නව මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් වැඩ භාරගනී…..

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන රසික පීරිස් මහතා නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස අද (14) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

1998 මාර්තු 2වනදා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පත්වීම් ලැබූ ඒ මහතා, එම වසරේම සැප්තැම්බර් 15වනදා මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස සේවයට එක්ව තිබේ.

එතැන් සිට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු හා අතිරේක මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස එම දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අඛණ්ඩව අවුරුදු 27ක් සේවය කළ ජ්‍යෙෂ්ඨතම මාණ්ඩලික නිලධාරියෙක්ය.

හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාට වයස අවුරුදු හැට සම්පූර්ණවීම මත පසුගිය 13වනදා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම ධුරය මේ දක්වා පුරප්පාඩුව තිබුණි.

යතුරුපැදිකරුවෙකු හප්පා පලාගිය රියදුරා සොයයි…..

වරකාපොල පොලිස් වසමේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ 36 කන්ද කෝවිල අසලදී අද (14) අලුයම යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර වාහනයක් පලාගොස් තිබේ.

තුවාල ලැබූ යතුරුපැදිකරුවෙකු මාර්ගයේ වැටී සිටින බවට වරකාපොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලීසිය එම තුවාලකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 31ක් වූ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මෙය රිය අනතුරක් හේතුවෙන් සිදුවූ මරණයක් බවට පොලිසිය විසින් සැකකරන අතර, අනතුර සිදු කරන ලද රථය නොනවත්වා පලා ගොස් ඇත.

මෘත ශරීරය වරකාපොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වරකාපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් නොමිලයේ සෞඛ්‍ය කඳවුරක්…..

2025 දී ලෝක දියවැඩියා දිනය (නොවැ. 14) වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සමාජ සත්කාරක වැඩසටහනක් හෙට (15) ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව හෙට පෙ.ව 6.30ට දියවැඩියා පිළිබඳ දැනුම්වත්කිරීමේ පාගමනක්  කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ සිට ක්‍රියාත්මක කෙරේ.

ඉන් අනතුරුව පෙ.ව. 7.30ට සිට කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේ දී සෞඛ්‍ය කඳවුරක් ඇතුළුව දැනුම්වත්කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සියලු කටයුතු නොමිලයේ සිදුකරන බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය පවසයි.

කොටහේනේ ඝාතනයට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට……

කොටහේන ප්‍රදේශයේ දී පසුගියදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු හා සැකකාරියක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ඊයේ (13) ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන මෙම අපරාධය සිදුකිරීම සඳහා වෙඩික්කරු පැමිණි කාර් රථයේ රියදුරු ලෙස සිටි සැකකරු හා අපරාධය සිදුකිරීමට සැකකරුවන්ට නවාතැන් පහසුකම් සපයන ලද සැකකාරියක් බව පොලීසිය පවසයි.

ඔවුන්ගෙන් සැකකරු වයස අවුරුදු 27ක් වන කොළඹ 13  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරිය වයස අවුරුදු 32ක් වන මහරගම ප්‍රදේශයේ පදිංචිකාරියක්ය.

මේ වනවිට රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගනිමින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය ඔවුන්ගෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙම මස ඉකුත් 7 වනදා කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේදී මෙම මනුෂ්‍ය ඝාතනය සිදුවිය.

එහිදී ඝාතනයට ලක් වූයේ අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් ‘පූකුඩු කන්නා’ නැමැත්තාගේ ගෝලයෙකු බව විමර්ශනවලදී අනාවරණ විය.

“මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙමු ක්‍රීඩාව තුළින් ජය පරාජය ට හුරුවෙමු” ශෝධනයට ලක්වූ තරුණ ප්‍රජාවට ක්‍රීඩා වැඩසටහනක්…..

මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙමු ක්‍රීඩාව තුළින් ජය පරාජය ට හුරුවෙමු යන පරමාර්ථය පෙරදැරි කරගෙන විශෝධනයට ලක්වූ තරුණ ප්‍රජාවට ක්‍රීඩා වැඩසටහනක් මාතර කොටවිල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි .

විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අධිකරණය වෙත යොමු කරන ලද තරුණ තරුණියන් එමඟින් මුදවා ගෙන නැවත සමාජගත කිරීමේ අභිලාෂයෙන් මාතර අධිකරණ බල ප්‍රදේශයේ විශෝධන නියෝගලාභීන් සහභාගිත්වයෙන් පවත්වන ලද ක්‍රීඩා වැඩසටහන මාතර කොටවිල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි .
විනෝදය සඳහා මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරුව සිටින මෙම පුද්ගල කණ්ඩායම සඳහා විවේකය ඵලදායීව ගතකිරීමට සහ ජීවිතයට සතුට ළඟා කර ගැනීමට ක්‍රීඩාව තුළින් හැකියාව ලැබෙන බව අවබෝධ කර දීමට මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබිණි.

