මෙදා සැරේ අවුරුදු නැකතට ආ බාධාව…..

අලුත් අවුරුද්දට නැකැත් සීට්ටුවක් රජය ප්‍රකාශයට පත්නොකරන්නේ නම් තමන්ගේ ඊට අදාළ නැකැත් තොරතුරු ලබාගත්තේ කුමකටදැයි ජ්‍යෝතීෂ්‍යවේදීන් ප්‍රශ්නකර සිටී.

ජ්‍යොතිෂවේදී විද්වත් කමිටුව අද (10) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී රවිශංඛ සේනානායක මහතා ඒ ගැන කරුණු දැක්වමින් පවසා සිටියේ, සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනෝමතික තීරණය මෙයට බලපා ඇති බවය.

“මාධ්‍යයට ආණ්ඩුව කියලා තියෙනවා කිසිම නැකැත් සීට්ටුවක් ඉදිරිපත් කරන්නේ නෑ කියලා. ඔහු තමා මේ තීරණය අරන් තියෙන්නේ. මේක මේ කල්ලතෝනි රටක් බවට පත්කරන වැඩපිළිවෙලක් තමා සංස්කෘතික ලේකම්වරයා යෝජනාවක් කරන්නේ. ආණ්ඩුවක් නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කරන්නේ නැත්නම් මොන මඟුලකට ද අපෙන් නැකැත් සීට්ටුව ඉල්ල ගත්තේ. එහෙම ගත්තා නම් මොකක් හරි නැකැත් සීට්ටුවක් ඉදිරිපත් කරන්න එපැයි.”

බක් මහේ සැමරෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද මෙරට ප්‍රධානම සංස්කෘතික මංගල්‍යය වන අතර එය නැකැත් චාරිත්‍ර මත පදනම්ව සැමරේ.

සංස්කෘතික අමාත්‍යාංශය විසින් පත්කරනු ලබන නැකැත් කමිටුවක් මගින් අලුත් අවුරුද්ද සඳහා එකම පොදු නැකැත් මාලාවක් ප්‍රකාශයට පත්කිරීම මෙතෙක් පවත්වාගෙන ආ සම්ප්‍රදායයි.

කෙසේවෙතත් මෙවර සංස්කෘතික දෙපාර්තමේන්තුව අවුරුදු නැකත් කමිටුව විසුරුවා හැර ඇති අතර මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකත් සීට්ටුවක් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් නොකරන බව වාර්තා වේ.

මැදපෙරදිග යුද ගැටුම් මැද මෙරට රැඳී සිටින විදෙස් ජාතිකයින්ගේ වීසා තත්ත්වය ගැන දැනුම්දීමක්…

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට රැඳී සිටින විදෙස් ජාතිකයින්ගේ වීසා දින 14ක් දීර්ඝ කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් පසුගිය 28 වැනි දින සිට අවලංගු වූ ගුවන් ගමන් හේතුවෙන් මෙරටින් පිටත්ව යාමට නියමිතව සිටි ඇතැම් විදේශිකයින් හට ඔවුන්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය අවසන් වීමට ඔවුන්ට පිටත් වීමට නොහැකි විය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එවැනි මගීන්ට විකල්ප ගමන් විධිවිධාන සකස් කර ගැනීමට හැකි වන තෙක් ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව රැඳී සිටීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් පසුගිය 28 වැනි දින සිට මැදපෙරදිග බලා පිටත්වන ගුවන් ගමන් අවලංගු වූ විදෙස් ජාතිකයින් හට දින 14ක කාලයක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා දික් කිරීමට තීරණය වී තිබේ.

එමෙන්ම තවදුරටත් එවැනි ගුවන් ගමන් අවලංගු කිරීම් පවතිනම් ඔවුන්ගේ වීසා දීර්ඝ කිරීමේ කාලය තවත් දින 14ක් දක්වා ගාස්තුවකින් තොරව දීර්ඝ කිරීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මැදපෙරදිග යුද්ධයෙන් ශ්‍රී ලංකාවට වෙන ආර්ථික බලපෑම සමාලෝචනයට කමිටුවක්..

මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි ආර්ථික බලපෑම් සමාලෝචනය කිරීම සඳහා ආර්ථික ආවේක්ෂණ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්, අදාළ ආයතන ප්‍රධානීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත මෙම කමිටුව පත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

මේ වන විට මැද පෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් අස්ථාවර ආර්ථික පරිසරයක් නිර්මාණය වී ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද අයහපත් බලපෑම් ඇති විය හැකි බව සඳහන් වේ.

ඉතා කුඩා විවෘත ආර්ථිකයක් වන ශ්‍රී ලංකාව බලශක්ති ආනයනය, මැද පෙරදිග කලාපයේ සේවය කරන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් ප්‍රේෂණ මෙන්ම එම කලාපය සමඟ ඇති වාණිජ හා ආයෝජන සම්බන්ධතා මත රඳා පවතින බැවින් බාහිර ආර්ථික කම්පනවලට නිරාවරණය වීමේ අවදානමක් පවතින බවද සඳහන් වේ.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම, විවිධ ක්ෂේත්‍රවල ඇතිවිය හැකි අවදානම් ඇගයීම සහ පවතින තත්ත්වය නිරතුරුව සමාලෝචනය කරමින් ගත යුතු අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරෙනු ඇත.

