ  (26) පැවති පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීමට රුමේෂ් තරංග සමත් විය.

ඔහු ඉසව්ව ජයග්‍රහණය කළේ මීටර් 84.29ක දුරක් හෙල්ල විසිකරමින්ය.

බිබිල – පස්සර මාර්ගය ආශ්‍රිතව පවතින නාය යෑම් ස්ථාවර කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක්….

බිබිල – පස්සර මාර්ගය ආශ්‍රිතව පවතින නාය යෑම් ස්ථාවර කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එක්ව විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසුවේ මේ වන විට ඒ සඳහා වූ ව්‍යාපෘති කටයුතු ද ආරම්භ වී ඇති බවය.

ඒ අනුව ඉදිරි වසර ඇතුළත මෙම නායයෑම් ස්ථාව කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති බවත් ඒ මහතා අදහස් දක්වමින් පැවසීය.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අවදානම් ගණනාවක් සිදුවීමේ හැකියාව ඇති බවත් මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම ප්‍රදේශ අධ්‍යණය කර නාය යෑම් ඇතිවන ස්ථාන හඳුනාගනිමින් එම ස්ථාන ස්ථාවර කිරීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් ඒ මහතා පැවසීය.

තවද කොස්ලන්ද මාර්ගය ආශ්‍රිතවද නාය යෑම් සිදුවීම් කිහිපයක් වාර්තා වන බවත්  එම ස්ථාන සඳහා මීට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති මගින් ඇතැම් ස්ථාන මේ වන විට නිරීක්ෂණය කරමින් අදාළ උපකරණ සවිකර නිරීක්ෂණය කරමින් පවතින බවද ඔහු පැවසීය.

එමෙන්ම එම ප්‍රදේශයේ ඇතැම් ස්ථාන සඳහා වැඩිදුර අධ්‍යනය කටයුතු සිදුකරමින් ඉදිරියේදී ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයා දියේ ගිලී මරුට…..

රස්නායකපුර පොලිස් වසමේ මුඩත්තව වැවෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68ක් වූ මොන්නෑකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා ටියුබයක් ආධාරයෙන් මාළු ඇල්ලීම සිදු කරන අයෙකු වන අතර ඔහු නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් නිවැසියන් විසින් සොයා බැලීමේදී වැවෙහි මැදට වන්නට තිබී ඔහුගේ මෘත ශරීරය හමු වී ඇති බව පොලීසිය පැවසුවේය.

මෘත ශරීරය නිකවැරටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර රස්නායකපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පොලිස් සැරයන්වරයාට මරු කැඳවූ අනතුර…..

වැල්ලවාය පොලිස් වසමේ වැල්ලවාය තණමල්විල මාර්ගයේ ආදාවෙලයාය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ගමන් කළ යුද හමුදාවට අයත් බස් රථයක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වූ රජමාවත, වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකි.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.