විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට මහජන අදහස් විමසීම 25වනදා සිට….

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි මස 25වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි.

පෙබරවාරි මස 25වනදා සිට මාර්තු මස 18වනදා දක්වා වාචිකව මෙන්ම ලිඛිතව ද මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු සිදු කරන බව එම කොමිසන් සභාව සඳහන් කර සිටී.

පළාත් 09ම ආවරණය වන පරිදි එම කටයුතු සිදු කිරීමට නියමිත අතර ඉන් පසුව සෙසු කරුණු ද සලකා බලා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව කොමිසන් සභාව විසින් තීරණය කිරීමට නියමිතය.

2026 වසරේ දෙවන කාර්තුව සඳහා එනම් අප්‍රේල් මස පළමුවන දින සිට ජුනි මස 31 වන දින දක්වා වන කාලසීමාව සඳහා සියයට 13.56ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් අපේක්ෂා කරමින් පසුගිය 13 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසන් සභාව වෙත සිය යෝජනාවලිය ඉදිරිපත් කර තිබුණි.

2026 වසරේ පළමු කාර්තුවට අදාළව ලංකා විදුලි මණ්ඩලය විසින් සියයට 11.57ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කළ ද ඊට උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව නොමැත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරියේදී විද්වත් කමිටුවක්….

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසිපරිදි ඉදිරියට ගෙනයෑම සඳහා ජනාධිපතිවරයා විසින් විද්වත් කමිටුවක් පත්කිරීමට නියමිත බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (20) යාපනයේ පැවැති සම්මන්ත්‍රණයකදීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ඊයේ මෙලෙස පැවැත්වුණි.

එය සංවිධාන කර තිබුණේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජනතා ව්‍යාපාරය විසිනි.

එහිදී අදහස් දැක්වූ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක,

”මෙන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන 2026 අවුරුද්දේ වෙන් කරලා තියෙනවා රුපියල් බිලියන දාහතක්. ඒ පාසල් අතර තියෙන යටිතල පහසුකම් වර්ධනය කරන්න. ඒ වගේ උපාධිධාරී ගුරුවරුන් 23,304ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය අරගෙන තියෙන්නේ. මාර්තු පස්වෙනිදා වෙනකොට අයදුම්පත් ගන්න එක අවසන් වෙනවා. එතනින් පස්සේ අපිට බඳවා ගැනීම් කටයුතු කරන්න පුළුවන්. මේ සාමාන්‍ය පෙළ ක්‍රමය මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා. හැබැයි තියෙන ස්වරූපය වෙනස් වෙයි. අලුත් විෂය මාලා සංවර්ධනයත් එක්ක. මේ ක්‍රියාවලිය තුළ ඇගයීම් ක්‍රම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් අපේ වගේ රටවල්වල අපි දන්නවා ගුරුවරයා සහ ළමයා අතර තියෙන සමහර පුද්ගල සම්බන්ධතා වගේ දේවල් නිසා යම් ගැටළුකාරී තත්වයක් ඇති වෙන්න පුළුවන්.  අපි ඒක සාකච්ඡා කරලා මේ අනුපාතය කොයි විදියට වෙන්න ඕනේ කියලා ඒ විද්වත් වෘත්තිකයන් විසින් තීරණය කරාවි. 

විශේෂයෙන් ඔය ඉංග්‍රීසි මොඩියුලයේ ඇතිවෙච්ච දුර්වල තැන් කිහිපයක් තිබුණා. අපිට ඒවා නිවැරදි කරගන්න අවශ්‍යයි.. ඒ වගකීම් විරහිතව කටයුතු කරපු නිසා තමයි එවැනි දෙයක් පෙළපොතට ඇතුලත් වෙලා තියෙන්නේ. අපි ඒ අයට දැන් දඬුවම් දීලා තියෙන්නේ. දැනට තියෙන අනෙකුත් පෙළපොත් සම්බන්ධයෙනුත් විද්වත් වෘත්තිකයන් හරහා ගැඹුරු විමර්ශනයක් කරන්න අපි කටයුතු කරනවා. ඒ හරහා, එතනින් පස්සේ අපි 2027දී හය වසරේ ඉඳලා නැවත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරනවා. 