විද්‍යුත් විකාශකයින්ගේ සංගමය මෙරට UN නේවාසික නියෝජිත හමුවෙයි….

විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක්-ඇන්ඩ්‍රෙ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා හමුව තිබේ.

මෙහිදී දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රවණතා පිළිබඳ අවදානය යොමුව ඇත.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), තොරතුරු දැනගැනීමේ පනත ඇතුළු කාරණා කිහිපයක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

මෙම හමුව ඊයේ (09) පෙරවරුවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත කාර්යාලයේ දී පැවැත්වුණි.

සංචිත තිබියදී තෙල් මිල වැඩි කළ හේතුව නලින්ද කියයි….

මෙරට ඉන්ධන සංචිත තොග පවතින බව රජයෙන් පැවසුවත් හදිසියේ මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගැනීම සම්බන්ධව අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු අනාවරණය කිරීමක් සිදුකළේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය දින කිහිපයේ මෙරට ඉන්ධන පරිභෝජනය ඉහළට මට්ටමක පැවැති බවත් ඒ හේතුවෙන් සංචිත යම් ප්‍රමාණයකින් අඩුවීමක් සිදුවු බවත් ඒ අනුව නව ඇනවුම් කරන ලද තෙල් නැව් දිවයිනට පැමිණියේ නව මිලකට බැවින් මෙම මිල වැඩි කිරීමට සිදුවූ බවය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“දැන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවීම දළ වශයෙන් 37.76%ක් වෙනවා. පිරිපහදු තෙල්වල වැඩිවීම ඔටෝ ඩීසල් 99.99ක්%, සුපර් ඩීසල් 99.6%ක්, 92 ප්‍රෙට්‍රල් 75%ක් 95 පෙට්‍රල් වැඩිවීම 79%දක්වා වැඩි වීමක් වෙලා තියෙනවා. එකක් තමයි ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සහ පිරිපහදු තෙල් වැඩිවීම සැලකිල්ලට ගත්තා. ඒකට හේතුව වෙන්නේ අපි ගාව සංචිත තිබුණා. අපි ඇණවුම් කළ තොග ලැබෙමින් පවතිනවා. ඇනවුම් කිරීමේදි මිල තීන්දු වෙන්නේ ගොඩබාන දවසට දවස් 2කට පෙර සහ දවස් 3කට පෙරත් තිබෙන ඇවරේජ් මිලත් එක්ක.

මේ තෙල් මිල වැඩිවීමත් එක්ක බොර තෙල් සහ පිරිපහදු තෙල් මිල වැඩිවීම තුළ අපි වැඩි නොකළානම් පුද්ගලික සමාගම් තෙල් ආනයනය අඩු කරනවා හෝ නතර කරනවා. අපිට එතකොට තෙල් සැපයුමේ බාධාවක් තියෙනවා. අනික තෙල් පරිභෝජනය පසුගිය දවස්වල තිබුණ වැඩිවීම. සාමාන්‍යයෙන් අපිට දවසකට ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් තමයි පරිභෝජනය තිබුණේ. පෙට්‍රල් ඊටත් වඩා අඩුවෙන්. මාර්තු 1-9දක්වා අපේ ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන්  59,200, පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 47,500 ඒ කියන්නේ දළ වශයෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,000ක් පමණ ඩීසල් 23,000ක් පමණ වැඩිපුර පරිභෝජනය කරලා තියෙනවා පසුගිය දවස් කිහිපය ඇතුළත. 

මේ පරිභෝජනය තුළින් ඇතිවුණ දේ තමයි අපේ සංචිත තුළ තිබුණ තෙල් සම්පූර්ණ වශයෙන්ම අවසන් වුණා, අලුතින් තෙල් ගේන්න සිද්ධ වුණා තෙල් ගේනකොට ඒ නැව් ආවේ වැඩි මිලට. මේ කාරණා මත මිල වැඩි කරන්න සිද්ධ වුණා. වැඩි කළ යුතු මිල වැඩියි විශාල මිල වැඩි කිරීමක් එකවර කරන්න අපේ ආර්ථිකයට දරාගන්න බැරි නිසා මේ ප්‍රමාණයට වැඩි කිරීම සිදුවුණේ. අනිත් පැත්තෙන්න් මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා තෙල් පරිභෝජනයත් යම් ප්‍රමාණයකට සීමා කිරීමට ජනතාව මේ අවස්ථාවේ කටයුතු කරයි කියලා.”

අනවශ්‍ය ගමන් බිමන් එපා – ඉන්ධන පරිභෝජනය අවම කරන්න….

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණදීම සඳහා හැකි පමණින් ඉන්ධන අරපිරිමැස්මකින් යුතුව පරිභෝජනය කරන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තමන්ට හැකි පමණික් ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහා කටයුතු කරන ලෙසටය.

ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ පසුගිය දින කිහිපයේ තෙල් හිඟයක් පවතින බවට බියෙන් ජනතාව විසින් ඉන්ධන වැඩි වශයෙන් මිලදී ගැනීම, මෙම මිල ඉහළ යාමට බෙහෙවින් බලපෑ බවය.

