රට රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට…..

ඔස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ තරුණයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර නගරයේ වීසා උපදේශන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසමින් ඔවුන් මෙම මුදල් වංචා කර ඇති බව එම කාර්යංශය සඳහන් කළේය.

සැකකරුවන් විසින් ගම්පහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගෙන ඔහුට පොරොන්දු වූ පරිදි එම රැකියා ලබා නොදුන් බවට කාර්යංශයට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අදාළ ආයතනයේ වැටලීමක් සිදුකර තිබු අතර එහිදි එම ආයතනය කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව, වීසා උපදේශන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

මෙම වංචනික ආයතනය පවත්වාගෙන ගිය ගම්පොල හා තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු එහිදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පැවසීය.

අදාළ ස්ථානයේ තිබී විදේශ රැකියා ගිවිසුම් 7ක්, විදේශ ගමන් බලපත්‍ර 5ක්, මුදල් කුවිතාන්සි පොත් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (13) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.

ජනපති සහ මාදැල් ධීවරයින් අතර සාකච්ඡාවේදී එකඟවූ කරුණු…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත මාදැල් ධීවරයන් අතර සාකච්ඡාවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.

විරෝධතාවයේ නිරත ධීවරයන්ට ජනාධිපති කාර්යාලය වෙත ආරාධනා කළ ජනාධිපතිවරයා ඔවුන් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වූ අතර  2010 වසරේ ආරම්භ කර, ශ්‍රමික ගැටලුව හේතුවෙන් 2013 වසරේ සිට වින්ච් ක්‍රමවේදය භාවිත කරමින් ඉදිරියට පත්වාගෙන ආ මාදැල් ධීවර කර්මාන්තය ආශ්‍රිතව මේ වනවිට මතුව ඇති තත්ත්වය පිළිබඳ ධීවරයින් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබුණි.

එමෙන්ම, තමන් මුහුණ දී තිබෙන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව ලබාදීම පිළිබඳවද ධීවර නියෝජිතයෝ ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ධීවර නියෝජිතයන්ගේ අත්දැකීම් අනුව මතු කළ සියලු කරුණුවලට සාවධානව ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා මාදැල් කර්මාන්තය සම්බන්ධයෙන් පැණ නැඟී ඇති මෙම ගැටලුවට විසදුම් සෙවීමේදී ආර්ථික වශයෙන් කිසිවෙකුගේ ජීවන තත්ත්වයන් අඩාල කිරීමට රජයට අවශ්‍යතාවක් නොමැති බවත්, රජය පෙනී සිටින්නේ සියලු දෙනාගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් බවත් අවධාරණය කර තිබේ.

එසේම, මෙම ගැටලුවට විසඳුම් සෙවීමේදී පොදු ධීවර ජනතාවගෙන් ලැබෙන පැමිණිලි, පරිසර සංවිධාන මෙන්ම මේ සම්බන්ධව විද්‍යාත්මක පර්යේෂණයන්හි නිරත වන රාජ්‍ය ආයතන, ධීවර අමාත්‍යාංශයට අයත් ආයතන සහ අනෙකුත් ආයතන මගින් ලබාදී ඇති වාර්තාද සැලකිල්ලට ගතයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ධීවර ජනතාවගේ ආර්ථික හානියක් නොවන ලෙසත්, පරිසර සුරක්ෂිතභාවය තහවුරු වන ලෙසත්, අන්තර්ජාතික සම්මූතීන්ට අනුකූලව සහ මතු පරම්පරාව වෙනුවෙන්ද ධීවර කර්මාන්තය සහ සාගර සම්පත් ආරක්ෂාවන ලෙසත්, තහනම් පන්න ක්‍රම භාවිතයට පැමිණීම වැළැක්වෙන ලෙසත් කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදි.

එහිදී සියලු පාර්ශ්වයන් එක්ව කෙටි කාලයක් තුළ සාකච්ඡා මාර්ගයෙන් වඩාත් සුදුසුම විසඳුම් යෝජනා කරගැනීමට මෙහිදී එකඟතාව පළ කෙරුණු අතර, විරෝධතාව නතර කිරීමටද තීරණය කෙරුණි.

අදාළ සාකච්ඡා සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් එළැඹෙන සඳුදා දින ආරම්භ කිරීමටද මෙහිදී තීරණයවී තිබේ.

සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ දැනට මෙම ක්‍රමය යටතේ ධීවර කර්මාන්තයේ නියතු වූවන් මුහුණ දෙන කල්බදු ආදී ගෙවීම් ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යාංශය සමගද සාකච්ඡාවක් ලබා දීමටත් මෙහිදී වැඩිදුරටත් එකඟතාව පළ කෙරුණි.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්,  ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් කෝලිත කමල් ජිනදාස, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ යන මහත්වරුද, මාදැල් ධීවර ප්‍රජාව නියෝජනය කරමින් නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්වී තිබුණි.