එතෙනදී සමහරු අහනවා අර දැන් මේ 2026 වසරේ ඉඳලා හය වසරේ දරුවෝ සූදානම් වෙලා හිටියා. දෙමව්පියෝ සූදානම් වෙලා හිටියා. ඒ දරුවන්ට හත වසරෙදි ඉඳලාවත් මේක ක්‍රියාත්මක කරන්න ඉල්ලීමක් තියෙනවා. නමුත් ඒක දේශපාලඥයන් හැටියට අපි විසින් තීරණය කළ යුතු එකක් නෙමෙයි. ඒ හා සම්බන්ධ අධ්‍යාපනඥයන්, විද්වත් වෘත්තිකයන් එක්ක කරන සාකච්ඡාවකින් පස්සේ අපි හොයලා බලනවා 2027 අවුරුද්දෙදි 7වසරේ ඉඳලා දරුවන්ට අවස්ථාව ලබා දෙන්න පුළුවන්ද කියලා. ඉක්මනින් අපි බලාපොරොත්තු වෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා විද්වත් වෘත්තිකයන්ගෙන් සමන්විත ඒ වගේම අවශ්‍ය වන අනෙකුත් කණ්ඩායම් සහභාගී වන කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත් කරන්න.”

බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කිරීමට අයිතියක් නැහැ – සජිත් ප්‍රේමදාස…..

කිසිවෙකුටත් බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කිරීමට අයිතියක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (21) තිස්සමහාරාම ගැමුණු පුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ යෝජිත නව සංඝාවාස ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාව සඳහා එක්වෙමිනි.

මෙරට පන්සල් පද්ධතිය මේ වනවිට අවදානය නොමැතිව ගරා වැටෙන බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකරයට බුදුදහම පෝෂණය කර රැක ගැනීමට බුද්ධශාසන අමාත්‍යාංශය සහ අරමුදලක් රණසිංහ ප්‍රේමදාස මහතා ඇති කළේය.

එමඟින් සෙසු ආගම්වලට රාජ්‍ය අමාත්‍යාංශය පවා ඇති කරමින් ඒ ඒ ආගම් සංස්කෘතීන් සුරක්ෂා කළ බවත් මේ තුළින් රට සුරක්ෂිත වී ආගම් ජාති ජන කොට්ඨාස අතර බෙදීම් නැතිව රටේ සෛරීත්වය භෞමික අඛණ්ඩතාව සුරැකෙන බවත් විපක්ෂ නායකවරයා කියාසිටියේය.

යම් යම් කොට්ඨාස බුද්ධ ශාසනයට ප්‍රහාර තර්ජන එල්ල කරන බවත් ගිහියන්ට එවැනි තර්ජන අභියෝග කරන්න අයිතියක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

මහා සංඝරත්නයට ඇඟිල්ල දිගු කරන්න අයිතියක් නැති බවත් චීවරයට සම්බුද්ධ ශාසනයට ගරු කරමින් සෙසු ආගම් හා ආගමික නායකයන්ට පවා ගරු කළ යුතු බවත් ඊට අමතරව ආගමික සිද්ධස්ථාන සුරක්ෂිත කළ යුතු බවත් එය සියලු පුරවැසියන්ගේ වගකීමක් බවත් ඔහු පැවසීය.

අප රටේ බුදුදහමට සුවිශේෂ ස්ථානයක් හිමිවන බවට උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා තහවුරු කර ඇත.