එසේ නොවුණානම් මේ මස අගවන තුරු පැවති මිල ගණන් යටතේ ඉන්ධන මිල දී ගැනීමට හැකියාවක් තිබූ බවද ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් පවතින ඉන්ධන අර්බුදය ලෝකයටම බලපෑම් එල්ල කරන බැවින් ඒ සඳහා සාමූහිකව කටයුතු නොකළහොත් දැඩි අවධානමකට මුහුණ දීමට සිදුවන බැවින් පරිභෝජනය සීමා කරන ලෙසට ඒ මහතා නැවතත් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

රුපියල් මිලියන 321කට අධික කුෂ් සමගින් විදේශිකයින් දෙදෙනෙකු හසුවෙයි….

විදේශිකයින් දෙදෙනෙකු විසින් සූක්ෂමව මෙරටට රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන්ගේ සහ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ව්‍යර්ථ වී තිබේ.

අදාළ විදේශිකයින් දෙදෙනා කැනඩා ජාතිකයින් වන අතර ඔවුන් වයස අවුරුදු 25ක් වූ පිරිමි පුද්ගලයෙකු සහ අවුරුදු 29ක් වූ කාන්තාවක් ද වේ.

ඔවුන් අද (10) වන දින උදෑසන තායිලන්තයේ බැංකොක් සිට මෙරටට පැමිණ ඇති බවත් රේගු නිලධාරීන් සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් සිදුකරන ලද ඉලක්කගත පරීක්ෂාවකදී සැකකරුවන්ගේ ගමන්මලු තුළ සඟවා තිබූ කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 32.159ක තොගයක් මෙහිදි නිලධාරීන් භාරයට ගෙන තිබේ.

රේගුන නිලධාරීන් පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් 321,590,000ක් පමණ වන බවය.

සැකකරුවන් දෙදෙනා රේගු අත්අඩංගුවට පත්ව ඇති අතර රේගුවේ නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් මූලික විමර්ශන සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධ ඉදිරි වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමටද නියමිතය.

මහින්දානන්දගේ සහ නලින්ගේ අභියාචනා පෙත්සම් විභාගය හෙටට කල්යයි…..

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිරදඬුවම් නියම කර තිබෙන හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අද (10) දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.

එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරු කටයුතු කෙරේ.

මෙම අභියාචනා පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් ගොනු කළ අධිචෝදනා පත්‍රයේ සිය සේවාදායකයාට එල්ල කර තිබූ “අනුබල දීම” යන චෝදනාවෙන් ඔහු නිදොස් කොට නිදහස් කර තිබෙන බව සඳහන් කළේය.

එම චෝදනාවෙන් සිය සේවාදායකයා නිදොස් කොට නිදහස් කර ඇති නිසා ඔහු “කුමන්ත්‍රණය” නමැති චෝදනාවට වැරදිකරු කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණය වැරදි බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙම ප්‍රශ්නගත ක්‍රීඩා භාණ්ඩ ආනයනය කිරීම තුළින් රජයට පාඩුවක් සිදුවී ඇති බව අල්ලස් කොමිසම සිය අධිචෝදනා පත්‍රය තුළින් චෝදනා එල්ල කර තිබුණද එලෙස රජයට පාඩුවක් සිදුවූ බව ඔප්පු කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා විත්තිකරුවන් මහජන මුදල් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යෙදවූ බවට නිගමනයක සිට මහාධිකරණ විනිසුරුවරු මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙන බවත් සඳහන් කළේය.

ක්‍රීඩා අමාත්‍යාංශයට අයවැයෙන් වෙන්කරනු ලබන්නේ මහජනතාවගෙන් බදු වශයෙන් අයකර ගන්නා ලද මුදල් බවත් එවැනි මුදල් මේ ආකාරයේ කටයුතුවල යෙදවීම හේතුවෙන් අවසානයේ දී රට බංකොලොත් වූ බව තීන්දුවේ සදහන් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

මෙම කැරම් බෝඩ් ආනයනය කිරීම හරහා මහජන මුදල් හෝ රජයට පාඩුවක් සිදුවී නොමැති අතර ඉන් රට බංකොලොත් වීමක් සිදුවන්නේ කෙසේ දැයි ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

තව දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා පැවසුවේ ස.තො.ස ආයතනය මගින් ආනයනය කරන ලද ක්‍රීඩා භාණ්ඩ තොගය ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී නොමැති බවත් ඒ අනුව සිය සේවාදායකයාට එරෙහිව එම ක්‍රීඩා භාණ්ඩ බෙදා හැරීමේ චෝදනාව පවත්වාගෙන යා නොහැකි බවත්ය.

එම ක්‍රීඩා භාණ්ඩ ස.තො.ස ආයතනය වෙතින් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ගබඩා භාරකරු යැයි කියා ගත් නිශාන්ත ගුණසේකර නමැති පුද්ගලයෙකු විසින් භාරගෙන තිබුණද එම භාණ්ඩ ක්‍රීඩා අමාත්‍යාංශයට රැගෙන ගොස් නොමැති බවත් ඒවා කැලණිය, මාබිම ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

අදාළ භාණ්ඩ ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී නොමැති අවස්ථාවක එම ක්‍රීඩා භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් සිය සේවාදායකයාට චෝදනා එල්ල කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා ඒ අනුව අදාළ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවත් සඳහන් කළේය.

