බෙදුම්වාදයට එරෙහිව කටයුතු කරන ලෙස ජනපතිට බලකෙරෙන මහජන පෙත්සමක්….

බෙදුම්වාදයට හා බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාට බලකරමින් මහජන පෙත්සමකට අත්සන් ගැනීම අද (19) ආරම්භ විය.

එම මහජන පෙත්සමට අත්සන් ගැනීම පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේදී අද උදෑසන ආරම්භ වූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ඒ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමිගේ මූලිකත්වයෙනි.

මෙම අවස්ථාවට ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතුළු ජාතික සංවිධාන 60ක සාමාජිකයින් ද සහභාගි වී සිටියේය.

මෙම මහජන පෙත්සම ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය.

මේ අතර වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මහා සඟ සමුළුව හෙට පස්වරු 2ට කොළඹ බෞද්ධ මහා සම්මේලනයේදී ආරම්භ වීමට නියමිතය.

මොනරාගල එක්සත් භික්ෂු සංසදයද අද පැවසුවේ බුදුදහම නොසලකාහරින වත්මන් ආණ්ඩුවට විරෝධය පාමින් මෙම සඟ සමුළුවට හෙට (20) සහභාගී වන බවය.

මේ අතර පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් අද මල්වතු මහ නාහිමියන් බැහැදැක සංඝයාවහන්සේට සිදුකෙරෙන ගැරහීම් සහ හෙට පැවැත්වෙන සඟ සමුළුව පිළිබඳ දැනුම්වත් කර තිබේ.

GMOA අස්ගිරි මල්වතු මහ නාහිමිවරු බැහැදකී….

සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට ආණ්ඩුව නිසි පියවර නොගන්නා බව තමාටද වැටහෙන්නේයැයි අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් සඳහන් කළේය.

ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් අද (19) මල්වතු අස්ගිරි මහ විහාර වෙත පැමිණ උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් අද පෙරවරුවේ මල්වතු මහා විහාරය වෙත පැමිණ, නිදහස් සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ  මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් දැනුම්වත් කළේය.

අනතුරුව ඔවුන් අස්ගිරි මහා විහාරයට වෙත පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නා හිමියන්ද දැනුම්වත් කළේය.

ජනපති අනුර සහ ප්‍රංශ ජනපති අතර සාකච්ඡාවක්….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පස්වරුවේ සිදු විය.

නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර මෙම රාජ්‍ය නායක හමුව සිදු විය

සැකකරුවන් නිවාස අඩස්සියේ තැබීමට නව පනතක් ගේනවා – අධිකරණ ඇමති…..

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකිවන නව පනතක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්නූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,

“උසාවි විනිසුරුවන්ට පඩි ගන්න, නීතිඥවරුන්ට හම්බකරන්න නෙමේ. උසාවි තියෙන්නේ කාලය, මුදල් නාස්ති නොකර නඩු අවසන් කරන්න. අධිකරණවල නඩු ලක්ෂ 11ක් පමණ තියෙනවා. ඉස්සර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවලට දිනය ලැබුණේ අවුරුද්ද පැනලා. අලුත් අගවිනිසුරු යටතේ නඩු ඉවරවෙන ප්‍රමාණය වැඩියි. අපි අලුතින් අධිකරණ හදනවා. පාස්කු නඩුවට සහ අල්ලස් නඩුවලට වෙනම උසාවි තියෙනවා. තව උසාවි 07ක් ඉදිරියේදී ස්ථාපිත කරනවා.” 

ප්‍රශ්නය – අකුරේගොඩදී නීතිඥවරයෙකුට සහ බිරිඳට වෙඩි තැබීමක් සිද්ධවුණා. දැන් මේ නීතිඥවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අධිකරණ පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී මොකක්ද ගන්න පියවර?

“නඩුවලට පෙනී සිටීම නිසා නීතිඥ ප්‍රජාවම අනතුරේ වැටිලා නැහැ. මමත් අවුරුදු 25ක් අපරාධ නඩු මෙහෙයවූවා. අපරාධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. අකුරේගොඩ සිදුවීමට අනිවාර්යයෙන් යුක්තිය ඉටුවිය යුතුයි. නීතිඥ ප්‍රජාවම අනතුරේ කියන එක විපක්ෂය හදපු මතයක්.”

ප්‍රශ්නය – බන්ධනාගාර තදබදය අවම කරන්න ගෙන තිබෙන පියවර කුමක්ද?