කස්සප හිමිගේ චෝදනාවට වටගලගෙන් පිළිතුරු….

තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත සිදුකරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අපේක්ෂා කරන යටි අරමුණු ඉටු කරගත නොහැකි බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ තමා කිසිවිටෙක හෝ නියෝජිතයෙකු හෝ පෞද්ගලිකව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට දුරකථන ඇමතුමක් ලබානොදුන් බවය.

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ නඩුවට අදාළව පසුගිය ජනවාරි 14 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් දින 28කට පසු අධිකරණය විසින් පසුගිය 11වැනිදා ඇප මත මුදා හැරුණි.

උන්වහන්සේ ඊයේ (12) දිනයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කරුණු රැසක් අනාවරණ කළ අතර ආණ්ඩු පාර්ශ්වයේ නියෝජිතයින් තමන්ට සහ සිද්ධියට සම්බන්ධ සෙසු ස්වාමීන් වහන්සේට අමතා බලපෑම් කළ බවටද එහිදී උන්වහන්සේ සඳහන් කර තිබුණි.

කස්සප හිමියන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අදහස් පළකරමින් සඳහන් කළේ, “මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි කියන ගාථා පාටය අපිට උගන්වන්නෙත් ගෞරවණීය ස්වාමීන්වහන්සේලා තමයි. මේක අමූලික බොරුවක් බව කස්සප හාමුදුරුවෝ හොඳටම දන්නවා” යනුවෙනි.

ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තිය අප්‍රේල් මාසයේදී එළිදක්වන බව අගමැතිනිය කියයි….

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ගුරු විභාග ද්විත්වය පවත්වනු ලබන්නේ පවතින නඩු කටයුතුවලට අදාළ අධිකරණ තීන්දු අනුව බවත්, ලැබී ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන උපාධිය ලබාගත් දිනය සම්බන්ධ කොන්දේසි සංශෝධනය කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු කළ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මොනරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් මොනරාගල රාජකීය විද්‍යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ද්විතීයික පාසල් සඳහා සුහුරු පුවරු (Smart Boards) ලබාදීමේ වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් 132ක් සඳහා සුහුරු පුවරු පිරිනැමේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ක්‍රියාත්මක ඩිජිටල් කාර්යසාධක බලකායේ මැදිහත්වීම මත සිදුකෙරෙන මෙම වැඩසටහනේ සංකේතවත් පියවරක් ලෙස ද්විතීයික පාසල් 10ක් සඳහා සුහුරු පුවරු ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු විය.

ළමා ආරක්ෂණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සැකසූ නව ඩිජිටල් ප්‍රතිපත්තිය එළඹෙන අප්‍රේල් මාසයේදී හඳුන්වා දෙන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට හඳුන්වා දුන් නව ඉගෙනුම් ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය අද (13) මොනරාගල දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූවාය.

එහිදී කුඹුකන මො/ශ්‍රී ෂන්මුගම් දෙමළ මහා විද්‍යාලයේ සහ මොනරාගල මදුරුකැටිය මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍යතුමිය පියවර ගත්තාය.

සිසුන් සංඛ්‍යාව ඉහළ යාම සහ යටිතල පහසුකම් සංවර්ධනය වීම සැලකිල්ලට ගනිමින්, මදුරුකැටිය මහා විද්‍යාලයේ නම “මොනරාගල ධර්මරාජ මහා විද්‍යාලය” ලෙස වෙනස් කිරීමට පාසල් සංවර්ධන සමිතිය ඉදිරිපත් කළ යෝජනාවට ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අනුමැතිය ලබා දුන්නාය.

අලුත් වූ වැඩපොත් සහ ක්‍රියාකාරකම් පාදක කරගත් නව අධ්‍යාපන ක්‍රමය ඉතා ඵලදායී බවත්, දරුවන් ඉතා උනන්දුවෙන් ඊට සහභාගී වන බවත් එහිදී ගුරුවරු අග්‍රාමාත්‍යවරිය සමඟ පැවසූහ.