අදාළ ක්‍රීඩා භාණ්ඩ පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ආනයනය කර තිබෙන බවට චෝදනා එල්ල කර තිබුණද සතොස ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයින් සාක්ෂියට කැදවා නොමැති බැවින් එම චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

කුමන්ත්‍රණය නමැති චෝදනාව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉදිරිපත් වන චෝදනාවක් යැයි සදහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ අනුව අල්ලස් පනත යටතේ “කුමන්ත්‍රණ” චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් සඳහන් කළේය.

ඒ අනුව කුමන්ත්‍රණ චෝදනා ඇතුළත් කරමින් අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රය නීතිවිරෝධී මෙන්ම බල ශූන්‍ය බවත් ජනාධිපති නීතිඥවරයා තර්ක කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සිය සේවාදායකයාට රජයට පාඩු සිදුකිරීමේ චෝදනා මෙම නඩුවෙන් එල්ල කර තිබූ බව සිහිපත් කෙරුණි.

එහෙත් සතොස ආයතනය ලේඛනගත රජයේ ආයතනයක් ලෙස සැලකිය නොහැකි බවත් එය පුද්ගලික ආයතනයක් ලෙස සංස්ථාගත කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ
අනුව සතොස ආයතනයට කල පාඩුවක් රජයට සිදු කළ පාඩුවක් ලෙස සැලකිය නොහැකි බවත් තර්ක කළේය.

ඒ අනුව රජයට පාඩුවක් සිදු කළේ යැයි විත්තිකරුට එල්ල කර තිබෙන චෝදනා පදනම් විරහිත බවත් ඔහු තර්ක කළේය.

මෙම චෝදනා ඔප්පු කිරීමට අවශ්‍ය වැදගත් සාක්ෂිකරුවන් හත් දෙනෙකු පැමිණිල්ල විසින් සාක්ෂියට කැදවා නොමැති බවත් ඔවුන්ගේ සාක්ෂි කැඳවීමකින් තොරව මෙම චෝදනා ඔප්පු කළේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා අදාළ භාණ්ඩ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බාරදුන් බවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නඩු විභාග පැවැත්වීම නුසුදුසු ක්‍රියාවක් බවත් කියා සිටියේය.

ඒ අනුව තම සේවාදායකයා අදාළ චෝදනාවන්ට වරදකරු කිරීම නීතියට පටහැනි බවත් ඒ අනුව ඔහු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාගේ කරුණු දැක්වීම් අවසන් කෙරුණු අතර වැඩිදුර නඩුයි විභාගය හෙට දින දක්වා කල් තැබීය.

ඒ අනුව හෙට දින අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දැක්වීමටද නියමිතය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කර එම කාර්යාලවලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව ගොනු කර තිබූණි.

එම නඩුව විභාග කළ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවට විත්තිකරුවන් වරදකරු කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිත වසර 30 ක සිර දඬුවම් නියම කර තිබුණි.

එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම හිටපු අමාත්‍යවරු විසින් මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික ප්‍රමාණයක්….

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබෙන බවට සැක පිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව තුළ මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

එම බහුදින ධීවරය යාත්‍රාව ඉදිරි දින දෙක තුළ ගොඩබිමට රැගෙන ඒමට නියමිත බවත් පැවසූ අමාත්‍යවරයා පැවසුවේ ඒ තුළ සැලකිය යුතු ආයුධ ප්‍රමාණයක් තිබී ආරක්ෂක අංශ භාරයට ගත් බවය.

ශ්‍රි ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් මෙම බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන තිබූණි.

මේ අතර පසුගිය 07 වැනි දිනද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදු තීරයේදී සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක් මත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත් අතර ඒ තුළ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය 102ක් සහ සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 900ක්ද සොයා ගනු ලැබීය.

ඒ එම බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් පසු සිදුකරනු ලැබූ විමර්ශනයෙන් අනතුරුවය.

එහිදී යාත්‍රාව තුළ සිටි සැකකරුවන් 6 දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (10) පැවැති වැඩසටහනකදී අදහස් දක්වමින් පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය ජාලය අඩපණ කිරීම සඳහා කටයුතු කරමින් පවතින බවත් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්තාපනය කර නිදහස් කරන සමාජයද පිරිසිදු කළ යුතු බවය.

ඒ අනුව මෙම ජාලය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මැදිහත් වෙමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“සැපයුම් ජාලය අඩපණ කරන්න කටයුතු කරමින් තිබෙනවා. අපි මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුරවැසියා නිදහස් කරන සමාජයත් පිරිසිදු කරන්න ඕනේ. ඒ හින්දා මේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය බිඳින්න අවශ්‍යයි. මේ සැපයුම් ජාලය තියෙන්නේ සංවිධානාත්මක අපරාධත් එක්ක බද්ධ වෙලා. මේ ජාලය අවසන් කරලා බිඳින්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි ශ්‍රී ලංකා පොලීසියත්, විශේෂ කාර්ය බළකායත්, ත්‍රිවිධ හමුදාවත් කටයුතු කරන්නේ.”

