කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩුව කල්යයි…..

අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු ඇති නඩුව ඔක්තෝබර් 01 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අතුරින් කිහිපයක් අල්ලස් කොමිසම විසින් විත්ති පාර්ශවයට විවෘත අධිකරණයේදී භාර දෙනු ලැබීය.

තවදුරටත් ලේඛන අවශ්‍ය නම් ඒවා අද දින සිට සති දෙකක් ඇතුළත අධිකරණයට දැනුම් දෙන ලෙස එහිදී අධිකරණය විසින් විත්ති පාර්ශවයට නියම කර ඇත.

ඉන් අනතුරුව නඩුව යළි ඔක්තෝබර් 01 වනදා කැඳවීමට දින නියම කෙරිණි.

2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා දක්වා කාල සීමාව තුළ ජනමාධ්‍ය , සෞඛ්‍ය හා පරිසර අමාත්‍යංශවල කටයුතු කරමින් අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වත්කම් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා, ඔහුගේ දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීම රජයේ අරමුණයි – අධිකරණ ඇමති….

බන්ධනාගාරගත වන පුද්ගයින් සංඛ්‍යාව අඩු කිරීම අරමුණ විය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවැති 27 වැනි සිරකරු දින උත්සවයට එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ බන්ධනාගාරගත වන සිරකරුවන් වෙනුවෙන් සිරකරු සුභ සාධක සංගමය විසින් ලබා දෙන සේවය ප්‍රශංසනීය වන බවය.

එමෙන්ම මේ වන විට බන්ධනාගාර තුළ සිරකරුවන්ගේ විශාල තදබදයක් පවතින බවත් එම තදබදය අඩු කරමින් අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීමක් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීමත් බන්ධනාගාරගත වන සියලු දෙනාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදී පහසුකම් ඇති කිරීමත් අතිශයින් වැදගත් වන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබීය.

එමෙන්ම නීතිය ඉදිරියේ සියලු පුද්ගලයින් එක හා සමාන වන බවත් රජයක් ලෙස නීතියේ විධානයේ අධිපත්‍ය සුරක්ෂා කරමින් සමානාත්මතාවයෙන් යුතු රටක් නිර්මාණය කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ අතර සිරකරු සුභ සාධක දිනයට සමගාමීව දිවයිනේ බන්ධනාගාර 28ම ආවරණය වන පරිදි සිරකරුවන් වෙනුවෙන් ආධ්‍යාත්මික, ක්‍රීඩා, සෞඛ්‍ය, සංස්කෘතික සහ නීති උපදේශන වැඩසටහන් සංවිධානය කිරීමටද කටයුතු යොදා තිබේ.

එහිදී සිරකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය සහ ස්වයං රැකියාවල නිරත සිරකරුවන්ට උපකරණ ප්‍රධානය කිරීම සහ සිරකරු දින කොඩි පැළඳවීමට මෙහිදී සිදු කෙරිණි.

අඩු ආදායම්ලාභී පවුල්වල සිසු දරුවන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යාධාර….

ජනාධිපති අරමුදල මගින්, මහයියාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරු දැරියන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක් කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පැවැත්විණි.

මහයියාව පුර්ණවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමට අයත් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් 2025 මැයි 31 දින  ජනාධිපති අරමුදලේ නිලධාරින් විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සුදුසු බව නිරීක්ෂණය වූ අතර එහි එක් පියවරක් ලෙස පාසල් දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

එහි පළමු අදියර යටතේ සිසු සිසුවියන් 28 දෙනෙක් සඳහා ශිෂ්‍යාධාර ලබා දී‌ම මෙහිදී සිදු විය.

තමන්ගේම ගිනි අවිය පත්තු වී තිදරු පියා මරුට….

වලස්මුල්ල රදනිආර ප්‍රදේශයේදී පුද්ගලයකු සිය යතුරුපැදියේ ඉදිරිපස කොටසේ කොටන ලද තුවක්කුවක් තබාගෙන ගමන් කරමින් සිට ඇති අතර එම තුවක්කුව ක්‍රියාත්මක වීම හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් වන තිදරු පියෙකි.

