අපරාධකරුවෝ අත්අඩංගුවට ගන්න සහාය දුන් සැමට පොලිස්පතිගෙන් තුති…

විදෙස් ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සහය ලබාදුන් ජාත්‍යන්තර පොලීසිය, ඉන්දුනීසියානු සහ ඉන්දියානු බලධාරීන් ඇතුළු මේ සඳහා දායකත්වය ලබා දුන් සැමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් විශේෂ ස්තුතියක් පුද කර සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව දැනුම් දී තිබේ.

විදෙස් රටවල සැඟව සිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන පසුගිය 30 වන දින දිවයිනට ගෙන ආවේය.

ඉන් පසුව එම සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

දිවයිනේ මේ වන විට සිදුවන සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරමින් පවතින අතර එම ක්‍රියාවලියට සමගාමීව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාව වෙත ගොස් එරට පොලිස් නිලධාරීන්ගේ සහය ලබාගෙන සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගන්නා ලදී.

මෙරට අපරාධ හා මත්ද්‍රව්‍ය ජාලය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට විශේෂ සහයක් ලබා දෙමින්, විදේශගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ මෙම සැකකරුවන් සාර්ථක ලෙස අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒම දක්වා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සහයෝගය ලබා දුන් ජාත්‍යන්තර පොලීසිය, ඉන්දුනීසියානු පොලීසිය හා ඉන්දියානු බලධාරීන් ඇතුළු මේ සඳහා දායකත්වය ලබා දුන් සැමට පොලිස්පතිවරයා විසින් විශේෂ ස්තුතියක් පුද කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි….

අවශ්‍ය කරන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

පොලීසිය පවසන්නේ,  විදේශ රටක රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් පස්දෙනෙකු විසින් රක්වාන පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිලිවලට අනුව මෙම නිවේදනය නිකුත් කර ඇති බවය.

මෙම සැකකාරිය මේ වන විට පදිංචි ලිපිනය හැර ගොස් සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

සැකකාරියයගේ දළුගොඩ ආරච්චිලාගේ හර්ෂණි ප්‍රියන්තිකා වන අතර ඇය 40 හැවිරිදි කන්දගම, පොතුපිටිය පාර, රක්වාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකතන අංක –

ස්ථානාධිපති රක්වාන – 071 – 8591394
ස්ථානාධිපති අපරාධ අංශය – 071 – 8593808

උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දු රැසක් – කච්චතිව් ගැනත් කියයි….

තවදුරටත් රට තුළ යුද අනතුරක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමිනි.

මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර සංකේතාත්මකව ආරම්භ කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මේ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහාද ජලය, විදුලිය, ඉන්ධන ආදී අත්‍යවශ්‍ය පහසුකම්, ශීතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා දීමට සැලසුම් කර තිබේ. මේ සඳහා රජය මේ වසරේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 298කි.

රට තුළ බෙදී සිටිය ජනතාව එකතු කිරීමට උතුරේ ජනතාව පසුගිය මහ මැතිවරණයේ දී තීරණාත්මක සාධකයක් වූ බවත්, එම එකතුවීම අනාගතයේ තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් පැවසු ජනාධිපතිවරයා දරුවන් කිසිදාක නොබෙදී සිටිය යුතු බව ද මෙහිදී අවධාරණය කළේය.

උතුර, දකුණ, නැගෙනහිර ලෙස බෙදීමකින් තොරව රට තුළ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවක් ලෙස තමා විශාල වෙහෙසක් දරන බවද සඳහන් කළ ජනාධිපතිවරයා උතුරේ ජනතාව මුහුණදෙන ආර්ථික ගැටලු පිළිබඳ වැඩි අවදානයක් යොමු කර ඇතැයි ද පැවසීය.

පැවති රජයන් යුද්ධය අපේක්ෂාවෙන් වැඩ කළද, වත්මන් රජය කටයුතු කරන්නේ නැවත මේ රටේ කිසිදු ආකාරයේ යුද්ධයක් ඇති නොවන අන්දමින්, රට තුළ සාමය සහ සමගිය ගොඩනැගීමට බව පැවසූ ජනාධිපතිවරයා පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ සඳහා පවරා ගත් උතුරේ නිදහස් කළ හැකි සෑම ඉඩමක්ම යළි ජනතාව වෙනුවෙන් නිදහස් කරන බවද ප්‍රකාශ කළේය.