ජනතාවට සුවපහසු, ආරක්ෂිත, කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව – ජනපති අනුර….

ජනතාවට සුවපහසු, ආරක්ෂිත, කාර්යක්ෂම සහ අඛණ්ඩතාවෙන් යුතු ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් රජය මේ වන විට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි බඳවාගත් නවක රියදුරු මහතුන් 199ක් සහ කොන්දොස්තර මහතුන් 342ක් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එක් වෙමිනි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා නව පත්වීම් ලිපි 541ක් ප්‍රදානය කිරිම මෙහිදී සිදුවිය.

මේ අතර, නිසි ප්‍රමිතියෙන් යුතු බස් රථ අලුතින් ධාවනයට එක් කිරීමට සහ පැරණි බස් රථ ක්‍රමානුකූලව ප්‍රවාහන පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා වූ සැලසුම් රජය මේ වන විට සකස් කරමින් තිබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා, එය එකවර සිදු කළ නොහැකි කාර්යයක් වුවත් වසර කිහිපයක් සැලසුම් සහගතව කටයුතු කිරීමෙන් රජයේ ප්‍රධාන ඉලක්කයක් වන ගුණාත්මක බස් රථ සංචිතයක් මෙරට ජනතාවට හිමි කර දීමට හැකියාව ලැබෙන ඇතැයි සඳහන් කළේය.

පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් කිහිප දෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්වීමද මෙහිදී සිදුකර ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ අතීතයේදී මෙරට ජනතාව තුළ තිබූ  බැඳීම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා, පසුකාලීනව දේශපාලන පත්වීම් සහ විවිධ අයථා ගනුදෙනු හේතු කර ගෙන බිඳ වැටීමට ලක් වූ ලංගමය ශක්තිමත් පොදු ප්‍රවාහන සේවාවක් ලෙස යළි ගොඩනැඟීමට අද දින පත්වීම් ලැබූ සියලු දෙනා තම වගකීම් ඉටු කරනු ඇතැයි  විශ්වාසය පළ කරමින් නවක පත්වීම්ලාභී සියලු දෙනා වෙත සුබපැතුම් එක් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
“ශ්‍රී ලංගමය සමඟ අපේ රටේ ජනතාවට ගමන් බිමන් යාමෙන් ඔබ්බට ගිය සංස්කෘතිකමය බැඳීමක් තිබෙනවා. අද රියදුරු සහ කොන්දොස්තර මහතුන් ලෙස ඔබ ඇතුළත් වන්නේ එවැනි ඉතිහාසයක් සහ මිනිසුන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවක් පවත්වාගෙන ගිය සේවාවකට. ඒ වගේම මම විශ්වාස කරනවා ශ්‍රී ලංගමය මේ තිබෙන තත්ත්වයෙන් ඉහළට ඔසවා තැබිය යුතුයි. එය තාක්ෂණයෙන් පමණක් නොවෙයි එම බස් රථවල වැඩ කරන රියදුරු සහ කොන්දොස්තර මහතුන් ජනතාව සමග ඉතා සමීපව, ලෙංගතුව සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සිතමින් කටයුතු කරන අලුත් තැනකට ඔසවා තැබිය යුතුයි.  ඒ නිසා මම හිතනව ඊට ඇතුළත් වන ඔබට ශ්‍රී ලංගමය තුළට නව සංස්කෘතියක් ගෙන යාමට හැකි වෙයි කියලා. 

යහපත් ඉතිහාසයක් තිබුණු ශ්‍රී ලංගමය පසුකාලීනව දේශපාලන පත්වීම් සහ විවිධ අයථා ගනුදෙනු හේතු කර ගෙන අභාවයට පත් වෙමින් පැවතුණා. යම් දේශපාලන අධිකාරින්හි බලය ත්‍රාඩ ලෙස පැතිර වීම සඳහා මෙම ආයතන උපයෝගී කරගත්තා. ඒ නිසා ලංගමය පිළිබඳ ජනතාව තුළ තිබූ අධ්‍යාත්මික බැඳීම පලුදු කිරීමට මේ  කැත පන්නයේ දේශපාලන සංස්කෘතිය හේතු වුණා කියා මම විශ්වාස කරනවා. ඒ වගේම නූතන ලෝකයේ ඇති වූ තාක්ෂණික වෙනස්කම්ලට අනුරූප වන පරිදි තාක්ෂණික වෙනස්කම් කර ගැනීමට නොහැකි වීමත් සැලකිය යුතු ප්‍රමාණයකින් ජනතාව සහ ලංගමය අතර සබඳතා බැඳ වැටීමට හේතු වුණා. 

