පාර්ලිමේන්තුවේ නිලධාරිනියකට සිදුවූ බව කියන ලිංගික හිංසන සිද්ධිය – අවසන් පරීක්ෂණ වාර්තාව සභාගත කරයි….

පාර්ලිමේන්තුවේ නිලධාරිනියකට සිදුවූ බව කියන ලිංගික හිංසන සිද්ධිය පිළිබඳ අවසන් පරීක්ෂණ වාර්තාව සභාගත කර ඇත.

ඒ අනුව, අද (04) සභා වාරයේදී කථානායකවරයා විසින් එම වාර්තාව සභාගත කළ බව දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට සිදුවූ බව කියන ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත්වීමට 2025.07.25 දින පාර්ලිමේන්තු කාර්යමණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර තිබුණි.

එම තීරණය අනුව, විශ්‍රාමික මහධිකරණ විනිසුර සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් සිදුකළ විමර්ශනයේ අවසන් වාර්තාව 2025.11.24 දින කථානායකවරයා වෙත ඉදිරිපත් කර ඇත.

ඉන් අනතුරුව 2026.02.19 දින පැවැති පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවේ තීරණය අනුව එම වාර්තාව සභාගත කර තිබේ.

මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා එම වාර්තාවේ පිටපතක්ද පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ තබා ඇති බවද සඳහන් කෙරිණි.

මතභේදයට තුඩුදුන් ගල්අඟුරු නැව් පිළිබඳ PUCSL වාර්තාව ආංශික අධීක්ෂණ කමිටුවට භාරදෙයි….

මතභේදාත්මක ගල්අඟුරු නැව් නවයක් පිළිබඳ මහජන උපයෝගීතා කොමිසමේ වාර්තාව යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට භාරදී තිබේ.

එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව මඟින් අඩු ගුණාත්මක ගල්අඟුරු භාවිතයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීම හේතුවෙන් සිදු වූ සැබෑ මූල්‍ය අලාභය ගණනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම වෙත උපදෙස් ලබා දී තිබුණි.

නිශ්චිත ගුණාත්මක ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වූ ගල්අඟුරු ආනයනය කිරීම තුළින් මහජනතාව මත රුපියල් බිලියන 1.8 ඉක්මවන මූල්‍ය බරක් පැටවූ බව සභාපතිවරයා පසුගිය දා පැවසීය.

ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අගුරු නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා භාවිතා කිරීම තුළින් එහි ජනන යන්ත්‍රවලට හානි සිදුවිය හැකි බව බලශක්ති විශේෂඥයින් පසුගියදා අනතුරු ඇඟවීය.

රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට…..

ලෝක රන්මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 13,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (04) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 376,500ක් දක්වා පහළ ගොස් තිබේ.

ඊයේ (03) එය දැක්වුණේ රුපියල් 388,500ක් ලෙසය.

මේ අතර ඊයේ රුපියල් 420,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 407,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි…..

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක කටයුතු ප්‍රවර්ධන නොකිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි නීතිපතිවරයා අද (04) අභියාචනාධිකරණයට දැනුම් දුනි.

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් රාජ්‍ය නොවන සංවිධානයක් වෙත නිකුත් කළ ලිපියක් බල රහිත කිරිමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකෙරුණි.

දේශ හිතෛෂී ජාතික  ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එහි පෙත්සම්කරුවකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ක්‍රමයෙන් පහළට….

ශ්‍රී ලංකාවේ දරු උපත් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ  විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනිල් විජේසිංහ මහතා පැවසුවේ ලක්ෂ තුන හමාරක්ව පැවති උපත් ප්‍රමාණය මේවනවිට ලක්ෂ දෙක හමාරකට අඩු වී ඇති බවය.

එමෙන්ම එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පැවසුවේ දරු උපතක් බලාපොරොත්තුවෙන් සිටින මවක් තම උසට සරිලන බරක් නිසිලෙස පවත්වා ගැනීව ඉතාම වැදගත් වන බවය.

“නිරෝගී මවක් බිහිවන්නේ නිරෝගී ගැහැණු දරුවෙක් තුළින්. මොකද අවුරුදු 12- 14 වයසේ සිට වැඩි වියට පත්වන දවසේ සිට ඒ දරුවා නිරෝගී තත්ත්වයකින් පසුවනවා නම් ඉතාමත්ම වැදගත් වෙනවා.  දියවැඩියාව හරි දියවැඩියාවට අවතීර්ණ වන කාලයේ පවතින ගර්භණි මවකට විවිධ සංකූලතා සමග දරුවන් ඇති වෙනවා.  මූලික අඩිතාලම වෙන්න ඕනේ නිසි බරක් සහිත නිසි බරට සරිලන උසක් පවතින කාන්තාවක් ගර්භණිභාවයට පත්වෙන එක තමා වැදගත්. 

