උතුරේ ඉඩම් නිදහස් කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්…..

ආරක්ෂක අංශ යටතේ පවතින යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ආරක්ෂක බලධාරින් අතර පවත්වා තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අදාළ සාකච්ඡාවේදී ඉඩම් සම්බන්ධයෙන් වන සීමා නැවත සකස් කිරීම, අවසන් කිරීම, නිදහස් කිරීමට ප්‍රමුඛතාවය දිය යුතු ඉඩම් කොටස් තීරණය කිරීම සහ ඒ සම්බන්ධ පරිපාලනමය බාධාවලට පිළියම් සෙවීම පිළිබඳව අවධානය යොමුවු බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු  සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක් එක්ව සිට තිබේ.

එහිදි අත්‍යවශ්‍ය ආරක්‍ෂක යටිතල පහසුකම්වලට හානි නොවන පරිදි, නීත්‍යානුකූල අයිතිවාසිකම් සහිත ඉඩම් ඒවායේ හිමිකරුවන් වෙත නැවත ලැබීම සහතික කෙරෙන විනිවිඳභාවයෙන් යුතු හා සාධාරණ ක්‍රියාවලියක් ඇති කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකෙරුණු බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

ජාතික ආරක්‍ෂාව කෙරෙහි බලපාන කරුණු පිළිබඳව ද මෙහිදි විශේෂ අවධානයක් යොමුකරමින් රජය විසින් ක්‍රියාත්මක සංහිඳියාවේ වැඩපිළිවෙල වේගවත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකර තිබේ.

හිටපු අමාත්‍ය ප්‍රසන්නගේ නඩුවේ සම්පූර්ණ කතාව……

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් දූෂණ චෝදනා මත අද (12) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාව ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය කටයුතු කළේය.

එහිදී සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරුණු අතර, විදෙස් ගමන් තහනමක් ද පැනවීය.

හිටපු අමාත්‍යවරයාට චෝදනාව එල්ලව ඇත්තේ ඔහු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය දරමින් සිටියදී වූ සිද්ධියක් සම්බන්ධයෙන්ය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන 04හි සේවකයන් සඳහා වන සෘජු වෛද්‍ය රක්ෂණයට නීත්‍යනුකූල නොවන අන්දමට “මයි ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්” නමැති තැරැව්කාර සමාගමක් පත්කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් රුපියල් ලක්ෂ 47කට අධික කොමිස් මුදලක් ගෙවීම හරහා එම සමාගමට අයුතු වාසියක් සැලැස්වීම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයුතු පාඩුවක් සිදුකිරීම තුළ දූෂණය නමැති වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනුකර ඇත.

ඒ අනුව අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට අද දහවල් ඉදිරිපත් කළේය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි අබේසිංහ මහතා වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

“ස්වාමිනි සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04ක සේවකයින් සඳහා සෘජු වෛද්‍ය රක්ෂණ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබාගැනීමට හැකිව තිබියදී, මෙම තැරැව්කාර සමාගම ඊට මැදිහත් කරගැනීම හරහා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නොගෙවිය යුතු රුපියල් 47 ලක්ෂ 50,828ක් කොමිස් මුදලක් ලෙස එම සමාගමට ගෙවා තිබෙනවා. 

මෙයින් එම සමාගමට අයුතු වාසියක් සිදුවුණා සේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පාඩුවක් සිදුව තිබෙනවා. එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් වූ ප්‍රසම්පාදනයේ තැරැව්කාර සමාගමක් දක්වා නොතිබුණත් මෙම සැකකරු තමයි සංචාරක අධිකාරියේ සභාපතිට සහ අධ්‍යක්ෂ ජනරාල්ට එය තැරැව්කාර සමාගමක් ලෙස නම්කරලා කොමිස් මුදල ගෙවන්නැයි බලපෑම් කරලා තියෙන්නේ. 

