වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී…….

ශ්‍රී ලංකා රුපියල මත තිබෙන පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් අද දිනයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329 යි ශත 92ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම අගය 2023 ‍දෙසැම්බර් 27 වැනිදායින් පසු ඩොලරයක් වෙනුවෙන් මෙරට වාර්තා වූ ඉහළම මිලයි.

2022 මාර්තු 07 දක්වා රුපියල් 202.99ක ස්ථාවර අගයක පැවති පැවති අමෙරිකානු ඩොලරයේ රුපියල් වටිනාකම, 2022 මාර්තු 08 දින සිට රුපියල පා කිරීමට ගත් තීරණයත් සමගින් ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.

එහි ප්‍රතිඵලයක් ලෙස 2022 මැයි 12 වන විට රුපියල් 377.49ක් දක්වා ඩොලරයේ විකුණුම් මිල ඉහළ ගියේය.

කෙසේවෙතත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හමුවේ ක්‍රමයෙන් රුපියල අවප්‍රමාණය පාලනය වූ අතර 2023 වසර අවසානය වන විට රුපියල් 328.77ක් දක්වාත් පහළ ගියේය.

ඉන් පසු මේ දක්වා වාර්තා වූ ඩොලරයක අඩුම විකුණුම් මිල 2024 දෙසැම්බර් 13 වෙනිදා වාර්තා වුණි.

ඒ රු. 294.49ක් ලෙසින්ය.

මෙවන් පසුබිමක 2023 ‍දෙසැම්බර් 27 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම විකුණුම් මිල අද දිනයේදි වාර්තා වී තිබේ.

ඒ රුපියල් 329.92ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව 2026 වසරේ ජනවාරි 01 සිට මැයි 08 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.6කින් අවප්‍රමාණය වී තිබේ.

රුපියල දිගින්දිගටම යළි අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා මෙලෙස කරුණු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මූල්‍ය ප්‍රතිපත්ති රාමුව අනුව විනිමය අනුපාත සකස්වීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්ත්වයක්. නමුත් මේ වසරේ අපට දක්නට ලැබෙන්නේ බාහිර තත්ත්වයන් වෙනස්වීම, හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල විතරක් නෙවෙයි, අනෙක් ඊට සමාන විනිමයත් අව ප්‍රමාණය වීම සහ අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමයි. ගෝලීය අවිනිශ්චිතභාවයයි ඊට හේතු වී තිබෙන්නේ. උදාහරණයක් විදියට ඇතැම් මාධ්‍ය අද වාර්තා කරල තිබුණා. ඉන්දීය රුපියල ඉතිහාසයේ දුර්වලම මට්ටමට දැන් පත්වී ඇතිබව. ඒක සිදුවෙලා තිබෙන්නේ ඉන්දීය සංචිත බැංකුව සතුව ඩොලර් බිලියන 700ක විදේශ සංචිත තිබියදීයි. පිලිපීන මහ බැංකුව, තායිලන්ත මහබැංකුව ගත්තොත් එම රටවල විනිමයත් අවප්‍රමාණවීමත් එක්ක ඔවුනුත් යම් මට්ටමකට මැදිහත්වෙමින් විනිමය අනුපාත නිශ්චිත මට්ටමක පවත්වාගන්න කටයුතු කරනවා. අපේ විනිමයට අද සිදුවෙලා තිබෙන්නේ ඇත්තටම බාහිර කම්පනයට මුහුණ දීමට සිදුවීමයි”

රුපියල දිගින්දිගටම අවප්‍රමාණය පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කරන ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය ඩොලර් ඉල්ලුම මත වැඩි බලපෑමක් සිදු කිරීම මේ තත්ත්වයට බලපා ඇති බවයි.

එමෙන්ම බොරතෙල් වෙළඳපොළේ අස්ථාවරත්වය හා නැව් ගාස්තු ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වි තිබේ.

