නැගෙනහිර සරසවියේ උපකුලපති පැහැර ගැනීම – පිල්ලෙයාන් සැකකරුවකු ලෙස නම් කරන බව CID එක කියයි…..

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් රඳවාගෙන සිටින සැකකරුවන් තිදෙනෙකු ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා ඉදිරියේ ප්‍රකාශ ලබා දෙමින් ඔවුන් සිද්ධියට සම්බන්ධ නැති බව ප්‍රකාශ කර තිබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශ ලබා දී ඇත.

අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් තිදෙනා මඩකලපුව සහ වාලච්චේන පදිංචිකරුවන් වේ.

නඩරාසා නගුලේන්ද්‍රන් නොහොත් ‘සිම්බු’, කදිර්ගාමර් තම්බි ජයකීසන් නොහොත් ‘ජෙයන්දන්’ සහ නිමල් දේවසුගන් නොහොත් ‘ජයකාන්තන්’ මෙම සැකකරුවන් තිදෙනායි.

සැකකරුවන් තම නීතිඥ අශෝක වීරසූරිය හරහා මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබුණේ තමන් මෙම ප්‍රකාශ නිදහසේ සහ කිසිදු ආකාරයක බලපෑම් කිරීමකින් තොරව ලබා දෙන බවයි.

වීරසූරියගේ ඉල්ලීමක් සළකා බැලීමෙන් පසු ප්‍රකාශ සටහන් කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ, මෙම නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු දැනට රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් ‘පිල්ලෙයාන්’ ඊළඟ අධිකරණ දිනයේදී සැකකරුවකු ලෙස නම් කරන බවයි.

සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත ඉදිරිපත් කරමින්, පැහැර ගැනීම ඇසින් දුටු සාක්ෂිකරුවකු සිටින බවත්, ඔහු සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශයක් ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඇසින් දුටු සාක්ෂිකරුගේ ප්‍රකාශය අනුව පැහැර ගැනීමට මෙම සැකකරුවන් සම්බන්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන්ගෙන් දෙමළ භාෂාවෙන් ප්‍රශ්න කළ නමුත් සිංහල භාෂාවෙන් ලියා ඇති ප්‍රකාශ සඳහා ඔවුන්ගේ අත්සන් ලබාගෙන ඇති බවයි.

සැකකරුවන් අත්සන් කළ ප්‍රකාශවල අන්තර්ගතය පිළිබඳ කිසිදු අදහසක් ඔවුන්ට නොතිබූ බවත්, ඔවුන් නඩුව පිළිබඳ දන්නා දේ සහ ඔවුන්ට සිදු වූ දේ විමර්ශකයන්ට පැවසූ බවත් ඔහු අවධාරණය කළේය.

කරුණු සළකා බැලීමෙන් පසු, මහේස්ත්‍රාත්වරයා වැඩිදුර නඩු විභාගය සැප්තැම්බර් 8 වැනිදාට කල් දැමූ අතර එදින නඩුවේ ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

රුපියල් මිලියන 85ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට….

රුපියල් මිලියන 85ක් වටිනා කුෂ් කිලෝග්‍රෑම් 8.542ක් නීති විරෝධීව රැගෙන යාමට උත්සාහ කළ  ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද (13) දින උදෑසන 09.45 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාවේ මදුරෙයි වෙත පිටත්ව යාම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානය පැමිණෙන තෙක් ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී රැදී සිටි තිබේ.

එහිදී ඔහුගේ ගමන් මලු ශ්‍රී ලංකන් ගුවන් සේවා නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර පරීක්ෂාවකට ලක් කිරීමේ දී එහි සැක කටයුතු යමක් ඇති බව දර්ශනය වීමත් සමග ඒ අසළ සේවයේ නිරත වී සිටි
“රැන්ඩි”  නැමති පොලිස් නිල සුනඛයා එම ගමන් මල්ල ඉව කර එහි මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට සංඥා කර ඇත.

