ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහි නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන ජූනි මස 19 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (13) නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩු විභාගය ජූනි 19 වනදාට කල් තැබීමට තීන්දු කර තිබේ.
2014 වසරේ දෙසැම්බර් මස 26 වනදා සහ 2015 ජනවාරි මස 26 වනදා අතර කාලසීමාව තුළ ගංවතුර ආධාර සපයන බව පවසමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 6,146,110ක මුදලක් අනීතික ලෙස වැය කර මූල්‍ය වංචාවක් සිදුකර ඇති බව නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ.