රට වටා ඇති මහ මුහුද, දූපත් මෙන්ම ගොඩබිමද ජනතාව වෙනුවෙන් ආරක්ෂා කර දීමට රජය කැප වී සිටින බවත්, ඊට කිසිදු ආකාරයේ බලපැමක් එල්ල වීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“යුද්ධයක් එයි කියලා විනාශකාරී හැඟීමකින් අපි ඒ ඉඩම් තබා ගත යුතු නෑ. අපේ ආණ්ඩුව වැඩකරන්නේ යුද්ධය එන එක නවත්වන්න. සමහර ආණ්ඩු සැලසුම් කළේ යුද්ධය එනවා කියලා හිතලා ඉඩම් තියාගෙන ඉන්න. ඒ නිසා නිදහස් කළ හැකි සෑම පාරක්ම, නිදහස් කළ හැකි සෑම ඉඩමක්ම අපි ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම උතුරේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමා ධීවර රස්සාව . ඒ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීමක්. ඒ අනුව තමා මේ ධීවර වරායේ තුන්වන අදියර සංවර්ධනය කිරීමට අපි සැලසුම් කළේ. ඒ ජනතාව අවශ්‍ය ආම්පන්න සහනාධාර මිලකට ලබාදෙන්න කටයුතු කරනවා. ධීවර ජනතාව මුහුණදී සිටින ආක්‍රමණිකයින්ගෙන් මුදවා ගන්නත් අවධානය යොමු කරනවා.”

මෙහිදී කච්චතිව් දූපත පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස අදහස් දැක්වීය.

“විශේෂයෙන්ම අපේ ධීවර ජනතාවට වැදගත් තැනක් තමා කච්චතිව් දූපත. අද විශාල සංවාදයක් කච්චතිව් දූපත කේන්ද්‍ර කරගෙන ගොඩ නැගී තිබෙනවා. මම හවසට එතැනට ගිහින් ඒ ධීවරයින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ භූමිය දුපතක් ද ? මහ මුහුද ද? අහස ද? ගොඩබිමද? ආරක්ෂා කිරීම මතු පරපුරට ආරක්ෂා කර ලබාදීම අපේ වගකීම. එය ඉටු කිරීමට අපි බැඳී සිටිනවා. අපේ මුහුද අපේ ජනතාව වෙනුවෙන්, අපේ ගොඩබිම අපේ ජනතාව වෙනුවෙන්, අපේ අහස අපේ ජනතාව වෙනුවෙන් කිසිදු බලපෑමකට යටත් නොවෙන බව ඔබට කියන්න කැමතියි.”

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන් මහතා, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්, උතුරු පළාත් රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඇමති ආනන්ද විජේපාල ගැන ව්‍යාජ පුවත් සංසරණය වීම සම්බන්ධව විමර්ශනයක්….

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ලෙස හැඟෙන ජායාරූප හා ව්‍යාජ ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

විදෙස් ගතව සැඟව සිට ශ්‍රී ලංකාව තුල මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා පොලීසිය හා ඉන්දුනීසියානු පොලීසිය ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුමක් මගින් පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලදී.

එම අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිස 2025.08.30 වන දින ශ්‍රී ලංකාවට රැගෙන එන ලද අතර එම අවස්ථාවේදී අදාළ මෙහෙයුමට සක්‍රීයව දායක වූ ඉන්දුනීසියානු පොලීසියේ නිලධාරින් කණ්ඩායමද දිවයිනට පැමිණියේ ය.

එසේ මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලීසියේ නිලධාරීන්ට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ස්තූතිය පල කිරීමට ද ශ්‍රී ලංකා පොලිසියේ මේ සඳහා දායක වූ නිලධාරීන් ඇගයීම සඳහාද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණියේය.

මෙම අවස්ථාවට අදාළ වන ලෙස ව්‍යාජව සකස් කරන ලද අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ජායාරූපයක් සහ අපහාසාත්මක අයුරින් හා ද්වේශ සහගත ලෙස සකස් කරන ලද ප්‍රවෘත්ති මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරීක්ෂණය වී ඇති බව පොලීසිය දැනුම් දී ඇත.

