2026 ලොව වඩාත්ම දැරියහැකි විශ්‍රාමික ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ…..

2026 වසර සඳහා වන ‘International Living’ වාර්ෂික ගෝලීය විශ්‍රාම දර්ශකයට (Annual Global Retirement Index) අනුව, විදේශිකයන් සඳහා විශ්‍රාමික දිවිය ගතකිරීමට ලොව වඩාත්ම දැරියහැකි (Most Affordable) ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තේරී පත්වී ඇත.

ජීවන වියදම, සෞඛ්‍ය පහසුකම්, දේශගුණය සහ පදිංචිය සඳහා ඇති විකල්ප යන නිර්ණායක පදනම් කර ගනිමින් ‘International Living’ සඟරාව විසින් 35 වැනි වරටත් නිකුත් කරන ලද මෙම දර්ශකයට අනුව ග්‍රීසිය ලොව හොඳම විශ්‍රාමික ගමනාන්තය ලෙස ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ.

ග්‍රීසිය සමස්ත දර්ශකයේ පෙරමුණ ගත්තද, අවම වියදමකින් උසස් ජීවන රටාවක් ගත කළ හැකි රටවල් අතර ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි.

පුත්තලමේ ත්‍රීරෝද රථ රියදුරා ඝාතනය කර රථය පැහැරගෙන….

කුලී ගමනක් යන මුවාවෙන් කැඳවා ගෙන ගොස් රියදුරු ඝාතනය කර ත්‍රීරෝද රථයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පුත්තලම පොලීසිය ආරම්භ කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම – තිල්අඩිය, අල්කාසිම් ගම්මානයේ  පදිංචිව සිටි 72 හැවිරිදි පස්දරු පියෙක් බව පොලීසිය සඳහන් කරයි.

පසුගිය 21 වෙනිදා රාත්‍රීයේ මිය ගිය පුද්ගලයාගේ  නිවසට පැමිණ ඇති අයෙකු කුලී ගමනක් යාම සඳහායැයි පවසා ඔහුව කැදවා ගෙන ගොස් ඇත.

22 වෙනිදා අළුයම පුත්තලම – අඩපනාවිල්ලුව ප්‍රාදේශයේ කාණුවක තිබී මිය ගොස් ඇති අයෙකුගේ සිරුරක් ප්‍රදේශවාසියෙකු විසින් දැක ඒ බව පොලීසියට දැනුම්දීමට කටයුතු කර තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පෙර දින කුලී ගමනක් යාම සඳහා ගිය ත්‍රීරෝද රථයේ හිමිකරු බවට ඔහුගේ ඥාතීන් හඳුනාගෙන ඇත.

සොරාගන්නා ලද බව කියන ත්‍රීරෝද රථය මේ දක්වා හමුවී නොමැති අතර ඝාතනයට ලක්වු අයගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පුත්තලම පොලීසිය විසින් ක්‍රියාත්මකවේ.

ශ්‍රී ලංකා පරාජය දැක සංගා තැබූ සුවිශේෂී ‘X’ සටහන….

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිර 8 වටයේ අද (22) පැවති එංගලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව  ලකුණු 51කින් ලැබූ පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබුණි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දැකගත හැකි වූයේ ඉතා දුර්වල ක්‍රීඩා විලාසයක් බවත් ඔහු පෙන්වා දී තිබේ.

කමිල් මිෂාරගේ ක්‍රිඩා විලාසය ද එතරම් උසස් මට්ටමක නොතිබූ බව ඔහු එම සටහනෙන් විශේෂයෙන් පෙන්වා දී ඇත.

ක්‍රීඩාංගණයේ තණතිල්ලේ ස්වභාවය සහ තරගයේ පවතින තත්ත්වය නිවැරදිව වටහා ගැනීමට පිතිකරුවන් අපොහොසත් වීමෙන් ශ්‍රී ලංකාවට මෙම පරාජයට මුහුණ දීමට සිදු වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය සමග හසුවූ නිතීඥවරයෙකු රිමාන්ඩ්….

කුප්පි ලාම්පුවක් දල්වාගෙන කෙසෙල්වත්ත, සාංචිආරච්චි වත්ත ප්‍රදේශයේ පාළුවට ගිය අඳුරු සහිත ගොඩනැගිල්ලක් තුළ අයිස් මත්ද්‍රව‍ය පානය කරමින් සිටි නීතිඥවරයෙකු කෙසෙල්වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

එම නීතිඥවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව‍්‍ය මිලිගෑම් 130ක්, කුඩා වීදුරු කැබැල්ලක්, බටයක් ආකාරයෙන් සකසාගත් රුපියල් 20ක මුදල් නෝට්ටුවක් මෙන්ම උපත් පාලන කොපු 06ක්, ළදරු තෙල් බෝතලයක්, නීතිඥ හැඳුනුම්පතක්ද හා පොලිස් භාරයට ගෙන ඇත.

