මෙරට රන් මිල අද දිනය තුළ තෙවරක් ඉහළට…..

මෙරට රත්‍රං මිල අද (08) දිනය තුළ රුපියල් 5,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද දිනය තුළ තෙවන වරට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 271,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 266,400ක් ලෙසය.

මේ අතර සෙනසුරාදා රු. 288,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද තෙවන වතාවට රු. 293,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද උදෑසන සිට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි තෙවතාවකින් ඉහළ යෑමද විශේෂත්වයකි.

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්….

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සැප්තැම්බර් 22 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමක් සම්බන්ධව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

ඔහුව අද (08) මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

කරන්දෙනිය තල්ගහවත්තේදී පුද්ගල ඝාතනයක්…

කරන්දෙනිය පොලිස් වසමේ තල්ගහවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී පුද්ගලයකුට පොල්ලකින්් පහර දී ඝාතනය කර ඇත.
පෝය(ඊයේ) දින රාත්‍රියේ තල්ගහවත්ත ප්‍රදේශයේ තම නිවසේ මියගිය අය මිතුරන් තිදෙනෙකු සමග මත්පැන් සාදයක් පවත්වා ඇත. රාත්‍රී 10 වනතෙක් ඔවුන් මත්පැන් සාදය පවත්වා ඇති අතර ඉන්පසුව තම මිතුරන් ඔවුන්ගේ නිවෙස් වලට ඇරළවීම සඳහා තම මාමණ්ඩියගෙන් ත්‍රී රෝද රථය ඉල්ලා සිටි අවස්ථාවේ බීමත්ව සිටි නිසා මියගිය අයගේ මාමණ්ඩිය ඔහුට ත්‍රිරෝද රථය ලබාදීමට අකමැති වූ නිසා ඔවුන් අතර බහින් බස් වීමක් සිදුවී ඇත.එය දුරදිග යාම නිසා නිසා සැකකරු පොල්ලක් නිවසේ ජනේලයට පහරදී සිය බිරිඳට ද පහර දීමට තැත් කළ විට මාමණ්ඩිය එය වැළැක්වීමට උත්සාහ දරා ඇත.නමුත් මියගිය අය දරුණු ලෙස හැසිරීම නිසා පසුව ඔහුට මාමන්ඩිය විසින් මිරිස් ගසා පොලු පහරක් දී ඇත.මේ අවස්ථාවේදී දැඩි බීමතින් සිටි මියගිය අය පොලු පහර වැදීමෙන් එතනම මියගොස් ඇත.ඉන්පසුව එම මියගිය අයගේ මාමණ්ඩිය කරන්දෙනිය පොලිසියට බාර වී ඇත.මේ සිද්ධිය සම්බන්ධව ඇල්පිටිය සෝකෝ අංශයේ නිලධාරීන් පැමිණ පරීක්‍ෂණකටයුතු සිදු කරන ලදී.මෙසේ මිය ගොස් ඇත්තේ එක්දරු පියකු වන තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි 24හැවිරිදි මොරගොඩ තුෂාර සම්පත් නැමැති අයෙකි.මේ සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ තල් ගහවත්ත ප්‍රදේශයේපදිංචි හේවා හකුරු විජයතිලක නමැති 58 හැවිරිදි අයෙකි.සිද්ධිය සම්බන්ධව කරන්දෙනිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අම්බලන්ගොඩ – අනුරාධ ප්‍රියදර්ශන

වෛද්‍ය පාලිත රාජපක්ෂට විනය පරීක්ෂණයක්….

බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාව විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

ඒ පසුගිය කාලයේ ඇතිවූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකිරීමක් සම්බන්ධයෙනි.

වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැඳවීමකට අනුව ඒ මහතා මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බවය.

පසුගියදා ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුර සිදුවූ අවස්ථාවේදී සිය ජීවිත අවධානමද නොතකා වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අනතුරට පත්වූවන්ගේ ජීවිත බේරා ගැනීමට කැපවීමෙන් කටයුතු කළේය.

නිමල් ලාන්සාට ඇප…..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ඇප මත මුදා හැර තිබේ.

2006 වසරේ සිදුවූ සිදුවීමක් සම්බන්ධව කොච්චිඩේ පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

ඒ අනුව අද (07) දිනයේදී මීගමුව මහාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇප මත මුදා හැර තිබේ.

සාධනීය ප්‍රතිචාර නැත්නම් වැඩ වර්ජනයක්..විදුලිබල වෘත්තීය සමිති අනතුරු අඟවයි….

විදුලි බලමණ්ඩලයේ සේවකයින් විසින් ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජය කිසිදු අවධානයක් මේ දක්වා යොමුකර නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවස‍යි.

ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව පසුගියදා ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ පලමු අදියර මෙම මස 15 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ.