මෙලෙස මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට අපහාස කිරීමේ අරමුණින් ද්වේශ සහගත හා අපහාසාත්මක ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති හා ඡායාරූප පල කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් 2025.08.31 වන දින පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත පැමිණිල්ලක් සිදු කරමින් මෙලෙස කටයුතු සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව, පොලිස්පතිවරයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ව්‍යාජ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර අදාළ පුද්ගලයින්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

හරක් කටාගේ නඩුවක සාක්ෂි විභාගය ඇරඹෙයි….

මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී ත්‍රිරෝද රථයක් හා රුපියල් 26,000 මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (01) කොළඹ මහාධිකරණයේදී පැවැත්විණි.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 29 වනදා දක්වා කල් තැබීමටද නියම කෙරිණි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර අධිකරණ ශාලාව තුළට පුද්ගලයින් ඇතුළත් කර ගැනීමද දැඩි පරික්ෂාවකින් අනතුරුව සිදුවිය.

සමාජ මාධ්‍ය භාවිතය තරුණයින් තුළ ප්‍රචණ්ඩකාරීත්වය ඇති කරන බව මනෝවෛද්‍යවරුන් කියයි…..

වර්තමාන සමාජයේ තරුණ පිරිස් වැඩිවශයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට යොමු වන්නේ සමාජ මාධ්‍ය භාවිතය තුළින් බව මනෝවෛද්‍ය විශේෂඥයින් පවසයි.

කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා සඳහන් කළේ එවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට නැඹුරුවන පිරිස් මුලික අදියරේදීම හඳුනාගෙන ඔවුන් නිසි මගට යොමු කිරීමට කටයුතු කළ යුතු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා,

”ප්‍රචණ්ඩත්වය සමාජය තුළ ප්‍රශ්න විසඳගන්න භාවිත වෙනවා. සමාජ මාධ්‍ය තමා ගොඩක් දුරට වගකින්න ඕනේ සමාජය තුළ වෛරය, ප්‍රචණ්ඩත්වය පතුරුවන්න මතවාදී වශයෙන් සමාජ මාධ්‍ය මේ පසුගිය කාලය පුරාම උපයෝගී වුණා.. අද නව යෞවනයන් ගොදුරු වෙලා තිබෙනවා මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස සමාජයේ හැසිරෙන්න.. මේ නව යෞවනයන් මත්ද්‍රව්‍ය සමඟ පාතාල කල්ලි සමඟ එකතු වෙන්න පුලුවන්.. විවිධ සන්නද්ධ කල්ලිවලට එකතු වෙන්න පුලුවන්.. ඔවුන්ට තරහා පාලනය කර ගැනීමේ ගැටලු පවා තිබෙනවා.. මේ වගේ උප සංස්කෘතියකට එකතු වුණාට පස්සේ ඒවාගෙන් ගැලවීමත් අපහසුයි. ඒ සංස්කෘතිය වෙනස් කරන්න නම් පතාල කල්ලිවල සමාජිකයින් නීතියේ රැහැනට කොටු කර ගැනීම ඉතා වැදගත්. මේ තත්ත්වය අඩු කර ගැනීමට කරන්න පුලුවන් ප්‍රධානම දේ තමා එවැනි දේවල්වලට භාජනය වන අය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ඒ අයට අවශ්‍ය පුනුරුත්තාපනය ලබා දෙන එක”

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගෙන් විද්‍යාලයට ත්‍රී රෝද රථ තිලිණයක්…