රටට ශක්තිමත් පොදු ප්‍රවාහන සේවාවක් අවශ්‍ය බවට අද අපි රජයක් ලෙස දැඩි ප්‍රතිපත්තියක සිටිනවා. ඊට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. අදත් අපේ රටේ පවුලක ප්‍රවාහන සේවය සඳහා දරන වියදම වැඩියි. ඒ වගේම පොදු ප්‍රවාහන සේවයෙන් ජනතාවට කාර්යක්ෂම සහ අඛණ්ඩ සේවාවක් ලබා ගැනීමට හැකි වේ දැයි යන්න පිළිබඳ සැකයක් තිබෙනවා. ඒ සැකය නිසා තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා තමන් විසින්ම සපුරා ගැනීමට ජනතාව පෞද්ගලිකව යතුරු පැදියක්, කුඩා මෝටර් රථයක් මිලදී ගැනීමට උත්සාහ කරනවා. ඒ හේතුවෙන් තමන්ට ලැබෙන ආදායමෙන් වැඩි පංගුවක් මේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා වැය කිරීමට සිදුව තිබෙනවා. අවසානයේ බලන කළ ඔවුන් වැඩ කර තිබෙන්නේ වැඩට යාමට වියදම සොයා ගැනීමටයි. ඒ අනුව ජනතාව ප්‍රවාහන අවශ්‍යතා සඳහා සිය ආදායමෙන් දරන වැය බර වැඩියි. අපි එය අඩු කළ යුතුයි. ඒ නිසා ජනතාවට බරක් නොවන ප්‍රවාහන සේවාවක් අපි ඇති කළ යුතුයි. 

ඒ වගේම,අපි මෝටර් රථ විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා. ඒ වෙනුවෙන් ආනයන වියදමෙන් විශාල පිරිවැයක් දරනවා. මම විශ්වාස කරනවා පොදු ප්‍රවාහනය ශක්තිමත්ව දියුණු කළහොත් සැලකිය යුතු ප්‍රමාණයකින් අපේ වාහන ආනයන සඳහා යන වියදම් අඩුකරගත හැකියි කියලා. එය ආර්ථික වශයෙන් ඉතා වැදගත් වෙනවා.
ඒ වගේම පරිසරයට විශාල වශයෙන් සිදු වන වායු දූෂණයට මේ වාහනවලින් නිකුත් කරන විෂ සහිත දුම් හේතුවී තිබෙනවා. පරිසරයට මුදා හරින විෂ දුම් ප්‍රමාණ අඩු කර ගැනීම පිළිබඳ අද මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. අපේ අනාගත උපනූපන් දරු පරපුර වෙනුවෙන් මේ පරිසරය ආරක්ෂා කර දිය යුතුයි. ඒ නිසා විෂ දුමෙන් පරිසරයට සිදුවන හානිය අඩු කිරීමට එය ඉතා වැදගත් වෙනවා. ඒ නිසා පරිසරය පැත්තෙන් බැලුවත් මෙය වැදගත් සාධකයක්. 

අද නාගරික තදබදය ප්‍රධාන ගැටලුවක් වී තිබෙනවා. කොපමණ මිනිස් පැය ප්‍රමාණයක් පාරට වැය වෙනවද? එය ආර්ථික වශයෙන් ගණනය කළහොත් ආර්ථිකයට විශාල හානියක් සිදු වෙන බව පෙනෙනවා. ඒ නිසා මාර්ග තදබදය අඩු කිරීමේදීත් පොදු  ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම ඉතා වැදගත්. මේ අන්දමට ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් දියුණු කිරීම අපේ අපේක්ෂාවයි. 

පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරන බවට සංකල්ප හැදුවට වැඩක් නැහැ ජනතාවට නිසි පරිදි එම සේවාව ලැබිය යුතුයි. ඒ වගේම සුවපහසු ප්‍රවාහන සේවාවක් අවශ්‍යයි. ඒ නිසා දැනටමත් අපි බස් රථ සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් තිබෙනවා. ජනතාවට සුවපහසු ප්‍රවාහන සේවාවක් අවශ්‍යයි. ඒ නිසා ඕන ඕන විදියට බස් දාගෙන,  හිරකරගෙන ගියොත් අපි පොදු ප්‍රවාහන සේවාවක් පිළිබඳ කෙතරම් උත්සාහ දැරුවත් වැඩක් නැහැ ජනතාව එයින් ඈත් වෙනවා. ඒ නිසා අපි ජාතික ප්‍රතිපත්තියක් හදනවා කවර වර්ගයේ බස් රථද පාරේ ධාවනය කරන්න පුළුවන් කියලා. එය එකවිට කරන්න බැහැ. සමස්ත බස් සංචිතයම ඉවත් කර අලුත් බස් රථ සංචිතයක් එකවිට ඇතුළත් කළ හැකි වත්කමක් අපිට නැහැ. එසේනම් අලුතින් එක් කරන බස් රථ ප්‍රමිතියෙන් යුත් බස් රථ විය යුතු අතරම ක්‍රමානුකූලව පැරණි බස් රථ ප්‍රවාහන පද්ධතියෙන් ඉවතට යා යුතුයි. වසර කිහිපයක් මෙය සැලසුම් සහගතව කළහොත් සමස්ත බස් රථ සංචිතයම නව ගුණාත්මක බස් රථ සංචිතයක් බවට පරිවර්තනය කළ හැකියි. එය අපේ ප්‍රධාන ඉලක්කයක්. 

