මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – මන්ත්‍රී නාමල් රාජපක්ෂ…..

සියළුම රණවිරුවන්ට වෘත්තිය සමිතිවලට,රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට රණවිරු දඩයමට වෘත්තිය සමිති මර්ධනයට එරෙහි වීමට පෙල ගැසෙන ලෙස නාමල් රාජපක්ෂ ඉල්ලීමක් කලේය.
රණවිරුවන් දඩයම් කිරීමට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. රණවිරුවන් දඩයම් කිරීමත් වෘත්තිය සමිති වලට බලපෑම් කිරීම හා මර්ධනය කිරීමට මෙම රජය අසාර්ථක උත්සාහයක නිරතවන බවත් තමා රණවිරුවන් දඩයම් කිරීමට හා වෘත්තිය සමිති මර්ධනයට සැමදා විරුද්ධ වූ බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

විශේෂයෙන්ම වර්තමානයෙහි ආණ්ඩුව සිදු කරන්නේ සංවර්ධනය නොව මර්ධනය බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ආණ්ඩුව සිදු කරන මේ මර්ධනයන්ට මුහුණදීමට තමන් හොද සූදානමකින් පසුවන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින නෙළුම් මාවතේ වෘත්තිය සමිති මුණගැසුණු අවථාවකදීය.

ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ….

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (28) පස්වරුවේ නම් කළේය.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා නම්කර ඇත.

මෙම සංචිතයට වනිඳු හසරංග ඇතුළත් වුවත්, ඔහුගේ සහභාගිත්වය තීරණය වන්නේ ශාරීරික යෝග්‍යතාව මත බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

මෙවර තරගාවලිය සැප්තැම්බර් 9 වනදා සිට 28 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය සැප්තැම්බර් 13වනදා බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩාකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය

1. චරිත් අසලංක (නායක), 2. පැතුම් නිශ්ශංක, 3. කුසල් මෙන්ඩිස්, 4. කුසල් පෙරේරා, 5. නුවනිදු ප්‍රනාන්දු, 6. කමිඳු මෙන්ඩිස්, 7. කමිල් මිෂාර, 8. දසුන් ශානක, 9. වනිඳු හසරංග, 10. දුනිත් වෙල්ලාලගේ, 11. චාමික කරුණාරත්න, 12. මහීෂ් තීක්ෂණ, 13. දුෂ්මන්ත චමීර, 14. බිනුර ප්‍රනාන්දු, 15. නුවන් තුෂාර, 16. මතීෂ පතිරණ

වනිඳු හසරංග (ශාරීරික යෝග්‍යතාව මත)

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් ඉල්ලීමක්…..

විනිවිද භාවයෙන් තොරව සිදුවන අවිධිමත් විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, රජය ජනතා කේන්ද්‍රීය රජයක් ලෙස ඔවුන්ව විසින් හඳුන්වාගන්නේ නම්, රජය ක්‍රියා කළ යුතු වන්නේ සමාජයේ සහ රටේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට මිස තනි පුද්ගලයෙකුගේ හෝ අනලොස්සක් වූ කිහිප දෙනෙකුගේ පුද්ගලික ඉලක්ක සපුරාලීමට නොවන බවය.

එම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය දැඩි ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය සහ ක්‍රියාවලිය නැවත සලකා බලන ලෙසය.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

 

1

පුරප්පාඩු වී තිබූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිට….

පුරප්පාඩු වී තිබූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරීපත්ව තිබේ.

මෙම ධුරය සඳහා වූ නිලවරණය අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් අද (28) ප.ව. 2ට මහනුවර අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථගාරයේ දී පැවැත්විණි.

මේ සඳහා අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමිවරුන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියහ.

අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගනය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි හා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී  ධර්මාචාර්ය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිවරු මෙම ධුරය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමට දැහැත් ලබාදී තිබුණි.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයේ කටයුතු කළ පූජ්‍ය  ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියෝ අපවත්වීම හේතුවෙන් එම ධුරය පුරප්පාඩු වී තිබුණි.

පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන්බවට සැකකරන පුද්ගලයා රිමාන්ඩ්

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසළ මාර්ගයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන්බවට සැකකරන පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නීති කෘත්‍ය පසුගිය 26 වැනිදා කැඳවු අවස්ථාවේ දී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසළ මාර්ගයකදී අදාළ සිදුවීම සිදුව තිබුණි.

ඒ අනුව, එම සැකකරු සැප්තැම්බර් 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියමකළේය.

මෙම සැකකරු කළුතර නගරයේදි අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) කටයුතු කළේය.