කෙසේ වෙතත් රජයේ පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කිරීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ එහි ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා සඳහන් කළේය.

සජබ ඇතුළු විපක්ෂයේ බලවේග සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්…..

මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ඒ සඳහා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මගින් ක්‍රියා කිරීමටද එක්සත් ජාතික පක්ෂය මෙහිදී අදහස් කර ඇත.

සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ පොදු කාරණාවලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා කරනු ලැබිය.

එම සාකච්ඡාවලදී එකඟත්වයට පැමිණි කරුණු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මේ අනුව සමගි ජන බලවේගය සමඟ විවෘතව වැඩ කිරීමට තීරණය කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

අයිස් අමුද්‍රව්‍ය බවට සැක තවත් රසායන ද්‍රව්‍ය තොගයක් කඳාන නිවසකින් සොයා ගනියි….

මිද්දෙණියෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ රසායනික ද්‍රව්‍ය තොගය කඳාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයා ගැනීමට කටයුතු කළ බවය.

කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (07) සවස මෙම නිවස සෝදිසි කර ඇති අතර එහිදී එම නිවස තුළ සහ නිවසේ ඉදිරිපිට භූමියේ තිබී මෙම රසායනික ද්‍රව්‍ය තොගය පොලීසිය විසින් සොයා ගෙන ඇත.

සොයාගත් ප්‍රමාණය සම්බන්ධව මෙතෙක් ගණනය කර නොමැති අතර මෙම ලිපිනය සහිත නිවසද වසා දමා තිබූ පාලු නිවසක් වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලීසිය පැවසීය.

දෙමහල් නිවසක් වූ මෙම නිවස පසුගිය අගෝස්තු මස 11 වැනි දින මසකට රුපියල් 150,000 ක කුළී පදනම මත ලබා ගත් බවත් එම නිවසේ අයිතිකරු පොලීසිය වෙත පවසා තිබේ.

එමෙන්ම පසුව සැප්තැම්බර් මස 05 වැනි දින එම නිවසේ යතුර දෙමහල් නිවසේ හිමිකරු හට නැවතත් කුළී පදනම මත ලබා ගත් පුද්ගලයා ලබා දී ඇති බවත් එම නිවසේ හිමිකරු පොලීසිය වෙත පවසා ඇත.

සිද්ධිය සම්බන්ධව මේ වන විට  පෑලියගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් ස්ථාන පරීක්ෂණය සිදුකරමින් සිදුකරන අතර කළුතර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

නීතිවිරෝධීව විදෙස් ගමන් බලපත්‍ර රැසක් ලඟ තබා ගෙන සිටි දෙදෙනෙකු කොටුවෙයි…..

ගණේමුල්ල පොලිස් වසමේ හොරගොල්ල ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 83ක් සිය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගණේමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද වැටලීමකින් අනතුරු මෙම සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 51ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය අවුරුදු 62ක් වූ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ගණේමුල්ල පොලීසිය විසින් සිදුකරති.

ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාව කළ යුතු දේ…..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය ශ්‍රි ලංකාවට ඉතාමත් වැදගත් එකක් වනු ඇති බව ශ්‍රි ලංකා මානව හිමිකම් හිටපු කොමසාරිස්වරයෙකු වන නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසුවේය.

මෙම සැසිවාරයේ දී ලංකාවට එරෙහිව ඔවුන් යෝජනාවක් ගෙන ඒමට සූදානම් වන බවත් එය 2010 සිටම එක දිගට අලුත් වෙවී එන යෝජනාවක් වන බවත් එහිදී ඔහු සඳහන් කර සිටියේය.

මෙම යෝජනා දිගින් දිගටම ගෙන ඒම හරහා ශ්‍රී ලංකාව මානව හිමිකම් නිතැතින්ම උල්ලංඝනය කරන රටක් වන අතර දිගින් දිගටම උතුරේ ජනතාවගේ මානව හිමිකම් කඩ කර ඇති බවට එහිදී ඔවුන් චෝදනා කර ඇති බව ද ප්‍රතිභා මහානාම හේවා මහතා පැහැදිලි කළේය.

ඔහි වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ඉන්දියාව, දකුණු අප්‍රකාව සහ ජපානය යන රටවල් අප විසින් දිනා ගතහොත් මෙම යෝජනාවට ඉදිරියට ගෙන යා නොහැකි බවය.