ඇඩ්වොකාටා ආයතනය තවදුරටත් පෙන්වා දෙන්නේ සෘජු ලෙස ආනයනවල මිල ක්‍රමයෙන් ඉහළ යෑමටත් අපනයන ආදායම වැඩිවීමටත් මෙම තත්ත්වය බලපාන අතර , ණය ගෙවීමේදි මෙලෙස රුපියල අවප්‍රමාණය වීම යම් අවාසිසහගත බලපෑමක් ඇති කරන බවය.

අත්තනගලු ඔයේ පහත්බිම්වලට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක්……

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබී ඇති සැලකිය යුතු වර්ෂාපතනය සහ එම ද්‍රෝණිය තුළ ස්ථාපිත ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණයට අනුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

ඒ අනුව දිවයිනේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට මෙම අවදානම පවතින බව සඳහන්ය.

එමෙන්ම එම පහත්බිම් ප්‍රදේශ හරහා වැටී ඇති ඇතැම් මාර්ග ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමේ අවදානමක්ද පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන් සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන වාහන රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇති අතර, අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙතද දැනුම් දී තිබේ.

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි – ජනතාවටත් දැනුම්දීමක්……

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද (14) පස්වරු 7.30 වනවිට ධාරා ප්‍රදේශවලට රදේශයට ලැබෙන වර්ෂාව හේතුවෙන්  දැදුරුඔය ජලාශයේ  වාන් දොරටු 2ක් යළි විවෘත කර ඇති බව වාරියපොළ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව එම වාන් දොරටු දෙක අඩිය බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 1,400ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරෙමින් පවතින බව සඳහන්ය.

මේ අතර ඉඟිනිමිටිය ජලාශයේද අද පස්වරු 7.00 වනවිට වාන් දොරටු කිහිපයක් විවෘත කර ඇති බව වාරිමාර්ග ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා පවසයි.

ඒ අනුව වාන් දොරටු 2ක් අඩි 3 බැගින් සහ තවත් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 5,000ක ජල ප්‍රමාණයක් මී ඔයට මුදාහැරෙමින් පවතී.

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක්ද විවෘත කර ඇති අතර, ඉන් දොරටු 4ක් අඩි 3 බැගින් සහ තවත් දොරටු 4ක් අඩි 2 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 4,400ක ජල ප්‍රමාණයක් මී ඔයට නිකුත් කෙරෙන බවද සඳහන්ය.

මේ හේතුවෙන් ඉඟිනිමිටිය සහ තබ්බෝව ජලාශවල පහළ ප්‍රදේශවල, විශේෂයෙන් මී ඔය ආශ්‍රිතව ජීවත්වන ජනතාව ජල මට්ටමේ වෙනස්වීම් පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

මේ අතර  නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට අද පපස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ශාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන් ගෙන ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසීය.

විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දැමිමත් සමග කෙසෙල්ගමුඔයේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවන් තව දුරටත් පැවසීය.

හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්……

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට හෙට (15) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් පරිදි, හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස එම කලාපයේ සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම්දී තිබේ.

එමෙන්ම අනෙකුත් අවශ්‍යතා සඳහා ගුරුවරුන් සහ සිසුන් හෙට දින පාසලට කැඳවීමෙන් වළකින ලෙස දැනුම්දී ඇත.

ශ්‍රී ලංකාවට ලබාදෙන IMF සහාය අඛණ්ඩව……

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිමත් වීමේ උත්සාහයන් සඳහා තවදුරටත් පූර්ණ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යළිත් අවධාරණය කර තිබේ.

අද (14) පැවති මාධ්‍ය හමුවකදී IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සඳහන් කළේ, මෑත කාලයේ ශ්‍රී ලංකාව විශාල ආර්ථික පීඩනයක් ඇති කළ ප්‍රබල කම්පන දෙකකට මුහුණ දී ඇති බවයි.