පොලීසිය පැවසුවේ, අත්අඩංගුවටගත් සැකකරු නාගොඩ පදිංචි 52 හැවිරිදි හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන ධනුක හෙට්ටිආරච්චි බවය.

ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්…

මෙම දිනවල ප්‍රචලිතව පවතින සරුංගල් යැවීම ආශ්‍රිතව සිදුවිය හැකි ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

කුඩා ළමුන් සහ වැඩිහිටියන්, මහත්සේ ප්‍රිය කරන සරුංගල් සමයත් සමඟ ගුවන් ධාවන පථ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීම ඉතා අවදානම් සහගත කාරණක් බව ගුවන් හමුදාව සඳහන් කරයි.

එලෙසම ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට ප්‍රධාන එක් හේතුවක් ලෙස ගුවන් ධාවනපථ සමීප ප්‍රදේශවල මෙම සරුංගල් යැවීම සඳහන් කළ හැකි බවද ඔවුන් අවධාරණය කරයි.

ගුවන් යානා පියාසර කිරීම සඳහා සරුංගල් යැවීම සෘජුව බලපාන බාධකයක් සේම කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල වැනි ප්‍රදේශවල ඇති ගුවන් ධාවනපථ සමීපයේ බහුලව සරුංගල් යැවීම අති අවධානම් කරුණක් බව අදාළ නිවේදනයේ වැඩිදුර සඳහන්ය.

රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නියම වෙයි….

අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ප්‍රතිශෝධනය කර අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට තීන්දු කළ කොළඹ මහාධිකරණය එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට නොතීසි නිකුත් කරන ලෙස නියම කළේය.

සිය සේවාදායකයා හෙට (29) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකළ කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ මහත්මිය වගඋත්තරකරුවන්ට නොතීසි පමණක් නිකුත් කරන බව සඳහන් කළේය.

මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ, කරුණු දක්වමින් ධීවර වරාය නීතිගත සංස්ථාවේ තිබූ
“වැලිගොව්වා” නමැති නෞකාව අවභාවිතා කළ බවට චෝදනා කරමින් 2013 වසරේ ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසුවේය.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් ජූලි මස 02 වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම විසින් ලිපියක් එවා තිබුණද උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් එදින පෙනී සිටීමට නොහැකි වූ අතර ඒ පිළිබඳව එම කොමිසම වෙත වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට සිය සේවාදායකයා කටයුතු  කළ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

ඉන් පසුව නීතියෙන් තම සේවාව දායකයාට ලැබී තිබෙන අයිතිවාසිකම්වලට අනුව ඔහු විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකළ අතර එම අපේක්‍ෂිත ඇප පෙත්සම පසුව එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ එම තීරණයට එරෙහිව තම සේවාදායකයා කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය විභාගයට ගැනීම සඳහා නොතිස් නිකුත් කර තිබූ බවත් ඔහු සඳහන් කළේය.

එසේ තිබියදී පසුගිය 12 වනදා අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙන බවත් එම වරෙන්තුව මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන ආකාරය  නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව මෙවැනි වරෙන්තුවක් ලබා ගැනීමට පෙර සාක්ෂි මෙහෙයවීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා නමුත් සිය සේවාදායකයාට එරෙහිව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙන්නේ නීතියේ සඳහන් කර තිබෙන ආකාරයට සාක්ෂි මෙහෙයවීමකින් තොරව බවත් චෝදනා කළේය.

ඒ අනුව ඉකුත් 12 වනදා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

එමෙන්ම හෙට දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිය සේවාදායකයා වෙත නොතීසි නිකුත් කර ඇති බවත් ඒ අනුව සිය සේවාදායකයා හෙට දින අනිවාර්යයෙන්ම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ජනාධිපති නීතිඥවරයා මහාධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

ඒ අනුව සියසේවාදායකයා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්විටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය මෙම පෙත්සමට අදාළව නොතීසි පමණක් නිකුත් කරන බව සඳහන් කළේය.

ඉන් අනතුරුව මෙම සැප්තැම්බර් මස 10 වනදා කැඳවීමටද නියම වුණි.

ජාතික පර්යේෂණ ප්‍රමුඛතා වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාරදෙයි…..

මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට රජයේ සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ සහ සමගාමී වන  “ශ්‍රී ලංකාව සඳහා වූ පර්යේෂණ ප්‍රමුඛතා – 2026” වාර්තාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දීම අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

ඒ අනුව, පර්යේෂණ සහ නවෝත්පාදනය මත පදනම් වූ ජාතික සංවර්ධනයේ නව යුගයක ආරම්භය සනිටුහන් කෙරෙන මෙම වාර්තාව ජාතික විද්‍යා සහ තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී. ඩබ්ලිව්. ඒ. රොහාන් ප්‍රනාන්දු විසින් ජනාධිපති ලේකම්වරයා වෙත භාර දෙන ලදී.