කෙසෙල්වත්ත පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමකට ලද තොරතුරකට අනුව පාළුවට ගිය අඳුරු සහිත ගොඩනැගිල්ල තුළට ගොස් පරීක්ෂා කිරීමේදී  සැකකාර නීතිඥවරයා මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව පොලීසිය කියයි.

සැකකරු සන්තකයේ තිබූ නීතිඥ හැඳුනුම්පත පරීක්ෂා කිරීමේදී 1996 වර්ෂයේ නීතිඥ වෘත්තියේ දිවුරුම්දුන් අයෙක් බවට අනාවරණය වී ඇතැයිද අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හා මහාධිකරණය නීතිඥ වෘත්තියේ යෙදෙන අයෙක් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර නීතිඥයා කළුබෝවිල සරණංකර පාර පදිංචි 54 හැවිරිදි  පුද්ගලයෙකි.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ගැන හෙළිකරගත් කරුණු….

අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් කරුණු රැසක් හෙළිකර ගැනීමට පොලිසියට හැකිව තිබේ.

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ වෙඩික්කරු අම්බලන්ගොඩ දෙල්දූවේදී ඊයේ (21) ප.ව. 6.20ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය.

නීතීඥවරයාට ටී-56 ගිනිඅවියෙන් වෙඩිතැබීම සිදුකර ඇත්තේ මොහු බවට සැකකරන අතර, 46 හැවිරිදි ඔහු සුනිල් රංජිත් නම් 2009 වසරේදී ලබාදුන් පොදු සමා කාලයේදී යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ අයෙක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඔහු අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේ තම මිතුරෙකුගේ නිවසක නැවතී හිඳිමින් යාබද කුරුඳු ඉඩමක වැඩකටයුතු කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය.

බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස්මත, හෝමාගම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාගේ අධීක්ෂණයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති අමිල් ගෝවින මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර් චතුරංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ රාත්‍රියේම විමර්ශන සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබීය.

සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී ඔහු අදාළ ඝාතනය සිදුකළේ යැයි පිළිගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

අදාළ ඝාතනයෙන් පසුව තමන් කොට්ටාවට ආසන්න ස්ථානයකදී මෝටර් රථයෙන් බැස බස් රථයක නැග අම්බලන්ගොඩට පැමිණි බව සැකකරු පවසා තිබේ.

දැඩි මත්ලෝලියෙකු වන සැකකරු ‘කරන්දෙණියේ සුද්දා’ සමග සෘජු සබදතා ඇති අයෙක් බව පොලීසිය පැවසීය.

මෙම ඝාතනය ද කරන්දෙණියේ සුද්දා දුරකථනයෙන් තමන් අමතා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ එකක් බව සැකකරු පවසා ඇත.

ඝාතනයෙන් අනතුරුව සුද්දා තමන්ට රුපියල් ලක්ෂයක මුදලක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදුන් බවද පොලිසියට පවසා තිබේ.

එමෙන්ම ඔහුට මින් පෙරත් අවශ්‍ය සෑම අවස්ථාවකදීම කරන්දෙණියේ සුද්දා මුදල් ලබා ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

ඒ අනුව පොලිසිය සැකපළ කරන්නේ මොහු කරන්දෙණියේ සුද්දාගේ කුලී ඝාතකයෙකු ලෙස කටයුතු කර ඇති බවය.

කෙසේ වෙතත් ඔහු සිදුකළ වෙනත් ඝාතන සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නොමැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති බලතල අනුව සැකකාර වෙඩික්කරුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය මේ වනවිට අවසර ලබාගෙන තිබේ.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 12කින් විමර්ශන ක්‍රියාත්මක අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 9දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවේ සිටි කතක් පලායාමේ සිද්ධියකට පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්….

රැඳවුම් නියෝග මත ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අත්අඩංගුවේ සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් පලායාමේ සිද්ධියට අදාළව පොලිස් සැරයන්වරුන් දෙදෙනකුගේ සහ පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනමට ලක්කර තිබේ.

පොලිස් මුලස්ථානය ප්‍රකාශ කළේ, මෙලෙස වැඩ තහනමට ලක් කරඇත්තේ රාත්‍රී කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ සහ උපසේවක ලෙස රාජකාරී කළ සැරයන්වරු දෙදෙනා සහ  සැකකාරියගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරිය බවය.

මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් ඒකකයේ කණ්ඩායමක් විසින් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිනිය පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.

රත්මලාන මැලිබන් හන්දිය අත්තිඩිය ප්‍රධාන මාර්ගයේදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබූ අතර, එහිදී ඇය සතුවූ  හෙරොයින් ප්‍රමාණය මිලිගෑම් 36,650ක් තිබී ඇත.