බුද්ධශාසනය ශක්තිමත් කිරීම පෝෂණය කිරීම සහ ආරක්ෂා කරන අතරතුර සෙසු ආගම් ජාතිවලට ඔවුන්ගේ ආගමික අයිතියට සංස්කෘතික අයිතියට සුරක්ෂා කිරීම සිදුවන බව පෞද්ගලිකව විශ්වාස කරන ආකාරයට ආගම දහම ජාතිය කුලය පන්තිය තරාතිරම උපයෝගී කර ගෙන දේශපාලන වාසි නොලැබිය යුතු බවත් ඉන් පෙනී යන්නේ අදාළ පුද්ගලයාගේ නොහැකියාව බවත් දේශපාලනය යනු ජනතා සේවාව සමාජ සංවර්ධනය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අමෙරිකානු පැසිෆික් නාවික අණදෙන නිලධාරී හා ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති අතර හමුවක්….

අමෙරිකානු පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් Stephen T. “Web” Koehler, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා හමු වී තිබේ.

එහිදී ශ්‍රී ලංකාව හා අමෙරිකා එක්සත් ජනපදය මුහුණ දෙන පොදු ආරක්‍ෂක අභියෝග, සමුද්‍රීය ආරක්‍ෂාව, හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම සහ දෙරටේ අන්තර් සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවස්ථා මෙන්ම සමුද්‍රීය විෂයපථය පිළිබඳ දැනුවත්භාවය (Maritime Domain Awareness – MDA) ශක්තිමත් කිරීම ආදී වැදගත් කරුණු රැසක් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට විශේෂයෙන්ම මෙරට නාවික හමුදාවේ හැකියාවන් ඉහළ නැංවීමට සහ මෑතකදී ඇති වූ ‘දිට්වා’ ස්වභාවික ආපදා තත්ත්වයේදී අමෙරිකා එක්සත් ජනපදය විසින් ලබාදුන් හදිසි මානුෂීය ආධාර හා සහයෝගය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අමෙරිකා එක්සත් ජනපදය වෙත සිය කෘතඥතාව පළ කළේය.

නීතිවිරෝධී ජාවාරම් ඇතුළු දේශසීමා ඉක්මවා යන අපරාධ සහ අනෙකුත් නූතන අභියෝගයන්ට එරෙහිව සටන් කිරීම සඳහා වූ පොදු කැපවීම මෙම සාකච්ඡාවලදී ඉස්මතු වී ඇත.

ඒ සම්බන්ධයෙන් වඩා පුළුල් පරාසයක දැනුවත්භාවයක් ලබා ගැනීම සඳහා උසස් තාක්‍ෂණික ක්‍රමවේද සහ සම්බන්ධිත මෙහෙයුම් ඒකාබද්ධ කිරීම කෙරෙහි ද මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක් ව තිබේ.

ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කාර්‍යක්‍ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් නව අමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකාවක් ලබාදීම තුළින්, ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙරට මුහුදු සීමාව තුළ පවතින ආරක්‍ෂක අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන වැදගත් පියවරක් ලෙස හඳුනා ගන්නා ලදී.

දෙපාර්ශවය අතර දැනට පවතින ආරක්‍ෂක සහ පුහුණු සහයෝගීතාව මෙන්ම ඒකාබද්ධ අභ්‍යාස, පුහුණු වැඩසටහන් සහ සහයෝගී මුලපිරීම් හරහා සම්බන්ධීකරණය වැඩිදියුණු කළ හැකි ක්‍රම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

සමුද්‍රීය ආරක්‍ෂාව, කලාපීය ස්ථාවරත්වය සහ වැඩිදියුණු කළ ආරක්‍ෂක සහයෝගීතාව යන පොදු අරමුණු වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදය දක්වන කැපවීම අද්මිරාල් Koehler මෙහිදී යළිත් තහවුරු කළේය.

පසුගිය වසරේ ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම ගැන හෙළිදරව්වක්….

පසුගිය 2025 වසරේ පොලීසිය සහ හමුදාව එක්ව සිදුකරන ලද වැටලීම් මගින් ආරක්ෂක අංශ භාරයට ගනු ලැබූ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 110ය ඉක්මවන බව  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා පවසයි.

ඔහු පැවසුවේ 2025 වර්ෂයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ආයතන සඳහා වෙන්කර ඇති මුදල වූයේද රුපියල් බිලියන 147ක් වන බවය.