මෙම වැඩසටහන මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරී ජේ.එස්. අනුර රෝහණ මහතා සහ එම කාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් සංවිධානය කර තිබූ අතර වැලිගම ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී කේ.එච් තුෂාර ප්‍රියංජිත් මහතාගේ සම්පත් දායකත්වය ලබා දී තිබිණි.
මෙම අවස්ථාවට මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ වැඩ පරීක්ෂක එරංග ලංගප්පුලි මහතා සහ එච්.ජී.යූ.සම්පත් මහතා ,වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී ඊ.ඒ. චතුරි නිසංසලා මහත්මිය සහ සී.විජේසිංහ මහත්මිය,වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී පී. ජී. එන්.සී. කරුණානායක මහතා සහ ගයාන් ලසන්ත මහතා ඇතුළු නිලධාරීන්  සහභාගි විය.

News Iamges.00_00_48_04.Still963 News Iamges.00_00_48_04.Still964

වැලිගම – තරංග ගුණරත්න

ආණ්ඩු විරෝධී රැළියේ අරමුණ රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා දීමයි – නාමල් රාජපක්ෂ….

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය, රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම  අරමුණු කරගත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නාමල් රාජපක්ෂ වැඩිදුරටත්  පැවසූවේ, විපක්ෂයේ විවිධ පක්ෂ රැසක් දැනටමත් මෙම සාකච්ඡාවලට එක්ව ඇති බවය.

අතීතයේදී සාකච්ඡා පැවතියේ පොදුජන පෙරමුණ තුළ පමණක් වූ අතර මේ වනවිට අප විපක්ෂයේ  සියලු පක්ෂ සමග සාකච්ඡා කරන බවද නාමල් රාජපක්ෂ පැවසීය.

තවද, එම රැලිය ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බල කිරීම අරමුණු කරගත් බවත්, “රජයේ ප්‍රතිපත්ති නිසා බලපෑමට ලක්වූ බොහෝ දෙනාත් මෙම රැලියට එක්වනු ඇතැයි නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ රැසක් රැලියට එක්වීමට එකඟ වී ඇති අතර, තවත් පක්ෂවල සහභාගීත්වය ඔවුන්ගේ අභ්‍යන්තර සාකච්ඡා නිමා වූ පසු තීරණය කරනු ඇති බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

තුසිත හල්ලොලුවට වරෙන්තු…..

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (13) වරෙන්තු නිකුත් කර තිබේ.

නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තුසිත හල්ලොලුව නම් කර සිටි.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර තුසිත හල්ලොලුව මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඒ අනුව මෙම වරෙන්තුව නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

රන් මිල රු 10,000කින් ඉහළට….

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ.

අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,212 පසුකර ‍ගොස් ඇත.

මෙරට රත්‍රං මිල ඊයේ දිනට සාපේක්ෂව රුපියල් 10,000කින් අද (13) දිනය වනවිට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 310,800ක් ලෙස දැක්වුණි.

ඊයේ දිනයේ එම මිල ගණන් දැක්වුණේ රු. 301,500ක් ලෙසය.

මේ අතර ඊයේ දිනයේ දී රු. 326,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 336,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලොකු පැටීගේ ගෝලයෝ දෙදෙනෙක් බඩුත් එක්ක මාට්ටු….

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටීගේ’ ගෝලයන් දෙදෙනෙකු ජාවාරම් මුදල් ලක්ෂ 26ක්, හෙරොයින් මත්කුඩු තොගයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 2ක්  සමඟ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මන්හන්දිය සහ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 24 සහ 27 හැවිරිදි තරුණයින් දෙදෙනකු බව පොලීසිය පවසයි.

“ඉවත්වනු” මෙහෙයුම යටතේ ජංගම සංචාරයේ නියැලී පොලිස් කණ්ඩායම අලුත්ගම ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ඊසිකෑෂ් ක්‍රමයට මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

බැංකු වාර්තා, දුරකථන වාර්තා ලබාගෙන වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බවද පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

අලුත්ගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින්ව රඳවාගෙන ප්‍රශ්න කරන්න එරට රජයෙන් තීරණයක්…..

මාලදිවයින් ආරක්ෂක අංශ විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 5දෙනා දින 30ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එරට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන් මෙරටට රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පසුගිය නොවැම්බර් 7 වන දින අවිශ්ක පුතා නමැති බහුධින ධීවර යාත්‍රාව මාලදිවයින් මුහුදු සීමාවේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමග එරට ආරක්ෂක අංශ භාරයට ගනු ලැබීය.

එහි අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 355කට අධික ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇති අතර එම යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනා ද අත්අඩංගුවට ගෙන තිබුණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ මාලදිවයින් ආරක්ෂක බළකාය සහ එරට පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ විමර්ශනයකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එම ධීවරයින් පිරිස මෙරටට රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් ද පසුගියදා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණි.

එහෙත් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බැවින් ඔවුන් මෙරටට රැගෙන ඒමට නොහැකි වී ඇති බව වාර්තා වන්නේ.

ඒ අනුව මෙරට ආරක්ෂක අංශ නිලධාරින් ඉදිරි දින දෙක තුළ දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන් ය.