ෆෝලික් ඇසිඩ් අඩුවුණොත් කොඳුනාරටියේ දුර්වලතා ඇතිවිය හැකියි. සුෂුම්නාව ස්නායු පද්ධතියේ යම් දුර්වලතාවයන් ඇති වෙන්න පුළුවන්. කාන්තාවක් ගර්භණිභාවය පත් වුණා කියලා දැනගන්නකොටත් දරුවාගේ ස්නායු පද්ධතිය වර්ධනය වෙලා ඉවරයි. ඒ අවස්ථාවේදී ගැනීමක් වැඩක් වෙන්නේ නෑ. විශේෂයෙන් විවාහයට පත් වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක් ඒ ෆෝලික් ඇසිඩ් නිතිපතා ලබා ගන්නවානම් ඉතාමත්ම වැදගත්. මොකද ආරම්භ වෙන්න ඕනේ එතනදී.”

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ….

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් කර තිබේ.

මෙහි ලියාපදිංචි වීම සඳහා වන පිරිවැටුමේ සීමාව අප්‍රේල් මස 1 වන දා සිට බලාත්මක වන අතර
එය රු මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු කර තිබේ.

ඒ අනුව මෝටර් වාහන, සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කර ඇත.

ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්….

එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ මෑතකදි සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.

එහිදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෑතකදී සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා සිය කනගාටුව ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

මේ අතර,  සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය හෙළා දකිමින් ශ්‍රී ලංකාවේ සහයෝගීතාවය එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයට ලබා දෙන බව ජනාධිපතිවරයා පවසා ඇත.

සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර තිබේ.

මැදපෙරදිග යුදමය තත්ත්වය මත ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව….

මැදපෙරදිග මතුවී ඇති යුදමය තත්ත්වයත් සමග ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව සපයා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

එහිදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේ,

“විදෙස් තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාලවලට ආරක්ෂාව ලබාදීලා තියෙන්නේ. තානාපති, මහ කොමසාරිස් කාර්යාල සහ ඔවුන්ගේ නිල නිවාස 85කට ආරක්ෂාව සලසාදීලා තියෙන්නේ.”

අනතුරට පත් වූ ඉරාන නෞකාවේ සිටි නාවිකයන් 80කගේ සිරුරු හමුවෙයි….

ඉන්දියාවේ විශාකාපට්නම් සිට යළි ඉරානය බලා පිටව යමින් තිබූ අයිරිස් ඩේනා නෞකාව තුළ 180 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටි බවට වාර්තා වේ.

ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ, අනතුරින් පසු එහි සිටි 100 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවය.

මේ අතර අද (04) පස්වරුවේ පැවති මැදපෙරදිග අර්බුදය සම්බන්ධ අද දෙරණ විශේෂ සජීව විකාශයට එක්වූ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවේ, ඒ අතරින් 80 දෙනෙකුගේ සිරුරු මේවනවිට සොයාගෙන ඇතිබවයි.

සලේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ නවතම තත්ත්වය…..

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුව යම් යම් පාර්ශ්ව සැනසවීමට ගත් දේශපාලන ක්‍රියාදාමයක් බව පෙනීයන්නේ යැයි හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අද (4) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් අද මෝසමක් ගොනුකළ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, සලේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්නකරන හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් නීතීඥවරුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කළේය.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබේදැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා විමසා තිබේ.

එවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ නිලධාරියා කියා සිටියේ, මෙතෙක් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර නොමැති බවය.

එම අවස්ථාවේ සලේ මහතාගේ නීතීඥවරයා, ඒ මහතා ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් ඉටු කරන ලද සේවාව නිසා ඔහුට ජීවිත තර්ජන ඇති හෙයින් නිවසින් ආහාර ලබාගැනීමට ඉඩ ලබා දෙන ලෙසත්, ඔහුගේ පුත්‍රයාට ඔහු වෙත ප්‍රවේශය ලබාදීමට ඉඩ සලසන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එසේම ඔහුගේ නීතිඥයින්ට අවශ්‍ය නීති උපදෙස් ලබාදීම සහ ලබාගැනීම සඳහා පහසුකම් ලබා දෙන ලෙසත්,  නිවසින් ආහාර ලබාදීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

කෙසේ නමුත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ, සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බැවින් එම ඉල්ලිම්වලට ඉඩ ලබා දිය නොහැකි බවය.