එම සමාගමේ අයිතිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම මුදල තවත් ගිණුම් 05කට බැරකර ඇති බව අනාවරණය වුණා. එම ගිණුම් අයිති කාටද කියලා විමර්ශන කරන්න ඕනේ. 

විමර්ශනයට අදාළව සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා අල්ලස් කොමිසමට කැඳවා ප්‍රකාශ සටහන් කරගත්තාට පසු මෙම සැකකරු ඔවුන්ට දුරකථනයෙන් අමතා බලපෑම් කර තිබෙනවා. 

එබැවින් සාක්ෂිකරුවන්ට බලපෑම් නොවන පිණිස සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.” 

අනතුරුව සැකකාර හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, කොවිඩ් වසංගතය සමයේ විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වාගන්න කියලා ඔවුන්ගේ ඥාතීන් රජයෙන් ඉල්ලා සිටියා. හෝටල්වලින්, පෞද්ගලික ආයතනවලින් ඒ සඳහා අනුග්‍රහය ඉල්ලුවත් කිසිවෙක් ඊට ඉදිරිපත් වුණේ නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිව්වේ පහසුමිලට ගුවන් යානයක් දෙන්නම් නමුත් වියදම රජය දරන්න කියලා. 

පසුව මේ සැකකාර අමාත්‍යවරයා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට උපදෙස් දුන්නා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා අදාළ මුදල් තැරැව්කාර සමාගමට මුදාහරින්න කියලා. එම මුදල්වලිනුයි ස්වාමිනි කොවිඩ් සමයේ කුවේට්හි සිටී ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන් දිවයිනට රැගෙන ආවේ. 

ඔය කියන විදිහට මේ සැකකරු තැරැව්කාර සමාගම පෞද්ගලිකව නම් කරලා නැහැ. විවෘත සාකච්ඡාවකදියි එය සිදුකරලා තියෙන්නේ. අපි සූදානම් නඩු විභාගයට මුහුණදෙන්න. මේ හදන්නේ 21 වැනිදාට පෙර ප්‍රසන්න රණතුංගව රිමාන්ඩ් කරන්න.”

මෙහිදී සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, මේ සැකකරුට ශල්‍යකර්මයක් සිදුකර තිබීම හේතුවෙන් ඔහුට සාමාන්‍ය පරිදි ආහාර ලබාගන්න බැහැ. ඔහුට පැය හතරෙන්, හතරට කුඩා ආහාරයක් ලබාගත යුතුයි. ඊට විශේෂ ප්‍රෝටීන් මිශ්‍ර කිරීමක්ද කළ යුතුයි. නැතිනම් ඔහුගේ ජීවිතය අවදානමකට ලක්වෙනවා. 

එබැවින් ඔහුට ඇප ලබාදීමේදී මේ කරුණුත් සලකා බලන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සිය නියෝගය ප්‍රකාශයට පත්කළේය.

“මේ අවස්ථාවේ සිදුකළ යුතුවන්නේ නඩුවේ කරුණු පිළිබඳ නොව සැකකරුගේ ඇප අයැදුම පිළිබඳ සලකා බැලීම. අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ එන දූෂණය නම් වරද මෙම අධිකරණයට ඇප ලබාදිය හැකි වරදක්. 

අල්ලස් කොමිසම මේ සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බව වාචිකව කිව්වාට, ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවේ සඳහන් කර නැහැ. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අදාළ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ අරගෙනත් නැහැ. 2022 වර්ෂයේ සිට මේ දක්වා විමර්ශනයට අදාළව සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවටත් කරුණු අනාවරණය වෙලා නැහැ”.

ආයෝජන ආරක්ෂණයට නව පනතක්…..

ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ව්‍යවසායයන් සහ දේපොළ ඇතුළු පුද්ගලික දේපොළ අත්තනෝමතික ලෙස ජනසතු කිරීම වැළැක්වීම, ඵලදායී විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් ලෙස ආයෝජන ආරක්ෂණ මණ්ඩලයක් ස්ථාපිත කිරීම සහ ආයෝජකයින් සඳහා ප්‍රතිපත්ති ස්ථාවරත්වය සහ පුරෝකථනය කිරීමේ හැකියාව සහතික කිරීම යන අරමුණු ළඟා කරගැනීම පිණිස නව පනතක් හඳුන්වා දීම 2025 අයවැය මඟින් යෝජනා කරන ලදී.

ඒ අනුව, පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් පිළියෙල කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කරනු ලැබ ඇති බව රජය පවසයි.

එම කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත්කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්……

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ලබාදීමට අපේක්ෂා කරන වාහන කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලුදෙනාට හිමි නොවන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (11) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මේ වනවිට දැනට රජයෙන් වාහන ලබාදී සිටින පිරිසට මෙම අලුත් වාහනවල අවශ්‍යතාවයක් නොමැති බවය.

අයවැය කතාව පවත්වමින් පසුගිය දා ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවය සඳහා කැබ් රථ 1775ක් ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බවත් එම කැබ් රථ ලබාදීමට අපේක්ෂා කරන්නේ කා හටද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

රජය අපේක්ෂා කරන සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධාවක් වී ඇති බවත්, මෙම තත්ත්වය සලකා බලා, රාජ්‍ය ආයතන වෙත අත්‍යවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය අවසානයේ නැවත ආපසු බාරදීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා මූලිකව අවශ්‍ය වන රුපියල්  මිලියන 12,500ක් වෙන් කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී සඳහන් කළේය.

මේ අතර දැනට පැවති රාජ්‍ය සේවක පුරප්පාඩු 75,000න් පුරප්පාඩු 50,000 – 60,000ත් අතර ප්‍රමාණයක් බඳවා ගෙන අවසන් බව ද සඳහන් කර සිටි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, පාර්ලිමේන්තු පර්මිට් සංස්කෘතියට විරුද්ධව අතීතයේ කතා කළ පිරිස අද වනවිට එය හොඳයි කියන තත්ත්වයට පත්ව ඇතැයි ද පැවසීය.

“නිකන් ගොඩ ගැහුවේ නෑ. එකින් එක සොයා බලමින් මේ වනවිට 75,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන තියෙනවා. මගේ දැනුම හැටියට දැන් 50,000 – 60,000ක් බඳවා ගෙන තියෙනවා. මේ ඉන්න රාජ්‍ය සේවකයින්ට තෘප්තිමත්ව වැඩ කරන්න හොඳ මුලික වැටුපක් ලබාදුන්නා. ඒ අනුව 2027 ලැබෙන මුලික වැටුප මත පදනම්ව අපි දීමනා සැලසුම් කරලා තියෙනවා. හොඳ වැටුපක් අපි රාජ්‍ය සේවකයාට ලබා දීලා තියෙනවා.

එහෙම තත්ත්වයක් තුළ අපේ හැකියාව අනුව රාජ්‍ය සේවයට වාහන 1,775ක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. රාජ්‍ය සේවයට වාහන සහ යන්ත්‍රෝපකරණ ලබාගැනීමේ අරමුණින් තමා මේ මුදල වෙන් කරලා තියෙන්නේ. ඊළඟට මන්ත්‍රීවරු 225ටම දෙන්නේ නැත. දැනට රජයෙන් වාහනයක් ලබාදීලා තියෙන අයට වාහනයක් උවමනා නෑ. උදාහරණයක් විදියට කැබිනට්, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට. විපක්ෂ නායකතුමාට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ආදි දැනට රජයෙන් වාහනයක් ලබාදීලා තියෙන අයට වාහනයක් දෙන්නේ නෑ.