ඇය පෙන්වා දුන්නේ ඉන් පළමුවැන්න “දිට්වා” සුළි කුණාටුව වන අතර, එය ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි බලපෑමක් එල්ල කළ ස්වභාවික විපතක් බවය.

දෙවැනි කම්පනය ලෙස මැද පෙරදිග යුද්ධයේ අඛණ්ඩ බලපෑම ඇය සඳහන් කළාය.

එවැනි අභියෝග හමුවේද ශ්‍රී ලංකාවේ ජනතාව සහ ආර්ථිකය “සුවිශේෂී ඔරොත්තු දීමේ හැකියාවක්” පෙන්නුම් කර ඇති බව කොසැක්  පැවසුවාය.

IMF සහාය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ මේ වනවිට ප්‍රතිඵල ලබාදීමට ආරම්භ කර ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

බලධාරීන්ගේ ශක්තිමත් කැපවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය දියුණු වෙමින් පවතින බවද ඇය සඳහන් කළාය.

තවද, ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් ඉදිරියේදී ලබාදිය හැකි සහාය පිළිබඳව තීරණය කරන බවත්, ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා IMF තවදුරටත් දැඩි කැපවීමකින් පසුවන බවත්  ජූලි කොසැක් මහත්මිය අවධාරණය කළාය.

අනුර ප්‍රියදර්ශන යාපාට එරෙහි නඩුවක් ජූනි 19ට කල්යයි……

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහි නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන ජූනි මස 19 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (13) නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩු විභාගය ජූනි 19 වනදාට කල් තැබීමට තීන්දු කර තිබේ.

2014 වසරේ දෙසැම්බර් මස 26 වනදා සහ 2015 ජනවාරි මස 26 වනදා අතර කාලසීමාව තුළ ගංවතුර ආධාර සපයන බව පවසමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 6,146,110ක මුදලක් අනීතික ලෙස වැය කර මූල්‍ය වංචාවක් සිදුකර ඇති බව නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ.

ශානිට DIG දෙන්න නිර්දේශයක්……

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධික‍ාරී ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය නියෝග කර තිබේ.

ඒ අනුව මේ පිළිබඳව අද (13) ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.

2026 වසරේ අගෝස්තු මස 25 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබා දී ඇති අතර වැඩ තහනමට ලක් වූ දින සිට මේ දක්වා ඔහුට අහිමි වූ සියලුම හිඟ වැටුප් සහ දීමනා ගෙවීමටද තීන්දුව ලබා දී තිබේ.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ කීර්තිමත් නිළධාරියෙකු ලෙස සැළකෙන ශානි අබේසේකර මහතා මෙරට මෑත ඉතිහාසයේ සිදුවූ සංකීර්ණ අපරාධ පරීක්ෂණ රැසක් මෙහෙය වූ දක්ෂ නිළධාරියෙකු ලෙස සැලකේ.

2020 වසරේ ජූලි මාසයේදී ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගැණුනු අතර මාස 11ක වැනි දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමටද ඔහුට සිදුවිය.

පසුව අභියාචනාධිකරය විසින් ඔහු ඇප මත මුදා හරින ලදී.

කෙසේ වෙතත් 2024 වසරේදී 3/2018 චක්‍ර ලේකයේ ප්‍රතිපාදන අනුව යලි සේවයේ පිටවූ ශානි අබේසේකර මහතා අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරනු ලැබීය.

සමුපකාර දෙපාර්තමේන්තුවේ ලක්ෂ 1,670ක් අවභාවිත කර ඇති බව COPA හිදී අනාවරණය වෙයි…..

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ රීතිවලට පරිබාහිරව, එහි අතිරික්ත මුදලින් රුපියල් මිලියන 167ක මුදලක් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබාදී රජයට පාඩු සිදුකිරීම ඇතුළු මූල්‍ය අක්‍රමිකතා රැසක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වය දරණ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව , ඒ මහතා  නොපැමිණීම  දන්වා තිබූ බැවින්,   පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්ව තිබුණි.

