කෝටි ගාණක කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට…..

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් සමත්වී ඇත.

අදාළ සැකකරු අද (05) උදෑසන 7.45ට පමණ එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් AI – 277 ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.

භාරයට ගත් කිලෝග්‍රෑම් 10.75ක් පමණ වන මෙම කුෂ් තොග‍යේ මුළු වටිනාකම රුපියල් දස කෝටි පනස් ලක්ෂයක් වන බව රේගු බලධාරීන් සඳහන් කළේය.

ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය තුළ මෑතකදී සවි කරන ලද අති නවීන ස්කෑන් යන්ත්‍රයක් භාවිතයෙන් මෙම කුශ් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

ප්‍රජාශක්ති ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට…..

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ආරම්භ කිරීම සහ මේ වන විටත් ක්‍රියාත්මක රජයේ ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන්වල දිස්ත්‍රික් මට්ටමේ ප්‍රගති සාමාලෝචන රැස්වීමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

“ප්‍රජාශක්ති” වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන අන්දම සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, “ප්‍රජාශක්ති” මෙරට දිළිදුකම තුරන් කිරීමේ තවත් එක් වැඩසටහනක් බවට පත් කර ගැනීම වෙනුවට පොහොසත් රටක් නිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ සමඟ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඒකාබද්ධ කර ගනිමින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් මතු කළ ගැටලුවලට පිළිතුරු ලබා දෙමින් ඉදිරි වර්ෂවල රජයේ දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන වැඩසටහන් සියල්ලම ග්‍රාමීය මට්ටමේදී ප්‍රජා සංවර්ධන සභා විසින් හඳුනා ගන්නා සංවර්ධන වැඩසටහන් විය යුතු බවත්, එබැවින් දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී වෙන් කර ඇති ප්‍රතිපාදන සීමාවට ගැලපෙන ව්‍යාපෘති හඳුනා ගැනීම වෙනුවට, ව්‍යාපෘතියේ අවශ්‍යතාව සලකා බලා ප්‍රමුඛතාගත කළ යුතු බවත්, එම ප්‍රමුඛතා අනුව ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පලාත් සභා, පලාත් පාලන ආයත  සිය ප්‍රතිපාදන වෙන් කළයුතු බවත් ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාශයේ නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

එමඟින්, සංවර්ධනය සඳහා වැය කරන ප්‍රතිපාදන විසිරුණු අරමුණු රැසකට වැය කරනු වෙනුවට කේන්ද්‍රීය අරමුණකට යොමු කිරීම සිදුවන බවත් පෙන්වා දෙන ලදී.

තවද මෙම වැඩසටහනේ තවත් විශේෂත්වයක් වනුයේ ග්‍රාමීය සංවර්ධනය සඳහා දායක වීම අපේක්ෂා කරන පෞද්ගලික අංශයේ පිරිසට පවා මෙම ව්‍යුහය තුළ සම්බන්ධ වීමට අවස්ථාව සලසා තිබීම බව අවධාරණය විය.

ප්‍රජාශක්ති වැඩසටහන සාර්ථක කර ගැනීමේදී සහ එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේදි දිස්ත්‍රික් ලේකම්වරුන්ට විශාල කාර්යභාරයක් පැවරී ඇති බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ප්‍රජාශක්ති වැඩසටහන පුළුල් ජාතික වැඩසටහනක් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අදාළ නව අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ නව උපදෙස් පිළිබඳව මෙන්ම විමධ්‍යගත අයවැය වැඩසටහන, දිස්ත්‍රික සංවර්ධන වැඩසටහන්, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, වතු ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන, වතු ප්‍රදේශවල ආපදා නිවාස වැඩසටහන්, හදුනාගත් පාසල්, ක්‍රීඩා පාසල්හි පහසුකම් වැඩි කිරීම මෙන්ම අලි මිනිස් ගැටුම කළමනාකරණය සඳහා දිස්ත්‍රික් මට්ටමේ කමිටු පිහිටුවීම සහ විශේෂ අවශ්‍යතා/ ආබාධ සහිත පිරිස් ඉලක්ක කර ගනිමින් දියත් කර ඇති වැඩසටහන් ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීමද මෙහිදී සිදු විය.

මෙරට සෞඛ්‍ය, අධ්‍යාපන සහ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතිය මෙන්ම වසර 2030 වන විට මෙරට දරිද්‍රතාව අවම කර ගැනීමේ ඉලක්කගත වැඩසටහන සම්බන්ධවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර ජනාධිපති අරමුදලේ කාර්යයන් විමධ්‍යගත කිරීමට අදාළ කටයුතු පිළිබඳවද සාකච්ඡා විය.