මේ පර්මිට් ලබාදීමෙන් රජයට අහිමි වෙන බදු ආදායම අති විශාලයි. මේ පර්මිට් ගත්ත බහුතරයක් පර්මිට් වික්කා. සමහර පක්ෂවල මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ඉන්නේ අවුරුද්දයි ඒ වුණාට වෙන කෙනෙක් එනවා හැබැයි පර්මිට් එක දෙනවා. එහෙම තමා මේ පර්මිට් සංස්කෘතිය පාර්ලිමේන්තුවේ තිබුණේ. මේ ඇවිල්ලා පර්මිට් එක විකුණගන්න මතයක් හදන කට්ටිය දාන ගුණ්ඩුවක්. අපි වාහනයක් දෙනවා මන්ත්‍රී ධුරය අවසන් වෙද්දි වාහනය භාරදීලා යන්න.”

පාස්කු ප්‍රහාරයට යුද හමුදා කර්නල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම දීර්ඝ කෙරේ….

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමකින් තොරව යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කේ. එස්. මද්දුමගේ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ජනවාරි මස 29 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කළේය.

අදාළ කර්නල්වරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද යළි සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත්කළ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවක වශයෙන් නම්කර සිටින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයකු පෙනී සිටින බව දැනුම් දුනි.

එමෙන්ම මෙම විමර්ශනයට අදාළ මුල් පැමිණිල්ල ඉදිරිපත් කළ රෝහාන්  සිල්වා පියතුමා ද එම නඩුකරයට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා සිය නීතිඥවරයා මාර්ගයෙන් අවසර ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා ජ්‍යෙෂ්ඨ යුද හමුදා බුද්ධි නිලධාරියෙකු වන අතර ඔහු මේ වන විට දියතලාව යුද හමුදා පුහුණු පාසලේ සේවය කරන බවත් කියා සිටියේය.

තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අරමුණින් පමණක් මෙම පෙත්සම ගොනු කර තිබෙන බවත් විමර්ශන අඩාල කිරීමේ කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළ සම්පූර්ණ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව සඳහන් කළාය.

මෙම සිද්ධීන්වලට අදාළ විමර්ශන අඛණ්ඩව සිදුවන බවත් ඇය සඳහන් කර සිටියාය.

ඒ අනුව මෙම නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 11 වනදාට පෙර ගොනු කිරීමට පියවර කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 14 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පාර්ෂවකරුවන්ට නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 29 වනදා කැඳවීමටද අධිකරණය විසින් නියම කරනු ලැබීය.

පවුල් සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක්…..

පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැන නැගී ඇති ගැටළු විසඳීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කිරීමටත් එම කමිටුව කරුණු අධ්‍යනය කර ලබා දෙන නිර්දේශ සහ නිර්ණායක මත එම ගැටළු කඩිනමින් විසඳීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි.

පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැන නැගී ඇති ගැටළු විසඳීමේ අරමුණින් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ නියෝජිතයින් සමග ඊයේ (10) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

පවුල් සෞඛ්‍ය සේවා පුහුණුව වසර 03ක් දක්වා දීර්ඝ කිරීම, පවුල් සෞඛ්‍ය සේවාව ස්වාධීන සේවාවක් බවට පත් කර ගැනීම, පවුල් සෞඛ්‍ය සේවා පුහුණු පාසල් ස්ථාපිත කිරීම, අතිකාල සේවා දීමනා මෙන්ම පරිවර්තන ගමන් වියදම් දීමනා ආදී කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මෙම සාකච්ඡාව සිදුව ඇත.

තවද එම සංගමයේ නියෝජිතයින් ඔවුන්ට බලපාන අනෙකුත් අනෙකුත් වෘත්ති ගැටලු මෙන්ම සිය සේවා කටයුතු සිදු කිරීමේදී අභියෝගයක්ව පවතින මානව හා භෞතික සම්පත් ආශ්‍රිත කරුණු රැසක් පිළිබඳවද, පවුල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ට ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා මෙන්ම එම සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ යෝජනාවන්ද වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සමග දීර්ඝව සාකච්ඡා කෙරුණි.