ඔහු තුවක්කුවට අමතරව නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා බැරලයක් ද යතුරුපැදියේ තබාගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය ඇරඹෙයි

Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

“පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” උදා කර දීමේ රජයේ වැඩපිළිවෙළට අනුව, ‘Clean Sri Lanka’ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 425ක ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

වසර 60ක කාලය තුළ මෙම පර්යන්තය සම්පූර්ණයෙන් වසා දමා සියලු පහසුකම් සහිත නවීන සහ ආකර්ෂණීය බස් නැවතුම්පොළක් ලෙස පුර්ණ සංවර්ධනයකට ලක් කෙරෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු ශ්‍රම දායකත්වය සහ කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් ආයතනවල දායකත්වයෙන් සහ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, ජාතික විද්වත් සංසදය ඇතුළු සංවිධානද ස්වේඡාවෙන්ම මේ සඳහා එක්ව සිටී.

2026 වසරේ අප්‍රේල් මාසයේදී, සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ව්‍යාපෘතිය අවසන් කිරීමටද නියමිතය.

මෙම උත්සව සභාව ඇමතූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ පොදු ප්‍රවාහනය ශක්තිමත් නොකර, රටක් දියුණු කළ නොහැකි බවය.

පොදු ප්‍රවාහනය රටක ආර්ථික ක්‍රියාවලියේ ප්‍රධාන කොටසක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා සුවපහසු, කාර්යක්ෂම සහ අඩු පිරිවැයකින් යුත් පොදු ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබා දීම තුළින් මෙරට ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම වේගවත් කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සමරු ඵලකය නිරාවරණය කර කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය සමාරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවද නිරත විය.

නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්, කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීහුද, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, රාජ්‍ය නිලධාරිහු, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීහු, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරීහු සහ වෘත්තීය සංගම්,වෙළෙඳ සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වෙළෙඳපොළේ කීරිසම්බා හිඟයක්….

වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පවතින බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නගයි.

පිටකොටුව සහල් තොග වෙළෙඳුන් පවසන්නේ කීරි සම්බා සඳහා පනවා ඇති රුපියල් 260 ක පාලන මිල ඉක්මවා සහල් නිෂ්පාදකයන් තමන්ට කීරිසම්බා සැපයීම හේතුවෙන් එම සහල් අලෙවියෙන් ඉවත්ව සිටින බවය.

මේ තත්ත්වය හමුවේ සිල්ලර වෙළෙඳුන්ද කීරි සම්බා සහල් අලෙවියෙන් වැළකී සිටියි.

මෙවන් වාතාවරණයක එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ සම්බා සහ කීරි සම්බා සහල්වලට පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට කටයුතු කරන ලෙසය.

එහෙත් මහා පරිමාණ සහල් මෝල් හිමියන් කෘත්‍රිමව සහල් හිඟයක් නිර්මාණය කර වාසි ලබාගැනීමට උත්සාහ කරන බැවින් සහල්වල උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට කිසිසේත් පියවර නොගන්නා ලෙස ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටියි.

මේ අතර ජාතික ගොවිජන එකමුතුව පවසන්නේ ආණ්ඩුව කඩිනමින් මැදිහත්ව මේ ගැටලුවට විසඳුම් ලබාදිය යුතු බවටය.

නැගෙනහිර සරසවියේ උපකුලපති පැහැර ගැනීම – පිල්ලෙයාන් සැකකරුවකු ලෙස නම් කරන බව CID එක කියයි…..

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් රඳවාගෙන සිටින සැකකරුවන් තිදෙනෙකු ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා ඉදිරියේ ප්‍රකාශ ලබා දෙමින් ඔවුන් සිද්ධියට සම්බන්ධ නැති බව ප්‍රකාශ කර තිබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශ ලබා දී ඇත.

අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් තිදෙනා මඩකලපුව සහ වාලච්චේන පදිංචිකරුවන් වේ.