මෙම කාරක සභාව හමුවට සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව කැඳවා තිබූ අතර, එහිදී 2021-2024 කාලසීමාවට අදාළ විගණන වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂාවට ලක් කෙරිණි.

කාරක සභාවේදී අනාවරණය වූ පරිදි, 2013 වසරේදී සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරික්ත මුදලින් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබාදුන් ණය මුදලක් පියවීම 2015 වසරේ සිට නතර වී ඇත. මේ හේතුවෙන් රුපියල් මිලියන 167ක මුදලක් රජයට අහිමි වී ඇති අතර, මේ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට කාරක සභාව තීරණය කළේය.

එසේම, වසර 12ත් 59ත් අතර කාලයක් තිස්සේ සමුපකාර සමිති 28කින් අයකර ගැනීමට ඇති රුපියල් මිලියන 31කට අධික ණය මුදල් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. එම සමිති පළාත් සභා යටතේ පවතින බැවින් ඍජුව මැදිහත් විය නොහැකි බව නිලධාරීන් පැවසූ අතර, නව සමුපකාර පනත කඩිනමින් සකස් කර එම මුදල් අයකර ගැනීමට කාරක සභාව උපදෙස් දුන්නේය.

එමෙන්ම දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ රුපියල් මිලියන 50ක “දිනක් වයසැති කිකිළි පැටවුන් ලබාදීමේ ව්‍යාපෘතිය”, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7කට පමණක් සීමා කිරීම පිළිබඳව කාරක සභාවේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. බිත්තර හිඟයට පිළියමක් ලෙස ගෙන ආ මෙම ව්‍යාපෘතියේ සිදුවූ අක්‍රමිකතාව පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට නියෝග කළේය.

පිළිරුවක් මත හිසක් තැබීමේ අමානුෂික අපරාධයේ සුලමුල හෙළිවෙයි…..

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර, ඔහුගේ හිස රැගෙන ගොස් ප්‍රදේශයේ පිහිටි රත්නාවලී දේවියගේ පිළිරුවෙහි දෑත් මත තබායෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ.

අදාළ අපරාධයට තිදෙනෙකු පැමිණ ඇති බවට සැකකෙරෙන අතර, එම තිදෙනාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ, මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගයෙකුගේ සහෝදරයෙකු ඝාතනය කිරීමකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවය.

එමෙන්ම රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු‍ මෙම ඝාතනය සම්පූර්ණයෙන් මෙහෙයවා ඇති බවටත් මේ වනවිට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මෙලෙස ඝාතනය වූයේ ලක්මාල් සඳරුවන් හෙවත් ‘පොඩී’ නැමැති 34 හැවිරිදි අයෙක්ය.

පසුගිය මැයි 11 වැනිදා රාත්‍රියේදී ඔහුගේ ඝාතනය සිදුවූ අතර, එදින ඔහුගේ උපන්දිනයද යෙදී තිබූ බව පොලිසිය පැවසීය.

එම පුද්ගලයා 2025 වසරේ පෙබරවාරි මස 2 වැනිදා මාමඩල ප්‍රදේශයේම සිදුවූ ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු බවට මේ වනවිට කරුණු අනාවරණය වී ඇත.

එම සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔහු ඉකුත් මාර්තු 30වනදා ඇපමත මුදාහැර තිබේ.

ඒ අනුව ඇපමත පැමිණ සිටි ඔහුව සලිත උදයංග මල්ලිකාරච්චි නොහොත් ‘මෙත්ත ලොකු’, චමීර උදයංග හා සාරංග දර්ශන යන තිදෙනා විසින් මෙම ඝාතනය කර ඇති බවට අනාවරණය වී තිබේ.

