කෙහෙළියට එරෙහි මූල්‍ය චෝදනාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුට ඇප….

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නීතී විරෝධී ලෙස උපයා ගත් බව කියන රුපියල් කෝටි 74 කට අධික මුදලක් විශුද්ධිකරණය කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකුවන නිමල් සිසිර කුමාර සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාතියකු වන බණ්ඩාර රඹුක්වැල්ල යන අය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.

මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබීය.

මෙම නඩුකරය කැඳවනු ලැබූ අවස්ථාවේ සැකකාර නිමල් සිසිර කුමාර නමැත්තා මහෙස්ත්‍රාත්වරයා හමුවේ පැයක පමණ කාලයක් රහස් ප්‍රකාශයක් ලබා දී ඇත.

ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.

ඉන් අනතුරුව සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසත් නියෝග කර ඇත.

රජයේ ආයතන රැසක ඉහළ පුටුවල වෙනසක්…..

රජයේ ආයතනවල ඉහළ තනතුරු ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද මහතා පවසයි.

අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වූ නම් මේ වන විටත් සාකච්ඡා කරමින් පවතින බවය.

ඒ අනුව ඉදිරියේදී රජයේ ආයතනවල සභාපති, අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රධානීන් ඇතුළු තනතුරු ගණනාවක වෙනස්කම් ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට නියමිතව ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනා ඉහළට – දැඩි නිර්ණායක ලිහිල් කිරීමට පියවර…..

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනා ඉහළ දැමීමට එහි පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම්වරයා ඇතුළු සාමාජිකයන් 07 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය අද(10) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කමිටු නිර්දේශවලට අනුව, දැනට ලබා දෙන වෛද්‍යාධාර ගාස්තු සංශෝධනය කරමින් එම ආධාර මුදල  වැඩි කිරීමට තීරණය වී ඇති අතර වෛද්‍යාධාර ලබාදීමේදී පවතින දැඩි නිර්ණායක ලිහිල් කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ආධාර ලබාගත හැකි වන පරිදි එම ක්‍රමවේදය සරල  කිරීමටද මෙහිදී එකඟතාව පළවී ඇත.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා රුපියල් ලක්ෂයක එකවර ගෙවන ආධාර මුදලක් ලබාදීමට ද ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

රජයේ රෝහල්වල හෘද සැත්කම් සහ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා පවතින දිගු පෝලිම් අවම කිරීම සඳහා ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව ද මෙම රැස්වීමේ දී අවධානය යොමුව ඇති බව සඳහන් වේ.

ජනාධිපති අරමුදලේ මූල්‍ය තත්ත්වය ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති අතර, අරමුදල මගින් ආධාර ලබන්නන්ගේ ප්‍රමාණයන් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙබ් අඩවියේ පළ කරමින් ජනාධිපති අරමුදලේ විනිවිදභාවය තහවුරු කිරීමට ද මෙහිදී උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සත්‍යග්‍රහයේ නිරත ධීවරයන් ඉවත් කිරීමට පොලීසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි….

ජනාධිපති ලේකම් කාර්යාලය අසල සත්‍යග්‍රහයක නිරතව සිටින මාදැල් ධීවර කර්මාන්තයේ නිරත පිරිස් එතැනින් ඉවත් කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස පොලීසිය සිදුකළ ඉල්ලීමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කොටුව පොලිස් ස්ථානය මගින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අදාළ ඉල්ලීම මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ප්‍රතික්ෂේප කළ බව  අද දෙරණ වාර්තාකරු පැවසීය.

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ධීවරයන් සිදු කරන උද්ඝෝෂනය හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදුවන බැවින් එය නවතන ලෙස නියෝගයක් නිකුත් කරනැයි  කොටුව පොලීසිය මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබිණි.

අදාල මෝසම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ජනතාවට සාමකාමී උද්ඝෝෂණ සිදු කළ හැකි බවත් උද්ඝෝෂණය කිරීම ජනතාව වෙත ඇති අයිතියක් බවත්  ප්‍රකාශ කරමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය .

එසේම උද්ඝෝෂකයන් විසින් මංමාවත් පනත, පොලිස් ආඥා පනත ඇතුළු නෛතික විධිවිධාන උල්ලංඝනය කරමින් මහජන පීඩාවක් ඇතිවන අයුරින් උද්ඝෝෂණය සිදු කරන්නේ නම් පොලිස් බලතල අනුව ක්‍රියාත්මක වන ලෙසද මහේස්ත්‍රාත්වරයා කොටුව පොලිසියට නියෝග කළේය .

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන ලෙස බලකරමින් මාදැල් ධීවරයින්  අඛණ්ඩව අද (10) හයවන දිනටත් මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කර ඇත.