මෙම මත් ජාවාරම් හේතුවෙන් මෙරටට විශාල මුදලක් අහිමි වන බවත් පැවසූ ඒ මහතා මේ හේතුවෙන් මෙරට තරුණ ජීවිත රැසක්ද අකාලයේ රටට අහිමි වන බවද පෙන්වා දුන්නේය.

දඹුල්ලේදී පැවැති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් රවී සෙනෙවිරත්න මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය හේතුවෙන් මෙරට තරුණ හීවිත රැසක් අහිමිවීමේ අවධානමක් සහ විශාල මුදල් ප්‍රමාණයක්ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් අහිමි කරන බවත්ය.

මත්ද්‍රව්‍ය තුළින් මෙරටට විශාල මුදලක් ජවාරම්කරුවන් විසින් අහිමි කරන බවත් පැවසූ ඒ මහතා මත්ද්‍රව්‍ය තුළින් ලබන්නා වූ ආදායම් රටේ සංවර්ධනයට හෝ රටේ ඉදිරි ගමනට දායක නොවන බවද සඳහන් කළේය.

ඒ අනුව රට වෙලා ගත් මෙම බිහිසුණු මත්ද්‍රව්‍ය අනතුරින් සමාජය මෙන්ම දරුවන්ද සුරක්ෂිත කිරීමටද සියලු පාර්ශ්වයන් හී වගකීම බවද පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා,

“අප රට වෙලා ගත් බිහිසුණු අනතුරක් තියෙනවා. ඒ තමයි මත්ද්‍රව්‍ය. 2025 පොලීසිය, හමුදාව අරන් තියෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය, එහි මූල්‍ය වටිනාකම රුපියල් බිලියන 110කට අධිකයි. මම ඒ ගමන්ම ඔබට සඳහන් කරන්නම් 2025 වර්ෂයේ මමත් සේවය කරන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ආයතනවලට අයවැයෙන් වෙන්කරලා තිබෙන මුදල රුපියල් බිලියන 147ක්. ඉතිං ඔබට තේරෙනවා ඇති ඒ හා සමාන මුදලක් මේ මත්ද්‍රව්‍යවලින් අපේ රටට අහිමි වෙනවා. මේ බිලියන 110 මේ රට, මේ රටේ ජනතාව විනාශ කරන්න යොදවනවා මිසක් මේ රටේ සංවර්ධනයට, රටේ ඉදිරි ගමනට දායකවෙන එකක් නෙමෙයි.  ඒ නිසා ඔබේ දරුවා මේ මත්ද්‍රව්‍ය රකුසාගෙන් බේරගන්න”

ජීවිත තර්ජන මැද වෙඩි කෑ ඩිලයිට්….

මාතර – දෙවුන්දරදී අද (21) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම සිදුව ඇත්තේ අදාළ පුද්ගලයාට තිබෙන ජීවිත තර්ජන මැද බවට මේ වන විට අනාවරණය වී තිබේ.

අද පස්වරු 1ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර එම වෙඩි ප්‍රහාරයෙන් 55 හැවිරිදි සිරිල් හෙන්දවිතාරණ නොහොත් “ඩිලයිට්” නමින් හැඳින්වෙන මාළු ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්විය.

පොලීසිය පැවසුවේ මෙම වෙඩි තැබීම මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බවය.

ඔහුට අයත් හෝටලයකට 2023 වසරේදීද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහිදී ඔහුට කිසිදු හානියක් සිදුව නොමැත.

එවැනි වාතාවරණයක් මත ඔහු විසින් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වූ ජාතික අධිකාරියට සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් සංචාරක අත්පොතක්ද තබා ඇති බව පොලීසිය සඳහන් කළේය.

පොලීසිය විසින් අදාළ පුද්ගලයාට ආරක්ෂිතව සිටින ලෙස දැනුම් දුන්නද ඔහු ඒ පිළිබඳව වැඩි තැකීමක් නොකර ප්‍රදේශයේ විවිධ ස්ථාන වෙත ගමන් කර තිබේ.