“අපේ බන්ධනාගාර ධාරිතාව 10,500යි. දැනට 39,000ක් ඉන්නවා. වැරදිකරුවන් නොවූ කොටසයි ගැටලුව. වැරදිකරුවන් නොවූ සැකකරුවන් 28,000ක් ඉන්නවා. එතනිනුත් 20,000ක් මත්ද්‍රව්‍ය භාවිතා කරන අය. පිළිතුර බන්ධනාගාර තුළ සෙනඟ අඩු කිරීම. විනිසුරු යසන්ත කෝදාගොඩ යටතේ අලුත් පනතක් ගේන්න වැඩකරනවා. රිමාන්ඩ් කරනවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ පනතක්. ඒ හරහා සෙනඟ අඩු කරන්න පුළුවන්. මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා සිරගතවූවන්ට. දඬුවම් අඩුවීමේ ක්‍රමවේදයක් නැහැ. විනිසුරු තුරෙයි රාජා යටතේ කමිටුවක් පත්කළා. දීර්ඝකාලීනව සිරගතව සිටින්නන් දඬුවම් අඩුවීමේ ක්‍රමයක් හදනවා.”

කුලී ගෙවල් පනත සම්බන්ධව පසුගිය කාලේ ලොකු කතාබහත් ඇතිවුණා. ඒකේ ඉදිරියේදී කොයිවගේ වෙනස්කම් කරන්නද බලාපොරොත්තුවෙන්නේ?

“අඩියක් පස්සට ගෙන ජනතාවට කන්දීම පරාජයක් නොවෙයි. හදන්න ඕනේ හැමෝටම ගැළපෙන නීතියක්. අලුතින් අදහස් එවන්න ජනතාවට අවස්ථාවක් දුන්නා. කුලීහිමියාට සහ කුලීනිවැසියාට සහන ලැබෙන ලෙස. මේ පනත සංශෝධනය කරනවා. පනත පවතින ආකාරයෙන් නීතිගත කරන්නේ නැහැ. සංශෝධන පනතකින් මහජන අදහස් විමසනවා.”

UGC චක්‍රලේඛයට විරෝධය…

විශ්වවිද්‍යාල සිසුන්ගේ සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණය සඳහා ආචාර්යවරුන් මැදිහත්විය යුතු බව පවසමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කළ චක්‍රලේඛයට සිසුන්ගේ මෙන්ම ආචාර්යවරුන්ගේද දැඩි විරෝධය එල්ල වෙමින් තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පෙන්වා දෙන්නේ, චක්‍රලේඛයේ අරමුණ නවකවදය වැළැක්වීම වුවත් මේ හරහා එම අරමුණ කිසිසේත් ඉටුනොවන බවය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉකුත් පෙබරවාරි 6 වැනිදා 2026/02 චක්‍රලේඛය නිකුත් කළේ විශ්වවිද්‍යාල සිසුන් සංවිධාන කරන විෂය බාහිර කටයුතු ඇතුළු සියලු ක්‍රියාකාරකම් ආචාර්යවරුන් සහ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව පවසමින්ය.

ඒ, නවකවදය වැළැක්වීම අරමුණ කරගනිමින්ය.

ඊට සමගාමීව කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් රාත්‍රී 10ට අවසන් කළ යුතු බවට පරිපාලනය ගත් තීරණයකට එරෙහිව ඉකුත් අඟහරුවාදා එම විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවක නිරත වුණි.

මේ අතර, පේරදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය සඳහා ආණ්ඩුව මෙවැනි අණපනත් ගෙන එන බවය.

එවැනි පසුබිමක 2026/02 චක්‍රලේඛය සුදුසු පරිදි සකස් කරන ලෙස හෝ අවලංගු කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලිපියක් යොමුකර තිබේ.

මේ අතර, 2026/02 චක්‍රලේඛයට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිරිසක් අද පස්වරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි.

අනතුරුව ශිෂ්‍ය නියෝජිතයින් කිහිප දෙනෙකුට විශ්වවිද්‍යාල බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවුණි.

ජනපති රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් හමුවෙයි….

නවදිල්ලි නුවර පැවැත්වෙන “AI Impact 2026” සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා සිදුකර තිබේ.

අද (19) පස්වරුවේ මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ බ්‍රසීලයේ ජනාධිපති ලූලා ද සිල්වා, භූතානයේ අගමැති Tshering Tobgay යන මහත්වරුන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.

එමෙන්ම අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු වන Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරියා ආරක්ෂක ලේකම් හමුවෙයි….

එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කේලර් මහතා, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමු වී තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේදී  අද (19) මෙම හමුව සිදුව ඇත.