ඒ අනුව මෙම ඉන්දීය ජාතිකයා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී , ඔහුගේ ගමන් මල්ල තුළ පැකැට් 16 ලෙස සකස් කර ඇසුරුම් කළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 542 ක් සගවා ගෙන තිබියදී  සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම ගුවන් මගියා සහ ඔහු රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය හෙට (14) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත භාර දීමට නියමිතය.

ජනතාවගේ සෞඛ්‍ය නංවන්න මෙම වසරේදී සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක්….

මෙරට ජනතාවගේ රෝග කල් තියා හඳුනාගත හැකි, ප්‍රතිකාර සඳහා යොමුවිය හැකි සහ ඒ පිළිබඳව පසුවිපරමක නිරතවිය හැකි මෙන්ම වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් සඳහා යොමු කළ හැකි ජනතාවට සමීප සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක් ඉදිරියේදී ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් 26 වැනිදා සිට මෙරට දිස්ත්‍රික්ක පහක නියමු ව්‍යාපෘතියක් ලෙස මධ්‍යස්ථාන 10ක් ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ රත්නපුර දිස්ත්‍රිත්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී පැවැති “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනට එක්වෙමිනි.

එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ මෙම වසරේදී සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් සඳහා ඉදිරි මාස කිහිපයේදී මුල්ගල් තබන බවත් වසර තුනක් තුළ සුවතා මධ්‍යස්ථාන දහසක් මගින් ජනතාව ආවරණය කිරීමටද බලාපොරොත්තු වන බවත්ය.

වර්තමානය වනවිට පවතින ප්‍රධානම අභියෝගය බෝ නොවන රෝග බවත් එයින් මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ආරෝග්‍යා සුව සායන මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් ආරෝග්‍යා සුව සායන පවත්වන බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම බෝ නොවන රෝග සඳහා ගොදුරුවන පිරිසෙන් පරීක්ෂණ සඳහා යොමුවන්නන් ඉතා සීමිත පිරිසක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා පැවසුවේ පරීක්ෂණවලට යොමු වුවද ප්‍රතිකාර සඳහා යොමුවන්නේ ඉතා අඩු පිරිසක් වන බවත් එයින් ප්‍රතිකාර අඛණ්ඩව ලබා ගනු ලබන්නේද ඉතාම සීමිත පිරිසක්ද වන බවය.

තවද ඉදිරි වසර කිහිපයකින් පසු මෙරට ජනගහනයෙන් 25%ක් වැඩිහිටි ජනගහනය බවට පත්වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පෝෂණ තත්ත්වය, මානසික සෞඛ්‍ය වැනි කරුණු පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කරමින් මෙවැනි ජංගම සායන දීප ව්‍යාප්තව ග්‍රාමීය මට්ටමින් පවත්වන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

වසරේ ගතවූ කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000කට ආසන්න වෙයි….

මෙම වසරේදී මේ දක්වා සහල් සම්බන්ධ මුළු වැටලීම් ප්‍රමාණය 3,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කිරීම, සහල් තොග සඟවා තැබීම, පාරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කිරීම් ඇතුළු සහල් සම්බන්ධ විවිධ ප්‍රමාණයේ වැටලීම් 3,000ක් මේ වන විට සිදුකර ඇති බවය.

එමෙන්ම වැඩි මිලට සහල් විකිණීම් සම්බන්ධ වැටලීම් දහසකට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බවද පැවසූ එම අධිකාරිය පැවසුවේ ඒ මගින් පුද්ගලයින් 900කට අධික ප්‍රමාණයකට අධිකරණය හමුවේ නඩු පැවරීමටද කටයුතු කළ බවය.

පාරිභෝගික අධිකාරිය පැවසුවේ සහල් අලෙවියේදී වැඩි මිලට අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරිකයෙකුට එරෙහිව නඩු පැවරීමේදී ඔහු වරදකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක් හෝ මාස 5ක සිර දඬුවමක්ද නියම කළ හැකි බවත් නැතහොත් එම දඩ මුදල හෝ සිර දඬුවම යන දෙකම නියම කිරීමටද හැකියාවක් ඇති බවය.