අද දිනයේද ඔහු ගන්දර සිට දෙවුන්දර දක්වා ගමන් කිරීමේදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම සම්බන්ධව චෝදනා පවතින බවද පොලීසිය සඳහන් කළේය.

පොලීසිය පැවසුවේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සහෝදරයාද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව පොලීසියට අවශව සිටින අයෙකු බවය.

මෙම පුද්ගලයාව ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ මෝටර් රථයකින් වන අතර ඔවුන් මොහු ඝාතනය කර පළා ගොස් තිබුණි.

ඒ අනුව පොලිස් කණ්ඩායම් 6ක් අනියුක්ත කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක්ද ආරම්භ කරනු ලැබීය.

එවැනි වාතාවරණයක් තුළ ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි බව පැවසෙන මෝටර් රථයය මාතර අමලගොඩ ප්‍රදේශයේදී දමා ගොස් තිබියදී පොලීසිය අද පස්වරුවේ සොයාගනු ලැබීය.

අද ඝාතනයට ලක්වූ සිරිල් හෙන්දවිතාරණ හෙවත් “ඩිලයිට්” නැමැත්තා විසින් මින් වසර 20කට පමණ පෙර ඇල්ලකන්ද ආරණ්‍ය සේනාසනය පිහිටි කැලෑබද ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ දෙවුන්දර තමිල් නැමැත්තාගේ සමීපතමයෙකු වන ජුංගයියා ලාල් නම් අයෙකු ඝාතනය කර තිබුණි.

එම ඝාතනයත් සමග දෙවුන්දර තමිල් නැමැත්තා විසින් ඩිලයිට් නැමැත්තාගේ පාර්ශ්වයේ පිරිසක් ඉලක්ක කරමින් ඔවුන් ගමන් ගත් වෑන් රථයකට වෙඩි තබා ඇති අතර ඉන් පුද්ගලයින් 05 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්විය.

කෙසේ නමුත් එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් 5 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ට අදාළ චෝදනා සම්බන්ධව මරණීය දණ්ඩනයද හිමිව තිබූණද ඔවුන් සිදුකල අභියාචනයයේදී ඔවුන් නිදහස් වී තිබුණි.

මෙවැනි වාතාවරණයක් තුළ ඩිලයිට් නැමැත්තා දෙහිගෙදර බාලේ නම් සංවිධානාත්මක අපරාධකරු සමගද සමීප සබඳතාවයක් පවත්වාගෙන ඇතැයිද විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

නමුත් පසුකාලීනව දෙහිගෙදර බාලේ මල්ලි විසින් සිදුකරන හෙරොයින් ජාවාරමෙන්  ප්‍රමාණයක් ඩිලයිට් නැමැත්තා විසින් සොරකම් කර ඇති බවටද චෝදනා එල්ල වී ඇති බවත් අනාවරණය වී ඇත.

එමෙන්ම මෙම පුද්ගලයා විසින් දෙහිගෙදර බාලේ මල්ලිගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන උනාකූරුවේ ශාන්ත නම් පුද්ගලයා සමගද සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ අනුව දෙපාර්ශ්වයේ තොරතුරු දෙපාර්ශ්වයටම ලබා දීම මත මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලීසිය මේ වන විට සැක පළ කර තිබේ.

මේ අතර ගන්දර ප්‍රදේශයේදී මෙම ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාට අමතරව තවත් පුද්ගලයින් 16 දෙනෙකුට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

ඒ ඔවුන්ට එල්ල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන් ලද පැමිණිලි අනුවය.

ඒ අනුව අදාළ පුද්ගලයින් වෙත පොලීසිය විසින් සිය ආරක්ෂාව ලබා දී ඇති බවද වාර්තා වේ.

පයාගලදී කැබ් රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරින් දෙදෙනෙකු මරුට…..

ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි සීග්‍රගාමී දුම්රියේ අද (22) උදෑසන ගැටුණු කැබ් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

අද උදෑසන මෙම අනතුර සිදුවූ අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ තිදෙනෙකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව රෝහල්ගත කළ අවුරුදු 22ක් සහ 28 අතර තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට – තද වැසි ක්‍රමයෙන් අඩුවෙයි….

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව හෙට (23) දිනයේ කාලගුණ තත්ත්වය ගැන අද (22) ප.ව. 2ට නිවේදනයක් නිකුත්කරමින් මේ බව පැවසීය.

කෙසේ නමුත් හෙට දිනයේත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ.

එමෙන්ම කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකිය.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට ප.ව. 2න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

මේ අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට….

ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් අද (22) දින දිවයිනට පැමිණ තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ, එමඟින් ගෘහස්ත ගෑස් සිලින්ඩර 300,000 නිකුත් කිරීමට නියමිත බවය.

එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් සහ 3700ක් රැගත් නෞකා දෙකක් ලබන 24 සහ 28 යන දිනයන්හිදී මෙරටට ළඟාවීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් අදත් (22) දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක් පැවති බවට තොරතුරු වාර්තා විය.

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවට පාරිභෝගිකයින්ගෙන් තොරතුරු ලැබුණු අතර ඇතැම් ස්ථානවල ගෑස් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබිණි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය ක‍ළේ අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග පවත්වා ගැනීම සඳහා නව ඇණවුම් සිදුකර ඇති අතර පෙබරවාරි මාසය අවසන්වීමට පෙර ගෑස් නෞකා තුනක් පැමිණීමට නියමිතව ඇති බවය.

මාර්තු මස 12 වැනිදා සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළඳවෙළෙපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා කියාසිටියේය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන වෙළෙදුන් පවසන්නේ ගෑස් පැමිණෙන නිශ්චිත දිනයක් සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම තමන්ව දැනුවත් කර නොමැති බවය.

අරණායක තවත් බිහිසුණු අවදානමක් – කාපට් මාර්ගය දෙකට කැඩෙයි….

ඊයේ (21) ඇති වූ වැසි තත්ත්වය සමඟ දිට්වා සුළි කුණාටුවෙන් නායයෑමට ලක්වූ අරණායක ප්‍රදේශය යළි නාය අවදානමක් මතුව තිබේ.

ඒ අනුව අරණායක අම්බලකන්ද, දෝතල්ඔය, ගංතුන යන ප්‍රදේශවලට අවදානම් තත්ත්වයක් මතුව ඇත.

අරණායක නගරයේ සිට දෝතල්ඔය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කාපට් අතුරණය, අම්බලකන්ද ප්‍රදේශයේ දී ඊයේ දිනයේ දී දෙකට මැදින් ඉතා භයානක ලෙස පුපුරා ගිලා බැසීමකට ලක්ව ඇති අයුරු අද දෙරණ කැමරාවේ මෙලෙස සටහන් වුණි.

ජනතාව පවසන්නේ, පසුගිය දිනවල නාය යෑමට ලක්වුණු මෙම ස්ථානයෙහි පැවති ප්‍රධාන ඇළ මාර්ගයේ බෝක්කුව නිසි ලෙස පිළිසකර නොකිරීම හේතුවෙන් ප්‍රධාන මාර්ගය ඔස්සේ ජලය ගලා ගෙන ගොස් මෙම තත්ත්වය ඇතිව තිබෙන බවය.

මේ හේතුවෙන් දෝතල්ඔය ගම්මානයට වාහනවලින් පිවිසීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර, විකල්ප මාර්ගයක්වන පුවක්වත්ත මාර්ගය ද පස්කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබේ.

කෙසේවෙතත් අරණායක ප්‍රදේශයේ දිට්වා සුළි කුණාව හේතුවෙන් සිදුවු බිහිසුණු නායයෑමෙන් ජීවිත 13ක් අහිමි වූ අතර, නිවාස 100කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම හානි වී අධි අවදානම් තත්ත්වයට තවත් නිවාස 500ක් පමණ පත්ව තිබුණි.