ගැටලාව වැවෙන් මතු වූ උණ්ඩ තොගය…..

ඊයේ (13) දින දහවල් කාලයේදී තම කුඹුර වෙත පැමිණි පුද්ගලයෙකු කුඹුරට ගොස් ඔහුගේ කකුල සේදීම සදහා ගැටලාව වැවට බැස ඇති අතර එම අවස්ථාවේ දී වැවෙහි ජලයේ තිබී උණ්ඩ කිහිපයක් දැක ඇති අතර මේ පිළිබඳව එම පුද්ගලයා විසින් කඩිනිමනි මේ පිළිබඳව 118 හදිසි ඇමතුම් අංකය හරහා විසින් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කර තිබෙනවා.පසුව මේ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වු ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඩබ්.එම්.එම්.ඩී.එන් චතුරංග මුරමුදලි මහතා ඇතුළු පොලිස් නිළධාරින් පිරිසක් විසින් සිදුකළ පරීක්ෂා කිරීමේදී ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ ගැටලාව වැවෙහි එක් ස්ථානයක ජලයේ තිබී විවිධ වර්ගයේ ජීව පතොරම් විශාල ප්‍රමාණයක් ඊයේ (13) දින සොයාගැනීමට හැකිවුණා.

සොයාගත් පතොරම් තොගය (5038) පන්දහස් තිස්අටක ප්‍රමාණයක් බවයි පොලිසිය සදහන් කළේ.

සොයාගත් උණ්ඩ තොගය මේ වන විට පොලිස් භාරයේ ඇති අතර අද (14) දින විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා එම ස්ථානය තවදුරටත් පරීක්ෂා කිරීමට නියමිතයි

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ උතුරුමැද පළාත් ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ විශේෂ උපදෙස් අනුව කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ මෙහෙයවීම යටතේ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එම්.එම්.ඩී.එන් චතුරංග මුරමුදලි මහතා වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

බොල්ගොඩ ගඟේ පුද්ගල මළසිරුරක්…..

මොරටුව පිළියන්දල මාර්ගයේ කොස්පෑලෑන පාලම අසල බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබියදී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වන සිව් දරු පියෙකි.

බොල්ගොඩ ගඟේ මළ සිරුරක් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පණිවිඩයකට අනුව මෙම මළ සිරුර සොයා ගෙන ඇත.

මෙම පුද්ගලයා මීට දින දෙකකට ඉහත දී සිට නිවසින් අතුරුදන්ව සිට ඇති අතර පවුලේ ඥාතීන් විසින් ඒ පිළිබඳව පොලිසියටද පැමිණිලි කර තිබේ.

මියගිය පුද්ගලයාගේ සහෝදරයෙකු පොලිසියට පවසා ඇත්තේ ඔහු දීර්ඝ කාලයක සිට මානසික රෝගී තත්ත්වයකින් සහ තවත් රෝග ගණනාවකින් පීඩා විඳි පුද්ගලයෙකු බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ රක්ෂිත බන්ධනාගාර ගත කරයි…..

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළාය.

සැකකරු ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙනත් පුද්ගලයෙකු නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් 03 ක් විවෘතකර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන් ගෙන්, පොලීසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් හා වෙනත් අපරාධකරුවන්ගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පාතාලයට සහාය දුන් දේශපාලනඥයින් හඳුනාගෙන ඇති බව පොලිස්පති කියයි….

පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දුන් දේශපාලනඥයින් මේ වනවිටත් හඳුනාගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.

37 වැනි පොලිස්පතිවරයා ලෙස ධුරයේ වැඩ ආරම්භ කරමින් ඔහු අද (14) මේ බව පැවසීය.

හංවැල්ලේ වෙඩිතැබීම ‘බනා මන්ත්‍රී’ ඝාතනයට පළිගැනීමක් – බුද්ධි තොරතුරුත් ලැබිලා….

හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ දී සිදුකර ඇති වෙඩිතැබීම ” හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රී’ ඝාතනයට පළිගැනීමක් බවට පොලීසිය සැක පළ කරයි.

හංවැල්ල පහත්ගම ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර තිබුණි.