දුරකථන සිම්කාඩ්පත්වලට අදාළ ග්‍රාහක තොරතුරු ගැන රජය ගත් අලුත්ම තීරණය…..

දුරකථන සිම්කාඩ්පත්වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීම සඳහා වූ දැනට ක්‍රියාත්මක රෙගුලාසි සංශෝධනය කර නව රෙගුලාසි හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීමට නියමිතව ඇත.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන අනුව 2019 අංක 01 දරන ග්‍රාහක සිම්කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි පසුගිය 2019 වසරේ අගොස්තු මස 02 දින ප්‍රකාශයට පත්කර ඇති අතර එම රෙගුලාසි එදිනෙන් පසුව නිකුත් කරන ලද සිම්කාඩ්පත් සඳහා පමණක් අදාළ වේ.

ඒ අනුව 2019-08-02 දිනට පෙර ලබා ගන්නා ලද ඇතැම් සිම්කාඩ්පත් පිළිබඳව ග්‍රාහක තොරතුරු දුරකථන ක්‍රියාකාරු සමාගම් සතුව නොමැති අතර ඒ හේතුවෙන් ඇතැම් නීති විමර්ශන කටයුතුවලදී ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

තවද වයස අවුරුදු 16-17 අතර ග්‍රාහකයින් ලියාපදිංචි කිරීමට සහ මෙරටට පැමිණෙන විදේශිකයින්ට සිම් කාඩ්පත් නිකුත් කිරීමට අදාළ නව විධිවිධාන ද ඇතුළත් කරමින් දැනට ක්‍රියාත්මකව පවතින රෙගුලාසි වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලෙපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාවද රජය විසින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව අදාළ රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අදාළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජනපති ප්‍රමුඛ රජයේ වැඩපිළිවෙල බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමාගේ ඇගයුමට….

ශ්‍රී ලංකාවේ නව සමාජ සහ ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා ඇගයීමට ලක් කර තිබේ.

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුව තිබේ.

එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා ඇත.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සුහද කතා බහක නිරත වූ අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සහ වංචා දූෂණ වැළැක්වීමට රජය ක්‍රියාත්මක කර ඇති පුළුල් වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරමින් ඊට සිය ආශිර්වාද කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙසෙන බෝරා ප්‍රජාව සහ අනෙකුත් ප්‍රජාවන් අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳව මෙන්ම බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබා දෙන දායකත්වය පිළිබඳව මෙම හමුවේදී බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා විසින් ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ මෙරට සංචාරය පිළිබඳ සිය ගෞරව පූර්වක ස්තූතිය පිරිනමන බව සඳහන් කළේය.

මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්තානය, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ටේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති.

බෝරා ප්‍රජාවේ නායකයන් ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු එක්ව සිටියහ.

ජනපති හෙට නුවරඑළියට……

විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) ප.ව 2.30ට නුවරඑළිය නගරයේදී පැවැත් වේ.

මලෛගම් ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන සමාජ ගැටලුවක් ලෙස විෂ මත්ද්‍රව්‍ය උවදුර හඳුනාගෙන තිබෙන අතර,  සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් පුළුල් දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් මගින් එම ජනතාව ඉන් මුදාගෙන ඔවුන් සමාජ සහ ආර්ථික වශයෙන් ඉහළට ඔසවා තැබීම මෙහි අරමුණයි.

විෂ මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම්වලදී සක්‍රීය දායකත්වයක් ලබා දුන් පොලිස් නිලධාරින් 62 දෙනෙකු ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු කිරීමට නියමිතය.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර කඹුරුපිටියේදී…..

මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට තීරණය කළ  සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි පවසයි.

බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යයේදී අද (10) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ හිමියන් මේ බව සඳහන් කළේය.

වර්තමාන රජය විසින් අභිනවයෙන් පිහිටුවන ලද බුද්ධ ශාසන සභාවෙහි තෙවන සභාවාරය අද පැවැත්වුණු බවත් එහිදී මෙම තීරණය ගනු ලැබූ බවත් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි,

“රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරයේදී පවත්වන්නට තීරණය කරනු ලැබුවා. එය සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය මගින් කරන ලද නිර්දේශය අද දින බුද්ධ ශාසන සභාවත් බුද්ධ ශාසන අමාත්‍යතුමන්, නියෝජ්‍ය අමාත්‍යතුමන් එකතුව අද තීරණය කළා මේ අවුරුද්දේ මාතර දිස්ත්‍රික්කයේ පවත්වන්න.”