ඉදිරියේදී රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය විමසා බැලීමේදී අදාළ රේඛීය අමාත්‍යාංශවල මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන්ද තොරතුරු ලබා ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදි අවධානය යොමු කෙරිණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ සුබසාධන හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති උපදේශක (නීති) නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනේ ජනාධිපති අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, ජනාධිපති අතිරේක ලේකම් (ආහාර සුරක්ෂිතතා හා ප්‍රතිපත්ති) එන්. වනසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

අයිස් මත්ද්‍රව්‍ය හදන්න ගන්නා අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් මිද්දෙණියෙන් සොයාගනී……

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට පැවසෙන අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000කට ආසන්න තොගයක් මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සොයාගෙන තිබේ.

ඒ අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලියෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් මේ වනවිටත් එම ස්ථානයේ විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

ජාතික ක්‍රීඩා කවුන්සිල සාමාජිකත්වයෙන් මහානාම ඉල්ලා අස්වෙයි……

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පෞද්ගලික හේතුවක් මත ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් සිදුකෙරෙන ප්‍රධානම කාර්යභාරයක් වේ.

ඇල්ල බස් අනතුරට හේතුව ? – තුවාල ලැබූ අයෙකුගෙන් හෙළිදරව්වක්….

ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක් එම මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 15 දෙනෙකු බව පොලීසිය පවසයි.

රියදුරු සහ රිය සහායක සමග බස් රථයේ 34 දෙනෙකු ගමන් කර තිබුණි.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 සහ 24 කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයේදී ඊයේ (04) රාත්‍රී 9ට පමණ අනතුර සිදුවී ඇත.

අදාළ බස් රථය ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයකද ගැටී මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේද ගැටී අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.

කෙසේවෙතත් අනතුරින් පසුව ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්, ආරක්ෂක අංශ මෙන්ම මුදාගැනීමේ කණ්ඩායම් තුවාලකරුවන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

මේ වනවිට පිරිමි පුද්ගලයින් 6ක්, කාන්තාවන් 5ක්, පිරිමි දරුවන් 3ක් සහ දැරියන් දෙදෙනෙකු ඇතුළු 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 6ක් සහ කාන්තාවන් 9ක් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මොවුන් සියලුදෙනා තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් තංගල්ල නගර සභා සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා තහවුරු කළේය.

මෘතශරීර මේ වනවිට දියතලාව, බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල තැන්පත් කර තිබේ.

මේ අතර බස් රථයේ අධික වේගය හේතුවෙන් එය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් අනතුර සිදුවීමට පෙර බස් රථයේ රියදුරු විසින් තිරිංගවල යම්කිසි දෝෂයක් පවතින බවට ප්‍රකාශ කර ඇති බවට අනතුරින් දිවි බේරාගත් පුද්ගලයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

“ඇල්ල හරියේ වංගුවක් ගාවදී කිව්වා බ්රේක් නැහැ කියලා. මම බොනට් එක උඩ වාඩිවෙලා කතා කර කර හිටියා. ඩ්‍රයිවර් එහෙම කිව්ව එකට කොන්දොස්තර හිනා වුණා. එහා පැත්තේ ආසනයේ එක්කෙනෙක් හිටියා. එයත් හිනා වුණා…බොරු කියන්න එපා කියලා. ඊළඟ වංගුවේදී තමයි කිව්වේ ඇත්තම තමයි බ්රේක් නැහැ කියලා. එකපාර කපන්න ගත්තා. ඊට පස්සේ තමයි දන්නේ ඇත්තටම බ්රේක් නැහැ කියලා. එතනදි වාහනයක් ආවා..ඒකේ වැදිලා තමයි බස් එක පල්ලමට ගියේ. මම නම් ඒ වේලාවේ හිතුවා ඉවරයි කියලා.”

“බස් එක පහළට පෙරළිලා පොඩි දරුවෙක් අඬන සද්දයට තමයි මම නැඟිට්ටේ. ඊට පස්සේ ඒ ළමයවත් අරගෙන මම උඩට එන්න හැදුවා. පස්සේ කැහැගැහුවා..ඊට පස්සේ තමයි කට්ටිය ආවේ.”

බස් රථයේ පිරිස මුදාගැනීම සඳහා සහාය වූ දෙදෙනෙකුද තුවාල ලබා රෝහල්ගතකර තිබුණි.

මෙම බස් රථ අනතුරින් පුද්ගලයින් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර මියගිය අය අතරට තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා සහ එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද අයත් ය.

බදුල්ල ශික්ෂණ රෝහල සඳහන් කළේ මියගිය පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරු ද සිටින බවය.

