ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි…..

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවය.

මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවිය.

ගුවන් තොටුපොළේ ආරක්ෂක නිලධාරියෙක් ගිනිඅවි සමග කොටුවෙයි….

මිනුවන්ගොඩ රෝහල ආසන්න ප්‍රදේශයේ නිවසක තිබී ටී – 56 ගිනිඅවි සහ පතරොම් රැසක් සමඟ සැකකරුව‍ෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරුතුරක් මත අද (15) දිනයේ දී සිදුකළ වැටලීමකදී මෙම ගිනිඅවි සහ පතරොම් සොයාගෙන තිබුණි.

සැකකරු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන අතර, ඔහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 හැවිරිදි අයෙකි.

සැකකරු සන්තකයේ තිබී ටී – 56 ගිනිඅවියක්, ටී – 56 ගිනි අවියට යොදන මැසිමක්, ටී 56 පතොරම් 14ක්, පිස්තෝල අවි 01ක් හා එම මැගසින් 01ක්, 2.5 mm පතොරම් 09ක්, 9mm පතොරම් 09ක්, පිස්තෝල හා රිවෝල්වරි වර්ගයේ ගිනිඅවි  02ක්, කඩු 03ක් සහ කිනිසි 02ක් සොයා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කීරි සම්බා හිඟයක් ? විසඳුමක් නැත්නම් ආදේශන ආනයනයට තීරණයක්….

රි සම්බා සහල් හිඟයක් මෙරට තුළ කෘතීමව ඇති කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ඔහු පවසන්නේ ඊට විසඳුමක් නොලැබුණහොත් කීරි සම්බා ආදේශන සහල් ආනයනය කිරීමට තීරණය කර ඇති බවය.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,

“සහල් වෙළෙඳපොළේ ප්‍රශ්නයක් තියෙනවා නම් කීරි සම්බාවල අඩුවක් විතරයි තියෙන්නේ. ඒ අනුව ගේනවානම් ගේන්න තීරණය කරලා තියෙන්නේ කීරි සම්බා ආදේශන ප්‍රමාණයක් විතරයි.

නමුත් අපි තවම අවසන් තීරණය අරන් නෑ. මොකද මේ යල කන්නය කැපෙන නිසා. හැබැයි නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වෙනකොට කීරි සම්බා හිඟය තවදුරටත් උග්‍ර කරන්න හදනවානම් කීරි සම්බා ආදේශන ‘GR11’ කියන සහල් මෙට්‍රික් ටොන්  40,000ක් ගේන්න තීරණය අරන් තියෙනවා. එය ක්‍රියාත්මක කර නෑ.

අපි හිතනවා පොළොන්නරුවේ ගබඩාවල විතරක් මෙට්‍රික් ටොන් 85,000ක් තියෙනවා කිරී සම්බා විතරක්. ඒ ටික කොටලා මාර්කට් එකට දැම්මොත් මේක විසඳෙයි. නැතිවුනොත් අපිට කීරි සම්බා ගේන්න වෙයි.

අනෙක් සහල් ගේන්න අවශ්‍යතාවක් දැනට නෑ. මේ යල කන්නයේ වී අස්වැන්න ගිය කන්නයට වඩා වැඩිවෙලා තියෙන්නේ. වගාකළ ප්‍රමාණයත් හෙක්ටයාර 80,000කින් වැඩිවෙලා තියෙන්නේ.

ඒ නිසා සහල් මිල රුපියල් 230ට අඩුවෙන් දෙන්න සැලසුම තියෙන්නේ” යනුවෙන් පැවසීය.

මෙරට සිසුන් 30කට පශ්චාද් සහ ආචාර්ය උපාධි සඳහා චීනයෙන් ශිෂ්‍යත්ව…..

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු සඳහා චීන රජය විසින් පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබා දී තිබේ.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමේ නිල උත්සවයට සහභාගී වෙමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ‍නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මේ බව පැවසීය.

2025 වර්ෂය වනවිට මෙරට සිසුන් 165කට අධික ප්‍රමාණයක් මෙම ශිෂ්‍යත්ව වැඩසටහනින් ප්‍රතිලාභ ලබා තිබේ.