මේ අතර රාජ්‍ය  පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් හමුවී මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට රජය තීරණය කළ බව පසුගිය ජනවාරි 24 වැනිදා ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මැයි මස 01 වැනි දින විසා නැතක නොයෙදීමෙන් එම දිනය වෙසක් පොහොය ලෙස යොදා ගැනීම සුදුසු නොවන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බවත් ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගනු ලැබූ බවය.

පසමිතුරු සටනට ලැබුණු අනුමැතියෙන් පසු ශ්‍රී ලංකාවට එන ගුවන් ටිකට්පත්වල මිල ඉහළට……

ඉන්දියාව, පාකිස්තානය සහ මැදපෙරදිග රටවල සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ ගුවන් ටිකට්පත් මිල සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මීට හේතුව වී ඇත්තේ, ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලදී දැඩි කතාබහක් නිර්මාණය කළ ඉන්දු පකිස්තාන තරගාවලියට පකිස්තාන රජය විසින් පාකිස්තාන කණ්ඩායමට තරග කිරීමට අවසර ලබාදීමෙන් පසුය.

විශේෂයෙන්ම ඉන්දියාවේ සිට කොළඹට වෙත පැමිණෙන ගුවන් ගමන් සඳහා ටිකට් මිල සාමාන්‍යය මිලට වඩා තුන් ගුණයකට ආසන්න ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මුම්බායි, දිල්ලි සහ චෙන්නායි වැනි නගරවල සිට කොළඹ වෙත පැමිණි ගුවන් මගීන්ගේ සෑම කාණ්ඩයකම සෘජු ගුවන් ගමන්වල ටිකට් පත් මිලද සාමාන්‍ය මට්ටම ඉක්මවා ඉහළ ගොස් ඇති බවය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රි ලංකාවේ සම සත්කාරකත්වය යටතේ මේදිනවල පැවැත්වෙයි.

ඒ යටතේ කණ්ඩායම් 20 ක් කාණ්ඩ 4ක් යටතේ තරග වදින අතර ක්‍රීඩාවේ පසමිතුරන් වන ඉන්දියාව හා පාකිස්තානය A කාණ්ඩයෙන් තරග වදියි.

එහෙත් මෑතක සිට දෙරට අතර පවතින පසමිතුරු තත්ත්වය මත ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති ඉන්දු – පාකිස්තාන තරගයට සහභාගි නොවන බව පාකිස්තානය පසුගියදා නිවේදනය කළේය.

මෙය මහත් ආන්දෝලනයට තඩුදුන් අතර ක්‍රීඩා ක්ෂේත්‍රෙය්, රූපවාහිනී තරග විකාශය අංශවල මෙන්ම වානිජ ක්ෂේත්‍රෙය්ද ඒ ගැන මහත් කතාබහක් නිර්මාණය වුණි.

එවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පාකිස්තාන ක්‍රිකට් සභාපති මොෂින් නක්වි වෙත ලිපියක් යවමින් එම තීරණය වෙනස් කරන ලෙස ඉල්ලීමක් කළේය.

ක්‍රිකට් සභාපතිවරයා සිය ලිපියේදී , පාකිස්තානය ක්‍රීඩාවේ ගැටලුවලට මුහුණ දුන් අවස්ථාවල ශ්‍රී ලංකාව ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වූ ආකාරයද සිහිපත් කරමින් දන්වා තිබුණේ ඉන්දු පාකිස්තාන තරගය නොපැවැත්වීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා සංචාරක කර්මාන්තයට වන හානියද සැලකිල්ලට ගෙන තීරණය වෙනස් කරන ලෙසය.

එහෙත් පෙබරවාරි 15 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දියාව සමඟ තරගය ක්‍රීඩා නොකරන ස්ථාවරයේම පාකිස්තානය සිටි අතර ක්‍රීඩාවේ නාමයෙන් මෙම තරගයට සහභාගි වන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයාද පාකිස්තානයෙන් ඉල්ලීමක් කළේය.

මෙවන් වාතාවරණයක ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සමඟ දුරකථන සංවාදයක නිරතව තිබුණි.

එහිදී ජනාධිපතිවරයා ඉන්දු – පාකිස්තාන තරගය සම්බන්ධ ගැටලුව ගැන සාකච්ඡා කර තිබේ.

අසීරු අවස්ථාවලදී පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සැමවිටම එකිනෙකාට සහයෝගය දැක්වූ ආකාරය සිහිපත් කළ ජනපතිවරයා 1996 දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පාකිස්තානය ඉන්දියාව සමඟ එක්ව දැක්වූ සහායද අගය කර තිබේ.