නඩරාසා නගුලේන්ද්‍රන් නොහොත් ‘සිම්බු’, කදිර්ගාමර් තම්බි ජයකීසන් නොහොත් ‘ජෙයන්දන්’ සහ නිමල් දේවසුගන් නොහොත් ‘ජයකාන්තන්’ මෙම සැකකරුවන් තිදෙනායි.

සැකකරුවන් තම නීතිඥ අශෝක වීරසූරිය හරහා මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබුණේ තමන් මෙම ප්‍රකාශ නිදහසේ සහ කිසිදු ආකාරයක බලපෑම් කිරීමකින් තොරව ලබා දෙන බවයි.

වීරසූරියගේ ඉල්ලීමක් සළකා බැලීමෙන් පසු ප්‍රකාශ සටහන් කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ, මෙම නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු දැනට රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් ‘පිල්ලෙයාන්’ ඊළඟ අධිකරණ දිනයේදී සැකකරුවකු ලෙස නම් කරන බවයි.

සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත ඉදිරිපත් කරමින්, පැහැර ගැනීම ඇසින් දුටු සාක්ෂිකරුවකු සිටින බවත්, ඔහු සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශයක් ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඇසින් දුටු සාක්ෂිකරුගේ ප්‍රකාශය අනුව පැහැර ගැනීමට මෙම සැකකරුවන් සම්බන්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන්ගෙන් දෙමළ භාෂාවෙන් ප්‍රශ්න කළ නමුත් සිංහල භාෂාවෙන් ලියා ඇති ප්‍රකාශ සඳහා ඔවුන්ගේ අත්සන් ලබාගෙන ඇති බවයි.

සැකකරුවන් අත්සන් කළ ප්‍රකාශවල අන්තර්ගතය පිළිබඳ කිසිදු අදහසක් ඔවුන්ට නොතිබූ බවත්, ඔවුන් නඩුව පිළිබඳ දන්නා දේ සහ ඔවුන්ට සිදු වූ දේ විමර්ශකයන්ට පැවසූ බවත් ඔහු අවධාරණය කළේය.

කරුණු සළකා බැලීමෙන් පසු, මහේස්ත්‍රාත්වරයා වැඩිදුර නඩු විභාගය සැප්තැම්බර් 8 වැනිදාට කල් දැමූ අතර එදින නඩුවේ ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

රුපියල් මිලියන 85ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට….

රුපියල් මිලියන 85ක් වටිනා කුෂ් කිලෝග්‍රෑම් 8.542ක් නීති විරෝධීව රැගෙන යාමට උත්සාහ කළ  ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද (13) දින උදෑසන 09.45 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාවේ මදුරෙයි වෙත පිටත්ව යාම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානය පැමිණෙන තෙක් ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී රැදී සිටි තිබේ.

එහිදී ඔහුගේ ගමන් මලු ශ්‍රී ලංකන් ගුවන් සේවා නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර පරීක්ෂාවකට ලක් කිරීමේ දී එහි සැක කටයුතු යමක් ඇති බව දර්ශනය වීමත් සමග ඒ අසළ සේවයේ නිරත වී සිටි
“රැන්ඩි”  නැමති පොලිස් නිල සුනඛයා එම ගමන් මල්ල ඉව කර එහි මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට සංඥා කර ඇත.

ඒ අනුව මෙම ඉන්දීය ජාතිකයා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී , ඔහුගේ ගමන් මල්ල තුළ පැකැට් 16 ලෙස සකස් කර ඇසුරුම් කළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 542 ක් සගවා ගෙන තිබියදී  සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම ගුවන් මගියා සහ ඔහු රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය හෙට (14) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත භාර දීමට නියමිතය.

ජනතාවගේ සෞඛ්‍ය නංවන්න මෙම වසරේදී සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක්….