එමෙන්ම පෞද්ගලික සමාගමක් වරදකරු වන්නේ නම් රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩයක් නියම කිරීමටත් සහල් සගවතැබීම සම්බන්ධව වරදකදී වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඩුවම හෝ ඉහත දෙකම මෙන්ම අදාල භාණ්ඩ තොගය රාජසන්තක කිරීමටද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකි බවද එම අධිකාරිය පවසයි.

තවද, දෙවනවර සිදුකරන වරදකදී එම අවම දඩ මුදල මෙන් දෙගුණයක් දඩ  නියම කිරීමටත්, වසරක් දක්වා සිර දඩුවමක් ලබාදීමටත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකියාව පවතින බවත් එම අධිකාරිය පැවසීය.

මගී ප්‍රවාහන බස් රථයක මත්ද්‍රව්‍ය ඇති බවට ඔත්තුවක්…..

සිරිපුර සිට මහනුවර බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක රිය සහයක සන්තකයේ මත්ද්‍රව්‍ය තිබෙන බවට ලද තොරතුරක් මත ඊයේ (13) ගිරාදුරුකෝට්ටේ පොලිස් ස්ථානයේ නිලධාරීන් එම බස් රථය පොලිස් ස්ථානය ඉදිරිපිටදීම නවත්වා පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී මදන මෝදක ලෙස හදුන්වන මත්ද්‍රවය ගුලි 05ක් එම සහයක සන්තකයේ තිබී සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.

ඒ් හේතුවෙන් එම බස් රථයේ සිටි මගීන් බස්සවා වෙනත් බස් රථයකට යොමුකර ඇත.

ඉන් අනතුරුව රියදුරු සහ සහයක වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මහියංගනය මූලික රෝහල වෙත යොමුකර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ගුලි සන්තකයේ තබාගෙන සිටි රිය සහයක මත්ද්‍රව්‍ය භාවිතා කර නොමැති බවත්, බස් රථයේ රියදුරුගේ ශරීරයේ ගංජා මත්ද්‍රව්‍ය අන්තර්ගතව ඇති බවත්ය.

ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මහියංගනය මහෙස්ත්‍රාත් අධිකරණයවෙත ඉදිරිපත් කරනු ලැබීය.

තවද එම ගුලි නිකුත්කළ ඔසුසලක් සම්බන්ධවද පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භකර ඇත.

හිස, දෙඅත් සහ කකුල් නොමැති මළ සිරුරක් හමුවෙයි…..

මාරවිල මූදු කටුව වෙරළ තීරයට මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට අද පැමිණිල්ලකට අනුව මාරවිල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම මළ සිරුරේ හිස, දෙඅත් සහ කකුල් තිබී නොමැති අතර නිල් පැහැති කොට කලිසමක් සහිත ශරීරයේ එක් කොටසක් පමණක් ඉතිරිව තිබූ බව පොලීසිය පැවසුවේය.

පොලීසිය සැක පළ කරන්නේ අදාළ මළ සිරුර පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් විය හැකි බවය.

කෙසේ වෙතත් මාරවිල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මූලික පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මිලියන 210ක රන් බිස්කට් සමග ගුවන්තොටුපොළ සේවකයෙක් කොටුවෙයි…..

රුපියල් මිලියන 210කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් තම පාදවල සඟවා අද (14) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් පිට කර ගෙන යමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීවරයෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව, කඳවල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙකු වන සැකකරු සිවිල් ගුවන් ආරක්ෂක සේවා සංවිධානයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන අයෙකු බවද වාර්තා වේ.

ඔහු කැරට් 24 රන් බිස්කට් 51ක් තම පාදවල සඟවල විශේෂ වෙළුම්පටිවලින් ඔතා  ඒවා යළි සිය මේස්වලින් වසා ගෙන කටුනායක ගුවන් තොටුපොළින් පිටව යාමට ඇති විශේෂ කවුළුවෙන් පිටව යමින් සිටියදී සැකකරු අද උදෑසන 6.50ට පමණ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම රන් බිස්කට් තොගය කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 941ක බරකින් යුතු අතර මෙම රන් බිස්කට් තොගය කිසියම් පුද්ගලයෙකු මොහුට ගුවන් තොටුපළින් පිට කර දීම සඳහා භාර දෙන්න ඇතැයිද සැකකරු දීර්ඝ කාලයක් මෙම ජාවාරම සිදුකරන ගෙන යන්නට ඇතැයිද රේගු නිලධාරීන් සැක පළ කරති.