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ මෙරූන්ස් ඩියුඩ්ස් 2023 (Maroon Dudes 2003) ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් පාසලේ එදිනෙදා කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීම සදහා රුපියල් මිලියන 1.5 වටිනා නවීන පන්නයේ ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කිරීම පසුගියදා (30) සිදුවිය.
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ Maroon Dudes 2003 ආදි ශිෂ්‍ය කණ්ඩායම මගින් පැවැත්වූ මෙරූන්ස් ගෝල් ඔන් ෆයර් (Maroons Galle On Fire) ප්‍රසංගයේ අරමුදලින් මෙම නවීන පන්නයේ ත්‍රිරෝද රථය විදුහල්පති ප්‍රසන්න සෙනෙවිරත්න මහතාට භාරදෙන ලදී.
ලබාදීම සිදුවූ අතර පාසල් කාලය තුළදී දරුවෙකු හදිසි අනතුරකට හෝ රෝගී තත්ත්වයකට ලක් වූ විට රෝහලකට රැගෙන යාමට හෝ නිවසට රැගෙන යාමට පහසුකම් සැලසීම, එදිනෙදා පාසලේ අවශ්‍ය ලිපි ද්‍රව්‍ය හා අනධ්‍යන කටයුතු අඩු වියදමකින් පහසු කිරීමට, පාසලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අවස්ථාවන්හිදී ආසන්න පාසල් වෙත පහසුවෙන් යාම සහ ඒම මෙමගින් බලාපොරොත්තු වෙයි.
මෙම පරිත්‍යාගය මඟින් දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය සහ පාසලේ සංවිධාන කටයුතු වඩාත් සාර්ථකව හා ක්‍රියාත්මකව සිදු කිරීමට විශේෂ දායකත්වයක් සැලසෙනු ඇති බවත් පාසලට මෙවැනි වටිනා සහයක් සැපයීමට හැකිවීම කණ්ඩායමක් ලෙස අතිශය සතුටට පත්වන බවත් ඉදිරියටත් මෙවැනි දැවැන්ත කටයුතු සඳහා අනෙකුත් කණ්ඩායම්වලට මග පෙන්විමේ ප්‍රමුඛයන් ලෙස ඉදිරියටත් කටයුතු කරන බවත් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ මෙරූන්ස් ඩියුඩ්ස් 2023 (Maroon Dudes 2003) ආදි ශිෂ්‍ය කණ්ඩායම සදහන් කරයි.

හිනිදුම –  රවීන්ද්‍ර චන්ද්‍රලාල්

රිටිගල දැඩි සවභාවික රක්ෂිත ප්‍රේරක කලාපයේ දැවැන්ත කුඹුක් ගසක් කැපූ අයෙකු එම දැව සමඟ අත්අඩංගුවට….

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද නිසි අවසරයකින් තොරව රිටිගල දැඩි ස්වභාවික රක්ෂීතයේ ප්‍රේරක කලාප සීමාවට අයත් උල්පත්වැව ප්‍රෙද්ශයේ දී දැවැන්ත කුඹුක් ගසක් නීති විරෝධී අයුරින් කැපූ පුද්ගලයකු එම දැව තොගයක් ද සමඟ රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අද (31) අත්අඩංගුවට ගනු ලැබීය.
රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම කාර්යාලයේ නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. සිද්දිය සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු රිටිගල උල්පතගම ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරු 49ක් වන පුද්ගලයෙකි.
අත්අඩංගුවට පත් සැකකරු විසින් රිටිගල දැඩි ස්වභාවික රක්ෂීතයේ ප්‍රේරක කලාපයට අයත් පිහිටි උල්පත්වැව ප්‍රෙද්ශයේ තිබූ වට අඩි 20ක් පමණ විශාල වූ පැරණී කුඹුක් ගසක් කපා දැමීමට කටයුතු කරමින් සිට තිබේ. වනජීවී නිලධාරීන්ගේ ක්ෂණික ක්‍රියාත්මක වීම හේතුවෙන් එම ගස මුලුමණීන්ම බිම පෙරළා දැමීමට පෙර ආරක්ෂා කර ගැනීමට හැකිව තිබේ.
සැකකරු එම විශාල කුඹුක් ගස මුළුමනින්ම කපා ඉවත් කිරීමට සූදානමින් කටයුතු කර ඇති බව වනජීවි නිලධාරීහු සිදු කළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ. වැටලීම සිදුවන අවස්ථාව වනවිටත් සැකකරු එම දැවැන්ත කුඹුක් ගසෙහි ලක්ෂ ගණනක් වටිනා දැව කඳන් තොගයක් ද කපා වෙන්කර දමා තිබිණ. සැකකරු විසින් කපා තිබූ එම කුඹුක් දැව කඳන් තොගය ද වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. වන ජිවි නිලධාරීන් පෙන්වා දෙන්නේ කුඹුක් යනු ඉහළ වටිනාකමක් ඇති ඒ ශ්‍රේණියේ දැවයක් ද වන බවයි.
සැකකරු විසින් නීතිවිරෝධීව කපා දමා තිබියදී අත්අඩංගුවට ගනු ලැබූ එම කුඹුක් දැව තොගය සම්බන්ධයෙන් වන සංරක්සණ දෙපාර්තමේන්තුව මගින් සවිස්තර වාර්ථාවක් කැඳවීමට කටයුතු කරන බවද වනජීවී නිලධාරීහු පවසති.
මෙම සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කැකිරාව මහෙසේත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
අනුරාධපුර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.එස්. චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ වනසත්ව අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ වනසත්ව අඩවි සහකාර ඒ.බී.විජේසිංහ, සිවිල් ආරක්ෂක නිලධාරී ජී.ආර්.හේරත්,විදුලි වැට නඩත්තු සහයක බුද්ධීක ඇතුළු පිරිසක්ද අලගොල්ලෑව විදුලි වැට නඩත්තු සහයක පිරිසක්ද එම වැටලීම සිදු කර තිබිණ.