ඊයේ රාත්‍රී 9.50ට පමණ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි සිටි පුද්ගලයෙකු ඉලක්ක මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

පොලීසිය පැවසුවේ, පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර ඉන් අදාළ පුද්ගලයාගේ වම්පාදයට තුවාල සිදුව ඇති බවය.

වෙඩිතැබීම සිදුකර වෙඩික්කරුවන් දෙදෙනා පලාගොස් තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුවේ ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නැමැත්තාගේ සමීපතයෙකු වන ‘කන්ද උඩ ඉරේෂ් ‘ නමැත්තාගේ 56 හැවිරිදි පියායි.

පසුගිය 12 වැනිදා මීගොඩ, ආටිගල මාර්ගයේදී හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රී’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණි.

ඝාතනය වූ ‘බනා මන්ත්‍රී’ නැමැත්තාගේ මස්සිනා වන ‘ගගන’ සහ ‘හඳපාන්ගොඩ හඳයා’ නම් අපරාධකරුවන් විසින් මෙම වෙඩිතැබීම මෙහෙයවූ බවට තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ,‍ හඳපාන්ගොඩ හඳයාගේ පාර්ශ්වයෙන් ලලිත් කන්නංගර පාර්ශ්වයේ අයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවිය හැකි බවට බුද්ධි අංශ මඟින් තොරතුරුද ලැබී තිබූ බවය.

ඒ අනුව ලලිත් කන්නංගරගේ සමීපතමයන් එම ප්‍රදේශයෙන් ඉවත් කර පොලිස් ආරක්ෂාව ලබාදී තිබූ බවත් ඒ අතරතුරදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවත් අදාළ පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

කණ්ඩලමේ හැඩකාරයාට පිං අනුමෝදනා කරයි…..

මාස හතරකට අධික කාලයක් කණ්ඩලම වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් තුවාල ලබා සිට ජීවිතයට සමුදුන් ‘කණ්ඩලමේ හැඩකාරයා’ නමින් හඳුන්වනු ලැබූ වනඅලියා වෙනුවෙන් පිං අනුමෝදනාවක් සිදුකර තිබේ.

අද (14) පෙරවරුවේ සිට විශාල ප්‍රදේශවාසීන් පිරිසක් වන අලියාගේ මළ සිරුර දැක බලා ගැනීම සඳහා එහි පැමිණ සිටි අතර ඔවුන් දැඩි සංවේගයට පත් වී සිටි බව අප වාර්තාකරු පැවසීය.

අනතුරුව රන්ගිරි දඹුලු වළගම්බා මහ පිරිවනේ නියෝජ්‍ය පරිවෙනාධිපති නිකපිටියේ සුනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් එම ස්ථානයට වැඩම කොට ආගමික වතාවත් සිදුකර පාංශකූල කටයුතු සිදුකරන්නට විය.

මතක වස්ත්‍ර පූජාකොට පැන් වඩා මියගිය ‘කණ්ඩලමේ හැඩකාරයා’ට බෞද්ධාගමික කටයුතු අනුව නිවන් සුව ප්‍රාර්ථනා කිරීමද මෙහිදී සිදුකර තිබේ.

මෙම වනඅලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (14) සිදුකිරීමට නියමිතව තිබේ.

මිට වසරකට ඉහතදී මුලින්ම මෙම අලියාට වෙඩි වැදී සිටියදී වනජීවී නිලධාරීන් ප්‍රතිකාර කොට පසුව වනයට මුදා හැර තිබිණු අතර මාස කිහිපයකට පසු නැවතත් තුවාල සුව නොවී වැව ඉස්මත්තට පැමිණි විට ජනතාව ආහාර ලබාදෙමින් රැක බලාගත්තේය.

කෙසේවෙතත් වනජීවි නිලධාරීන්ව අවස්ථා කිහිපයක දී දැනුවත් කිරීමෙන් අනතුරුව, වරින් වරින් පශු විද්‍යා කණ්ඩායම් පැමිණ වනඅලියාට ප්‍රතිකාර සිදුකර තිබුණි.