ඒ වගේම බස් රථ මොනතරම් සුවපහසු වුණත් වැඩක් නැහැ ඒ බස් රථය ධාවනය කරන රියදුරු මහතා සහ කොන්දොස්තර මහතාගේ හැසිරීම යහපත් නැත්නම්. මොකද බස් රථයේ ගමන් කරන සියලු ජනතාවගේ ජීවිත ඔහුගේ දෑත මතයි පවතින්නේ. ඒ නිසා ඕන කෙනෙකුට, ඕන විදියට බස් රථයක් ධාවනය කිරීමට රජයක් ලෙස අපි ඉඩ දිය යුතු නැහැ. ඇතැම් බස් රථ සමාගම්වල අයිතිකරුවන් යැයි කියා ගන්නා අය ඊට එරෙහිව යම් ප්‍රකාශ කර තිබුණා. එහෙත් අපි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. 

සෑම පුරවැසියෙක්ම බස් රථයට නගින්නේ තමන්ගේ ජීවිතය පිළිබඳව විශ්වාසයකින්. එසේ නම් ජීවිත පිළිබඳ අනාරක්ෂිත තත්ත්වයක් මතුවන්නේ නම් කිසිවෙකු තමන්ගේ දරුවා පොදු ප්‍රවාහනයට භාර දෙන්නේ නැහැ. පොදු ප්‍රවාහන පද්ධතිය පිළිබඳ විශ්වාසය ඇති කරන්න නම් දැනට ඇති වී තිබෙන තත්ත්වය වෙනස් කළ යුතුයි. විෂ මත්ද්‍රව්‍ය භාවිත කර කිසිසේත් බස් රථයක් ධාවනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ පිළිබඳ අවශ්‍ය නීති, පරීක්ෂා කිරීම් ආදී සියල්ල සිදු කරනවා. ඒ නිසා රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ හැසිරීම ගුණාත්මක තත්ත්වයට ගෙන ආ යුතුයි. 

එසේම කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතුයි. සියලු දෙනා අපේක්ෂා කරන්නේ තමන්ගේ ගමනාන්තයට ඉතා ඉක්මනින් යාමට. ඒ නිසා කාර්යක්ෂමතාව ඇති කළ යුතුයි. නියමිත වේලාවට ගමනාන්තය අවසන් විය යුතුයි.  ඒ වගේම අඛණ්ඩතාව ඉතා වැදගත් වෙනවා. එසේ නොමැති වුවහොත් දෛනික ජීවිතය බිඳ වැටෙනවා. ඒ නිසා සුවපහසු, කාර්යක්ෂම සහ අඛණ්ඩතාවෙන් යුත් පොදු ප්‍රවාහන සේවාවක් ලබා දීම අපේ අපේක්ෂාවයි. ඒ සඳහා සුවපහසු බස් රථ බලඇණියක් ස්ථාපිත කර එය මේ මාසයේදී ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ මාසයේ ජපාන රජයෙන් අලුත් බස් රථ 08ක් ලැබෙනවා. ඊට අමතරව අපි ඇණවුම් කළ බස් රථ අගෝස්තු, සැප්තැම්බර් වන විට අපිට ලැබීමට නියමිතව තිබෙනවා. 

ඒ අනුව, සුවපහසු මගී ප්‍රවාහනය සඳහාම සුදුසු බස් රථ බලඇණියක් නව සමාගමක් හරහා අපි හදනවා. අපි ක්‍රමානුකූලව පැරණි බස් රථ සංචිතය නගරවලින් ටික ටික ඈත් කරන්න පටන් ගන්නවා. ප්‍රධාන නගරවල කෙටි ධාවනය සඳහා බස් රථ බලඇණිය හදලා ක්‍රමානුකූලව පැරණි බස් රථ ධාවනයෙන් ඉවත් කරනවා. මෙය එකවර කරන්න බැහැ. 

ඒ වගේම, පුරවැසියාට ලැබෙන සේවාව ඉතා වැදගත්. ඒ නිසා රජයක් ලෙස අපි බැඳී සිටිනවා හොඳ සේවාවක් ලබා දීමට. හැබැයි, මේ සේවාව මුළුමනින්ම පෞද්ගලික අංශයට විතරක් තල්ලු වුවහොත් ඔවුන් අතර ඒකාධිකාරියක් නිර්මාණය වෙනවා. ඒ නිසා මුළුමනින්ම මෙය අත්හළ යුතු නැහැ. හැබැයි අපි විධිමත් කළමනාකරණ ක්‍රමයක් හදන්න අවශ්‍යයි. 

රජයේ පංගුවක් තිබෙන සහ පෞද්ගලික අංශයේ දායකත්වය තිබෙන වගේම, අපි අපේක්ෂා කරන කාර්යයන්ට අවශ්‍ය නියාමනයක් තිබෙන ආරක්ෂිත, සුවපහසු, අඛණ්ඩතාවෙන් යුත් කාර්යක්ෂම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ක්‍රියාවලියක් බවට මෙය පත් කළ යුතුයි. 

පුද්ගලික බස් රථ 21,000ක් තිබූ යුගයේ අයිතිකරුවන් 19,000ක් සිටියා. බස් රථ සේවාව කර්මාන්තයකට වඩා ස්වයං  රැකියාවක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශාල තරගකාරිත්වයක් ඇති වෙනවා. අද ජනතාව විශාල පිරිසක් නැති වේලාවලට එම සේවාව ලබා දෙන්නේ නැහැ.  එය අපේ රටේ සංස්කෘතික ජීවිතයටත් බලපෑමක් ඇති කර තිබෙනවා. අද 9.30ට චිත්‍රපටියක් බලලා ගමට යන්න බස් එකක් නැහැ. ඒ අනුව, එය සේවාවක සිට ලාභ ලබන තැනට පරිවර්තනය වී තිබෙනවා. තනි තනි අයිතිකරුවන්, විවිධත්වයන් සහිත කාර්යමණ්ඩල, විවිධ වෙනස්කම් සහිත බස් රථ මීට හේතු වී තිබෙනවා. 