මෙරට ජනතාවගේ රෝග කල් තියා හඳුනාගත හැකි, ප්‍රතිකාර සඳහා යොමුවිය හැකි සහ ඒ පිළිබඳව පසුවිපරමක නිරතවිය හැකි මෙන්ම වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් සඳහා යොමු කළ හැකි ජනතාවට සමීප සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක් ඉදිරියේදී ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් 26 වැනිදා සිට මෙරට දිස්ත්‍රික්ක පහක නියමු ව්‍යාපෘතියක් ලෙස මධ්‍යස්ථාන 10ක් ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ රත්නපුර දිස්ත්‍රිත්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී පැවැති “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනට එක්වෙමිනි.

එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ මෙම වසරේදී සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් සඳහා ඉදිරි මාස කිහිපයේදී මුල්ගල් තබන බවත් වසර තුනක් තුළ සුවතා මධ්‍යස්ථාන දහසක් මගින් ජනතාව ආවරණය කිරීමටද බලාපොරොත්තු වන බවත්ය.

වර්තමානය වනවිට පවතින ප්‍රධානම අභියෝගය බෝ නොවන රෝග බවත් එයින් මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ආරෝග්‍යා සුව සායන මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් ආරෝග්‍යා සුව සායන පවත්වන බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම බෝ නොවන රෝග සඳහා ගොදුරුවන පිරිසෙන් පරීක්ෂණ සඳහා යොමුවන්නන් ඉතා සීමිත පිරිසක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා පැවසුවේ පරීක්ෂණවලට යොමු වුවද ප්‍රතිකාර සඳහා යොමුවන්නේ ඉතා අඩු පිරිසක් වන බවත් එයින් ප්‍රතිකාර අඛණ්ඩව ලබා ගනු ලබන්නේද ඉතාම සීමිත පිරිසක්ද වන බවය.

තවද ඉදිරි වසර කිහිපයකින් පසු මෙරට ජනගහනයෙන් 25%ක් වැඩිහිටි ජනගහනය බවට පත්වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පෝෂණ තත්ත්වය, මානසික සෞඛ්‍ය වැනි කරුණු පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කරමින් මෙවැනි ජංගම සායන දීප ව්‍යාප්තව ග්‍රාමීය මට්ටමින් පවත්වන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

වසරේ ගතවූ කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000කට ආසන්න වෙයි….

මෙම වසරේදී මේ දක්වා සහල් සම්බන්ධ මුළු වැටලීම් ප්‍රමාණය 3,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කිරීම, සහල් තොග සඟවා තැබීම, පාරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කිරීම් ඇතුළු සහල් සම්බන්ධ විවිධ ප්‍රමාණයේ වැටලීම් 3,000ක් මේ වන විට සිදුකර ඇති බවය.

එමෙන්ම වැඩි මිලට සහල් විකිණීම් සම්බන්ධ වැටලීම් දහසකට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බවද පැවසූ එම අධිකාරිය පැවසුවේ ඒ මගින් පුද්ගලයින් 900කට අධික ප්‍රමාණයකට අධිකරණය හමුවේ නඩු පැවරීමටද කටයුතු කළ බවය.

පාරිභෝගික අධිකාරිය පැවසුවේ සහල් අලෙවියේදී වැඩි මිලට අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරිකයෙකුට එරෙහිව නඩු පැවරීමේදී ඔහු වරදකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක් හෝ මාස 5ක සිර දඬුවමක්ද නියම කළ හැකි බවත් නැතහොත් එම දඩ මුදල හෝ සිර දඬුවම යන දෙකම නියම කිරීමටද හැකියාවක් ඇති බවය.

එමෙන්ම පෞද්ගලික සමාගමක් වරදකරු වන්නේ නම් රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩයක් නියම කිරීමටත් සහල් සගවතැබීම සම්බන්ධව වරදකදී වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඩුවම හෝ ඉහත දෙකම මෙන්ම අදාල භාණ්ඩ තොගය රාජසන්තක කිරීමටද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකි බවද එම අධිකාරිය පවසයි.

තවද, දෙවනවර සිදුකරන වරදකදී එම අවම දඩ මුදල මෙන් දෙගුණයක් දඩ  නියම කිරීමටත්, වසරක් දක්වා සිර දඩුවමක් ලබාදීමටත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකියාව පවතින බවත් එම අධිකාරිය පැවසීය.