විසදුම් ලබා දිය හැකි ගැටලුවලට එම මොහොතේම නිලධාරීන් සමග සාකච්ඡා කර විසඳුම් ලබා දීමට නියෝජ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇති අතර තවත් කරුණු ගණනාවක් සම්බන්ධව කඩිනමින් විසඳුම් ලබා දීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී විමසා බැලුණි.

කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ……

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් මස 09 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (11) නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු  මොහොමඞ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වශයෙන් නම්කර සිටින රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය මුදල් කළමනාකරුවකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 09 වනදා දක්වා කල් තැබුණි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි සමයේ ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථනයේ බිල වන රුපියල්  240,000ක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් රජය සමයේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ මෙම සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව  මෙම නඩුව ගොනුකර තිබුණි.

අයවැය ගැන Fitch Ratings වෙතින් නිවේදනයක්……

ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත්කළ 2026 අයවැය සම්බන්ධයෙන්  Fitch Ratings ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ.

එම අයාතනය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා රජයේ නවතම අයවැයෙන් පෙන්නුම් කරන්නේ 2025 අයවැයෙන් ඔවුන්ගේ ඉලක්ක පසු කිරීමෙන් පසු මධ්‍ය කාලීනව රජයේ ණය/දළ දේශීය නිෂ්පාදිතය අඩු කිරීමට බලධාරීන් කැපවී සිටින බවය.

එමෙන්ම තිරසාර ශක්තිමත් ආදායම් කාර්ය සාධනය රජයේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා උපකාරී වනු ඇති බවද Fitch Ratings ආයතනය සඳහන් කර ඇත.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ප්‍රධාන මූල්‍ය සලකුණු සපුරාලීම අඛණ්ඩව සිදු කිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදන වාර්තාව වැඩිදියුණු කිරීමට බලධාරීන්ට උපකාරී වනු ඇති බවද Fitch Ratings ආයතනය පවසයි.

එමෙන්ම සාර්ව ආර්ථික ස්ථාවරත්වය ද ප්‍රතිලාභදායක වනු ඇති බව Fitch Ratings ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

හුරුළුවැව දේවාලය ආසන්නයේ තිබී උණ්ඩ සොයාගැනේ…..

ගලෙන්බිඳුණුවැව, හුරුළුවැව දේවාලය ආසන්නයේ ඇති නාන තොටුපොළක් අසළ තිබී උණ්ඩ තොගයක් පොලීසිය විසින් සෙයාගෙන තිබේ.

එලෙස සොයාගෙන ඇත්තේ, T-56 උණ්ඩ 21, MPMG අවිවලට භාවිතාකරන උණ්ඩ 33කි.

මීට අමතරව 9MM පිස්තෝල වර්ගයේ ගිනිඅවි සඳහා භාවිතාකරන උණ්ඩවල හිස්කොපු 118ක් සහ දුම්බෝම්බයක්ද සොයා ගෙන ඇති බව සඳහන්ය.

අද (11) සවස 4.30ට පමණ හුරුළුවැවට දිය නෑම සඳහා පැමිණි තරුණයින් දෙදෙනකු විසින් මෙම උණ්ඩ තොගය දැක ඇති බව වාර්තා වෙයි.

එහිදී මෙම තරුණයින් දෙදෙනා 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුම්වත් කර තිබුණි.

පසුව එම ස්ථානයට පැමිණි ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කර මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ප්‍රාදේශීය සභා උණුසුම් කළ මංගල අයවැය……

කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ පාලන බලය හිමි ජාතික ජන බලවේගය අද (11) එහි මංගල අයවැය වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය.

2026 වසර සඳහා පළාත් පාලන ආයතනවල අයවැය ඉදිරිපත් කිරීම් මේ දිනවල සිදුවෙයි.

ජාතික ජන බලවේගයට බලය හිමි  කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ අයවැය අද සභාවට ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.