ඒ නිසා ආණ්ඩුවක වගකීම වන්නේ ප්‍රශස්ත, ගුණාත්මක පොදු ප්‍රවාහනයක් ඇති කිරීමයි. ඒ සඳහා අපි පළාත් ක්‍රමයකට යා යුතුයි කියා අපි විශ්වාස කරනවා. හිමිකරුවන්ට තම බස් රථය, කලාප වශයෙන් ස්ථාපිත කෙරෙන බස් සමාගම්වලට එක් කළ හැකියි. එම සමාගම අඛණ්ඩ සේවාවක් ලබා දිය යුතුයි. ඒ කලාපය පාඩු ලබනවා නම් රජයට ඒ සඳහා සහනාධාරයක් ලබා දිය හැකියි. ප්‍රශස්ත ප්‍රවාහන සේවාවක් ලබා දීම වෙනුවෙන් මෙවැනි වැඩපිළිවෙළකට යා යුතුයි. අපි කිසිසේත්ම ප්‍රවාහන සේවාව ලාභ-අලාභ ගිණුමක දමා මැනීමට සූදානම් නැහැ. අපි මෙය මනින්නේ සේවාවක් ලෙසයි. මේ අන්දමින් පාඩු ලබන ග්‍රාමීය මාර්ගවලට ප්‍රවාහන සේවා ලබා දීමට අපි මෙවර අයවැයෙන් මිලියන 2000ක් පමණ වෙන් කර තිබෙනවා. 

කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක ප්‍රතිලාභ ලැබෙන්නේ එළියේ ආර්ථිකය තුළයි. අපේ වැඩ කරන කාර්ය මණ්ඩලය කාර්යක්ෂම රැකියා ස්ථානයට ගෙන ගියාද? එම සේවා සහ නිෂ්පාදනවලින් තමයි ආර්ථිකයට ලාභ-අලාභ ලැබෙන්නේ. එසේ නොමැතිව බස් රථයෙන් රථයට, පාරෙන් පාරට පාඩුද ලාභද කියා මැනීම වැරදියි. ප්‍රශස්ත සේවාව මත තමයි අපේ ආර්ථිකය සහ ජන ජීවිතය උසස් තත්ත්වයකට පත් වෙන්නේ. ඒ නිසා රජයක් ලෙස අපේ අපේක්ෂාව වන්නේ ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන සේවාවක් නිර්මාණය කිරීමයි.

ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීමට අපිට හොඳ කාර්යක්ෂම දේශපාලන අධිකාරියක් අවශ්‍යයි. අපේ ඇමතිතුමත්, නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනාත් මේ ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ඉතා හොඳින් වැඩ කරනවා. මම හිතනවා ඈත ගම්වල ධාවනය වන බස් රථ ගැන පවා ඔබෙන් විමසන අවස්ථා ඇති. එතරම් මේ ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා උනන්දු වන හොඳ දේශපාලන අධිකාරියක් තිබෙනවා. මෙම පරිවර්තනය අත්කර ගැනීමේදී එය ඉතා වැදගත් වෙනවා. 

ඒ වගේම අපේ ඉතා හොඳ නිලධාරී කණ්ඩායමක් සිටිනවා. විවිධ කාලවලදී විවිධ ගැටලු තිබෙන්න ඇති. අපි ඒ එකකින්වත් වර්තමානය මනින්නේ නැහැ. අපි ඔවුන් ගැන තීරණ ගන්නේ වර්තමානයේ හොඳද නරකද යන්න මත පමණයි. අපිට අතීතය තේරුම්ගත හැකියි. අපට ඇසී ඇති දෙයින් අපි කිසි කෙනෙකු මනින්නේ නැහැ. ඒ නිසා අපේ නිලධාරී කණ්ඩායම වර්තමානයේ මේ වෙනුවෙන් පෙළගැසී වැඩ කරයි කියා අපි විශ්වාස කරනවා.

විශේෂයෙන්, අද දිනයේ ශ්‍රී ලංගමයට ඇතුළත් වන ඔබටත් විශාල වගකීමක් තිබෙනවා. කොතැනකින් හෝ මේ ශ්‍රී ලංගමය පිළිබඳ ගොඩැනැගී තිබෙන ඉතා නරක යැයි හැඟෙන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ඒ සංස්කෘතිය වෙනස් කළ හැක්කේ කතාවලින්, ප්‍රකාශවලින්, ලියවිලිවලින් පමණක් නොවෙයි භාවිතයෙන් සහ වැඩ කරන ආකාරයෙන්. මෙහි සිටින ඔබ සියලු දෙනා ශ්‍රී ලංගමයට නව ප්‍රවේශයක් ගෙන එනු ඇතැ’යි විශ්වාස කරමින් ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට සුබ පතනවා.”