මොනරාගල රාජකීය විද්‍යාලයේ පැවති අධ්‍යාපන බලධාරී හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“පවතින ගුරු පුරප්පාඩුවලට සම්පූර්ණ විසඳුමක් නොවුණත්, මෙම විභාග හරහා සැලකිය යුතු සහනයක් ලබාදිය හැකියි. අධිකරණ තීරණය අනුව උපාධිය ලබාගත් දිනය 2025.06.30 ලෙස කලින් නම් කර තිබුණත්, බොහෝ පිරිසකගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව එම දිනය සංශෝධනය කිරීමට අධිකරණ⁣යෙන් ඉල්ලීමක් කළා ඒ ලැබෙන තීරණ අනුව අපි කටයුතු කරනවා… 

පාසල් යටිතල පහසුකම් වෙනුවෙන් නිවැරදි සැලසුම් අනුව ලබා දී ඇති ප්‍රතිපාදන විනිවිදභාවයකින් යුතුව වියදම් කර එහි ප්‍රගතිය ඉදිරිපත් කළ යුතුයි. ජාතික, පළාත් හෝ ග්‍රාමීය, නාගරික ලෙස බෙදී අපට මේ ගමන යා නොහැකියි. අධ්‍යාපන බලධාරීන් ලෙස ඔබ නිවැරදි දත්ත මත පදනම්ව කඩිනම් සහ නිවැරදි තීරණ ගන්න… ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සහ පිරිවෙන් ගුරුවරුන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් කමිටුව දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවද අග්‍රාමිත්‍යතුමිය සඳහන් කළාය…”

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වෙළෙඳ හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ, ඌව පළාත් අධ්‍යාපන ලේකම් නිහාල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අකුරේගොඩදී නීතිඥයා සහ බිරිඳ ඝාතනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්…..

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව අද (13) පස්වරුවේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ මෙම ඛේදජනක සිදුවීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි ලෙස හෙළාදකින බවය.

මෙවැනි ප්‍රහාර නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු සහ කඩිනම් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, ඔවුන් නීතිය හමුවට පමුණුවන ලෙසත් නීතිඥ සංගමය පොලිසියෙන් ඉල්ලා සිටී.

අනාගතයේදී එවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් ස්ථිර පියවර ගත යුතු බවද නීතිඥ සංගමය තවදුරටත් සඳහන් කරයි.

සුරාබදු ආඥා පනත සංශෝධනයට පියවර…..

සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම වැඩිදියුණු කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා මෙහෙයුම් කමිටුවේ රැස්වීමක් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම වෙනුවෙන් වසර දෙකක් ඇතුළත අවසන් කිරීමට යෝජිත සුරාබදු ආදායම් කළමනාකරණ පද්ධතියෙහි (RASED) ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.

නව රජයේ, රාජ්‍ය ආයතන නවීකරණ වැඩපිළිවෙළ යටතේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ සඳහා ඉහළ සහයෝගයක් අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ සඳහා සිය පූර්ණ සහාය ලබා දෙන බවට සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් සහ සියලුම නිලධාරීන්ගේ එකඟතාව පළ කළහ.

එසේම සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය 2025 වසරේ අත්පත් කරගත් මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහ ජනාධිපති ලේකම්වරයාගේ ඇගයීමට ලක්වූ අතර, මේ වසරේ තවදුරටත් ඉහළ මූල්‍ය ප්‍රගතියක් අත්පත් කරදීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවට සුරාබදු නිලධාරීහු සහතික වූහ.

වර්තමාන සමාජ සහ තාක්ෂණික ප්‍රවණතාවලට ගැළපෙන පරිදි සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීමටත්, ඉදිරි සති දෙක ඇතුළත එම සංශෝධන අවසන් කර නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමටත් මෙහිදී තීරණය කෙරිණි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නව සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය කමිටුව අවධාරණය කළ අතර, මීට අමතරව නිලධාරීන්ගේ උසස් වීම් සහ මත්ද්‍රව්‍ය නාශක අංශය සවිබල ගැන්වීම පිළිබඳවද අවධානය යොමු විය.

මේ අතර, රට තුළ ක්‍රියාත්මක නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධ අපරාධ මැඬලීම සඳහා මහජනතාවගේ සක්‍රීය සහාය ලබා ගැනීමට ඕනෑම ප්‍රදේශයක සිදුවන මත්පැන් හා මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ තොරතුරු 1913 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම වැඩිදියුණු කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා මෙහෙයුම් කමිටුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා සහ මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය  ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අකුරේගොඩ ඝාතනය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 10ක්…..

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් දහයක් යොදවා තිබේ.

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව අද (13) පස්වරුවේ වෙඩි තබා ඝාතනය කර තිබුණි.

පොලිසිය පැවසුවේ, ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු බවය.

එමෙන්ම ඔහු සිය සේවාදායකයාගේ තොරතුරු ලොකු පැටී නම් අපරාධකරුට ලබාදීම හේතුවෙන් කරන්දෙණියේ සුද්දා විසින්ම ඝාතනය මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි යුවළක් ඉලක්ක කර අද පස්වරු 5ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී තිබුණි.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් T-56 වර්ගයේ ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කර පලාගොස් ඇති බව පොලිසිය පැවසීය.