කැකිරාව – කුෂාන් ජයවර්ධන

රතු එළි දැල්වෙන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව…..

පූර්ණ රාජ්‍ය ව්‍යවසායක් ලෙස ක්‍රියාත්මක සීමාසහිත ලංකා සීනි සමාගමට අයත් දෙවන විශාලතම සීනි කර්මාන්ත ශාලාව වන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව තුළ වාර්ෂික උක් දඬු මෙට්‍ර්ක් ටොන් 250,000ක් පමණ අඹරනු ලබයි.

ඒ ඔස්සේ සීනි මෙට්‍ර්ක් ටොන් 15,000කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන අතර ඉන් නිෂ්පාදනය කෙරෙන එතනෝල් ප්‍රමාණය ලීටර් ලක්ෂ 50කට ආසන්න වේ.

සෙවනගල සීනි කර්මාන්තශාලාව තුළ සේවකයින් 1,300ක් පමණ සේවය කරන අතර ගොවි පවුල් 10,000ක් පමණ සෘජුව සහ වක්‍රව මෙම කර්මාන්ත ශාලාව ඔස්සේ සිය ජීවිකාව පවත්වාගෙන යයි.

මෙවැනි පසුබිමක සීමාසහිත ලංකා සීනි සමාගම තුළ වර්තමානය වනවිට උද්ගතවී ඇති ගැටලු රැසක් සෙවනගල කර්මාන්ත ශාලාවේ හෙට දවස කෙරෙහිද රතු එළි දල්වා තිබේ.

දේශිය දුඹුරු සීනි සඳහා පවත්නා ඉල්ලුම දිනෙන් දින පහළ බැසීම හේතුවෙන් සෙවනගල කර්මාන්ත ශාලාවේ ගබඩා තුළද අලෙවි කරගැනීමට නොහැකිවූ සීනි මෙට්‍ර්ක් ටොන් 2,000ක් පමණ ගොඩගැසී තිබේ.

එසේම වත්මන් පරිපාලනයේ දුර්වල කළමණාකරණය නිසාම මෙතෙක් දෛනිකව අඹරනු ලැබූ උක්දඬු ප්‍රමාණය වූ මෙට්‍ර්ක් ටොන් 1,300ක ප්‍රමාණය මෙට්‍ර්ක් ටොන් 850 පමණ දක්වා පහළ ගොස් ඇත.

කර්මාන්ත ශාලාවේ උක් දඬු කපන කටර් 2න් එකක් කෑඩියාම ඊට හේතුව බව ගොවින් පවසයි.

දෛනිකව අඹරන උක්දඬු ප්‍රමාණය අඩුවීමත් සමඟ කර්මාන්තශාලා පරිපාලනය විසින් තම උක් අස්වැන්න භාරගැනීමද සීමාකර ඇති බව ගොවින් පවසයි.

කර්මාන්තශාලාව උක් දඬු ලබාගැනීම සීමා කිරීමත් සමඟ සිය උක් අස්වනු ගොවි බිම් තුළම ගිනිගෙන විනාශ වෙමින් පවතින බවත්, එලෙස ගින්නෙන් පිළිස්සෙන උක් දඬු භාරගැනීමද මේ වනවිට සෙවනගල සීනි කර්මාන්තශාලා පරිපාලනය නවතා දමා ඇති බවටත් ගොවින් චෝදනා කරයි.

උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ගොවින් පමණක් නොව උක් කර්මාන්තය ආශ්‍රීතව සිය ජීවිකාව පවත්වාගෙන යන උක් දඬු ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථ රියදුරන්ද දැඩි ආර්ථික අපහසුතාවටකට මුහුණ දී සිටියි.

ADA DERANA

ඉන්ධන මිල සංශෝධනය වෙයි…..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබේ.

ඒ  අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 341.00කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 299ක් වේ.

ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 283ක් වේ.

සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 12කින් පහළ දමා ඇති අතර නව මිල 313ක් වේ.

ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති බව දැනුම් දී තිබේ.

අදාළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.