එම තිදෙනාව ඝාතනය වූ පුද්ගලයාගේ බිරිඳ විසින් හඳුනාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව චමීර උදයංග නැමැත්තාව සිද්ධිය වූ දිනම අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, අනෙක් දෙදෙනා අද (13) පස්වරුවේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඝාතනය වූ පුද්ගලයා ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ බවට සැකකෙරෙන ත්‍රිත්ව ඝාතනයේ අසංක මල්ලිකාරච්චි නොහොත් ‘මෙත්ත පොඩී’ නැමැත්තා, අත්අඩංගුවට පත් වූ සලිත උදයංග මල්ලිකාරච්චි හෙවත් ‘මෙත්ත ලොකු’ නැමැත්තාගේ සහෝදරයෙක්ය.

ඒ අනුව සිය සහෝදරයාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බව පොලිසියට පැවසීය.

‘මෙත්ත පොඩී’ නැමැත්තා ඇතුළු තිදෙනාව ඝාතනය කර ඇත්තේ ප්‍රදේශයේ සිදුවන මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදෙන බවට ඇති වූ සැකයක් මත බව සඳහන්ය.

එම ඝාතනයට සම්බන්ධවූවන් බියකිරීමේ අරමුණින් ‘පොඩී’ නැමැත්තා ඝාතනය කර ඔහුගේ හිස රැගෙන ගොස් එලෙස රත්නාවලී දේවී පිළිරුවේ තබන්නට ඇති යැයි පොලිසිය පවසා ඇති බව වාර්තා වේ.

බීමතින් පැමිණ පිරිස මෙම ඝාතනය කර ඇති බවට ද තොරතුරු ලැබී ඇති බවද පොලිසිය සඳහන් කළේය.

එමෙන්ම හිස කඳින් වෙන්කර රැගෙන යෑම සම්පූර්ණයෙන්ම සැලසුම්කර ඇත්තේ, ‘මෙත්ත පොඩී’ නැමැත්තාගේ මවගේ සහෝදරයෙකු වන රංජිත් ප්‍රියන්ත එදිරිවීර නොහොත් ‘කරුණ ලොක්කා’ නැමැත්තා විසින් බවට පොලිසිය සැකපලකරයි.

අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ‘කරුණ ලොක්කා’ ඝාතනය සිදුවූ දින උදෑසන තමන්ට එරෙහිව මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් අගුණුකොලපැලැස්ස අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට භාරවී තිබේ.

එහිදී ඔහුට ඇප තැබීමක් සිදු වී නොමැති හෙයින් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ.

එයද ඔහු මෙම ඝාතනය මෙහෙය වූ බවට එල්ලවන චෝදනා මගහැරීම සඳහා සිදුකළ එකක් බවට පොලිසිය සැකපළකරයි.

ඔහු මෙම ඝාතනය සිදුකරන බවට සැලසුම් කරන බවට ද ආරක්ෂක අංශවෙත තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.

නීතිවිරෝධී මත්පැන් ජාවාරම හේතුවෙන් ඇතිවූ ආරවුල් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතන සිදුව ඇති බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරී විජේබන්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් අම්බලන්තොට පොලිසියේ ස්ථානධිපති අමිල රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලබයි.

‘ඩුබායි අසිතට’ අයත් වත්කම් රැසකට අධිකරණයෙන් තහනමක්….

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙසින් සැලකෙන ‘ඩුබායි අසිතට’ නමැත්තාට අයත් බව පැවසෙන රන් පවුම් 105ක් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් කර තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය සිදුකළ කරුණු දැක්වීමකින් අනතුරුව මෙම නියෝගය ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම ඔහුට අයත් රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා වෑන් රථයක් හා රුපියල් ලක්ෂ 10ක මුදලක්ද තහනම් කිරීමට අධිකරණය කටයුතු කර තිබේ.

මෙම මුදල් හා රන් භාණ්ඩ ‘ඩුබායි අසිත’ නමැත්තා සිය ඥාතීන්ගේ නම්වලින් මිලදීගෙන තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.