මෙම සැසිවාරයේ දී මෙරටට එරෙහිව ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් වන කෙටුම්පතක් මසකට පමණ පෙර විදේශ කටයුතු අමාත්‍යංශය වෙත භාර දී ඇති බව ද එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රි ලංකා මානව හිමිකම් හිටපු කොමසාරිස්වරයෙකු වන නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා,

”ලංකාවට එරෙහිව ඒගොල්ලෝ යෝජනාවක් ගේන්න හදනවා. දැන් මේ යෝජනාව අද ඊයේ ආව එකක් නෙමෙයිනේ. මේ යෝජනාව දිගින් දිගටම එන එකක්. 2012 ඉඳලා එනවා. ඒ දෙදාස් දහයේ ඉඳන් එන එක අලුත් වෙවී එනවා. තිස්පහේ එක, තිස්නමය එක, හතළිහේ එක, හතළිස් පහේ එක, පනස් පහේ එක, ඔහොම ඔහොම ඇවිල්ලා දැන් හැට දක්වා ඇවිල්ලා තියෙනවා. මේ හැම යෝජනාවක්ම එකම විදිහට තමයි එන්නේ. දැන් ලංකාව 2015 එක යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වූවා. විදේශ අමාත්‍ය මංගල සමරවීර ඉන්නකොට. එතකොට එතනදී අපිට දුන්න නිර්දේශ තියෙනවා. ඒ නිර්දේශ ඉටු කරන්න රජය පොරොන්දු වුණා. නමුත් රජයන් වෙනස් වෙනකොට මේ තත්ත්වය ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. එතකොට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලොකුම බලපෑමක් කරන්න පුළුවන් කණ්ඩායම තමයි එල් ටී ටී ඊ හිතවාදී ඩයස්පෝරාව. ඒගොල්ලෝ විටින් විට ලංකාව කරපු මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව යුද්ධ කාලේ චෙන්මිනි මිනීවල, අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව, අතුරුදහන් වූවන්ගේ කොමිසම ඒකට නිට්ටාවට එකම ආණ්ඩුවකින් හරි පිළිතුරු ලැබුණේ නෑ. ඉතින් ඒගොල්ලෝ මේ ආණ්ඩුවෙන් ඒක බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ වෙනකොට ලංකාව කරපු වැඩ ගොඩක් තියෙනවා. අතුරුදන්වූවන්ගේ ආයතනය තියෙනවා. ඒකෙ වන්දි ප්‍රතිපූර්ණය කිරීමේ ආයතන ඒවායින් ලොකු වැඩ කොටසක් කරගෙන යනවා. එතකොට ඒත් ඒගොල්ලෝ සෑහීමකට පත් වන්නේ නැහැ. ඒගොල්ලන් බලන්නේ මේ යෝජනා දිගින් දිගටම ගෙනල්ලා ශ්‍රී ලංකාව කියන්නේ මානව හිමිකම් නිතැතින්ම උල්ලංඝනය කරන රටක්. ශ්‍රී ලංකාව පොලිසිය වෙන්න පුළුවන්. හමුදා ආයතන වෙන්න පුළුවන්.

ඒ දිගින් දිගටම උතුරේ ජනතාවගේ මානව හිමිකම් ගොඩක් කඩ කරනවයි කියලා තමයි කියන්නේ. ඒ හින්දා තමයි ඒගොල්ලෝ හැම වෙලාවෙම ලොකු ප්‍රශර් එකක් දෙන්නේ. ඔය යුද්ධ කාලයේ වෙච්ච යුධ අපරාධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මානව හිමිකම් වෙනුවෙන් ලංකාව තුළ අධිකරණ පිළිබඳ ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ ඔය කියන ඩයස්පෝරා කණ්ඩායම. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට බලනවා ඒ පරීක්ෂණය යුධ අපරාධ අධිකරණයක් දක්වා ගෙනියන්න. ඒක ගෙනියන්න නම් ඒගොල්ලෝ දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් පිටත ජාත්‍යන්තරව අන්තර්ජාතික විමර්ශනයක් පවත්වලා මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව වාර්තා හදලා තියෙන්නේ.

දැන් ඒගොල්ලෝ ලොකු බලපෑමක් කරනවා ලංකාව අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණයට යන රෝම ව්‍යවස්ථාව අපිට අත්සන් කරලා පිළිගන්න කියලා. ඉතින් ඒක මේ යෝජනාව ඇතුලේ තියෙනවා. ඒක හරි බරපතලයි. ඒක කොච්චර හරි පිළිගත්තොත් අර පිළිගත්ත සාක්ෂි ටික කෙලින්ම ඉන්න යුධ අපරාධ අධිකරණයේ අභිචෝදක වෙත යවලා අපිට එරෙහිව ගෙනල්ලා සාක්ෂි ඉදිරිපත් කරලා පුළුවන් මේ අයව අත්අඩංගුවට ගන්න. එතකොට එතනදී නඩු පවරන්න පුළුවන්. ඒ වගේම දැන් ගොඩාක් රටවල විහිදිලා ඉන්න අය ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ තාත්තලා, ඒගොල්ලන්ගේ අම්මලා ඒගොල්ලන්ගේ ස්වාමිපුරුෂවරුන් ගෙනත් ගෙනිහිල්ලා තියෙනවා කඳවුරුවලට. ඒගොල්ලෝ අතුරුදහන් කියලා. දැන් ඉතින් මේ පිළිබඳව හදපු කොමිෂන් කිහිපයක් තියෙනවානේ. උගත් පාඩම් හා කොමිෂන් සභා පනත තියෙනවා. ඊළඟට 2015 මැක්ස්වෙල් පරණගම කොමිෂන් ඒ ඔක්කොගෙම කියලා තියෙනවා කොච්චර ද මේ නැතිවෙලා තියෙන කාණ්ඩය මේක නැවත නැවත බුර බුරා එනවා. එහෙනම් මේකට ස්ථිර පිලියමක් මේ පාර යොදන්න ඕනේ. 