මේ අතර මෙම බස් රථ අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ අනතුර සිදුවූ ස්ථානයට බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ඇතුළු දෙදෙනෙකු පරීක්ෂණ සඳහා ගොස් ඇති බවය.

ඔවුන් විසින් මේ වනවිට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් මූලික වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

ඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට….

පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස්  අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය පැවසුවේ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ඇති බවය.

අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (04) රාත්‍රි 9ට පමණ සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය.

තවද බස් රථයේ පිරිස මුදාගැනීම සඳහා සහාය වූ පුද්ගලයින් දෙදෙනෙකුද තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

ඇල්ලේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි…..

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරක් සිදුව තිබේ.

බස්රථය කිලෝමීටර 24 කනුව ආසන්නයෙන් මෙලෙස ප්‍රපාතයට පෙරළී ඇති අතර, එය මීටර 200ක් පමණ පහළට ගොස් ඇති බව සඳහන්.

ඇල්ලේ විනෝද චාරිකාවක් පැමිණි තංගල්ල නගර සභාවේ කාර්යය මණ්ඩලයේ පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇත.

ඔවුන් යළි තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් සිදු වූ හානිය පිළිබඳ මේ දක්වා තොරතුරු වාර්තා නොවේ.

සහල් උපරිම මිල උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩි පියවර….

පාරිභෝගික කටයුතු අධිකාරිය 2025 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා සිදු කළ වැටලීම්වලින් මහේස්ත්‍රාත් අධිකරණවල ගොනු කරන ලද නඩු හරහා රුපියල් මිලියන 211ක දඩ මුදල් නියම කර තිබේ.

එහිදී දිවයින පුරා සිදු කර ඇති සමස්ත වැටලීම් ප්‍රමාණය 14,682කි.

ඒ අනුව සහල් වෙළඳපොළ තුළ වැටලීම් 2,800ක් සිදු කර ඇති අතර එයට සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 915ක් ද ඇතුළත් වේ.

මෙම සහල් වැටලීම් සම්බන්ධයෙන් අධිකරණ මගින් රුපියල් මිලියන 95ක දඩ මුදල් පනවා ඇත.

සහල් ඉහළ මිලට විකිණීම පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ බරපතල වරදක් වන අතර වරදකරුවන්ට අවම වශයෙන් රුපියල් 100,000 සිට රුපියල් 500,000 දක්වා දඩයක් හෝ මාස හයක සිර දඬුවමක් හෝ මේ දෙකම හෝ නියම කළ හැකියි.

සමාගම් සඳහා, අවම දඩය රුපියල් 500,000ක් වන අතර, අධිකරණයට රුපියල් මිලියන 5ක් දක්වා දඩ මුදල් පැනවීමට බලය තිබේ.

සහල් වෙළඳාමේ නියැලී සිටින සියලුම පාර්ශ්වකරුවන් නීතියට අනුකූලව කටයුතු කරන ලෙසත්, ගැසට් කර ඇති මිල ගණන් පවත්වාගන යාම සදහා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටී.

තේ කර්මාන්ත ශාලාවක් තුළ කලහකාරි ලෙස හැසිරුණු බව පවසන නඩුවට හිටපු අමාත්‍ය ජීවන්ට සහ ආධාරකරුවන් අද අධිකරණයට .

කැලණි වැලි වැවිලි සමාගමට අයත් පීඩෘ තේ කර්මාන්ත ශාලාවට බලහත්කාරයෙන් ඇතුලු වී කලහාකාරී ලෙස හැසිරීම සම්බන්ධව නඩුව අද (04) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අතර  හිටපු අමාත්‍ය ජීවන් තොන්ඩමන් ඇතුළු සිද්ධියට සම්බන්ධ ආධාරකරුවන් නුවරඑළි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වූ අතර නැවත 2026.01.26 නඩුව කැඳවීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී මෙනවිය නියෝග කළාය.