එහිදී දීස්වෛරීභාවය ආරක්ෂා කරන හා කලාපීය ආරක්ෂාව ශක්තිමත් කරන අපගේ විවෘත හා විනිවිද පෙනෙන හවුල්කාරිත්වය නැවත තහවුරු කරන ලදී.

ඉන්දු-පැසිෆික් කලාපය පුරා ස්ථාවරත්වයට සහාය වීම සඳහා අවැසි ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීම සහ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම පිළිබඳව ඔව්හු සාකච්ඡා කළහ.

ඔවුන්ගේ සාකච්ඡාවලදී පහත සඳහන් කරුණුවලට ප්‍රමුඛත්වය  හිමි විය:

  •  වෘත්තීයභාවය සහ හැකියාව: අපගේ වෘත්තීය බලවේග අතර බැඳීම් ශක්තිමත් කිරීම.
  •  ආරක්ෂක සහයෝගීතාව: අන්තර්ජාතික තර්ජනවලට මුහුණ දීම සඳහා අන්තර්ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම.
  •  සමුද්‍රීය වසම් පිලිබඳ දැනුවත්භාවය:ආරක්ෂිත ඉන්දියානු සාගරයක් සඳහා දිගුකාලීන කැපවීම සහ සහයෝගීතාවය ඉහළ නැංවීම

“මහජන හඬ ” පොහොට්ටුව සමග විශේෂ සාකච්ඡාවක…..

පක්ෂ විසි ගණනකින් සමන්විත”මහජන හඬ “නියෝජනය කරමින් එහි පක්ෂ නායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර විශේෂ හමුවක් අද (පෙබ. 18) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්,සී.බී රත්නායක හා සංජීව එදිරිමාන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සහභාගී විය.මහාචාර්ය ජී.එල්.පීරිස්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා සහ එක්සත් මහජන පක්ෂයේ නායක ටිරාන් අලස් මෙම විශේෂ සාකච්ජාව සඳහා “මහජන හඬ” හි පක්ෂ විසිගණනම නියෝජනය කරමින් සහභාගී විය.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ මහාචාර්ය ජී.එල්.පීරිස් ගේ මැදිහත්වීම මත මෙම හමුව පැවති බවයි. ඔහු ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද හමුවී සාකච්ජා පවත්වා තිබිණ.

අද පැවති හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා ඇත.

මෙම පක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සහභාගීත්වයෙන් පසුගිය වසරේ නොවැම්බර් 21 වන දා නුගේගොඩදී “මහා ජන හඬ” යනුවෙන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් රැලියක් ද පැවැත්විණි

නීතිඥවරයෙකු ඝාතනය කිරීම වෘත්තීයවේදීන්ගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නාර්ථයක් -GMOA….

නීතිඥයකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා සාහසික ලෙස ඝාතනය කිරීමේ සිදුවීම තුළ පුරවැසියන්ගේ සහ වෘත්තීයවේදින්ගේ ආරක්ෂාව පිළිබඳ නැවත බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුකර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, රාජ්‍ය තුළ පුරවැසියාගේ සහ වෘත්තීකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඕනෑම රජයක ප්‍රමුඛතම වගකීම බවය.

ඕනෑම වෘත්තීයවේදියෙකු හට බලපෑම් හෝ තර්ජනවලින් තොරව ස්වාධීනව සහ නිදහස්ව තම වෘත්තීමය සේවාවන් සැපයීමේ අයිතියක් ඇති බව එම නිවේදනයේ සඳහන්ය.

මෙරට රෝහල් පද්ධතිය තුළද වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දෙමින් සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පුරවැසියන්ගේ ආරක්ෂාව සහ වෘත්තීයමය පරිසරය තුළ වෘත්තීයවේදින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ශක්තිමත් සහ විශ්වාසනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

අගමැතිනිය සහ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අතර හමුවක්…..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

මෙම හමුව ඊයේ (17) කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

එහිදී, ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ ඒ සඳහා වත්මන් රජය දැක්වූ කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සිය ප්‍රසාදය පළ කළාය.

තවද, ස්වභාවික විපත්වලින් සිදුවූ හානි සහ පවතින ආර්ථික අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳවද එහිදී විශේෂ අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර ද හමුවක් සිදුව තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු පැවසුවේ මෙම හමුවේදී, වත්මන් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ලබා දුන් ස්ථිර සහයෝගය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ක්‍රියාකාරීව පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය කෘතඥතාව පලකළ බවය.