එම අවස්ථාවේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ද , ගිය වසර අගදී ත්‍රස්ත ප්‍රහාරය අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාකිස්තානයේ රැඳී සිටිමින් දැක්වූ සහාය පිළිබඳ කෘතඥපූර්වකව සිහිපත් කළ බව සඳහන්ය.

මෙම සංවාදය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ දිට්වා ව්‍යසනයෙන් පසු රට යළි නැගී සිටින මොහොතක ඉන්දු – පාකිස්තාන තරගය පැවැත්වීම මෙරටට සංචාරක , ආර්ථික මෙන්ම වානිජ අතින් ශක්තියක් වන බැවින් ඊට ක්‍රීඩා කරන්නැයි තමන් පාකිස්තානයට ඇරියුම් කර සිටින බවය.

ඊට එම අවස්ථාවේදීම පාකිස්තාන අගමැතිවරයාගෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී තිබේ.

එම සංවාදයෙන් පැය කිහිපයක් ඇතුළත පාකිස්තාන රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම ඇතුළු කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින්  බහුපාර්ශ්වීය සාකච්ඡාවල ප්‍රතිඵල සහ මිත්‍රරටවල ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව, පෙබරවාරි 15 වන දින ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරගය සඳහා සහභාගී වන්නැයි සිය ජාතික ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් ලබා දුන් බවය.

මෙම තීරණය ගනු ලැබුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීම සහ සියලුම සාමාජික රටවල් තුළ මෙම ගෝලීය ක්‍රීඩාවේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීමේ අරමුණ ඇතිව බවත් පාකිස්තාන රජය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට්ව්ටර් සටහනක් තබමින්  ” අප සැම ආදරය කරන මෙම ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම පිළිබඳව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ස්තූතිවන්ත වනවා ” යනුවෙන් සඳහන් කර තිබේ.

ඒ අනුව දින 10ක් පුරා  පැවති අර්බුදකාරී තත්ත්වය නිමාවට පත්කරමින් පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය සැලසුම් කළ පරිදිම පෙබරවාරි 15 වැනිදා රාත්‍රී 7 ට කොළඹ අර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලිය ගැන GMOA වෙතින් රජයට චෝදනා…..

ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාත්මක කිරිමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අසාර්ථකත්වය හමුවේ වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය අර්බුදයකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය චෝදනා කරනුයේ වෛද්‍යවරුන් 23,000කට අධික ප්‍රමාණයකින් සමන්විත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකරගෙන යනු ලබන වෘත්තිය සමිති ක්‍රියාමාර්ග මාලාව වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු සිදු කිරීමට එරෙහිව සිදුකරන බවට මෑත කාලය තුළ අවස්ථා කිහිපයකදීම අමාත්‍යවරුන් සහ රජයේ පාර්ශ්ව විසින් අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවය.

මේ වන විටත් වෛද්‍යවරුන් 8,000කට ආසන්න ප්‍රමාණයක් තමාට හිමි ඊළඟ රාජකාරි ස්ථානයේ සේවයට වාර්තා කිරීමට නොහැකි වී වසර ගණනාවක් තවමත් පෙර සේවා ස්ථානවලම රාජකාරි කරමින් සිටින බවත් පෙන්වා දෙන එම සංගමය සඳහන් කර ඇත්තේ මෙම ගැටලුව සඳහා වගකිව යුතු ප්‍රධානම පාර්ශ්වය වනුයේද සෞඛ්‍ය අමාත්‍යාංශය වන බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අසමත්භාවය හමුවේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය අකර්මන්‍ය වීමේ පසුබිමක සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සඳහා පාරදෘශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමට මැදිහත්වීමට තම සංගමය එකඟත්වය පළ කළ බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුර්වල පරිපාලනය හේතුවෙන් 8,000කට ආසන්න ස්ථානමාරු ප්‍රමාණයෙන් මේ වන විට ලිඛිතව ස්ථානමාරු සඳහා ලිපි ලබා දී ඇත්තේ 6%කට ආසන්න සුළු ප්‍රමාණයකට පමණක් වන බවත් සඳහන් කර ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ එයිනුත් ස්ථානමාරු නිශ්චිත වශයෙන් ක්‍රියාත්මක වී ඇත්තේද 3%කට ආසන්න වෛද්‍යවරුන් ප්‍රමාණයකට වන බවත්ය.

මේ හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් ස්ථානමාරු යා ගත නොහැකිව අපහසුතාවට පත්ව ඇති බවත් මෙම ස්ථානමාරු ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඇතැම් රෝහල්වල සෞඛ්‍ය සේවා සැපයීමද අඩාල වන තත්ත්වයකට පැමිණෙමින් ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.