ඉන් මෝටර් රථයේ සිටි අඹුසැමි යුවළ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණි.

එලෙස ඝාතනයට ලක්වුණේ පිටිගල පදිංචි මල්වාරච්චි නම් නීතීඥවරයෙක් හා ඔහුගේ බිරිඳය.

වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම්වලට පහසුකම් සැපයීමෙන් ඩොලර් ලක්ෂ 6ක උපයයි….

වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මඟින් මාස 4ක් තුළ අමෙරිකානු ඩොලර් ලක්ෂ 6කට ආසන්න විදේශ විනිමයක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඒම  මෙහෙයුම් ආරම්භ කළ පසුගිය වසරේ ඔක්තෝබර් 03 සිට මාස හතරක් තුළ අමෙරිකානු ඩොලර් 598,250ක විදේශීය විනිමයක් උපයාගත් බව අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින්, වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

ඒම මෙහෙයුම් සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඒක්වෙමින් යර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා මෙම අදහස් පල කළේය.

මත්ද්‍රව‍්‍ය ගෙන සේවයේ යෙදුණු බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු 7ක් අත්අඩංගුවට…..

මත්ද්‍රව්‍ය භාවිත කර පෞද්ගලික මගී බස් රථවල සේවයේ යෙදෙමින් සිටි රියදුරන් සහ කොන්දොස්තරවරුන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළින් ගමන් ආරම්භ වන සහ පිළියන්දල නගරය හරහා ධාවනය වන පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව‍ය පානය කර ඇතිදැයි පරික්ෂා කිරීමෙන් අනතුරුව එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එම පරික්ෂා කිරීම් පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළෙ දී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ විශේෂ බස් රථයක් තුළ සිදුකර තිබේ.

බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 170 එලෙස පරීක්ෂාවට ලක් කර ඇත.

නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ පිළියන්දල පොලීසිය ඒකාබද්ධව පුරා පැය පහකට ආසන්න කාලයක් එම පරික්ෂා කිරීම සිදුකර තිබේ.

මාර්ග අංක 120 ( කැස්බෑව – පිටකොටුව) , මාර්ග අංක 255 ( ගල්කිස්ස – කොට්ටාව), මාර්ග අංක 162 ( පිළියන්දල බණ්ඩාරගම), මාර්ග අංක 341 ( පිළියන්දල – මහරගම), මාර්ග අංක 341/2 ( කරදියාන හරහා – මහරගම), මාර්ග අංක 342  ( පිළියන්දල  -කොට්ටාව),  මාර්ග අංක 157  ( කහපොල – පිලියන්දල ) හා  මාර්ග අංක 157/1 පිලියන්දල – මාකන්දන) යන මාර්ගයන්හි රියදුරන් සහ කොන්දොස්තරවරුන් එලෙස පරීක්ෂාවට ලක් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පිලියන්දල  පොලීසිය ඉදිරි පරීක්ෂණ පවත්වයි.

CID අධ්‍යක්ෂගේ නම සඳහන් කරමින් ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩයක්…..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂගේ නම සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ විද්‍යුත් තැපැල් පණිවිඩයක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මේ දිනවල මහජනතාව වෙත යොමු කරන බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශානි අබේසේකර (Shani Abesekara. Director of the Criminal Investigation Department (CID), Colombo 07, Sri Lanka, NationWide Could, Protection 24/7) යනුවෙන් ව්‍යාජව සකස් කළ email පණිවිඩයක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙලෙස මහජනතාව වෙත යොමු කරන බව පොලීසිය පවසයි.

මෙම email පණිවිඩය කිසිසේත්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් යොමු කරනු ලැබූ විද්‍යුත් තැපැල් පණිවිඩයක් නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.

noucinatacha20@gmail.com, police.cid.lk@gmail.com යන විද්‍යුත් ලිපිනයන් මඟින් යොමු කර ඇති ඉහත ව්‍යාජ විද්‍යත් පණිවිඩ මහජනතාව රැවටීම, මුදල් වංචා කිරීම හෝ පුද්ගලික තොරතුරු ලබාගැනීම යන වංචනික ක්‍රියාවන් සිදුකිරීමේ අරමුණින් යොමු කර ඇති බවට පොලීසිය සැකපල කරයි.

එමෙන්ම ඉහත පණිවිඩය යොමු කරනු ලැබූ පුද්ගලයන් හෝ කණ්ඩායම් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම හා ඒ හා සම්බන්ධව නීතිමය පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව, ඉහත විද්‍යුත් තැපැල් ලිපිනයන් මගින් යොමු වන පණිවිඩයේ ඇතුලත් අන්තර්ගතයට අදාළ ඔබගේ පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙසට පොලීසිය මහජනතාව වෙත දැනුම් දී තිබේ.