එහිදී ජාතික ජන බලවේගයේ සභිකයින් හය දෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙද්දී විපක්ෂය නියෝජනය කරන සියලු සභිකයින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩි ඡන්ද හතරකින් අයවැය පරාජයට පත්වුණි.

මේ අතර පාලක ජාතික ජන බලවේගයට සභික ධුර 10ක් සහ විපක්ෂයට සභික ධුර 12ක් හිමි පුත්තලම – ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ද  අද පැවැත්වුණි.

එහිදී විපක්ෂයේ සභිකයින් 11 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරද්දී ජාතික ජන බලවේගය හා එක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන්  ඡන්ද ප්‍රමාණය සම තත්ත්වයට පත්වුණි.

ඒ අනුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සිය තීරක ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිවූ අතර එහිදී අයවැය සම්මත කරගැනුණි.

මේ අතර ජාතික ජන බලවේගයට බලය හිමි මීගහකිවුල  ප්‍රාදේශීය සභාවේ අයවැය ද සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් සම්මත කරගැනුණි.

ජාතික ජන බලවේගයට සභික ධුර නවයක්  සහ විපක්ෂයට සභික ධුර දහයක් හිමිව තිබුණද එක්සත් ජාතික පක්ෂයේ සභිකයා සභා රැස්වීමට සහභාගී වී සිටියේ නැත.

ඒ අනුව පක්ෂව සහ විපක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය සමාන වීම හේතුවෙන් සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අයවැය සම්මත කරගැනුණි.

මේ අතර පාලක ජාතික ජන බලවේගයට සභික ධුර 9ක් සහ විපක්ෂයට සභික ධුර 11ක් හිමි හලාවත නගර සභාවේ අයවැය වැඩි ඡන්දයකින් සම්මත වුණේ ස්වාධීන කණ්ඩායමක සභිකයෙකු අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන්ය.

ජාතික ජන බලවේගයේ සභිකයින් 9 දෙනාට අමතරව ස්වාධීන කණ්ඩායම් සභිකවරියක්ද අයවැයට පක්ෂය ඡන්දය ලබාදීමත් සමඟ එක් වැඩි ඡන්දයකින් අයවැය සම්මත කරගැනීමට ජාතික ජන බලවේගයට හැකිවුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයා මෙහිදී  ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය.

මේ අතර නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද වැඩි ඡන්ද 14කින් සම්මත කරගැනීමට එහි බලය හිමි ජාතික ජන බලවේගයට හැකිවුණි.

ඒ අයවැයට පක්ෂව පොදුජන එක්සත් පෙරමුණේ සභිකයින් තිදෙනෙකු,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයෙකු සහ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරන සභිකයෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන්ය.

මේ අතර මතුගම ප්‍රාදේශිය සභාවේ ලේකම්වරියගේ ක්‍රියා කලාපයට සහ වැලිගම ප්‍රාෙද්ශීය සභාවේ සභාපති ඝාතන සිද්ධියට විරෝධය පළකරමින් එහි බලය හිමි සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක සභිකයින් අද විරෝධතාවක නිරත වුණි.

ඔවුන් චෝදනා කළේ ප්‍රදේශිය සභාවේ රාජකාරි කටයුතු සිදු කරගෙන යාම සඳහා එහි ලේකම්වරිය සභාපතිවරයාට නිසි සහයෝගයක් ලබා නොදෙන බවටය.

කෙසේවෙතත් මෙම සභිකයින් ප්‍රාදේශීය සභාව තුළට පිවිසීමට පෙර පොලීසියේ පරීක්ෂාවට ලක්කිරීමේදී විරෝධතා පුවරු අතර තිබී ප්ලාස්ටික් පිස්තෝලයක් හමුවුණි.

මේ අතර, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පුත්තලම – නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රිවරුන් කළු පැහැති ඇඳුම්වලින් සැරසී අද එහි මාසික සභා රැස්වීමට පැමිණ සිටියේය.