ඒකට තමයි සත්‍ය තේරීමේ කොමිසම, සත්‍ය හා ගවේෂණ කොමිසමක්, ඊළඟට වන්දි ගෙවීමේ කාර්යාලය. මේවා ඔක්කොම හොඳට ස්ථාපනය කරලා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ප්‍රශ්නයක් වෙනවා. විශේෂයෙන්ම විවිධ මිනී වළවල් හැරීම සඳහා, දැන් මේ වෙනකොට යෝජනා ඒගොල්ලෝ සම්මත කරලා රජයට කියනවා. ඉතින් මේ බලපෑම් එන්නේ ඇත්තටම, අන්තර්ජාතිකව ඉන්න, ඒ කියන්නේ එල්. ටී. ටී. ඊ. හිතවාදී, ඩයස්පෝරාවේ තියෙන්නේ ඒගොල්ලෝ මොකද කැනඩා රජය එහෙම ඒවලට උදව් කරලා ලංකාවටත් ඒ දේ කරනවා. එතකොට ලංකාව දිනා ගන්න ඕනේ. මොනවා වුණත් අපිට එතනදි කරන්න තියෙන්නේ යෝජනාවකට එනවා. ඒ යෝජනාව එන්නේ මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, කියන රටවල් අපිට එරෙහිව යෝජනාවක් ගෙනාවොත් අපි හැම වෙලාවෙම පරදින්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපිට වාමාංශික කඳවුර විවිධ රටවල ඉන්න ඒ නායකයෝ උදව් කරාට අපිට දක්ෂිණාංශික උදව් මදි. නමුත් අපිට ඒකට ගන්න හොඳම සාධකය තමයි ඉන්දියාව. මොකද ඉන්දියාව දැනට ගොඩක් වෙලාවට රතු කඳවුරත් එක්ක තමයි ලෝකේ වැඩ කටයුතු කරන්නේ. ඊයේ පෙරේදාත් චීනේ එක්ක යනවා. ඇමරිකාව එච්චරයි හිත හොඳ නෑ ඒක. නමුත් වාසියකට වැඩේ තියෙන්නේ ඇමරිකාව නෑ මේ පාර. ඒගොල්ලොන්ගේ නියෝජිතයෝ අයින් කරගෙන තියෙන හින්දා. ඉන්දියාවයි, දකුණු අප්‍රකාවයි විශේෂයෙන්ම අපිට දිනාගන්න ඕනි ජපානය. ඔය රටවල් තුන දිනා ගත්තොත් මේ යෝජනා ඉදිරියට යන්නේ නෑ. දැන් සම්බාධක එකපාරට පනවන්න බෑ. එක එක රටවලට ඕන නම් සම්බාධක පනවන්න පුළුවන්. ඒකේ වෙනම ගැටළුවක්. දැනට සම්බාධක පනවලා තියෙනවා. රණවිරුවෝ පනස් පහකට වගේ. ඒවා මේ මානව හිමිකම් කවුන්සිලයේ මේ යෝජනා ඉෂ්ට කරන්නේ නැහැ කියලා කොයි හෝ වෙලාවක මහ සමුළුවට ගිහිල්ලා මහ සමුළුවෙන් ආරක්ෂක මණ්ඩලයට යන්න ඕනේ. එතන ඒවා සම්මත වුණොත් තමයි නීති සම්භාදක දාන්නේ. ඒ වුණත් අපිට නිෂේධ බලය පාවිච්චි කරලා, අපි වෙනුවෙන් වැඩ කරන රටවල් ඉන්නවා. චීනය ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් රුසියාව ඉන්නවා. ඒ නිසා අපි කළ යුත්තේ ක්‍රමවත් සැලැස්මක්, අවසාන මොහොතේ නොඉඳ එන අවුරුදු අවුරුදු දහයටම හොඳ මානව හිමිකම් සැලැස්මක් හදලා ඒක වෙන රටවලට පුළුවන් තරම් විස්තර කරලා ඒ තුළින් අපි යම්කිසි ආකාරයේ මානව හිමිකම් රකින වැඩපිළිවෙළක් කරන්න.”