ඉංජිනේරු තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, කළමනාකරණය සහ කලා යන ක්ෂේත්‍රවලින් එම ශිෂ්‍යයත්ව හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

වතු කම්කරු වැටුප් වැඩිකිරීම අභියෝගයක් බව ඇමති බිමල් කියයි…

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන,මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය අඛණ්ඩය මේ සම්බන්ධයෙන් මැදිහත් කිරීම් සිදුකරමින් සිටින බවද බිමල් රත්නායක අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නානුඔය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ලාබ ලබන ඩිපෝ සඳහා ඉදිරියේදී බෝනස් ලබාදීමට කටයුතු කරන බවය.

ආනයනික ලුණු බහාලුම් 400ක් වරායේ සිරවෙයි…..

මෙරටදී ඇසුරුම් කිරීම සඳහා ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 28,000කට ආසන්න ප්‍රමාණයක් අඩංගු බහාලුම් 400ක් නිදහස් කරගැනීමට නොහැකිව මේ වන විටත් කොළඹ වරායේ සිරවී ඇතැයි ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව මීට හේතු වී ඇති බවය.

වසරේ ලුණු අස්වැන්න බලාපොරොත්තු වූ පරිදි නොලැබීම හා කාලගුණ වෙනස්කම් වැනි හේතූන් මේ වසර මුලදී මෙරට ලුණු නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහත වැටුණි.

මේ හේතුවෙන් වෙළෙඳපොළේ ලුණු හිඟයක් නිර්මාණය වූ අතර ලුණු මිලද ඉහළ ගියේය.

ඊට පිළියමක් ලෙස ගෘහස්ථ පරිභෝජනයට අවශ්‍ය ලුණු ආනයනය කිරීමට දෙවරක්ම පියවර ගැනුණි.

අස්වැසුම අගෝස්තු මස දීමනාව හෙට ගිණුම්වලට…..

2025 අගෝස්තු මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව හෙට (15) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

රු.11,275,973,750.00 (එකොලොස් බිලියන දෙසිය හැත්තෑපස් මිලියන නවලක්ෂ හැත්තෑ තුන්දහස් හත්සිය පනහයි) ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,421,745ගේ ගිණුම්වලට බැරකිරීමට නියමිතය.

ඒ අනුව අදාල ප්‍රතිලාභීන්ට හෙට සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකිය.

වසන්ත මුදලිගේ ආන්ඩුවට පෙන්නලා දුන්න රතු එලිය…..

” මුත්තු නගර් අක්කර 800ක ගොවි ඉඩම් කොල්ලය නවතනු ! – ඉන්දීය සමාගම් සිදු කරන ඉඩම් හා සම්පත් කොල්ලයට එරෙහි සටන අරඹමු ! ” මැයෙන් ත්‍රිකුණාමලය මුත්තු නගර් ගොවි ජනතාව සහ ජන අරගල ව්‍යාපාරය එක්ව සංවිධානය කළ විරෝධතාවක් අද ( 2025.08. 14 ) දින කොළඹ ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ.

අද දවසේ ත්‍රීකුණාමල මුත්තු නරගර් ප්‍රදේශයේ ජනතාව එක්ක අපි ජනතාධිපති ලේකම් කාර්‍යාලයට ආවේ බරපතළ ප්‍රශ්නයක් ගැන සාකාච්ඡා කරන්න. අද වෙද්දි මුත්තු නගර් ප්‍රදේශයේ පවුල් 351ක ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පැහර අරගෙන සමාගම්වලට විකුණමින් යනවා. මීට සති දෙකකට කලින් අපි ලිඛිතව මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලය දැනුවත් කළා. නමුත් කිසිඳු විසඳුමක් අපිට ලැබුණේ නෑ. මේ බලහත් කාරයෙන් පැහැරගන්නේ මුත්තු නගර් වැසියන් පාරම්පරිකව වගා කරපු ඉඩම්. ඡන්ද කාලේ මේ ප්‍රශ්නෙට විසඳුම් දෙනවා කියලා කියපු මන්ත්‍රීලා අද මේ ජනතාවට පස්ස හරවලා. මෙ ඉඩම් ප්‍රශ්නය ගැන ආණ්ඩුවේ කාගෙවත් ඇස් හැරෙන්නේ නෑ.