මාධ්‍ය මඟින් දිගින් දිගටම ‘කණ්ඩලමේ හැඩකාරයා’ සම්බන්ධයෙන් ජනතාව සහ බලධාරීන් දැනුවත් කිරීම හේතුවෙන් පරිසර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාද අදාළ ස්ථානයට ගොස් වනඅලියාගේ සුව දුක් සොයා බලා ප්‍රතිකාර නිසි ලෙස සිදුකිරීමට උපදෙස් ලබා දුනි.

නමුත් ප්‍රතිකාර හමුවේ වුවත් දිනෙන් දින අසාධ්‍ය තත්ත්වයට පත්වූ වනඅලියාට අවසාන කාලයේ දී සිංහල වෙදකම සිදුකිරීමට ද අනුමැතිය ලැබී තිබුණි.

ඒ අනුව දින 5ක පමණ කාලයක් වෙදකම් කරමින් සිටිය දී රටම හඬවමින් මහා සද්ධන්තයා ඊයේ සිය ජීවිතයට සමුදුනි.

දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයේ අලුත්වැඩියාවක්….

දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සිදු කෙරේ.

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ කොන්ක්‍රීට් වහල (Roof Terrace) මත තිබෙන පස් තට්ටුව ඉවත්කොට අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.

එමෙන්ම වැහි පිහිලි (Roof Gutters), තඹ දොර (Copper Door), පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය (Parliament Medical Center), වැසිකිළි පද්ධතිය (Washrooms) සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේකාගරයේ (Members Dressing Room) අලුත්වැඩියා කටයුතු මෙලෙස  සිදුකිරීමට නියමිතය.

මෙයට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ සුළු නඩත්තු කටයුතු සම්බන්ධිකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින්  සිදු කළද මෙම මහා පරිමාණ අලුත්වැඩියා කටයුතු  ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්  සිදු කරනු ලබයි.

පොලිස් ලොක්කෙක් අල්ලස් දැලේ…..

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ඒ මහතාව මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

නව පොලිස්පති වැඩ භාරගනී…..

නව පොලිස්පතිවරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (14) උදෑසන සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

ඒ පොලිස් මූලස්ථානයේ දීය.

මෙහිදී සභාව අමතමින් නව පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ, තමාට අට ලෝ දහම හොඳින් හුරු පුරුදු බවත්, පොලීසියේ ගෞරවය හා ප්‍රෞඩත්වය රැකගැනීම වෙනුවෙන් කළ හැකි සෑම දේම තමා සිය රාජකාරිය තුළ ඉටු කරන බවත්ය.

පොලීසියේ දැක්ම අනුව යමින් එය යථාර්ථයක් කිරීමට තමා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන්ගේ ඉහළ කාර්ය සාධනයක් බලාපොරොත්තු වන බව ද පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

විනයානුකූල පොලීසියක් සකස් කිරීම තම එකම අභිප්‍රාය බවත් එය තමා ඉහළින්ම සලකන බවත් පැවසු පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තමාව පොලිස්පති ධුරයට පත්කළ සියලුදෙනාට ස්තූතිය පළ කරන බවත් කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කරනු ලැබීය.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ (13) පස්වරුවේ භාරදුනි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඉ (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියද මෙම නව පත්වීම සඳහා ලැබී තිබුණි.

ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතිහාසයට එක්වුණි.

මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත්වූ පළමු පොලිස්පතිවරයා වන්නේද නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාය.

මීගොඩ නිවසක් ඉදිරිපිට අහසට වෙඩි….

මීගොඩ, මුතුහේනවත්ත නඳුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ (13) රාත්‍රී 10ට පමණ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අහසට වෙඩි තබා පලා ගොස් තිබේ.

මිලිමීටර් නවය වර්ගයේ උණ්ඩ යෙදූ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් එක් වෙඩිල්ලක් පමණක් තබා ඇති අතර,උණ්ඩය සහ උණ්ඩ කොපුව නිවස ඉදිරිපිට වැටී තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.

වෙඩි තැබීමෙන් පසු මුතුහේනවත්ත මාර්ගය දෙසටම යතුරු පැදිය පලා ගොස් ඇති අතර මීගොඩ පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.