එලෙස නියෝග කර ඇත්තේ අදාල සිදුවීම සම්බන්ධ සීසිටීවී දර්ශන මේ වන විට රජය රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර ඇතිි බැවින් එහි වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව සිද්ධියේ වැරදිකරුවන් අදුනානාගැනීමට ඇති අවශ්‍යතාව මතය ,

පසුගිය 2024 වර්ෂයේ මැයි මස 30 වන දින එවකට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් කැබිනට් අමාත්‍ය වශයෙන් කටයුතු කල ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා වත්මන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී  ජීවන් කුමාරවෙල් තොණ්ඩමන් මහතා ඇතුළු ආධාරකරුවන් පිරිසක් නුවරඑළිය කැලණි වැලි වතු සමාගමට අයත් පීඩුරු තේ කම්හල තුළට බලහත්කාරයෙන් ඇතුළු වී එහි නිලධාරි මණ්ඩලය කාර්යාල අඩස්සියේ තබා ගනිමින් කලහකාරී ලෙස හැසිරුනු බව පවසා වතු අධිකාරිය මගින් ගොනු කළ නඩුවට අනුව මෙම තීන්දු ලබාා දී ඇත ,

එහි ප්‍රධාන සැකකරුවන් වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් කුමාරවේල් තොන්ඩමන් , උප සභාපති පළනි ශක්තිවේල් , නුවරඑළියෙ ප්‍රාදේශීය සභාවේ ත්මන් සභාපති වේලු යෝගරාජ් , නුවරඑළිය මහ නගර සභාවේ වත්මන් නියෝජ්‍ය නගරාධිපති සිවන් ජෝති යෝගරාජා  ඇතුළු සැකකරුවන් දහ දෙනෙකුගේ නම් අධිකරණය වෙත මෙයට පෙර නඩු වාරවලදී ඉදිරිපත් කර ඇත ,

අධිකරණ කටයුතු අවසන් කර අධිකරණයෙන් පිටතට පැමිණි හිටපු අමාත්‍ය ජීවන් පෙන්නමන් මහතා කියා සිටියේ අපි දූෂණ වංචාවලට සම්බන්ධය වෙච්ච කට්ටිය නෙමෙයි වතු අධිකාරිය මගින් මහජනතාවට ලබාදෙන පීඩනය පිළිබඳව කතා කළාට තමයි අපිට මේ නඩු පවරලා තියෙන්නේ ,

මාධ්‍ය අපේ පිටිපස්සෙන් එන්නේ නැතුව ජනාධිපතිවරයා කියලා තියෙනවා වතුකම්කරුවන්ගේ පඩිය 2038 කින් වැඩි කරනවා කියලා ඒ ගැන ජනාධිපතිගෙන් ප්‍රශ්න කරානම් අහිංසක තේකම් කරුවන්ට සහනයක් වෙයි .

උක්ත නඩුව සඳහා ජීවන් තොන්ඩමන් මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් පෙරුමාල් රාජදුරෙයි ඇතුලු නීතීඥ කන්ඩායමක් ඉදිරිපත් වූ අතර වැවිලි සමාගම නියෝජනය කරමින් පාලිත සුභසිංහ සහ සුරේෂ් ගයාන් යන නීතීඥවරුන් ඉදිරිපත් විය .

නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්

පද්මේගේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය ගැන තවත් අනාවරණයක්….

කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරට තුළ පවත්වාගෙන ගිය බව කියන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයයේ සේවය කිරීම සඳහා පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකදී කෙහෙල්බද්දර පද්මේ විසින් නුවරඑළිය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් තොරතුරු අනාවරණය විය.

අද (04) පෙරවරුවේ කුරුඳුවත්ත නව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අදාළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු අනාවරණය කළේය.

“දීර්ඝ කාලයක් මේ රටේ අපරාධ සංස්කෘතියක් වර්ධනය වෙලා තිබුණා. ඒ සංස්කෘතිය තුළ නිර්මාණය වූ ක්‍රියාකාරකම් තමා මෑතකදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් මගින් හෙළිවෙලා තියෙන්නේ. මේ වෙද්දී මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා පාකිස්තානු ජාතිකයින් ගෙන්වාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. අත්අඩංගුවට ගත්ත අපරාධ කල්ලි සාමාජිකයින් යම් යම් අනාවරණයක් සිදුකරමින් තිබෙනවා දේශපාලනඥයින් ඔවුන් හදා වඩාගෙන ඔවුන් හා සබඳතා පවත්වමින් ඔවුන්ගේ කාර්යයන් ඉටුකරගත් ආකාරය ගැන. මේ තොරතුරු පිළිබඳව ඉදිරියේදී ගැඹුරු සහ විදිමත් විමර්ශන හරහා සනාථ කරගත යුතු නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන ගැඹුරින් සිදුකරමින් පවතිනවා.”

මේ අතර කෙහෙල්බද්දර පද්මේ විසින් අදාළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සඳහා රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් යොදවා ඇති බවත්, ඊට නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ලබාගෙ ඇති බවටත් තොරතුරු හෙළිවී තිබේ.

තවද ඒ සඳහා අවශ්‍ය කරනු ලබන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,000ක් පමණ මෙරටට ගෙන්වා ඇති බවත් වාර්තා වෙයි.