ඊයේ ජනාධිපති අනුර දිසානායක කිව්වා සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී සියලු පාර්ශවයන් එක්ක සාකාච්ඡා කරනවා කියලා. ඒ අදහස එක්ක තමයි මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතිය මාසෙකට කල් දාලා තියෙන්නෙත්. අපි කියනවා ඒක හොඳයි. සියලු දෙනාගේ එකඟතාවය ඇතුව තමයි සංවර්ධන ව්‍යාපෘති කෙරෙන්න ඕන. හැබැයි අපි අහන්නේ ඇයි ඒ තීරණය මුත්තු නගර් ජනතාදට අදාළ නැත්තේ. ඇයි මුත්තු නගර් වැසියන්ට විතරක් කුඩම්මගේ සැලකිලි. මන්නාරමේ ඉන්නෙත් මුත්තු නගර් ඉන්නෙත් මේ රටේ මිනිස්සු. ඒ නිසා මන්නාරමේ හරි මුත්තු නගර්වල හරි ඉන්න ජනතාව බලහත්කාරයෙන් පන්නලා ඉඩම් පැහැරගන්න ආණ්ඩුව උත්සහා කරන්වනං ඒකට අපි විරුද්ධයි.

මේ ආණ්ඩුවට ජනතාව ඡන්දෙ දුන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන්. ඒ වෙනස කියන්නේ පරණ ආණ්ඩුවල ව්‍යාපෘති කිසිඳු සෙවිල්ලක් නැතුව නැවත ක්‍රියාත්මක කරන එක නෙවෙයි. නමුත් ආණ්ඩුව දැන් සූදානම් වෙන්නේ ඡන්දය දීපු ජනතාවට පයින් ගහලා සමාගම්වලට උවමනාවන් අනුව නැටවෙන්න. අපි ඉඩම් දෙන්නේ නෑ පුලුවන් දෙයක් කරගනිල්ලා වගේ ප්‍රවේශයකින් තමයි ආණ්ඩුව දැන් මුත්තු නගර් ගොවියන්ට උත්තර දෙන්නේ. නමුත් අද අපි මෙතනට ආවේ ඒ උත්තරේ අරගෙන ඔළුව පහත් කරගෙන ගෙදර යන්න නෙවෙයි. මේ අහිසක ජනතාවගේ ඉඩම්වල අයිතිය නැවත ඔවුන් වෙත ලබාදෙන තුරු අපි අඛණ්ඩව අරගල කරන්න සූදානම්. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ බොරු විසඳුම් පෙන්නලා ප්‍රශ්නය මගහරින්න සූදානම් වෙන්න එපා. මුත්තු නගර් වැසියන්ගෙන් පැහරගත් ඉඩම් ඔවුන්ට නැවත ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් දිගින් දිගටම අරගල කරන්න ජන අරගල සන්ධානය විදිහට අපි සූදානම්. “

ඕමාන තානාපති බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි….

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් (Ahmed Ali Said Al Rashid) මහතා අතර හමුවක් බලශක්ති අමාත්‍යංශයේදී අද (14) පස්වරුවේ පැවැත්විණි.

මෙහිදී දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශවික සබදතා තර කරගැනීම පිළිබදව අවධානය යොමුකරමින් කලාපයේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම සහ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා මෙන්ම ගෝලීය අර්බුද අවස්ථාවන්වල එක්ව කටයුතු කරමින් ඒවා විසදා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග ගැනද සාකච්ඡා කර ඇත.

එහිදී අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ සමීප මිත්‍ර රටක් ලෙස ඕමානය සමග සම්බන්ධතා ඉතා ඉහළින් අගය කරන බවත් මෙරට තුළ ඇති විවිධ ආයෝජන අවස්ථා සැළකිල්ලට ගෙන බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය සදහා එක්වන ලෙසය.

ශ්‍රී ලංකාව තුළ උදාවී ඇති යහපත් වාතාවරණය පිළිබදව තමන් දැනුවත් බවත් බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන පිළිබදව අවධානය යොමුකරමින් තම රජයට හා පෞද්ගලික අංශයට ඒ පිළිබදව දැනුවත් කිරීම් කිරීමට පියවර ගන්නා බවත් දෙරට අතර සබදතාව තවදුරටත් වර්ධනය කරගැනීමට ඕමානයේද අපේක්ෂාව වන බවත් මෙහිදී අදහස් දැක්වූ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් මහතා ද පවසා සිටියේය.

සූදු නියාමන අධිකාරී පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමතිය….

සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විදේශ ගතවීම හේතුවෙන් එම කාරක සභාවේ තාවකාලික සභාපති ලෙස පත් කරගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් 12 වැනිදා පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමතිය ලබා දී ඇත.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු අ‍ායතන ප්‍රමිතිකරණය කිරීමට, සමාජ හානි අවම කිරීමට, සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට හා ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පුළුල් හෝ පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සිදු වේ.