සිද්ධිය සම්බන්ධව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සැකකරු සිය අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටින බවද වාර්තා වේ.

කරන්දෙණියේ මව සහ පුතා ඝාතනයේ සැකකරු අත්අඩංගුවට…..

කරණ්දෙණිය කොටවෙල ප්‍රදේශයේදී පසුගිය 11 වන දින සවස් කාලයේදී මවක සහ පුත්‍රයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු තියුණු ආයුධයක් සමග කරන්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අසල්වැසි නිවසේ පදිංචි අයෙකු වන අතර ඔහු නීතිවිරෝධී මත්පැන් ජවාරමේ නියුතු අයෙකු මෙන්ම කපා කොටා ප්‍රදේශවාසීන් බිය වැද්දීම්වලට අදාළ නඩු පවතින අයෙකු බවද පොලීසිය පැවසීය.

මේ වන විට මියගිය දෙදෙනාගේ මෘතදේහ ඥාතීන්ට භාරදී ඇති අතර අද සවස ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

මිද්දෙණියෙන් හමුවූ රසායන ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් රසායන ද්‍රව්‍ය ඇති බව තහවුරු වෙයි…..

මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් ලබාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බව අනාවරණය වී තිබේ.

ඒ බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදුකළ පරීක්ෂණවලදී අදාළ අනාවරණය සිදුව ඇති බව වාර්තා වෙයි.

කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මිද්දෙණිය ප්‍රදේශයෙන් පසුගිය සැප්තැම්බර් 06 වනදා සොයාගත්තේය.

ඒ කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන් නැමැත්තාගෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් තොරතුරු අනුවය.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සසහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ මෙම කරුණු අනාවරණය කරගෙන තිබුණි.

අනතුරුව අදාළ රසායනික ද්‍රව්‍ය සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකර තිබුණි.

ඒ අනුව අදාළ සාම්පල සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාව පසුගිය සිකුරාදා පොලීසියට භාරදී ඇති බව වාර්තා වෙයි.

2026 වර්ෂය තුළ අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න….

2026 වර්ෂය තුළ අනුගමනය කළ යුතු පාසල් වාර සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරයේ පළමුවන අදියර ආරම්භ වන්නේ, 2026.01.01 බ්‍රහස්පතින්දා සිට 2026.02.13 සිකුරාදා තෙක්ය.

පළමු වාරයේ පළමු වන අදියරයේ නිවාඩු ලබාදෙනු ලබන්නේ 2026.02.14 සිට 2026.03.02 වනදා තෙක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ පාසල් වාර සටහනේ දැක්වෙයි.

ඉන් අනතුරුව පළමු වාරයේ දෙවන අදියරය 2026.03.03 අඟහරුවාදා සිට 2026.04.10 සිකුරාදා තෙක් පැවැත්වෙයි.

පළමු වාරයේ දෙවන අදියරය සඳහා නිවාඩු ලබාදෙනු ලබන්නේ, 2026.04.11 සිට 2026.04.19 වනදා තෙක්ය.

දෙවන පාසල් වාරය 2026.04.20 සඳුදා සිය 2026.07.24 සිකුරාදා තෙක් පැවැත්වෙයි.

තෙවන පාසල් වාරයේ පළමු වන අදියර 2026.07.27 සඳුදා සිට 2026.08.07  සිකුරාදා තෙක් පැවැත් වෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

තෙවන පාසල් වාරයේ පළමු වන අදියර සඳහා නිවාඩු ලබාදෙනු ලබන්නේ, 2026.08.08 සිට 2026.09.06 වන දින තෙක් නිවාඩු ලබාදෙනු ලැබේ.

තෙවන පාසල් වාරයේ දෙවන වන අදියර 2026.09.07 සඳුදා සිට 2026.12.04 සිකුරාදා තෙක් පැවැත්වෙන බව  අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.