හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා රක්ෂිත බන්ධනාගාරයට….

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාව සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ මහතා අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර තිබේ.

හිටපු ජනපති රනිල් රෝහලෙන් පිටව යයි….

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අද (29) උදෑසන ඒ මහතාව සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර යැවීමෙන් පසුවය.

එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය පැවසුවේ රෝහලෙන් බැහැරව ගියද දී තිබෙන වෛද්‍ය උපදෙස් අනුව හිටපු ජනාධිපතිවරයා සිය නිවසේ තවදුරටත් විවේකයෙන් ගත කිරීමට නියමිතය බවය.

නිවසේ රැඳි සිටින කාලය තුළදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරු දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කෝටි 8 කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය සමග සිව් දෙනෙක් අත්අඩංගුවට…..

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන විදෙස් ගතව සිටින කුඩු ප්‍රියංකර නැමැත්තාට අයත් බවට කියන රුපියල් කෝටි 8 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි

ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු වන බව ‍පොලිසියකියයි

එම කාන්තාවන් දෙදෙනා අතරම මහා පරිමාණ මත්ද්‍රව ජාවාරම් කාරියක් වන කුඩු බානු නමැත්තියද වන බව පොලිසියකියයි

එම සැකකරුවන් සමග මත්කුඩු කිලෝ 4 ගෑම් 302 ක් පොලිස් භාරයට ගෙන ඇත

මාලිගාවත්ත ප්‍රදීපා මාවතේ සංඝරාජ වටරවුම අසලදී හොරයින් මත්කුඩු ග්‍රෑම් 206 ක් සමග අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකාරිය පදිංචි අංගොඩ අවිස්සාවේල්ල පාරේ සිරි නිවාස පාර නිවස වටලා සිදුකළ පරික්ෂා කිරීමේදී පාර්සල් හතරක අඩංගු හොරයින් මත්කුඩු ගෑම් 3784 සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි

එම සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් කාන්තාවක හොරයින් මත්කුඩු ගෑම් 106 ක් සමග කොළඹ 14 ශාන්ත ජෝසප් වීදිය පදිංච නිවසේදී අත්අඩංගුවට එකත් බව පොලිසිය සඳහන් කරයි

සැකකාරියගෙන් අනාවරණ වූ තවත් තොරතුරක් මත කෙසෙල් වත්ත පිර්සයිබු වීදිය පදිංචි පුද්ගලයකුත් කෙසෙල් වත්තේ රාජ්‍ය බැංකුවක් අසලදී හොරයින් මත්කුඩු ගෑම් 206 ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි

මෙම ජාවාරමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකුද හොරයින් මත්කුඩු ප්‍රවාහනය කිරීමේ වරදට සහ ළඟ තබා ගැනීමේ චෝදනාව මත මාළිගාවත්ත සංඝරාජ වටරවමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩි දුරටත් සඳහන්කරයි

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් සිව්දෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි

කොලොන්නාව – රෝහන්

 

යාපනයේ ජෝඩු 108ක් එකම කෝවිලක, එකම නැකතකදී විවාහ වෙයි….

යාපනය දිස්ත්‍රික්කයේ විවාහ අපේක්ෂාවෙන් සිටි යුවළ 108ක් යාපනය,සෙල්වසන්නිදි කෝවිලේදී එකම නැකතකදී විවාහපත් වී තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල්වල විවාහ අපේක්ෂාවෙන් සිටි මෙම පිරිස ඊයේ (18) එකම නැකතකට තැල්ල බැඳීමේ චාරිත්‍රය සිදුකරමින් විවාහවීම එහිදි සිදුකෙරිණ.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක පදිංචිව සිටි විවාහ අපේක්ෂිත පිරිසක් එලෙස එකම කෝවිලකදී, හින්දු චාරිත්‍රානුකූලව විවාහ පත්වී තිබේ.

සිංගප්පූරුවේ පදිංචි ටී. තුරෙයි නමැති ව්‍යාපාරිකයෙකු විසින් සිය මූල්‍ය දායකත්වය යටතේ සෑම විවාහ යුවළකට රන් පවුම් භාගය බැගින් රන් තැල්ලක් ලබාදී විවාහ මංගල්ලයේ මූල්‍ය දායකත්ව දරමින් විවාහ උත්සවය සංවිධානය කොට තිබිණි.

“මගේ දියණියගේ විවාහ මංගල්ලයේ දී ඇතිවු සිතුවිල්ලක් මත තමයි මේ ක්‍රියාව සිදුකළේ. විවාහයක් කරගන්න එක සෑම ආදරණිය ජෝඩුවකම අපේක්ෂාව. සල්ලි අඩුපාඩුකම් මත විවාහ මංගල්‍යයක් කරගන්න බැරුව ගොඩක් දෙනෙක් දුක්වෙනවා. ඒ ගැන හිතලා තමයි මම මේ ක්‍රියාව කරන්න මුල් වුණේ. මට පුළුවන් විදියට මම ඒ ආදරණිය ජෝඩුවලට උපකාරයක් කළා.” යනුවෙන් ව්‍යාපාරික තුරෙයි මහතා සඳහන් කළේය.

වැඩසටහන් අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් එස්. සුදර්ශන් මහතා ඇතුළු විවාහපත් පිරිසගේ ඥාතීන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

ASPI ඉතිහාසයේ මුල්වරට ඒකක 21,000 සීමාවට පැමිණෙයි…

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (29) පෙරවරුවේ දී ඒකක 21,000 සීමාව ස්පර්ශ කිරීමට සමත්විය.

දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 21,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වනු ඇත.

අද පෙරවරු 11.00ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ අතික්‍රමණය කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබිණ.

ඒ වන විට පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 203.71 කින් ඉහළ ගොස් ඒකක 21,003.97ක් ලෙසින් සටහන්ව තිබුණි.

මහ බැංකුවේ 75 වන සැමරුමට රු 2,000 නව සමරු නෝට්ටුව ජනපතිට පිළිගැන්වේ….

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2,000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.

සංසරණය සඳහා යොදන සමරු මුදල් නෝට්ටුවක් ලෙස මෙය නිකුත් කර තිබෙන අතර, මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 5 වන සමරු මුදල් නෝට්ටුවයි.

ජාතික සංවර්ධනය සඳහා පදනම ලෙස ආර්ථික ස්ථාවරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් මහ බැංකුවේ නොනවතින කැපවීම පිළිබිඹු කරමින් “සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය” යන සංවත්සර තේමාව අනුව මෙම මුදල් නෝට්ටුව නිකුත් කර ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ.එම්.ඒ.එන්.දවුලගල, සහකාර අධිපති කේ.ජී.පී.සිරිකුමාර, ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිපති පී.ඩී.ආර්. දයානන්ද යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශෂීන්ද්‍ර යළිත් රිමාන්ඩ්……

දූෂණය නමැති චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කෙරුණි.

ඒ අනුව සැකකරු ලබන 12 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද (29) නියෝග කළේය.

අතුරලියේ රතන හිමි රිමාන්ඩ්…..

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම නඩු විභාගය පැවැත් වේ.

රාජිත සේනාරත්න 9 දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අද (29) පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ මහතාව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

කොච්චිකඩේ පොලීසියට භාරවූ නිමල් ලාන්සා අත්අඩංගුවට…..

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මහතාව අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර ඇත.