මේ සඳහා මූලිකත්වය ගනු ලැබුවේ ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ තාවකාලික කමිටුව විසින් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එහි සම සභාපතිවරුන් ලෙස විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ඇමරිකා එක්සත් ජනපද ජාතික නව නිපැයුම්කරුවන්ගේ ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ සාමාජික මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සහ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී. ඩබ්ලිව්. ඒ. රොහාන් ප්‍රනාන්දු මහතා කටයුතු කරයි.

මෙම වාර්තාව, විවිධ විෂයන්හි විශේෂඥයින් 26 දෙනෙකුගේ මෙන්ම, පර්යේෂණ සහ සංවර්ධනයට අදාළ වන අමාත්‍යාංශ 15ක උප කමිටු සාමාජිකයන් 100කට අධික පිරිසකගේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.

මෙම වාර්තාවෙන්, 2026 වසරට අදාළ පර්යේෂණ සහ සංවර්ධන ප්‍රමුඛතා සහ එහි දිශානතිය සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, කෘෂිකර්මාන්තය, බලශක්ති, අධ්‍යාපන, ඩිජිටල් පරිවර්තන, තාක්ෂණික, සෞඛ්‍ය, කාර්මික, සංචාරක සහ සමාජ සංවර්ධන වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කෙරෙන නිර්දේශ අන්තර්ගත වේ.

මෙය, පර්යේෂණ සහ සංවර්ධනය රටේ දිගුකාලීන සමාජ-ආර්ථික දැක්ම සමඟ පෙළගැස්වීම සඳහා සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සම්බන්ධීකරණ වාර්තාවද වේ.

මෙම කර්තව්‍යය, කෙටි කලකින් ස්ථාපිත කිරීමට නියමිත ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තියේ (NRDP) ප්‍රධාන කාර්යභාරයන් අතර ප්‍රධාන කාර්යයක් වන අතර, එය සම්පාදනය කරන තුරු මෙම ක්‍රියාවලිය තාවකාලිකව මෙම කමිටුව මගින් ඉටු කරයි.

NRDP සම්පාදනය කිරීමෙන් පසු, මෙම පර්යේෂණ ප්‍රමුඛතා ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් පුළුල් ලෙස සහ විශේෂ අවධානය යොමු විය යුතු අංශද හඳුනාගනිමින් ක්‍රියා කරනු ඇති අතර, පර්යේෂණ මත පදනම් වූ තීරණ ගැනීම තුළින් නිෂ්පාදනය ප්‍රමුඛ කර ගත් ආර්ථිකයකට වඩා සඵලදායීව සහ උපායමාර්ගිකව දායක වීම මූලික අරමුණ වේ.

හිටපු ජනපති රනිල් තවමත් දැඩිසත්කාර ඒකකයේ….

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔහු රෝහලෙන් පිටව යන දිනයක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂි කරුණු රැසක් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මණ්ඩලය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සියලු රෝග සම්බන්ධ වාර්තා ඉදිරිපත් කර තිබු අතර එහි සඳහන් වී ඇත්තේ ඒ මහතාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිර වී ඇති බවය.

එමෙන්ම හෘද වස්තුවේ පටක මිය යාම මෙන්ම පෙනහළු ආසාදනයක් ද පවතින බව අධිකරණ හමුවේ වාර්තා කර තිබුණි.

ඒ අනුව එම රෝග තත්ත්ව පිළිබඳව සියලු වෛද්‍ය වාර්තා නීතීඥවරයා විසින් මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

තවද හිටපු ජනාධිපතිවරයාට බරපතල ජීවිත අවධානමක් මතුව ඇතැයිද ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබුණි.

වරෙන්තුවට එරෙහිව රාජිතගෙන් මහාධිකරණයට පෙත්සමක්…..

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කළේය.

එමෙන්ම රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරු විසින් ඉල්ලීමක් කළත් එම නියෝගය නිකුත් නොකළ මහාධිකරණය වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත නොතීසි පමණක් නිකුත් කරන බව සඳහන්ය.

සැකකාර රාජිත සේනාරත්න මහතාට හෙට (29) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන නොතීසියට අදාළව ඔහු හෙට දින අනිවාර්යයෙන්ම එම අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 10 වන දා කැඳවීමට ද නියම වුණි.