අදාළ සැකකාරිය රැදවුම් නියෝග මත ගල්කිස්ස පොලිස් ස්ථානයේ රඳවා සිටියදී පසුගිය 16 වැනිදා ශාරීරික අවශ්‍යතාවයක් ඇති බව පවසා කොස්තාපල්වරියක් සමග  වැසිකිලියකට යාමේදී ඇය අත්අඩංගුවෙන් මිදී මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක නැග පලා ගොස් තිබුණි.

කෙසේ නමුත් පලාගිය සැකකාරියව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පැය 8කට පසු එදිනම තලවතුගොඩ කිඹුලාඇල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

අනූෂ පැල්පිට ට ඇප…..

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන අනුෂ පැල්පිට මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවෙකු හඳුනාගැනේ…..

තලංගම, අකුරේගොඩදී නීතිඥයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවෙකු සහ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පුද්ගලයෙකු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

“අපරාධයට සම්බන්ධ වාහනය බද්දේගම ප්‍රදේශයේදී ගිනි තබා විනාශ කර තිබියදී සොයාගනු ලැබුවා. අපරාධය සඳහා ගිනිඅවි ලබා දීමට පැමිණි රථය කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩික්කරුවන් අපරාධය සිදු කිරීමට ප්‍රථම නවාතැන්පොළ වෙත කැඳවා ගෙන පැමිණි රථය අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබෙනවා සහ මෙහි හිමිකරු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එ් වගේම මෙම අපරාධය සිදු කිරීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබූ සැකකරු අංක 102/9, පන්සල පාර, රුක්ගහවෙල පදිංචි රූබට් සුරේෂ් බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. වෙඩික්කරුවන් අපරාධය සිදු කිරීමට ප්‍රථම නවාතැන්පොළ වෙත කැඳවා ගෙන පැමිණි රථයේ හිමිකරු රසික නිවස, පරණ කොළණිය ඇත්කඳුර, ගාල්ල නිවසේ පදිංචි වන්නිආරච්චිගේ සිහින දිල්සර යන අය බව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව සැකකරු සහ අදාළ රථය අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙතෙක් සිදුකර ඇති විමර්ශනයේදී මෙම අපරාධය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ටුටූ” නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන උග්ගල්ල ආරච්චිගේ තරිඳු මදුශංක නැමැති අය විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. පොලිස් කණ්ඩායම් මේ වෙනකොට මේ සම්බන්ධව පුළුල් විමර්ශන දියත් කරලා මේ වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නවා.”

පාතාලය සමග සබඳතා පැවැත්වූ දේශපාලඥයන්ගේ තොරතුරු ළඟදීම….

කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු සමග සබඳතා පැවැත්වූ දේශපාලඥයන්ගේ තොරතුරු අනාවරණය වූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පත්මේ ඇතුළු කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔවුන්ගේ දුරකථන 30ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අතතුරදී මෙම කරුණු අනාවරණය කරගත් බව හෙතෙම පැවසීය.

ඒ අනුව එම දේශපාලකයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවත්,
සම්පූර්ණ විමර්ශනකින් අනතුරුව පැහැදිලි ප්‍රකාශයක් සිදුකරන බවත් අමාත්‍යවරයා හෙළි කළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

“කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු විමර්ශන දිගින් දිගටම කරනවා.

ඔවුන් සතු දුරකථන 30ක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

ඒ දුරකථන හරහා ලබාගත් තොරතුරු සහ ඔවුන්ගේ ප්‍රකාශ හරහා ඔවුන් සමග සබඳතා පැවැත්වූ දේශපාලකයන්, ඔවුන් සමග ක්‍රියාකාරකම්වල යෙදුණු දේශපාලකයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.

එම දේශපාලකයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා, ප්‍රකාශ සටහන් කරගනිමින් ඉන්නවා

සම්පූර්ණ විමර්ශනකින් පසු මේ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් සිදුකරනවා. මේ වනවිට විමර්ශන ඉතා සාර්ථකව පවතිනවා” යැයි පැවසීය.

ත්‍රි’මලේ බුදුපිළිම සිද්ධියට සම්බන්ධ විහාරයේ රිට් පෙත්සමක් යළි කැඳවන්න නියෝගයක්…..

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගය ක්‍රියාත්මකවීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි විහාරාධිපති හිමියන් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම අප්‍රේල් මස 28 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව අදාළ පෙත්සම ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (20) කැඳවනු ලැබීය.

එහිදී මෙම පෙත්සම සමථයට පත් කිරීම සම්බන්ධයෙන් කරුණු සලකාබැලීම සඳහා අප්‍රේල් මස 28 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය.